සීතාවක රාජධානියේ පරිහානිය

අද ලිපියෙන් අපි සාකච්ඡා කරන්නෙ සීතාවක රාජධානියේ පරිහානිය ගැනයි. සීතාවක රාජධානියේ පරිහානිය ගැන කතා කරන්න කලින්, විජයබා කොල්ලය සහ සීතාවක රාජධානියේ ආරම්භය ගැන සංක්ෂිප්තව මතක් කරගෙන ඉන්න එක වටිනවා.

විජයබා කොල්ලය
කෝට්ටේ 6 වෙනි විජයබාහු රජතුමාට බුවනෙකබාහු, මායාදුන්නේ සහ පරරාජසිංහ කියලා පුතාලා තුන් දෙනෙක් ඉන්නවා. රජතුමා පළවෙනි කසාදෙන් පස්සෙ දෙවෙනි කසාදෙකුත් කරගන්නවා. ඒ, කීරවැල්ලේ කුමාරිහාමි එක්කයි. මේ වෙනකොට කීරවැල්ලෙ කුමාරිහාමිටත් දේවරාජ කියලා පුතෙක් හිටියා.

කාලයත් එක්ක කීරවැල්ලේ කුමාරිහාමි 6 වෙනි විජයබාහු රජතුමාට වද දෙන්න ගන්නවා, රජතුමාගෙන් පස්සෙ රජකම දේවරාජ කුමාරයාට ලබා දෙන්න කියලා. පළමු විවාහයේ වැඩිමහල් බුවනෙකබාහු පුත්‍රයා ඉන්න නිසා දෙවෙනි විවාහයේ දේවරාජ පුත්‍රයාට රජකම දෙන්න, 6 වෙනි විජයබාහු රජතුමා එකග වෙන්නෙ නෑ. ඒත් කීරවැල්ලෙ කුමාරිහාමි දිගටම රජතුමාට කරදර කරන්න ගත්ත නිසා රජතුමා අදහස් කරනවා දේවරාජ කුමාරයා, තමන්ගේ මීළග අනුප්‍රාප්තිකයා කරන්න.

මේක ආරංචි වෙනවා පළමු විවාහයේ පුතුන් තුන්දෙනාට. ඊට පස්සෙ මෙයාලා 6 වෙනි විජයබාහු රජතුමාට විරුද්ධව නැගී සිටිනවා. මෙතනින් එහාට කතාවෙ පොඩි පොඩි Versions තියෙනවා.

@elearninglk

සමහරු කියනවා කුමාරවරු තුන්දෙනා කෙලින්ම රජතුමාට විරුද්ධව සටන් කරන්න ගත්තා කියලා. තවත් සමහරු කියනවා කුමාරවරු මුලදි රජතුමාට විරුද්ධ වුණත්, පස්සෙ රජතුමා කුමාරවරු තුන්දෙනා එක්ක ගිවිසුමකට ආවාය කියලා, රජකම දේවරාජට දෙන්නෙ නැහැ කියලා. ඒ වගේම ඒ අවස්ථාවේදී කුමාරවරුන්ව ඝාතනය කරන්න කීරවැල්ලෙ කුමාරිහාමි යොදපු සැලසුමක් හෙලිදරව්වීම නිසා කුමාරවරු යුද්ධයක් ආරම්භ කළාය කියලා.

6 වෙනි විජයබාහු රජතුමාගේ සහ කුමාරවරු තුන්දෙනාගේ හමුදාවන් අතරේ සිද්ධ වෙන යුද්ධය අතරතුර 6 වෙනි විජයබාහු රජතුමා ඝාතනය වෙනවා. 6 වෙනි විජයබාහු රජතුමාව ඝාතනය කරන්න සිංහල මිනිස්සු පසුබට වුණු නිසා වෙනත් ජාතිකයෙක් ලව්වා ඝාතනය කෙරෙව්වා කියලත් මතයක් තියෙනවා. 6 වෙනි විජයබාහු රජතුමා ඝාතනය වීමත් එක්ක, රජතුමාගේ පළවෙනි විවාහයේ පුතුන් තුන්දෙනා කෝට්ටේ රාජධානියේ බලය අල්ල ගන්නවා. ඊට පස්සෙ කෝට්ටේ රාජධානිය කොටස් තුනකට බෙදාගෙන මෙයාලා පාලන කටයුතු කරගෙන යනවා.


