පාද යාත්‍රාවක වගතුග

ජුවාම් රුබේරු, හෙළදිව ඓතිහාසික ඛේදවාචකය කියන පොතේ ලංකාව ගැන මෙන්න මෙහෙම සදහනක් කරනවා. “මේ දිවයින මිහිපිට පාරාදීසයක් යැයි කී අය එසේ කියා ඇත්තේ ඒසා කුඩා රටක් එතරම් ධන සම්පත්වලින් පිරී ඇති නිසා විය යුතුය”. මෙතනදි ජුවාම් රුබේරු ධන සම්පත් කියලා හදුන්වන්නේ අපේ රටේ පරිසරය, ආර්ථික නිෂ්පාදන සහ සුන්දර ස්ථානයන් ගැනයි. ලංකාව කියන්නේ හරිම පුදුමාකාර රටක්. ප්‍රමාණයෙන් පුංචි වුණත්, මේ රට ඇතුළෙ තියෙන විවිධත්වය ගොඩක් විශාලයි. පළාතෙන් පළාතට, ගමෙන් ගමට භාෂාව, සභ්‍යත්වය, සංස්කෘතිය, චාරිත්‍ර වාරිත්‍ර, ඇදුම් පැළදුම්, පරිසරය සහ දේශගුණය වෙනස් වෙනවා. මේ නිසාම ලෝකයේ පිළිගත් විදේස් ආයතනවලින් කරපු අධ්‍යනවලට අනුව ලංකාව ලෝකයේ සංචාරය කළ යුතු හොදම රටවල් අතරින් පළවෙනි ස්ථාන දෙක තුනේ තියෙනවා.

ඉතින් අපේ රටේ සුන්දරත්වය ලොවට හඩා ගා කියන්න අද වෙනකොට හුග දෙනෙක් පෙළඹිලා තියෙනවා. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව. මේ අය කණ්ඩායම් විදිහට එකතුවෙලා, අපේ රටේ සුන්දර ස්ථාන සොයාගෙන යනවා. ගිහින් ඒවා හොදට දැක බලාගෙන, විස්තර හොයාගෙන, ඡායාරූපගත කරලා, අනිත් අයට බලන්න සහ ඒ ස්ථාන ගැන මුළු ලෝකයටම හඩ ගා කියන්න, සමාජ ජාල ඔස්සේ කටයුතු කරනවා. අද අපි කතා බහ කරන්න යන්නෙත් අන්න ඒ වගේ කෙනෙක් එක්ක. හැබැයි මේ කෙනාගෙ වැඩපිළිවලේ නම් විශේෂත්වයන් කිහිපයක්ම තියෙනවා.

අද අපේ අමුත්තා තමයි වරුණ නිරෝෂණ කමලවංශ. වරුණ අයිති වෙන්නෙ Adventurer එහෙමත් නැත්නම් වික්‍රමිකයින්ගේ කොටසට. වරුණත් අපේ රට වටේම සංචාරය කරනවා. හැබැයි ඒ අපේ රටේ කෙනෙක්ට ලේසියෙන් ඇස නොගැටෙන, ලේසියෙන් ළගා වෙන්න බැරි ස්ථානවලට. ඒ වගේම වරුණ මේ ස්ථාන බලන්න යන්නෙ තමන්ගේම යතුරු පැදියෙන්. එහෙමත් නැත්නම් පා ගමනින්. තනියෙන් වගේම මිතුරන් දෙතුන් දෙනෙක් එක්ක යන අවස්ථා එහෙමත් නැතුවා නෙවේ. එහෙම ගියත් නවාතැන් ගන්නෙ කූඩාරම් අටවලා. තමන්ම උයා පිහාගෙන කනවා. තැනිතලා වගේම ගල්, පර්වත, කදු, ගංගා, ගල් ගුහා, උමං, සානු, අව්ව, වැස්ස, දූවිලි, සුළං, සීතල, රස්නය, වන සත්තු…. මේ ඕන එකක් එක්ක ඔට්ටු වෙන්න වරුණට පුලුවන්.

