Washington, D.C. ප්‍රාන්තයක් වෙයිද?

April 23, 2021

ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් වොෂිංටන් ඩී.සී. ප්‍රදේශය වෙත ප්‍රාන්ත තත්ත්වය ප්‍රදානය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සම්මත කරගනු ලැබුණා.

ඒ සමගම ඇමරිකානු ජනතාවගෙන් 700,000 කට වැඩි පිරිසකට එරට ව්‍යවස්ථාදායකය තුළ නියෝජිතයකු නොමැති තත්ත්වය වෙනස් කිරීමේ මුල් පියවරක් තබා තිබෙනවා. එහෙත් එම පනත් කෙටුම්පත සෙනට් සභාවේදී සම්මත වීම බෙහෙවින්ම අවිනිශ්චිත වනවා.

නව ප්‍රාන්තයක් එකතු කරගැනීම
ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IV වන වගන්තියේ 3 වන කොටසේ 1 වන උප කොටසෙහි මෙසේ දක්වා තිබෙනවා.

“කොන්ග්‍රස් සභාව විසින් නව ප්‍රාන්තයන් මෙම එකමුතුවට ඇතුලත් කරගත හැකි ය; නමුත්, යම් පවතින ප්‍රාන්තයක බල ප්‍රදේශය තුළ වෙනත් ප්‍රාන්තයක් ස්ථාපිත කිරීම හෝ පිහිටුවීම හෝ නොකළ යුතු ය. එමෙන්ම, අදාල ප්‍රාන්තවල ව්‍යවස්ථාදායක සහ කොන්ග්‍රස් සභාවේ අනුමැතිය නොමැතිව යම් ප්‍රාන්ත දෙකක හෝ ඊට වැඩි ගණනක හෝ ඒකාබද්ධතාව මගින් හෝ ප්‍රාන්තවල කොටස් ඒකාබද්ධතාව මගින් හෝ නව ප්‍රාන්ත ස්ථාපිත නොකළ හැක්කේ ය.”


කොළොම්බියා දිස්ත්‍රික්කය ප්‍රාන්තයක් ලෙස පිළිගැනීම වෙනුවෙන් (Getty Images))

මෙසේ ප්‍රකාශ කරන කරුණු අනුව පෙනී යන්නේ පවතින ප්‍රාන්තයක මායිම් වෙනස් කිරීම මගින් අලුත් ප්‍රාන්ත නිර්මාණය කිරීම කළ නොහැකි හෝ ඉතාම අසීරු කරුණක් බවයි. එනමුත්, ඇමරිකානු පාලනය යටතේ තිබෙන, එහෙත් ප්‍රාන්ත නොවන ප්‍රදේශවලට ප්‍රාන්ත තත්ත්වය ලබාදීම සඳහා කොන්ග්‍රස් සභාවට බලය දී තිබෙනවා.

මුලින් ඇමරිකා එක්සත් ජනපදයට අයත්ව තිබූ ප්‍රාන්ත දහ තුන අද වනවිට ප්‍රාන්ත පනහක් දක්වා විකාශය වී තිබෙන්නේ මේ අනුවයි.

වොෂිංටන් ඩී.සී. හි තත්ත්වය
නිල වශයෙන් කොළොම්බියා දිස්ත්‍රික්කය නමින් හඳුන්වාදෙන ප්‍රදේශය සඳහා ද අවශ්‍ය ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින්ම ඉදිරිපත් කර තිබුණා. ඇමරිකා එක්සත් ජනපදය ස්ථාපිත කරන සමයේ එරට අගනුවර ලෙස ගන්නා ලද්දේ ෆිලෙඩෙල්ෆියා නගරයයි. එක්සත් ජනපද කොන්ග්‍රස් සභාවේ ඍජු පාලනයට අයත් වන ප්‍රදේශයක් පිළිබඳ ව්‍යවස්ථාව කරුණු දක්වනවා.

ජේම්ස් මැඩිසන් 1788 දී ෆෙඩරල් රජයේ කටයුතු ස්වාධීනව, බලපෑම්වලින් තොරව සිදුකිරීමට ජාතික අගනුවරක අවශ්‍යතාව මතු කළා. එවැන්නක් සඳහා මේරිලන්ඩ් සහ වර්ජිනියා ප්‍රාන්තවලින් ප්‍රදේශයන් ෆෙඩරල් ආණ්ඩුවට 1790 දී පවරා දෙනු ලැබුණා. (මෙයින් වර්ජිනියාවෙන් ලැබුණු ප්‍රදේශ 1846 දී යළි එම ප්‍රාන්තයට ලබාදෙනු ලැබුණා).


වොෂිංටන් ඩී.සී. හි පිහිටීම (Encyclopaedia Britannica)

වොෂිංටන් නගරය ස්ථාපිත කරන ලද්දේ 1791 දී යි. 1801 දී කොළොම්බියා දිස්ත්‍රික්කය නිල වශයෙන් ෆෙඩරල් දිස්ත්‍රික්කයක් ලෙස පිළිගනු ලැබුණා. මෙහි ජනතාවට කොන්ග්‍රස් සභාවේ නියෝජනයක් නොමැති නමුත් ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිතා කළ හැකියි. 1871 සිට මෙම ප්‍රදේශයට නගර සභාවක් ලැබී තිබෙනවා.