Click on the Image

කෝට්ටේ රාජධානිය කොටස් තුනකට බෙදී යෑම
කෝට්ටේ රාජධානිය කොටස් තුනකට බෙදීමේදී කෝට්ටේ බල ප්‍රදේශය වැඩිමහලු කුමාරයා වුණු බුවනෙකබාහු කුමාරයට අයිති වෙනවා. ඊට පස්සෙ කුමාරයා, 7 වෙනි බුවනෙකබාහු රජතුමා විදිහට සිංහාසනයට පත්වෙන්නෙ කෝට්ටේ රාජධානිය නොහොත් ලංකාවේ ප්‍රධානතම රාජධානියේ පාලකයා වෙමින්.

මායාදුන්නේ කුමාරයා සිතාවක ප්‍රදේශයේ සීතාවක රාජධානිය පිහිටවද්දි, පරරාජසේකර කුමාරයා රයිගම ප්‍රදේශයේ වෙනම රාජධානියක් පිහිටවනවා. රයිගම් බණ්ඩාර රජතුමා කියලා හදුන්වන්නෙත් පරරාජසේකරම තමයි.

මුලදි සහෝදරවරු තුන්දෙනා සහ රාජධානි තුනම බොහොම සහයෝගයෙන් කටයුතු කළත් පස්සෙ පස්සෙ රාජධානි අතර සීතල යුද්ධයක් නිර්මාණය වෙලා, ඒ යුද්ධය ඉතාමත් බිහිසුණු යුද්ධයක් තරමටම වර්ධනය වෙනවා. ඒ, කෝට්ටේ රාජධානිය විසින් පෘතුගීසීන්ව පිළිගැනීමත් එක්කයි. පෘතුගීසී විරෝධී රාජධානි වුණු සීතාවක සහ රයිගම, පෘතුගීසීන්ට විරුද්ධව වගේම කෝට්ටේ රාජධානියට විරුද්ධවත් සටන් කරනවා.


Painting By – Prasanna Weerakkody

​මේ යුද්ධය රටේ දේශපාලනික, ආර්ථික, ආගමික, සාමාජීය අංශ හැම එකකටම බලපානවා. මේ සිදුවීම් මාලාවේ තියෙන තවත් විශේෂත්වයක් තමයි පෘතුගීසීන් වගේ ප්‍රබල යුරෝපීය හමුදාවක් අපේ රට උපක්‍රමශීලීව අල්ල ගන්න හදන වෙලාවක සිදුවීම. මේ විදිහට අපේ රට භේද බින්නවීම, පෘතුගීසීන්ට තමන්ගේ අරමුණ කරා ගමන් කරන්න ලොකු එළියක් වෙනවා.

සුළු කාලයක් යනකොට රයිගම රාජධානියේ රයිගම් බණ්ඩාර රජතුමා මිය යනවා. සීතාවකට පක්ෂපාතීව තිබ්බ රයිගම් රාජධානියත් සීතාවකට ඈදා ගන්න මායාදුන්නේ රජතුමා, කෝට්ටේ රාජධානියට ප්‍රහාර එල්ල කරමින්, කෝට්ටේ රාජධානියට අයිති ප්‍රදේශ අත්පත් කර ගනිමින්, කෝට්ටේ බල ව්‍යාප්තිය සීමා කරනවා.


Painting By – Prasanna Weerakkody

ටිකිරි බණ්ඩාර කුමරු රජවීම
කාලයක් යනකොට මායාදුන්නෙ රජතුමාගේ පුත්‍රයා වුණු ටිකිරි බණ්ඩාර කුමාරයත් නායකත්වයේ ලක්ෂණ පෙන්නුම් කරන්න ගත්තා. විශේෂයෙන්ම කෝට්ටෙට සහ පෘතුගීසීන්ට එරෙහිව කරපු යුද්ධ ව්‍යාපාර වලට. ටිකිරි බණ්ඩාර කුමාරයා සහභාගී වුණු මුල්ලේරියා සටන හඳුන්වන්නෙ රටක් එක්ක යුද්ධ කරලා පෘතුගීසීන් ලබපු අන්තම පරාජය විදිහටයි. ඒ වගේම යුරෝපීය හමුදාවක්, දකුණු ආසියාවේ ලබපු අන්තම පරාජය කියලත් සමහරු විශ්වාස කරනවා.

