ඉන්දියාවෙන් කෑ පරිප්පු

August 4, 2020

මෙතෙක් මා රටවල් හතරක දීර්ඝ කාලීනව ජිවත් වී ඇත. එනම් ලංකාව, ස්වීඩනය, මැලේසියාව හා දකුණු අප්‍රිකාවයි. ඊට අමතරව මා වැඩිම වාර ගණනක් සංචාරය කර ඇති තවත් රටවල් දෙකකි. ඒ ඉන්දියාව හා පකිස්ථානයයි. පකිස්ථානයට මා 18 වරක් ගොස් ඇත. ඉන්දියාවට ගොස් ඇත්තේ ඉන් හරි අඩක වාර ගණනකි.

එහෙත් මා ලෝකයේ වෙනත් කිසිඳු රටකට වඩා (ලංකාවද ඇතුළුව) ඉන්දියාවේ ඈත මෑත සංචාරය කර ඇත්තෙමි. මා ඉන්දියාවේ ගොස් ඇති සමහර ප්‍රදේශ වලට මට හමු වූ බොහෝ ඉන්දියානුවන් පවා ගොස් තිබුණේ නැත.

මම මුලින්ම ඉන්දියාවට පා තබන්නේ වයස අවුරුදු 14 දී දෙමාපියන් සමග වන්දනා ගමනක් සඳහාය. එය මාස එකහමාරක් පුරා කල සංචාරයකි. ඉන්පසු නැවතත් එරටට පිය තබන්නේ වයස 34 දීය. එතැන් සිට අවසන් වරට එහි ගිය 2019 වසර තෙක් මගේ ඉන්දියානු ගමන් බොහෝ විට සතියක් හෝ වැඩි කාලයක් පුරා දිවයන ඉතා දීර්ඝ ගමන් වලින් යුත් සංචාර විය.

එදා මෙදා තුර ඉන්දියාව තරම් යහපත් වෙනසකට භාජනය වූ රටක් මා දැක නැති තරම්ය. ඒ ගැන නම් පොතක් ලිවිය යුතුය. කෙටියෙන් කියනවා නම් ඉන්දියාව යනු 21 වෙනි ශතවර්ෂය තුල මා දුටු ලෝකයේ වැඩිම වේගයකින් දියුණු වූ රටයි. ඉන්දියාවට පා තබා නැති සමහර ලාංකික පිරිස් එරට පිළිබඳව සමාජ මාධ්‍යවල පලකරන අදහස් දුටු විට මට එම ලාංකිකයන් පිළිබඳව ඇතිවන්නේ ශෝකයකි.

ඉතා අධික ජනගහනයක් සිටින ඉන්දියාවේ ආර්ථික ස්ථර රාශියක් තිබීම ස්වභාවිකය. එය ඇමරිකාවට සහ චීනයටද පොදු කරුණකි. එහෙත් ඉන්දීය සමාජයේ පහලම ස්ථරයේ ජීවන තත්වය මුළු ඉන්දියාවටම සාමාන්‍යකරණයකරගෙන පහර ගැසීම හාස්‍යජනකය. මෙලෙස පහරදෙන බොහෝ ලාංකිකයන්ගේ ආදායම් තත්වය ඉන්දියාවේ සාමාන්‍ය වැසියෙකුට වඩා බොහෝ සෙයින් අඩු විය හැක.

ඉන්දියානුවා තරම් තම රට පිළිබඳව සැබෑ හැඟීමකින් කටයුතු කරන (කතා කිරීම පමණක් නොවේ) වෙනත් ජාතිකයන් මා දැක නැති තරම්ය. එයට ඔහු හෝ ඇය සිටින්නේ ඉන්දියාවේද, එංගලන්තයේද ඇමරිකාවේද යන්න අදාළ නොවේ. එලෙසම එම තැනැත්තා විදේශ රටක ඉපදුන කීවෙනි පරම්පරාවද යන්නද ඉන්දියාවට ඇති බැඳීම තීරණය කිරීමට අදාළ නොවේ. ඔවුන් හැකි සෑම විටම ඉන්දියාව වෙනුවෙන් කල හැකි දෙයක් නොපමාව ඉටු කරයි. එසේම ඉන්දීය රජයද සෑම විටම විදේශයකින් උපකාර හෝ දැනුම ලබාගැනීමේදී එම රටවල සිටින ඉන්දීය ප්‍රභවයක් ඇති අයට ප්‍රමුඛත්වය දෙයි.

මේ ලිපිය ලියන්න මා අදහස් කල මාතෘකාවෙන් දැන් සම්පුර්ණයෙන්ම පිට පැන ඇත. ඒ නිසා දැන් මම ඒ කාරණයට පැමිණෙන්නෙමි. මම දන්නා බොහෝ ඉන්දියානුවන් නිර්මාංශිකය. එහෙත් ඔවුන් සාමාන්‍යයෙන් ඉතා සෞඛ්‍ය සම්පන්න, ඉහල බුද්ධිමට්ටමක් සහිත පුද්ගලයන්ය. එසේම ඉන්දියාවේ බහුතරයක් දුප්පත් ජනතාව අතර මන්දපෝෂණ ස්වභාවයක් දැකිය නොහැකිය. මීට හේතුව මා වටහා ගත්තේ බොහෝ කලකට පෙරය.

