ඡන්ද තුනක්, ප්‍රතිඵල තුනක්, 2024 ඉන්දීය මහමැතිවරණය ගැන කියන්නේ මොනවාද​?

December 13, 2022

ඉන්දියාවේ පසුගියදා පවත්වන ලද මැතිවරණ තුනකදී එරට ප්‍රධාන පක්ෂ තුනක් ජයග්‍රහණ තුනක් වාර්තා කළා. 2024 මහමැතිවරණයට තවත් යම් කාලයක් තිබුණ ද එම මැතිවරණය කරා යන ඉන්දියාවේ දේශපාලනික නැඹුරුවීම් පිළිබඳ කිසියම් අදහසක් මෙම මැතිවරණ තුළින් අපට ලබාගත හැකියි.

මැතිවරණ ත්‍රිත්වය​
2022 නොවැම්බරයේදී පවත්වන ලද හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණයේත්, 2022 දෙසැම්බරයේදී පවත්වන ලද දිල්ලි මහනගර සභා මැතිවරණයේත් ගුජරාට් ප්‍රාන්ත මැතිවරණයේත් ප්‍රතිඵල නොබෝදා නිකුත් වුණා. හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේදී කොන්ග්‍රස් පක්ෂය ජයග්‍රහණය කළ අතර දිල්ලි මහනගර සභාවේ ජය හිමිවූයේ ආම් ආද්මි පක්ෂයටයි. ගුජරාටයේ ප්‍රාන්ත සභා මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය වාර්තාගත ජයග්‍රහණයක් ලබාගත්තා.

හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේදී කොන්ග්‍රස් පක්ෂය සමස්ථ ආසන 68 න් 40 ක් දිනාගනිද්දී භාරතීය ජනතා පක්ෂයට හිමිවූයේ ආසන 25 ක් පමණයි. කෙසේ වෙතත් මෙහිදී පක්ෂ දෙක ලබාගත් ඡන්ද ප්‍රතිශතයන් විසින් ද වැදගත් කරුණක් හෙළිදරව් වුණා. කොන්ග්‍රස් පක්ෂය සමස්ථ ඡන්ද ප්‍රමාණයෙන් සියයට 43.9 ක් ලබාගනිද්දී භාරතීය ජනතා පක්ෂය ද සියයට 43 ක ඡන්ද ප්‍රමාණයක් ලබාගත්තා.

දෙපාර්ශවයේ සමස්ථ ඡන්දවල වෙනස වූයේ 38,000 ක් පමණයි. කෙසේ වෙතත් ඉන්දියාවේ පවතින කේවල ක්‍රමය හේතුවෙන් සහ හිමාචල් ප්‍රදේශයේ ප්‍රාන්ත ආසන එතරම් විශාල නොවීම හේතුවෙන් මෙම සුළු වෙනස වුවද තීරණාත්මක වුණා. එමෙන්ම භාරතීය ජනතා පක්ෂයෙන් විවිධ හේතු මත ඉවත්වූ කැරලිකාර මන්ත්‍රී අපේක්ෂකයන් 21 දෙනකු පමණ මැතිවරණයට ඉදිරිපත් වීම ද කොන්ග්‍රස් පක්ෂ ජයග්‍රහණයට ඉවහල් වුණා.


හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්ත ජයග්‍රහණයෙන් උද්දාමයට පත් කොන්ග්‍රස් ආධාරකරුවන් පිරිසක්

දිල්ලි මහනගර සභාවේ ආසන 250 ක් සඳහා පැවති මැතිවරණයේදී ආම් ආද්මි පක්ෂය ආසන 134 ක් දිනාගන්නට සමත් වූ අතර භාරතීය ජනතා පක්ෂයට ලැබුණේ ආසන 104 ක් පමණයි. කොන්ග්‍රස් පක්ෂය ආසන 9 ක් දක්වා පහළ වැටෙනු දකින්නට ලැබුණා.

ඡන්ද ප්‍රතිශත සැලකීමේදී ආම් ආද්මි පක්ෂය සියයට 42 ක් සහ භාරතීය ජනතා පක්ෂය සියයට 39 ක් ලබාගත්තා. මෙම ප්‍රතිඵලය ආම් ආද්මි පක්ෂය බලාපොරොත්තු වූ තරම් දැවැන්ත ජයග්‍රහණයක් නොවූවද වසර 15 ක් මුළුල්ලේ දිල්ලියේ මහනගර සභාවේ භාරතීය ජනතා පක්ෂ පාලනය ඉන් අවසන් වුණා.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