ටිකිරි බණ්ඩාර කුමාරයාගේ මේ දක්ෂතා නිසා මායාදුන්නේ රජතුමා හිතනවා ටිකිරි බණ්ඩාර කුමාරයට රජකම භාරදීලා විශ්‍රාම යන්න. ඒත් එක්කම ටිකිරි බණ්ඩාර කුමාරයා, සීතාවක රාජධානියේ පළවෙනි රාජසිංහ රජතුමා විදිහට රාජ්‍යත්වයට පත්වෙනවා.


Click on the Image

මායාදුන්නේ රජතුමා ඝාතනය වීම
ඊට පස්සෙ වෙන සිද්ධිය ගැන එක එක කතා පුවත් තියෙනවා. ප්‍රධානතම කතාව තමයි, රාජසිංහ රජතුමා විසින් මායාදුන්නේ රජතුමාව ඝාතනය කරලා දැම්මාය කියන මතය. ඒකට හේතුව විදිහට සැළකෙන්නෙ තවත් දීර්ඝ කාලයක් රජකම් කරන්න කාලය තියෙද්දිත්, මායාදුන්නේ රජතුමා ඉක්මණින්ම සිංහාසනය භාර කළේ, තමන්ට විරුද්ධව ඉදිරියේදී මොකක් හරි කුමන්ත්‍රණයක් කරන්න වෙන්න ඇති කියලා රාජසිංහ රජතුමාට ඇති වුණු සැකයයි.

තවත් සමහරු කියනවා රාජසිංහ රජතුමාගේ අතින් මායාදුන්නේ රජතුමාව ඝාතනය වුණේ වැරදීමකින් කියලා. ඒ කතාවෙ හැටියට රාජසිංහ රජතුමා කඩු ශිල්ප පුහුණු වෙමින් ඉන්නකොට, මායාදුන්නේ රජතුමා පිදුරු ගොඩක් අස්සෙ ඉදන් තමන්ගෙ පුත්‍රයාගේ හපන්කම් බලාගෙන ඉදලා තියෙනවා. පිදුරුගොඩ සෙලවෙනකොට සතෙක් හෝ සතුරෙක් කියලා රැවටුණු රාජසිංහ රජතුමා පිදුරුගොඩට කඩුවෙන් ඇන්නාය කියලත්, කඩු පහර නිසා මායාදුන්නේ රජතුමා මිය ගියා කියලත් විශ්වාසයක් තියෙනවා.

තවත් අය කියන්නේ රාජසිංහ රජතුමාගේ පීතෘ ඝාතනය, රජතුමාව අපකීර්තියට පත් කරලා, රජතුමාට තියෙන ජනතා ප්‍රසාදය නැති කරන්න, පෘතුගීසීන් ගොතපු කතාවක්ය කියලයි.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

ප්‍රධාන කතාවට අනුව රාජසිංහ රජතුමා විසින් මායාදුන්නේ රජතුමාව ඝාතනය කළා කියලත්, පස්සෙ කාලයකදි ඒ ගැන කම්පා වෙන්න ගත්තා කියලත්, ඒ මානසික පීඩනයෙන් නිදහස් වෙන්න භික්ෂූන් වහන්සේලාගෙන් පිහිට පැතුවා කියලත්, පියාව ඝාතනය කිරීම ආනන්තරීය පාප කර්මයක් නොහොත් මරණින් පසුව ඒකාන්තයෙන්ම අපායගාමී වෙනවාය කියලා භික්ෂූන් වහන්සේලා ප්‍රකාශ කළාය කියලත්, තමන්ට පිහිට නොවූ නිසා රජතුමා භික්ෂූන් කෙරෙහි වෛර බැදගත්තාය කියලත්, අරිට්ඨකීවෙණ්ඩු යන හින්දු පූජකවරයා රජතුමාට හිතවත් වී පව් සමා කිරීමට හින්දු දහම වැළදගන්නා ලෙස යෝජනා කළ බවත්, රජතුමා හින්දු දහම වැළදගෙන හින්දු ආගම වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය ලබා දුන් බවත්, තමන්ට උපකාර නොකිරීම නිසා භික්ෂූන් වහන්සේලාට හිරිහැර කිරීම සහ වෙහෙර විහාර විනාශ කළ බවත් ප්‍රසිද්ධ කතාවේ සඳහන් වෙනවා.