නියෝජනයක් නොමැතිව බදු
වොෂිංටන් ඩී.සී. ප්‍රාන්‍තයක් බවට පත්කළ යුතුය යන අදහසට පක්ෂ පිරිස්වල ප්‍රධාන තර්කය නම් එහි ජනතාවට ව්‍යවස්ථාදායකයේ නියෝජනයක් තිබිය යුතු බවයි. ඇමරිකා එක්සත් ජනපදය බිහිවීමට මුල් වූ ඇමරිකන් විප්ලවයේ එක් සටන් පාඨයක් වූ නියෝජනයක් නොමැතිව බදුපැනවීමට එරෙහි වීම මෙහිදී ද ඉදිරිපත් කෙරෙන තර්කයක් වනවා.


නියෝජනයක් නොමැතිව බදු (Wikimedia Commons)

කෙසේ වෙතත්, රටේ ෆෙඩරල් අගනුවර කිසියම් ප්‍රාන්තයකට අයත් වීම පිළිබඳ වන විරෝධය මෙහි අනෙක් අන්තයේ වනවා. එවිට එය නියම ෆෙඩරල් අගනුවරක් වන්නේ නැති බවයි එම තර්කයේ අදහස වන්නේ. රිපබ්ලිකන් පක්ෂයේ තවත් තර්කයක් වන්නේ මෙය ඩිමොක්‍රටික් පක්ෂය කොන්ග්‍රස් සභාවේ බලය අල්ලාගන්නට කරන උත්සාහයක් බවයි. මීට අමතරව මෑත කාලයේ ඉදිරිපත්ව ඇති බොහෝ තර්ක එතරම් පදනමක් ඇති බවක් පෙන්නුම් කරන්නේ නැහැ.

රිපබ්ලිකන් පාක්ෂිකයන් මෙම යෝජනාවට සම්පූර්ණයෙන් විරුද්ධ වන හෙයින් මෙය සෙනට් සභාවේදී සම්මත වන්නට ඉඩක් නොමැති තරම්. 2020 දී ද වොෂිංටන් ඩී.සී. ප්‍රාන්තයක් බවට පත්කිරීමට පනත් කෙටුම්පතක් නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කළ ද එය සෙනට් සභාවේ ඡන්දයකට පවා ඉදිරිපත් කෙරුණේ නැහැ. එවකට සෙනට් සභාවේ බහුතරය වූයේ රිපබ්ලිකන් පක්ෂය අතයි.

වොෂිංටන් ඩී.සී. ප්‍රදේශය ප්‍රාන්තයක් බවට පත් වුවහොත් ඊට සෙනට් සභාවේ ආසන දෙකක් සහ එක් නියෝජිත මන්ත්‍රී මණ්ඩල ආසනයක් ලැබෙනවා. මෙය ඩිමොක්‍රටික් පක්ෂය වෙත සෙනට් සභාවේ වාසියක් ගෙනෙනු ඇති.

වොෂිංටන් ඩී.සී. යනු ඩිමොක්‍රටික් බලකොටුවක් වීම ඊට හේතුවයි. රිපබ්ලිකන් පක්ෂයේ විරෝධය පවතින්නේ මෙම කරුණ ද මතයි.

මේ අතර, වොෂිංටන් ඩී.සී. හි ජනතාවට නියෝජනයක් නොමැති වීම පිළිබඳ ගැටළුවට ඉදිරිපත්ව ඇති තවත් විසඳුමක් වන්නේ ධවල මන්දිරය ආදී පරිපාලන හදබිමෙහි ප්‍රදේශ ස්වල්පයක් තිබියදී අනෙකුත් ප්‍රදේශ මේරිලන්ඩ් ප්‍රාන්තය වෙත නැවත ලබාදීමයි.

එවිට ප්‍රාන්ත සංඛ්‍යාව 51 කිරීමේ අවශ්‍යතාවයක් පැනනගින්නේ නැහැ. රිපබ්ලිකන් සෙනට් සභික මිට් රොම්නි මෙම අදහසට සිය පක්ෂපාතීත්වය දක්වන ප්‍රමුඛයකු වනවා.

කලකට පෙර එතරම් ප්‍රබල හඬක් නොවූ වොෂිංටන් ඩී.සී. වෙත ප්‍රාන්ත තත්ත්වය ලබාදීමේ සටන මේ වනවිට ප්‍රදේශයේ විශාල පිරිසකගේ ද සහය ලැබෙන සටනක් බවට පත්ව තිබෙන බවයි පැහැදිලිව පෙනී යන්නේ. කෙසේ වෙතත්, වොෂිංටන් ඩී.සී. වෙත මෙවරද ප්‍රාන්ත තත්ත්වය ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකියි.

මූලාශ්‍රයයන්
1. House Democrats Pass Bill To Make D.C. The 51st State (NPR)
2. House passes DC statehood bill that faces long odds in the Senate (CNBC)
3. D.C. statehood approved by House as Senate fight looms (NBC News)

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.