මේ කතා බහෙන් අපි වරුණගේ හැම චාරිකාවක් ගැනම අහන්න සූදානම් නෑ. එහෙම වුණොත් අපිට ප්‍රශ්න 500ක් විතර අහන්න වෙනවා. ඒ තරමටම වරුණ, අපේ රට වටේ සංචාරය කරලා තියෙනවා. සංචාරය කරලා කියනවට වඩා, ඇවිදලා තියෙනවා කිව්වොත් නිවැරදි. වරුණ මීට අවුරුදු කිහිපයකට කලින් හරි අපූරු සංචාරයක නිරත වුණා. මේ ලිපියෙන් අපි වරුණ එක්ක කතා බහ කරන්නෙ අන්න ඒ සංචාරය ගැනයි. ඒ තමයි ඔකද ඉදලා කතරගම දේවාලයට, කිලෝ මීටර 110කට ආසන්න දුරක්, කුමණ සහ යාල ජාතික වනෝද්‍යාන හරහා පා ගමනින් යෑම. දවස් තුනක් තිස්සෙ ගියපු මේ පාද යාත්‍රාව ගැන තමයි, අද අපේ කතාබහ…

01. මුලින්ම කියමු බලන්න උප්පැන්න සහතිකයේ තියෙන නම?
** W G වරුණ නිරෝෂණ කමලවංශ

02. කොහෙද ගම් පළාත?
** රත්නපුර

03. උපන් අවුරුද්ද?
** 1983

04. අධ්‍යාපනය හැදෑරුවේ?
** රත්නපුර සීවලී මධ්‍යමහා විද්‍යාලයෙන්

05. උසස් පෙළට පිවිසෙන්නෙ?
** 2002 අවුරුද්දෙ. විෂයන් සදහා ඉතිහාසය, සිංහල සහ දේශපාලන විද්‍යාව හැදෑරුවා.​

06. ඊට පස්සේ?
** ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට තේරුණා. ඉස්සර ඉදන්ම ඉතිහාසයට කැමැත්තක් තිබ්බා. ඉතින් පුරාවිද්‍යා විශේෂවේදී උපාධිය වෙනුවෙන් ඉතිහාසය සහ පුරාවිද්‍යාව ඉගෙන ගත්තා. උපාධිය ගත්තෙ 2009 අවුරුද්දෙ. ඊට පස්සේ පුහුණු වෙන උපාධිධාරියෙක් විදිහට තිස්සමහාරාම ව්‍යාපෘතියේ සේවය කරන්න ගියා. දැන් නම් සංවර්ධන නිළධාරියෙක් විදිහට කටයුතු කරනවා. නමුත් පුරාවිද්‍යාව ගැන තියෙන ආසාව සහ උනන්දුව මතක ඇති කාලෙක ඉදන් අද වෙනකල් නොවෙනස්ව තියෙන එකක්.

07. ඇයි මේ එක පාරටම පාද යාත්‍රාවක් යන්න හිතුනෙ? අපාගත දුකක් විදින්න ඔච්චරටම ආසද? කැළයක් මැදින් යන්න බය හිතුනෙ නැද්ද?
** මේක එක පාරම හිතුන එකක් නෙවේ. කාලයක් තිස්සේ අපේ චාරිකා ලැයිස්තුවේ තිබ්බ එකක්. අපිට ඕනි දවසට යන්න බෑනේ. මිනිස්සු පාද යාත්‍රා යන්නේ කතරගම පෙරහැර කාලයේදී. මොකද අපි විනෝදෙට ගියාට, මේක වන්දනා ගමනක් මිසක් විනෝද චාරිකාවක් නෙවේ. මේ ගමන යන්න අපිට අවස්ථාව ලැබෙන්නේ දෙමළ අයගේ වන්දනා ගමන නිසයි. කැලයක් මැද්දෙන් ගිය පළාවෙනි පාර මේක නෙවේ. ඒ නිසා බයක් නම් හිතුනෙ නෑ. අනික ලංකාවේ වැඩිම අකල් මරණ සිද්ධ වෙන්නේ මහපාරේ මිසක් කැළෑවල් මැද්දෙ නෙවේ.

08. මුලින්ම, පාද යාත්‍රාවක් කියන්නෙ මොකක්ද කියලා විස්තර කරමු බලන්න.
** ​බෞද්ධයන්ගේ සිරීපාදේ වන්දනාව වගේ හින්දූන්ගේ වන්දනා ගමන වෙන්නෙ කතරගම පාද යාත්‍රාවයි. සමහර හින්දු මිනිස්සු යාපනයේ සිට පවා කුමණ හා යාල ජාතික වනෝද්‍යාන හරහා කතරගම දේවාලයට දින, මාස ගණනක් තිස්සේ පයින් එනවා. සිරිපා වන්දනාව හා සසදනකොට කතරගම පාද යාත්‍රාව කියන්නෙ ඉතා අසීරු ඉලක්කයක්. ලංකාවේ අර්ධ ශුෂ්ක කලාපයට වැටෙන කුමණ හා යාල හරහා දූවිලි සහිත, කටු පදුරු සහිත දුෂ්කර පරිසරයක් ඔස්සේ වැටී ඇති මේ ගමනේදී වතුර ඇති තැන් පවා ඇත්තේ කිහිපයක් පමණයි.