ඔන්න දැන් තමයි ලිපියේ මාතෘකාව වෙන සීතාවක රාජධානියේ පරිහානිය ගැන සාකච්ඡා කරන්න අවස්ථාව උදා වෙන්නෙ.

01 වන හේතුව – මායාදුන්නේ රජතුමා ඝාතනය වීම
සීතාවක රාජධානියේ පරිහානියට බලපාපු ප්‍රධානතම සාධකය විදිහට මායාදුන්නේ රජතුමා ඝාතනය වීම හඳුන්වන්න පුලුවන්. ඒත් එක්කම ප්‍රධාන කතාවේ තියෙන විදිහට භික්ෂූන් වහන්සේලාට හිරිහැර කිරීමත් හඳුන්වන්න පුලුවන්. මේ නිසා මිනිස්සු ගොඩක් කළකිරුනා. කාලයක් අපේ රටේ බුදු දහමේ මුර දේවතාවා වුණු සීතාවක රාජ්‍ය, සීතාවක රාජ්‍යයේම පාලකයා වුණු රාජසිංහ රජතුමාගේ බෞද්ධ විරෝධී ප්‍රතිපත්තිය නිසා කඩා ගෙන වැටෙන්න ගත්තා. ජනතා පක්ෂපාතීත්වය නැත්තටම නැති වෙනවා.


Painting By – Prasanna Weerakkody

02 වන හේතුව – යුද්ධ වලටම මුල්තැන දීම
ඒ වගේම තමයි සීතාවක රාජ්‍යය ආරම්භ කෙරුණු දවසෙ ඉදලම යුද්ධ වලට මුල් තැන දීපු රාජ්‍යයක්. මේ නිසා සෙබළුන්ට, අලි ඇතුන්ට, අශ්වයන්ට, සෙබළුන්ගේ පවුල්වලට, සෞඛ්‍ය සහ ප්‍රථමාධාර පහසුකම් වලට, අවි ආයුධ නිෂ්පාදනයට, ආහාරපාන වලට හිතා ගන්නවත් බැරි වියදමක් දරන්න වුණා.

උදාහරණයක් විදිහට කොළඹ කොටුව වැටලීමේ මෙහෙයුමට විතරක් අවුරුදු දෙකක් ගත වෙනවා. මේකට සාමාන්‍ය සෙබළුන් 50,000ක්, අත් තුවක්කුකරුවන් 10,000ක්, අලි ඇතුන් 2,000ක් සහ කාලතුවක්කුකරුවන් 4,000ක් සහභාගී වෙලා තියෙනවා.

යුද්ධෙ දිහාවටම හැරිලා හිටපු නිසා අනෙක් ක්ෂේත්‍ර බිද වැටුණා. ආර්ථිකය බිංදුවටම බැස්සා. හම්බවෙන සුළු ආදායමත්, යුද්ධෙට වියදම් කළා. සාමයට ආරක්ෂාවට තර්ජන එල්ල වුණා. දීර්ඝ කාලීන සටන් නිසා මිනිස්සු කළකිරුණා. යුද්ධවලට නායකත්වය සහ ප්‍රමුඛත්වය දිගෙන යුද්ධම කිරීම, සීතාවක පරිහානියට තදින්ම බලපාලා තියෙනවා.


Painting By – Prasanna Weerakkody

03 වන හේතුව – පළමු විමලධර්මසූරිය රජතුමාගේ ජනප්‍රියත්වය
මේ දේවල් අස්සෙ මහනුවර අලුතින් රාජධානියක් ගොඩ නැගෙන්න ගත්තා. සීතාවක විරුද්ධවාදියෙක් වුණු “කොනප්පු බණ්ඩාර”, 1 වන විමලධර්මසූරිය ලෙස රජ වෙනවා. මේත් එක්කම විමලධර්මසූරිය රජතුමාගේ වටේට ජනතාව අත්වැල් බැදගන්නවා.

