ඉතියෝපියානු හමුදා නැවතත් ටිග්‍රේ දෙසට

October 26, 2021

ඉතියෝපියානු හමුදා පසුගිය දිනවල නැවත වරක් ටිග්‍රේ ප්‍රදේශයේ හමුදා මෙහෙයුම් දියත් කළ බව ටිග්‍රේ මහජන විමුක්ති පෙරමුණ ප්‍රකාශ කර තිබුණා. පසුගිය මාස කිහිපයේදි TPLF සංවිධානය ටිග්‍රේ යුද්ධය අනෙක් අත හැරවූ පසු ඉතියෝපියානු හමුදා නැවත සිය බලය තහවුරු කරගන්නට කරන උත්සාහයේදී මෙම තත්ත්වය මතුව තිබෙනවා.

2020 නොවැම්බර් මාසයේදී ඉතියෝපියානු හමුදා ටිග්‍රේ ප්‍රදේශයට එරෙහිව සිදුකළ මෙහෙයුම් බලාපොරොත්තු නොවූ තරම් වේගයෙන් සාර්ථක වුණා. එහිදී ඉතියෝපියානු හමුදාවලට එරිත්‍රියාවෙන් ද සහය ලැබුණා. මෙහිදී සිදුවූ පසුබෑමෙන් පසු බොහෝදෙනා TPLF හි යළි නැගිටීමක් බලාපොරොත්තු වූයේ නැහැ.

නමුත් 2021 ජූනි මාසයේදී TPLF සංවිධානය නැවත රජයේ හමුදා වෙත පහර දෙන්නට පටන්ගත්තා. මෙම ප්‍රහාර කෙතරම් සාර්ථක වූයේද කියතොත් TPLF සංවිධානයට එරෙහිව සටන් කිරීම සඳහා හැකි සෑම අයකුගේම සහය අවශ්‍ය බවට රජය ප්‍රකාශ කළා.

අම්හාරා සහ අෆාර් වෙත ප්‍රහාර
ජූලි මාසය වනවිට TPLF හමුදා යාබද අෆාර් සහ අම්හාරා ප්‍රදේශයන් වෙත ද තර්ජනය කරන්නට වුණා. අම්හාරා ප්‍රදේශයේ මිලීෂියා කණ්ඩායම් ඉතියෝපියානු හමුදා සමග සහයෝගයෙන් කටයුතු කර තිබීම හේතුවෙන් ඔවුන් TPLF ඉලක්ක බවට පත්වුණා. අෆාර් ප්‍රදේශයට කඩාවැදීම වඩාත්ම වැදගත් වූයේ උපක්‍රමිකවයි. ඇතැම් විචාරකයන් ප්‍රකාශ කළ පරිදි එහි අරමුණ වූයේ අඩිස් අබාබා අගනුවර සිට ජිබුටි රාජ්‍යය වෙත වන දුම්රිය මාර්ගය අල්ලා ගැනීමයි. එසේ සිදුකළේ නම් ඉතියෝපියානු ආර්ථිකයට එයින් දරුණු පහරක් වදින්නට නියමිතව තිබුණා.


ඉතියෝපියාවේ පළාත් (Geopolitical Futures)

කෙසේ වෙතත් මෙම ප්‍රහාර හේතුවෙන් සිදුවූයේ TPLF සංවිධානය තම ශක්ති ප්‍රමාණයට වඩා වැඩියෙන් වෙහෙසට පත්වීමයි. මේ අතර රජය කෙරෙහි කලකිරීමෙන් සිටින ජනවර්ග තමන් වෙත ඒකරාශී කරගැනීමේ උත්සාහයක් ද TPLF විසින් ගනු ලැබුණා. එහෙත් එය ද වැඩි සාර්ථකත්වයක් පෙන්නුම් කළේ නැහැ. ඊට හේතුව වූයේ TPLF සංවිධානය කෙරෙහි ද ඔවුන් අතර එතරම් ප්‍රසාදයක් නොවීමයි. 2018 ට පෙර ඉතියෝපියාවේ බලය ප්‍රධාන වශයෙන් තිබුණේ TPLF සංවිධානය අත බැවින් එකල සිදුවූ අකටයුතුකම්වලට එම සංවිධානය වගකිවයුතු වීම ඊට හේතුවයි.

ඔක්තෝබර් ප්‍රහාර
අම්හාරා සහ අෆාර් ප්‍රදේශ වෙත එල්ල වූ ප්‍රහාර අසාර්ථක වීමෙන් පසු ඔක්තෝබර් මුලදී රජයේ හමුදා නැවත ප්‍රහාර සඳහා සූදානම් වන බව වාර්තා වුණා. වියළි කාලය පැමිණීමත් සමග මෙම මෙහෙයුම් ඇරඹේ යයි විචාරකයන් අනුමාන කළා. රජයේ හමුදා මේ පිළිබඳ මුලින් වාර්තා නොකළ නමුත් TPLF සංවිධානය මේ පිළිබඳ වාර්තා කළා. එමෙන්ම අම්හාරා හි උතුරුදිග ප්‍රදේශයන් හි විශාල හමුදා සේනාංක ඒකරාශී වන බව ද ඔවුන් ප්‍රකාශ කළා.


