ට්‍රම්ප්ගෙ සමාජ මාධ්‍ය ජාලය සාර්ථක වෙයිද?

October 28, 2021

මේ දිනවල සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ කරුණු කතාබහට ලක්වනවා. ඒ අතරින් හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආරම්භ කිරීමට සූදානම් වන නව සමාජ මාධ්‍ය ජාලය පිළිබඳ පුවතට ද විශාල අවධානයක් යොමුවුණා. විශේෂයෙන්ම ට්‍රම්ප් ප්‍රධාන සමාජ මාධ්‍ය කිහිපයකින්ම වාරණයට ලක්ව තිබීමත් සමාජ මාධ්‍ය පිළිබඳ මේ දිනවල අසන්නට ලැබෙන වෙනත් ඇතැම් ප්‍රවෘත්තිත් හේතුවෙන් එම උද්‍යෝගය තවත් වැඩි වනවා.

TRUTH SOCIAL නම් වන ට්‍රම්ප්ගේ නව සමාජ මාධ්‍ය ජාලය නිකුත් කිරීමට නියමිතව ඇත්තේ Trump Media & Technology Group නම් ආයතනය හරහායි. මෙය Digital World Acquisition Corp (DWAC) නම් සමාගම හා ඒකාබද්ධ වන බව නිවේදනය කෙරුණා. එමගින් DWAC හරහා එහි කොටස් අලෙවි කිරීමට ද හැකිවුණා. මෙහිදී සමාගමේ කොටස් පිළිබඳ විශාල උද්‍යෝගයක් ඇතිවීමෙන් කොටස් මිළ සීඝ්‍ර ලෙස ඉහළ ගියා.

ට්‍රම්ප්ගේ අරමුණ
සමාජ මාධ්‍ය ජාලයක් ඇරඹීමේදී ට්‍රම්ප්ගේ එක් අරමුණක් වනු ඇත්තේ මුදල් ඉපයීමයි. එහෙත් මුදල් ඉපයීම පමණක් ඔහුගේ අරමුණ නොවේ.

සාමාන්‍ය ජනප්‍රිය සමාජ මාධ්‍යවලින් ඉවත් කරනු ලැබ සිටින ඔහුට වෙනත් අවකාශයක් නිර්මාණය කිරීමට අවශ්‍යව තිබෙනවා. ඊට TRUTH SOCIAL හොඳ අවස්ථාවක් වනු ඇත.

ඔහු මෙම නව සමාජ මාධ්‍ය ජාලය පිළිබඳ නිවේදනය කරන මුල් අවස්ථාවේම කියා සිටියේ දැවැන්ත ටෙක් සමාගම්වල, ඔහුගේ වචනවලින් කිවහොත් දුර්දාන්ත පාලනයට එරෙහිව, තමන් මෙම ආයතනය පිහිටුවන බවයි. තම අරමුණ වන්නේ ඇමරිකාව බේරාගැනීම බව ඔහු පසු දිනෙක කියා සිටියා.

ඔහු පවසා සිටියේ තමන් වැනි පිරිස් සමාජ මාධ්‍යවලින් ඉවත් කිරීමෙන් එම සමාගම් වාද විවාද සඳහා ඇති අවකාශය අහුරා ඇති බවයි.


ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය ජාලය ගැන රිපබ්ලිකන් පාක්ෂිකයන් තුළ සැලකිය යුතු උද්‍යෝගයක් තිබෙනවා

ෆේස්බුක්, ට්විටර් සහ යූ ටියුබ් වැනි සමාජ මාධ්‍යවලින් ඔහුව ඉවත් කිරීම පිළිබඳ ට්‍රම්ප් තවමත් සිටින්නේ නොසතුටෙන්.

ඔවුන් සමග තරග කිරීම ට්‍රම්ප්ගේ එක් අරමුණක් වනවාට කිසිදු සැකයක් නැහැ. ගැටළුව වන්නේ ඒ සඳහා ට්‍රම්ප්ට අවස්ථාවක් තිබේද යන්නයි.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

ට්‍රම්ප්, සකර්බර්ග් අභිබවා යයිද?
ෆේස්බුක්, ට්විටර් වැනි සමාගම් සමග තරග කිරීමට සහ තම හඬ වැඩි පිරිසකට ඇසෙන්නට සැලැස්වීම යන කරුණුවලදී ට්‍රම්ප් කෙතරම් සාර්ථක වේදැයි සත්‍ය වශයෙන්ම සැක සහිතයි. ට්‍රම්ප්ගේ අනුගාමිකයන් සහ ෆේස්බුක් වෙතින් එළවා දමන ලද වෙනත් අයෙක් වේ නම් එවැන්නෙක් TRUTH SOCIAL වෙත පැමිණෙන්නට හැකියාව තිබෙනවා. කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ විරුද්ධවාදීන් එහි පැමිණේද යන්න සැක සහිතයි.