මහනුවර රාජධානිය කේන්ද්‍ර කරගෙන ප්‍රබල දේශපාලනයක්, සාමකාමි ව්‍යුහයක් සහ සමාජ රටාවක්, ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැගෙනවා. මේ නිසා සීතාවක මිනිස්සු වගේම කෝට්ටේ මිනිස්සුත් උඩරටට සංක්‍රමණය වෙන්න ගන්නවා.

04 වන හේතුව – පළමු රාජසිංහ රජතුමාගේ මිය යෑම
උඩරට අල්ලන්න අන්තිම සටන එල්ල කරපු රාජසිංහ රජ්ජුරුවන්, විමලධර්මසූරිය රජ්ජුරුවන් අතින් පරාජය වෙලා පසු බහින කොට, “පෙතන්ගොඩ” උයනෙදි උණ කටුවක් ඇනිලා මරණයට පත් වෙනවා.

සමහරු විශ්වාස කරනවා පෘතුගීසීන්ට පක්ෂපාති සිංහල වෛද්‍යවරයෙක් රජතුමාගේ රෝගය උත්සන්න වෙන්න හැරලා, ඝාතනය කළාය කියලත්. තවත් සමහරු විශ්වාස කරනවා රාජසිංහ රජතුමා, මායාදුන්නේ රජතුමාව ඝාතනය කරපු එකට සහ භික්ෂූන් වහන්සේලාට හිරිහැර කරපු එකට පලි ගන්න වෛද්‍යවරයා හිතාමතාම බෙහෙත් කිරීම පමා කරලා, රජතුමාව මියැදෙන්නෙ හැරියා කියලත්. කොහොමින් කොහොම හරි රජතුමාගේ මරණයත් එක්කම, සීතාවක රාජ්‍යය මුළුමනින්ම බිද වැටෙනවා.

05 වන හේතුව – සීතාවක රාජධානියට උරුමකරුවෙක් නොසිටීම
රාජසිංහ රජතුමාගෙන් පස්සෙ සිංහාසනයට හරිහමන් අනුප්‍රාප්තිකයෙක් හිටියෙ නෑ. ඒකත් සීතාවක රාජධානියේ පරිහානියට තදින්ම බලපානවා. එතුමාගෙන් පස්සෙ සිංහාසනයට පත්වුණේ දුර්වල පාලකයින්. ඊට පස්සෙ රාජසූරිය, නිකපිටියෙ බණ්ඩාර වගේ අය පාලන තනතුරු දැරුවත් ඒ හැම උත්සහයක්ම අසාර්ථක වෙනවා. නිකපිටියෙ බණ්ඩාරගෙන් පස්සෙ සීතාවක රාජධානිය පෘතුගීසීන්ට යටත් වෙනවා.

නිගමනය
ඉතින් මේ කරුණු වලින් පේනවා සීතාවක රාජධානියේ පරිහානිය ඇති වුණේ එක හේතුවක් නිසා නොවන බව. සීතාවක පරිහානියට හේතූන් කිහිපයක් බලපාලා තියෙනවා. සමහර හේතූන් ක්ෂණික හේතූන්. සමහර හේතූන් කාලයත් එක්ක ක්‍රමිකව ඇති වෙමින් සහ පවතිමින් තිබුණු හේතූන්. ඕනෑම දෙයකට ආරම්භයක්, පැවැත්මක් වගේම අවසානයකුත් තියෙනවා. ඉතින් ඒ කරුණ සීතාවක රාජධානියටත් පොදු වුණා.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

විශේෂ ස්තූතිය
01. නිමල් රණසිංහ මහතා (හිටපු නිළධාරී – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව | හිටපු උසස්පෙළ ඉතිහාසය විෂයභාර ආචාර්ය, කොළඹ ආනන්ද විද්‍යාලය)
02. මංගලිකා අබේසුන්දර මහත්මිය (හිටපු සාමාන්‍යපෙළ ඉතිහාසය විෂයභාර ආචාර්ය, කොළඹ ආනන්ද විද්‍යාලය)
03. ප්‍රසන්න වීරක්කොඩි මහතා (ප්‍රවීණ චිත්‍ර සහ මූර්ති ශිල්පී) | [License: 2022/01/30/15:00]
04. දේශාල් පණ්ඩිතගේ මහතා (ඉතිහාස ගවේෂක)

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.