09. ගමන්මග ගැන මතක් කළොත්?
** ​මමයි, තරිදු සේනානායක කියලා මල්ලි කෙනෙකුයි තමයි මේ ගමන ගියේ. යාපනයේ සිට ගත් විට දීර්ඝ ගමනක් වුණත්, වන්දනාව අරමුණු කර නොගනිමින් විනෝදය හා සංචාරය කිරීමේ අදහසින් කතරගම පාද යාත්‍රාවට එක් වෙන අපි වගේ අය තෝරා ගන්නේ ඔකද සිට කතරගම කොටසයි. මේ දුර ප්‍රමාණය කිලෝ මීටර් 100ත් – 110ත් අතර ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් යාල හෝ කුමන ජාතික වනෝද්‍යානවල පයින් ගමන තහනම්. ඒත් පාද යාත්‍රා කාලයේදී පමණක් ඒ අවස්ථාව රජය විසින් ලබා දෙන නිසා පයින් යාල – කුමණ තරණය කරනවා නම්, මේ කාලයේම කරන්න ඕන. ​

අලි, කොටි සහ වලස්සු තමයි මේ ගමනේදී හම්බවෙන්න පුලුවන් ලොකුම කරදර. වතුර හොයාගැනීමත් අමාරු දෙයක් වුණත්, මේ කාලයේදි ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් කිලෝ මීටර් 6 – 7 වගේ දුර ප්‍රමාණවලින් වතුර පුරවපු ටැංකි තියලා තියෙන නිසා වැඩේ ලේසියි. එහෙම වුණේ නැත්නම් සාම්ප්‍රදායිකව ජලය ලබා ගන්නා කුඹුක්කන් ඔය, ලිං තුන, මැණික් ගඟ වගේ තැන් හමුවන තුරු බීමට සුදුසු ජල මූලාශ්‍ර සොයාගැනීම දුෂ්කර වෙනවා. සාම්ප්‍රදායිකව ගමනේ යෙදෙන දෙමළ හින්දු පිරිස් රෑ කඳවුරු බදින්නේ එවැනි තැන්වල. වියළි කලාපයේදි හමුවන සත්තු ලංකාවේ අනිත් කැළෑවලදි හමුවන සත්තු වගේ සුභ නැති නිසා, එකට එක්ව සිටීම ඒ වන්දනාකරුවන්ගේ ආරක්ෂාවටත් හොදයි.

10. කොහොමද පළවෙනි දවස?
** ​පාද යාත්‍රාවේ අපේ ගමනේ පළවෙනි දවස පටන් ගත්තේ පානමින්. රත්නපුරේ ඉදන් බස් එකේ පානමට ඇවිත් කැළේ ඉන්න දවස් ටිකට කන්න දේවල් අරගෙන එහෙම, පානම හන්දියට ගියේ ඔකද පැත්තට යන්න වාහනයක් අල්ල ගන්න. එතන තියෙන රෝහලේ බස් එකක නැගලා ඔකද දේවාලය ළගට ගියා. සාමාන්‍යයෙන් පයින් විනෝදෙට යන අපි වගේ අය ගමන පටන් ගන්නෙ එතනින්. මුල හරියේ නම් පොඩි කොළ පාට ගතියක් තිබ්බත්, ඇතුළට යද්දි සම්පූරණයෙන්ම වගේ වේලිලා ගිය පරිසරයක් තමයි දකින්න තිබුණෙ. වාසනාවට යුධ හමුදාවෙන් කිලෝමීටර 6 – 8 වගේ දුරින් වතුර පිරවූ බැරල් තියලා තිබුණා. නැත්නම් සාම්ප්‍රදායිකව වතුර ගන්න තැන් එනකල් සැහෙන දුරක් අපිට වතුර නැතුව යන්න වෙනවා.