ඉතියෝපියානු හමුදා (AP)

අගමැති අබියි අහමඩ් තවත් වසර පහක ධූර කාලයක් සඳහා ඔක්තෝබර් 4 වනදා දිවුරුම් දුන්නා. එයින් දින කිහිපයකට පසු ඉතියෝපියානු සේනාංක සිය ගොඩබිම් මෙහෙයුම් ඇරඹූ බවයි TPLF ප්‍රකාශකයින් සඳහන් කළේ. මේ අතර අෆාර් දෙසින් එල්ල වූ ප්‍රහාර මැඩපැවැත්වීම සමත් වූ බව ද ඔවුන් ප්‍රකාශ කළා.

ඔක්තෝබර් 20 වනදා TPLF ප්‍රකාශක ගෙටශෙව් කේ. රෙඩා කියා සිටියේ දෙවන වතාවට ද ඉතියෝපියානු ගුවන් හමුදා ටිග්‍රේ පළාතේ අගනුවර වන මෙකෙල්ලේ වෙත පහරදුන් බවයි. ටිග්‍රේ නායක දෙබ්‍රෙත්සියොන් ගෙබ්‍රෙමයිකල් රොයිටර්ස් පුවත් සේවය සමග ප්‍රකාශ කළේ මෙම ප්‍රහාර මගින් පෙනෙන්නේ යුධ පෙරමුණේදී ඉතියෝපියානු හමුදාවල අසරණභාවය බවයි. ඔවුන් ගොඩබිම් සටන්වලදී පරාජය වන බැවින් සිවිල් වැසියන් ඉලක්ක කරගෙන මෙසේ පහරදෙන බවත් ඉන් පෙනෙන්නේ ටිග්‍රේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත ඔවුනට වැදගත් නොවන බවත් යයි ගෙබ්‍රෙමයිකල් පවසනවා.


මෙකෙල්ලේ වෙත එල්ල වූ ගුවන් ප්‍රහාරයට පසු (Getachew K. Reda)

කෙසේ වෙතත් ටිග්‍රේ සිවිල් වැසියන් ඉලක්ක කරගෙන ගුවන් ප්‍රහාර එල්ල කළ බවට වන චෝදනාව ඉතියෝපියානු රජය විසින් ප්‍රතික්ෂේප කෙරුණා. ඔවුන් සඳහන් කළේ එම ප්‍රහාරවල ඉලක්කය වූයේ ටිග්‍රේ සන්නිවේදන ජාලය බවයි.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

ගොඩබිමදී යම් යම් ප්‍රදේශවලින් ටිග්‍රේ හමුදා පසුබැස සිටියද ඔවුන්ට බරපතල හානි සිදුවූ බවක් වාර්තා වූයේ නැහැ. එහෙයින් ඔවුන් සිය හමුදා වෙනත් වෙනත් ප්‍රදේශයන් හි රඳවන්නට ඇතැයි ඇතැම් විචාරකයන් අනුමාන කරනවා.

එක්සත් ජාතීන් සමග ගැටුම
මේ අතර එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් සත් දෙනකුට සිය රටින් පිටවන ලෙස ඉතියෝපියානු රජය විසින් නියෝග කෙරුණේ 2021 ඔක්තෝබර් 7 වනදායි. ඔවුන් වැරදි දත්ත ඉදිරිපත් කරමින් ජනතාවගේ කුසගින්න යුධ අවියක් ලෙස භාවිතා කරන බවට කරුණු ගෙන දැක්වූ බවත් TPLF වෙත පක්ෂපාතීත්වය දැක්වූ බවත් ඉතියෝපියාව චෝදනා කරනවා. එක්සත් ජාතීන්ගේ කාර්යය මණ්ඩලයෙහි කටයුතු පිළිබඳ තමන් ජූලි මාසයේදී එක්සත් ජාතීන් වෙත ලිඛිතව දැන්වූ බවත් ඉතියෝපියාව වැඩිදුරටත් කියා සිටිනවා.

කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටෙරෙස් මෙම ස්ථාවරය පිළිගන්නේ නැහැ. තම නිලධාරීන් පක්ෂපාතී ලෙස කටයුතු කළ බවට පැහැදිලි සාක්ෂි ඔහු ඉල්ලා සිටියා. එක්සත් ජාතීන්ගේ ගෞරවය ආරක්ෂා කිරීම තම වගකීම බව ද එහිදී ඔහු පැහැදිලි කළා.

ටිග්‍රේ යුද්ධය ඇරඹුණු පසු විශාල පිරිසක් යාබද සුඩානයට පළාගියා. එමෙන්ම මානුෂීය ආධාර එම ප්‍රදේශයට ළඟාවීමට බාධා පැමිණෙන බවට වාර්තා නිරන්තරයෙන් ලැබුණා.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.