ෆේස්බුක් සමාජ ජාලය උදාහරණයක් ලෙස ගතහොත්, පැහැදිලිව පෙනෙන කරුණක් නම්, එහි සාර්ථකත්වයේ එක් සාධකයක් වන්නේ බොහෝදෙනා එය පරිශීලනය කිරීම බවයි. මෙය අතිශයින්ම වැදගත් කරුණක්. මෙහි අර්ථය නම් ෆේස්බුක් සාමාන්‍ය ස්මාර්ට් ෆෝන් එකක් අත ඇති අයකුගේ ජීවිතයේ අංගයක් බවට පත්ව තිබීමයි. එවැනි මට්ටමකට TRUTH SOCIAL කෙටි කාලයකින් ළඟාවනු ඇතැයි සිතීම අපහසුයි. අනෙක් අතට මෙම සමාජ මාධ්‍ය ජාලය ඇරඹීම දේශපාලනික අවශ්‍යතාවයක් විසින් තීරණය වූවක් හෙයින් එයට දේශපාලන නැඹුරුව ඇති පුද්ගලයන් විශාල වශයෙන් පැමිණේදැයි පැහැදිලි නහැ. ට්‍රම්ප්ගේ දේශපාලනය පිළිබඳ උනන්දුවක් නොදක්වන අය පොදුවේ එම සමාජ මාධ්‍යජාලය නොසලකා හරින්නත් ඉඩ තිබෙනවා.


සකර්බර්ග්ටත් ප්‍රශ්න ද නැත්තෙ?

කෙසේ වෙතත් මෙම අඩුව එක්තරා මට්ටමකට සම්ප්‍රදායික මාධ්‍ය විසින් පුරවන්නට ඉඩකඩ තිබෙනවා. ට්‍රම්ප් පුවත් මවන්නකු වන හෙයින් ඔහු TRUTH SOCIAL හි පළ කරන දේ පිළිබඳ එම මාධ්‍ය උනන්දු වනවා නිසැකයි. ඔහුගේ ප්‍රකාශ පිළිබඳ ඔවුන් වාර්තා කිරීම එම සමාජ මාධ්‍යය පිළිබඳ ප්‍රචාරණයක් ද වනු ඇති.

මීට අමතරව, යම් හෙයකින් විශාල පරිශීලකයන් ප්‍රමාණයක් මුල් අවස්ථාවේ පැමිණියත් එවන් අවස්ථාවක ජාල කඩා නොවැටී පවත්වාගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් මෙවැන්නක් සඳහා අත්‍යවශ්‍යයි. එහෙයින් ඒ සඳහා අවශ්‍ය සර්වර් ආදිය ද සොයාගත යුතුයි. මෙවැනි කාරණා එකවර සම්පාදනය කරගැනීම සඳහා සැලකියයුතු මූල්‍යමයසහ තාක්ෂණික සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය බැවින් එකවර විශාල ශක්තියකින් යුතුව කටයුතු කළ හැකිවේද යන්න ගැටළුවක්.

කෙසේ වෙතත් මෙහි තවත් පැතිකඩක් ද තිබෙනවා. ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණය සඳහා සූදානම් වන බව මේ වනවිට පැහැදිලිව පෙනෙන කරුණක්. සාමාන්‍යයෙන් ඇමරිකාවේ ජනාධිපතිවරණ ව්‍යාපාරය වසරකට වඩා ඇදෙනවා. එම කාලය තුළ ඔහුට මෙවන් වේදිකාවක් ඉතා වැදගත් වනු ඇති අතරම එවන් ඡන්ද ව්‍යාපාරයක් මගින් එම සමාජ මාධ්‍යයට ලැබෙන ප්‍රසිද්ධිය ද විශාල වනු ඇති.

නියාමනය
ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යවල දැන් මතුවෙලා තිබෙන එක් ගැටළුවක් තමයි නියාමනය. ට්‍රම්ප්ම මේ ගැන ඉතා වැදගත් ප්‍රකාශයක් කරනවා. සමාජ මාධ්‍යවල තලේබාන් පාක්ෂික බොහෝ දේ තිබියදී තමන් එයින් වාරණය වී ඇති බව ඔහු පෙන්වා දෙනවා. එහි යම්කිසි සත්‍යතාවයක් තිබෙන බවත් බැලූබැල්මට පෙනෙනවා.

ෆේස්බුක් ආයතනය වෛරී ප්‍රකාශ පිළිබඳ කටයුතු කරන ආකාරය පිළිබඳ මේ වනවිට විශාල කතාබහක් නිර්මාණය වී තිබෙන අතර එය ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලය දක්වාම ගමන් කර තිබෙනවා. මේ අතර ෆේස්බුක් වැනි දැනට පවතින සමාජ මාධ්‍ය පිළිබඳ වෙහෙසට පත්වූ පිරිසක් ද සිටින්නේ යයි බැලූබැල්මට පෙනෙනවා.

මෙවැනි තත්ත්වයක් යටතේ නව සමාජ මාධ්‍ය ජාලයකට යම් පිරිසක් ආකර්ශණය වුවද එයින් පසු කුමක් සිදුවේද යන්න අපැහැදිලියි. එහි කටයුතු නියාමනය වේද, කිනම් ප්‍රතිපත්ති යටතේ එය සිදුවේද යනාදී කරුණු පිළිබඳ තවම කිසිවක් කිව නොහැකියි. මේ කරුණු සියල්ලටම පිළිතුරු ලැබෙනු ඇත්තේ මෙම ට්‍රම්ප්ගේ සමාජ ජාලය සිය සාමාන්‍ය කටයුතු ඇරඹූ පසුවයි.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.