11. වනෝද්‍යානය හරහා යනකන්ම, මිනිස් පුලුටක්වත් දකින්නවත් ලැබුනෙ නැද්ද?
​** ​දෙමළ මිනිස්සු ගමනේ ආරම්භයේ ඉදන්ම අපිට හමු උනා. සිරීපාදේ යද්දි කවි කියනවා වගේ සමහර දෙමළ මිනිස්සු බජන් වගේ ගායනා කරමින් ගියා. පොදුවේ පසුකරමින් යන සැම දෙනාටම “හරෝහරා” කියලා කියන එකත් ඔවුන්ගේ සිරිතක් උනා. පහු වෙද්දි අපිත් ඉතින් පසුකරන් යන අයට “හරෝහරා” කියන්න පටන් ගත්තා. කොහොමත් ගොඩාක් දෙමළ අයගේ සිංහල හොද මදි. අපි දන්න දෙමළකුත් නෑ. ඉතින් “හරෝහරා” විතරයි අපි දෙගොල්ලන්ටම තේරුණු වචනය උනේ. හැබැයි ඒක කියද්දි උන්ටත් හිනා. අපිටත් හිනා.

12. මොන වගේ සත්තුන්වද දකින්න හම්බුණේ?
** ​අලින්ට සහ කොටින්ට ප්‍රසිද්ධ වනෝද්‍යානයක් උනත් අපිට නම් සත්තුන්ගේ සලකුණු මිසක් සත්තු නම් හමුඋනේ කලාතුරකින්. ගමනේදි දුටු පළමු සහ අවසාන අලි දෙන්නා දුටුවේ ගමනේ මුල්ම හරියේ කුමන විල්ලුවේදී. මගදි අලි අපි ආසන්නයෙන්ම ගිය බවට අලුත්ම අලුත් අලි බෙටි සහ හමුදාවේ අයගේ තොරතුරු අනුව සාක්ෂි තිබ්බත්, අපේ ඇස් දෙකට නම් දැක්කේ නෑ. දෙමළ මිනිස්සු සිය ගාණක් හරෝහරා කිය කියා කෑ ගසමින් යද්දි, අලි තියා කුරුල්ලෙක්වත් පැත්ත පළාතක එන්නේ නෑ. අනික වතුර හිග නිසා සත්තු වතුර ඇති කැළේ මැද්දේ තැන්වලට ඒකරාශී වෙලා හිටියා වෙන්නත් පුලුවන්.

13. පළවෙනි දවසෙ නවාතැන් ගත්තෙ කොහෙද?
** ​ඔකදින් ගමන පටන් ගන්න දෙමළ අය මුලින්ම කදවුරු බදින්නේ කුඹුක්කන් ඔය ළග තියෙන කුඩා කැබලිත්ත දේවාලයේ. මහ සියඹලාවට හෙවත් මහ කැබලිත්තට එතන ඉදලා වෙනත් පාරකින් කිලෝ මීටර 30ක් තියෙනවා. එහෙමත් නැත්නම් එතැන ඉදලා කිලෝ මීටර 10ක් විතර එහායින් තියෙන විවෘත භූමියකත් කදවුරු බදිනවා. දවල් වෙද්දි කුඹුක්කන් ඔයට එන ඒ අය නාගෙන එහෙම, පහුවදා වෙනකන් එතන ඉන්නවා. උදේම ඉර නගින්න කලින් ආපහු ගමන පටන් ගන්නවා. අපි ඉතින් අපේ ක්‍රමයට ගියේ. නැගිට්ට වෙලේ ඉදන් ගමනේ ගිහින් රැ වෙද්දි වතුර තියෙන තැනක කදවුරු බදින එක තමයි අපේ ක්‍රමය. අව්වෙ කරවෙවි යද්දි නම් දෙමළ මිනිහාගේ ක්‍රමය හරි කියලත් හිතුනා හැබැයි. අපි කුඩා කැබලිත්ත පසු කරලා කුඹුක්කන් ඔයින් එතෙර වෙලා, දෙමළ කට්ටිය කදවුරු බදින අනිත් විවෘත භූමියට කිලෝ මීටර් 3ක් විතර මෙහායින් තිබුණු වතුර බැරල් එකක් ළග කදවුරු බැන්දා.