මා නිර්මාංශකයෙකු නොවුවත් ඉන්දියාවේ ගතකරන කාලය තුල මා හැකි සෑම විටම නිර්මාංශික ආහාර වේලක් ගැනීමට දැඩි සේ ප්‍රිය කරමි. ඊට හේතුව ඉන්දීය නිර්මාංශික ආහාර ඉතා රසවත්වීමයි. මේ රසය ලෝකයේ වෙනත් රටක එලෙසම විඳීමට නම් ඔබ අනිවාර්යයෙන්ම ඉන්දීය හින්දු භාක්තිකයෙකුගේ නිවසට යායුතුය. නැත්නම් මගේ නිවසට පැමිණිය යුතුය (මා ඉතා රසවත් ලෙස ඉන්දීය නිර්මාංශික ආහාර පිළියෙළ කිරීමේ දක්ෂයෙකු බව නිහතමානිව පවසමි). මේ කාරණය නිසා ඉන්දියානු නිර්මාංශිකයන් ඉතා සතුටින් තම ආහාර වෙලා භුක්ති විඳියි. ආහාරයක පෝෂණය සිරුරට සම්පුර්ණයෙන්ම ලබාගැනීම සඳහා එම ආහාරය සතුටින් භුක්ති විඳීම ඉතා වැදගත්ය.

දෙවන කරුණ නම් ඉන්දීය ආහාර වේලට ඇතුලත්වන විශාල ප්‍රබේද ගණනාවකින් යුත් පරිප්පු සහ කඩල වර්ග ප්‍රමාණයයි. සාමාන්‍යයෙන් ලංකාවේ මිනිසුන් ව්‍යංජනයක් ලෙස සකසන්නේ මයිසූර් පරිප්පු (pink lentils) සහ මුං ඇට (mung daal or green gram) පමණකි. මීට අමතරව සුදු කඩල (chickpea) ව්‍යංජනයද ඉඳහිට සාදනු ලැබේ.

එහෙත් ඉන්දියාවේදී පරිප්පු වර්ග 20ට වැඩිය මා රස විඳ ඇත. කඩල ඇතුළු ව්‍යංජන ලෙස පිළියෙළ කරන ධාන්‍ය වර්ගද ඒ හා සමානවම ඇත. මේ එක් එක් පරිප්පු සහ ධාන්‍ය වර්ගයක් සඳහා පිළියෙළ කරන ක්‍රමවේදය වෙනස්ය. එකම පරිප්පුව රාජස්ථානයේ එක විදියකටත්, බෙංගාලයේ තව විදියකටත්, කේරලයේ වෙනස්ම විදියකටත් සැකසේ. ඒ සියල්ලේම රසයේ අපුරු වූ විවිධත්වයක් ඇත. සමහර කෑම වට්ටෝරු වසර දහස් ගණනක් පැරණිය. අද මේ සියලුම ආහාර පිළියෙළ කිරීමේ ක්‍රමවේදයන් Youtube හරහා ලෝකයට විවෘතය. ඉතා අධික ප්‍රෝටීන වටිනාකමකින් යුත් එමෙන්ම මිලෙන් සෑහෙන අඩු මෙම පරිප්පු සහ ධාන්‍ය වර්ග ඉන්දීය ජනයාගේ පෝෂණය නගා සිටුවයි.

දැන් මම මේ ලිපියේ වැදගත්ම කොටසට පැමිණෙමි…

ලිපිය දිගටම කියවන්න >>>

මහාචාර්ය චන්දිම ගෝමස් මහතා, ආසියාවේ බොහෝ ප්‍රදේශවල අකුණු ආරක්ෂණ පිළිබඳ සමාගම් විශාල සංඛ්‍යාවක උපදේශකයෙක් ලෙසත්, ආසියාවේ අකුණු ආරක්ෂණ සහ විදුලි සුරක්‍ෂිතතාව පිළිබඳ ප්‍රමුඛ පුහුණුකරුවෙක් ලෙසත්, විද්‍යුත් ආරක්ෂාව සහ විද්යුත් චුම්භක අනුකූලතා සම්බන්ධව පළපුරුදු ඉංජිනේරු උපදේශකයෙක් ලෙසත්, ඉංජිනේරු සහ භෞතික විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙක් සහ ලේඛකයෙක් ලෙසත් කටයුතු කරනවා. මහචාර්ය චන්දිම ගෝමස් මහතා ඔහුගේ ජීවන අත්දැකීම්, කාර්යයන්, විද්‍යාවට දක්වන දායකත්වය, විද්‍යාව සහ තාක්ෂණයේ අනාගත ප්‍රවණතා සහ රාජ්‍ය අංශය සඳහා වඩාත් පලදායී ලෙස විද්‍යාව යොදාගෙන වැඩකටයුතු කාර්යක්ෂම කර ගැනීම පිළිබඳව මෙම බ්ලොග් අඩවියේ කෙටියෙන් සඳහන් කරනු ලබයි.