ඉතියෝපියාවේ ටිග්‍රේ යුද්ධය කණපිට හැරෙයි

ඉතියෝපියාවේ ටිග්‍රේ ප්‍රදේශයේ 2020 නොවැම්බර් මාසයේදි යුධ තත්ත්වයක් ඇතිවුණා. ඊට හේතු වූයේ ටිග්‍රේ ප්‍රදේශය පාලනය කළ ටිග්‍රේ මහජන විමුක්ති පෙරමුණ (TPLF) මර්ධනය කිරීම සඳහා එරට රජය සහ වෙනත් ප්‍රාන්ත සමහරක මිළීෂියා කණ්ඩායම් එක්ව එල්ල දියත් කළ යුධ මෙහෙයුමයි. සති කිහිපයක් තුළ ටිග්‍රේ ප්‍රාන්තයේ අගනුවර වූ මෙකෙල්ලේ ප්‍රදේශය ඉතියෝපියානු හමුදා අතට පත්වුණා. එයින් අනතුරුව යුද්ධය අවසන් බව ඉතියෝපියානු අගමැති අබියි අහමඩ් ක්‍රියාකළා. TPLF සංවිධානය පරාජය භාර නොගත් අතර දිගටම සටන් වදින බව ශපථ කර සිටියා. නමුත් ඔවුන් විශාල තර්ජනයක් වේ යයි වැඩි දෙනෙක් විශ්වාස කළේ නැහැ.

කෙසේ වෙතත් 2021 ජූනි මස අවසාන දවස් එළඹෙද්දි TPLF සංවිධානය සිය ප්‍රතික්‍රියාව දක්වන බව පෙනෙන්නට වුණා. දින කිහිපයක් තිස්සේ පැවති සටන් හේතුවෙන් ඉතියෝපියානු හමුදා මෙකෙල්ලේ නගරයෙන් ඉවත් වූයේ ඒක පාර්ශවිකව සටන් විරාමයක් පවා ප්‍රකාශයට පත්කරමින්. රජය පැවසූයේ මෙම සටන් විරාමය පැළ සිටුවන​ සමය තෙක්, එනම් සැප්තැම්බර් මාසය තෙක් පවතිනු ඇති බවයි.

2021 ජූනි 28 වනදා උදෑසන වනවිට ප්‍රාන්තයේ අන්තර්වාර රජයේ නියෝජිතයන් මෙකෙල්ලේ නගරය අතැර යමින් සිටියා. තම හමුදා මෙකෙල්ලේ නගරයට ඇතුල් වූ බව TPLF ප්‍රකාශකයකු එදිනම රොයිටර්ස් පුවත් සේවය සමග කියා සිටියා. මෙසේ TPLF හමුදා පැමිණීමත් සමග නගරයේ ජනයා ප්‍රීතිඝෝෂා කරන්නට වූ බව වාර්තා වනවා.

ටිග්‍රේ බෙදීම
ඉතියෝපියාව 1974 සිට 1991 දක්වා පාලනය කළේ මාක්ස්වාදී ඒකාධිපති පාලන තන්ත්‍රයක් විසින්. ඊට එරෙහිව අවිගත් අරගලයක් මෙහෙයවූ ප්‍රධානම සංවිධාන දෙකෙන් එකක් වූයේ TPLF සංවිධානයයි. අනෙක් සංවිධානය එරිත්‍රියාවේ මහජන විමුක්ති පෙරමුණයි. ඔවුන් එරිත්‍රියාවේ ස්වාධීනත්වය උදෙසා සටන් කළා. පසු කලෙක තවත් සංවිධාන තුනක් හා එක්ව විපක්ෂ සන්ධානයක් පිහිටුවාගැනීමට TPLF සංවිධානය කටයුතු කළා. ඉතියෝපියානු මහජන විප්ලවකාරී ප්‍රජාතාන්ත්‍රික පෙරමුණ (EPRDF) නම් වූ එහි වැඩි බලයක් තිබුණේ TPLF සංවිධානයට යි.


ඉතියෝපියාවේ ප්‍රාන්ත​

1991 දී මාක්ස්වාදී රජය බිඳවැටුණ අතර EPRDF සේනා අඩිස් අබාබා අගනුවර අල්ලා ගත්තා. 1993 දී එරිත්‍රියාව නිදහස් රාජ්‍යයක් බවට පත්වුණා.

ඉතියෝපියාවේ බලය දිගටම EPRDF පක්ෂය අත පැවති අතර එහි ප්‍රබලම තනි පක්ෂය ලෙස TPLF පක්ෂය එහි සැබෑ බලය දරන්නන් බවට පත්වුණා. සන්නද්ධ හමුදාවන්හි ද ප්‍රධාන නිලතල බොහොමයක් වූගේ ටිග්‍රේවරුන් අතයි.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

මේ අතර කලින් පොදු සතුරාට එරෙහිව සටන්කළ ටිග්‍රේවරුන් සහ එරිත්‍රියානුවන් 1990 දශකය මැද වනවිට ගැටෙන්නට වුණා. ඉතියෝපියාව සහ එරිත්‍රියාව අතර දේශසීමා ගැටුම් ඇතිවූ අතර එරිත්‍රියාවට යාබදව පිහිටි ටිග්‍රේ ප්‍රාන්තය මෙම සටනේ පෙරමුණේම සිටියා.

කෙසේ වෙතත් ටිග්‍රේවරුන් ඉතියෝපියාවේ සමස්ථ ජනගහනයෙන් නියෝජනය කළේ සියයට හයක් වැනි කුඩා ප්‍රතිශතයක් පමණයි.