ගුජරාට් ප්‍රාන්තයේ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය ආසන 156 ක් දිනාගත්තා. මෙය එම ප්‍රාන්තයේ මැතිවරණ සඳහා වාර්තාවක් බවට ද පත් වුණා. කලින් එම වාර්තාව වූයේ කොන්ග්‍රස් පක්ෂය විසින් 1985 දී ලබාගත් ආසන 149 ක ප්‍රමාණයයි. එමෙන්ම භාරතීය ජනතා පක්ෂය පිටපිටම හත්වන වරටත් ගුජරාට් ප්‍රාන්ත මැතිවරණය ජයගැනීම ද විශේෂත්වයක් වුණා. ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණයකදී පිට පිට හත්වරක් ජයග්‍රහණය ලැබූ අවස්ථා ඇත්තේ දෙකක් පමණයි. ඉන් මුල් අවස්ථාව වන්නේ වාමාංශික පෙරමුණ බටහිර බෙංගාල ප්‍රාන්තය පිට පිට හත්වරක් ජයගැනීම යි.

ගුජරාට් මැතිවරණයේදී කොන්ග්‍රස් පක්ෂය ඓතිහාසික කඩාවැටීමක් සටහන් කරමින් ආසන 17 කට පල්ලම් බැස්සා. ආම් ආද්මි පක්ෂය ආසන 5 ක් දිනාගත්තේ සියයට 12.82 ක ඡන් ද ප්‍රතිශතයක් ද සමගින්. කලින් කොන්ග්‍රස් පක්ෂයට තිබූ ඡන්ද පදනමෙන් කොටසක් ආම් ආද්මි පක්ෂය විසින් කඩාගනු ලැබුණ බව මේ අනුව පෙනී යනවා. කෙසේ වෙතත් ආම් ආද්මි පක්ෂය හොඳ ප්‍රතිඵල පෙන්නුම් කළේ සෞරාෂ්ට්‍ර සහ සූරත් ප්‍රදේශවල පමණක් වීම ද විශේෂත්වයක්.


Click on the Image

අනාගතය දෙස බැලීම​
එළඹෙන 2023 වසර යනු ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත මැතිවරණ කිහිපයක්ම පැවැත්වීමට නියමිත වසරක්. ඒ අතර කර්ණාටක, තෙලන්ගනා, රාජස්ථාන්, චත්තිස්ඝර් සහ මධ්‍ය ප්‍රදේශ් මැතිවරණ පිළිබඳ විශේෂ අවධානයක් යොමුවනු ඇති. මෙම මැතිවරණ 2024 මහමැතිවරණය සඳහා පෙරහුරු අවස්ථා ලෙස සැලකීමට අවස්ථාව තිබෙනවා.

ගුජරාට් මැතිවරණය ඇතුළු මෑතකදී නිමාව දුටු මැතිවරණ තුන ආශ්‍රයෙන් ජයග්‍රාහී පක්ෂ තුන පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්නුම් කිරීමට හැකියි. එකක් නම් භාරතීය ජනතා පක්ෂයේ සාර්ථකත්වය කෙරෙහි අගමැති නරේන්ද්‍ර මෝදිගේ පුද්ගලික ප්‍රතිරූපයෙහි වැදගත්කමයි. මෝදි ද ගුජරාටි ජාතිකයකු වීම එම ප්‍රාන්තයේ මැතිවරණයේදී ඉතා වැදගත් සාධකයක් බවට පත්වුණා. සත්‍ය වශයෙන්ම භාරතීය ජනතා පක්ෂය ඡන්දය ඉල්ලා සිටියේ එය මෝදි වෙනුවෙන් ලබාදෙන ඡන්දයක් ලෙසයි. හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේදී ද මෝදි මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අවතීර්ණ වූ අතර සිය ආසනයේ අපේක්ෂකයා කවුරුන් වුවත් තමන් ගැන සලකා භාරතීය ජනතා පක්ෂයට ඡන්දය ලබාදෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියා. එහෙත් හිමාචල් ප්‍රදේශ් හිදී ඔහුගේ ඉල්ලීම ස්වකීය පක්ෂය වෙත ජයග්‍රහණය ළඟා කළේ නැහැ.


ගුජරාට් මහ ඇමති භුපේන්ද්‍ර පටෙල් (වමේ)

කොන්ග්‍රස් පක්ෂය ගුජරාට් මැතිවරණය පිළිබඳ විශාල අවධානයක් යොමුකරනු දක් නට ලැබුණේ නැහැ. නමුත් හිමාචල් ප්‍රදේශ් හිදී ඔවුන් ඊට වඩා අවධානයක් මැතිවරණය කෙරෙහි යොමු කළා. එම මැතිවරණයෙන් පෙන්නුම් කළ කරුණ වූයේ කොන්ග්‍රස් පක්ෂයට තවමත් යම් යම් ස්ථානවලදී සංවිධානාත්මක මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙලක් ඔස්සේ භාරතීය ජනතා පක්ෂයට අභියෝග කළ හැකි බවයි.