කලක් තිස්සේ විශේෂයෙන්ම ඔරෝමෝ ජාතිකයන් විසින් කළ උද්ඝෝෂණ හමුවේ 2018 දී EPRDF පක්ෂය තුළ බලයෙහි වෙනසක් සිදුවුණා. අබියි අහමඩ් බලයට ආවේ ඒ අනුවයි. ටිග්‍රේවරුන් කෙමෙන් පසෙකට තල්ලු කරනු ලැබුණා.

2019 දී අහමඩ් TPLF පක්ෂය නොමැතිව EPRDF සන්ධානයේ වූ අනෙක් පක්ෂ තුන එක්කර සෞභාග්‍ය පක්ෂය (Prosperity Party) නම් නව දේශපාලන පක්ෂයක් පිහිටවූවා. TPLF හි බලය ටිග්‍රේ පළාතට සීමා වුණා.


අබියි අහමඩ්​

දෙපාර්ශවය අතර මතුවෙමින් පැවති ගැටුම් උත්සන්න වීමෙන් 2020 නොවැම්බර් මාසයේ ඉතියෝපියානු ෆෙඩරල් හමුදා ටිග්‍රේ වෙත පහර දුන්නා. ටිග්‍රේ හි ශක්තිමත් මිලීෂියා සංවිධානයක් තිබීමත්, ප්‍රවීණ හමුදා සාමාජිකයන් රැසක් එහි වීමත් නිසා ඔවුන් වෙතින් ෆෙඩරල් හමුදා වෙත බරපතල තර්ජනයක් එල්ල වේ යයි අපේක්ෂා කෙරුණ නමුත් සිදුවූයේ අනෙකක්. සති කිහිපයක් තුළදී ටිග්‍රේ ප්‍රදේශය අල්ලාගත් බව ඉතියෝපියානු රජය පැවසුවා.

වැරදුණ තැන
කෙසේ වෙතත් ටිග්‍රේ ජනතාව තුළ ඉතියෝපියානු ෆෙඩරල් හමුදා පිළිබඳ ප්‍රසාදයක් වූයේ නැහැ. එමෙන්ම ඉතියෝපියානුවන් ටිග්‍රේ යුද්ධයේදී එරිත්‍රියානුවන්ගේ සහය ලබාගැනීම සහ එම හමුදා ටිග්‍රේ හි සිදුකරන අද යුධ අපරාධ හේතුවෙන් ද ජනතාවගේ කෝපය වර්ධනය වෙමින් තිබුණා.

මේ අතර මෙකෙල්ලේ ප්‍රදේශය වැනි නාගරික ප්‍රදේශ ෆෙඩරල් හමුදා අතට පත්වූ නමුත් ගම්බද ප්‍රදේශයන් පාලනය කරන්නේ තමන් බව TPLF සංවිධානය වරක් ප්‍රකාශ කළා. TPLF ප්‍රබලයින් ඇතමෙක් රජයේ භාරයට පත්වූ අතර ඇතැමුන් රජයේ හමුදා අතින් මියගියා. නමුත් සැලකියයුතු පිරිසක් ෆෙඩරල් හමුදාවන් වෙතින් ගැලවී සිටියා. ෆෙඩරල් රජය විසින් TPLF සංවිධානය ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම්කර ඔවුන් සොයාගිය ද බොහෝ දෙනෙකු සැඟව යන්නට සමත් වුණා.

ජූනි 21 වනදා ඉතියෝපියාවේ මහමැතිවරණය පවත්වනු ලැබුණා. මෙහිදී ටිග්‍රේ ප්‍රාන්තයේ ඡන්ද විමසීම පවත්වනු ලැබුණේ නැහැ. කෙසේ වෙතත් මෙම මැතිවරණයට සමගාමීව TPLF සංවිධානය ෆෙඩරල් හමුදා ඉලක්ක කරගෙන ප්‍රහාර දියත් කළා. මෙකෙල්ලේ නගරය ඔවුන් අතට පත්වූයේ ඒ අනුවයි.

ජාත්‍යන්තරය තුළ සාමාන්‍යයෙන් TPLF සංවිධානය දෙසට වැඩි සහයෝගයක් ලැබෙන නැඹුරුවක් තිබුණා. ඉතියෝපියානු සහ එරිත්‍රියානු ක්‍රියාකලාපයන් ඊට හේතු වුණා. කෙසේ වෙතත් ෆෙඩරල් රජය මෙම අවස්ථාවේ සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීමෙන් යුද්ධය දිගටම පවත්වාගැනීමේ වරද TPLF සංවිධානය වෙත පටවන්නට උත්සුක වන බවක් පෙනී යනවා.

මේ අතර එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව නැවතත් සටන් විරාමයක අවශ්‍යතාව පිළිබඳ අවධාරණය කර තිබෙනවා. ඉතියෝපියානු රජයේ යුධමය පසුබැසීම හේතුවෙන් ටිග්‍රේ ගැටළුවට කිසියම් දේශපාලනික විසඳුමක් ලැබේද යන කුකුස මේ වනවිට නිර්මාණය වී තිබෙනවා.

මූලාශ්‍රයන්
1. The Guardian : Interim government of Tigray flees as rebels seize the capital
2. Al Jazeera : Tigray rebels vow to drive out ‘enemies’ despite ceasefire

ටිග්‍රේ යුද්ධයේ පසුබිම
ටිග්‍රේ යුද්ධයේ පසුබිම දැනගැනීමට කියවන්න >>> https://elearning.lk/blog/tigray-war-in-ethiopia/

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.