ගුජරාටය පිළිබඳ ඔවුන් අඩු අවධානයක් යොමු කිරීම කිසියම් උපක්‍රමික පසුබැසීමක්දැ යි පැහැදිලි නැහැ. ගුජරාටය ජයග්‍රහණය කළ නොහැකි බව දිස්වූ හෙයින් එහි තරගය කෙරෙහි විශාල අවධානයක් නුදුන්නා යයි ද සිතිය හැකියි. දේශපාලනික උපක්‍රමයක් ලෙස එය කෙතරම් සාර්ථක පියවරක්ද යන්න විවාදාත්මක කරුණක්.

@elearninglk

කෙසේ හෝ වේවා, එළඹෙන කර්ණාටක මැතිවරණය කොන්ග්‍රස් පක්ෂයට හොඳ තරගයක් ලබාදීමට හැකි අවස්ථාවක් ලෙස පැහැදිලිව සඳහන් කිරීමට හැකියාව තිබෙනවා. කර්ණාටකයේ භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව ඉතා අසාර්ථක පාලනයක් ගෙනයන අතර එම ප්‍රාන්තය තුළ කොන්ග්‍රස් පක්ෂ සංවිධාන ශක්තිය ද ඉහළ මට්ටමක පවතිනවා. එහෙයින් එය භාරතීය ජනතා පක්ෂයට ඉදිරියේදී එළඹෙන අපහසුම මැතිවරණය වීමට ඉඩ තිබෙනවා.

ආම් ආද්මි පක්ෂය දිල්ලියේ සිය ස්ථාවරය තවත් ශක්තිමත් කළ බව අපට මෙම මැතිවරණවලදී දිස්වුණා. එමෙන්ම ගුජරාට ප්‍රතිඵලයත් සමග එය ජාතික දේශපාලන පක්ෂයක් ලෙස මැතිවරණ කොමිසමෙහි පිළිගැනීම ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම් සපුරාලීමට සමත් වුණා.

කෙසේ වෙතත් එයට සැබෑ ලෙසම ජාතික මට්ටමේ දේශපාලන පක්ෂයක් ලෙස ඉස්මතු වීමට තවත් බොහෝ කලක් ගතවන බව මෙම මැතිවරණය තුළින් පෙන්වා දෙනු ලැබුණා.

ගුජරාටයේ කළ විශාල ප්‍රචාරක වැඩපිළිවෙලින් ද පසු ඊට ලැබී ඇත්තේ සියයට 13 කටත් අඩු ඡන්ද ප්‍රතිශතයක් වන අතර එය ද ගුජරාටයේ ඇතැම් ප්‍රදේශයන්ට සීමා වී තිබෙනු දකින්නට ලැබෙනවා. ගුජරාට් ප්‍රාන්ත මැතිවරණයේ ආසන 182 න් අඩකදී පමණ ආම් ආද්මි පක්ෂය සියයට දහයේ සීමාවට පවා ළඟා වූයේ නැහැ.


දිල්ලි ජයග්‍රහණය සමරන ආම් ආද්මි පක්ෂ ප්‍රබලයෝ

තවද ආම් ආද්මි පක්ෂය සිය ප්‍රධානම ප්‍රතිවාදියා ලෙස මෙම අවස්ථාවේදී සලකන්නේ කොන්ග්‍රස් පක්ෂයයි. එක් අතකින් ඇතැම් විවාදාත්මක කරුණුවලදී ආම් ආද්මි පක්ෂය, භාරතීය ජනතා පක්ෂය සමග එකම මතයක සිටින බව හෝ නිහඬතාවය රකින බව පෙනී යනවා. අනෙක් අතට ඔවුන් විපක්ෂයේ ප්‍රධානම බලවේගය බවට පත්වීමේ අභිලාශය සහිතව කොන්ග්‍රස් පක්ෂය සමග ගැටෙන බවත් පෙනී යනවා. දුර්වලතා එමට තිබුණත්, කොන්ග්‍රස් පක්ෂය සතුව තවමත් සැලකියයුතු ජන පදනමක් පවතින හෙයින් එම පක්ෂය අභිබවා යාම ආම් ආද්මි පක්ෂයට කිසිසේත්ම පහසු වන්නේ නැහැ.

මේ සියළු කරුණු අනුව එක් දෙයක් පැහැදිලිව පෙනී යනවා. 2024 ඉන්දීය මහමැතිවරණයේදී නරේන්ද්‍ර මෝදිට අභියෝග කළ හැකි ප්‍රතිරූපයක් සහ ජාතික මට්ටමේ ජන පදනමක් සහිත නායකයකු විපක්ෂය තුළින් බිහිවීමේ ඉඩක් මෙතෙක් දිස්වන්නේ නැහැ.


Click on the Image

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.