කුඹුක්කන් ඔයේ නම් ටිකක් දුර බැහැලා යන්න වුණා. එතන පුවරුවක් ගහලා තියෙනවා “කිඹුලන්ගෙන් ප්‍රවේසම් වෙන්න” කියලා. අපි කදවරු බැන්ද තැන අපි විතරයි රෑ හිටියේ. සාමාන්‍යයෙන් දෙමළ පිරිස නම් එක පිරිසක් විදිහටයි කදවුරු බදින්නෙ. ආරක්ෂාවට හොද නිසා වෙන්න ඇති. අපිට ඉදිරියෙන් තිබුණු විවෘත භූමියේ කදවුරු තිබුණු හරියට නම් රෑ අලි ආවා කියලා පහුවදා ඒ හරියෙන් යද්දි ආරංචි උනා. වාසනාවට අපි හිටිය හරියේ නම් අලි බෙටි මිසක් අලි හිටියේ නෑ. මේ විදිහට යාල ජාතික වනෝද්‍යානයේ තරු දහසක් යට පළවෙනි රෑ ගත කළා. ඒ වෙද්දි අපි කිලෝ මීටර 30ක් විතර ඒ දිනයේ ඇවිදලා තිබ්බා. අපේ් GPS Navigation එක කිව්ව විදිහට නම් පළමු දවසේ පැයට කිලෝ මීටර 5ක විතර වේගයක් රදවන් තිබ්බා. ​

14. පළවෙනි දවස එහෙම නිමාවට පත් කරද්දි, කොහොමද දෙවෙනි දවස පටන් ගත්තෙ?
​** තරිදු මල්ලිත්, මමත් දෙවැනි දවසේ උදේම කන්නෙත් නැතුව ගමන පටන් ගත්තේ අව්ව වැටෙන්න කලින් ටිකක් දුර යා ගන්න හිතාගෙන. අපේ ගමනේ නැවතුම විදිහට තීරණය කලේ “ලිං තුන” කියන තැනයි. මේකත් පාද යාත්‍රාවේ යන අය සාම්ප්‍රදායිකව නවතින තැනක්. අතීතයේ ඉදන් තියෙන ලිං තුනක් ඇති මේ ස්ථානය, පාද යාත්‍රා කාලය වෙද්දි පිරිසිදු කර සූදානම් කරනු ලබනවා. වතුර නම් හොදයි කියන්න බෑ. ඒත් පළාතෙම තියෙන අනිත් ජල මූලාශ්‍ර එක්ක බලනකොට නම් මේකේ මඩ පාට වතුර ටික අවුලක් නෑ. බොන්න පුලුවන්. මේ හරියේ වැවකුත් තියනවා නා ගන්න පුලුවන්. කොහොම උනත් අපි හිතුවට වඩා ඉක්මනට, දවල් 11.00 විතර වෙද්දි එතෙන්ට ආපු නිසා තවත් කදවුරු බිමක් වන මැණික් ගග දක්වා ඉස්සරහට යන්නට තීරණය කළා.

15. කොහොමද ඉදිරි පාර?
** මේ කොටසේදී හිදිලා ගියපු විශාල ප්‍රමාණයේ වැව් කීපයක් හරහා යන්න වුණා. ගහක් කොළක් නැති කාන්තාර වගේ මේ තැන් මේ ගමනේ අමාරුම කොටස් උනා. ඒ වගේම සංචාරකයෝ පවා නොඑන කලාපයක් වෙන මේ කොටසේ සමහර තැන්වල කිලෝ මීටර් ගණන් දුරට පාරේ සම්පූරණයෙන්ම තිබුණෙ දූවිලි වගේ වැලි. ඒ වගේ වැලි සහිත පාරක වැලි රත්වෙලා තියෙන අවස්ථාවක යද්දි බූට් ඇතුළට පවා රස්නය ඇතුළු වෙනවා. එහෙම උනා කියලා ඒ පාර මාගරින්නත් බෑ. මොකද පාරෙන් පිට තියෙන්නෙ කටු පදුරු සහිත කැළෑව. ඒකේ යනවට වඩා රස්නේ උනත් වැල්ලේම යන එක ලේසියි. සාමාන්‍ය දෙමළ මිනිස්සු මේ පොළොවේ පවා, වගේ වගක් නැතුව රබර් සෙරෙප්පු දමන්, එහෙමත් නැත්නම් සමහර තැන්වල සෙරෙප්පු නැතුව යන්නේ පොඩි කාලේ ඉදන්ම එවැනි පරිසරයකට හුරු වෙලා ඇති නිසා වෙන්න ඕනි. වටේ ගස් තිබ්බත් පාරට හෙවනක් කියලා නම් වැටුනේ එහෙමත් තැනකදි. ඉතින් සම්පූර්ණ ගමනම අව්වේ තමයි ගත කළේ.

16. දෙවෙනි දවසෙ දකින්න ලැබුණු වන සත්තු ගැන මතක් කළොත්?
** අලි නම් හමු උනේ නැති උනත්, අලි රෑ ආපු බවට ලකුණු තිබුණු හරියකින් තමයි ගියේ. හැබැයි අලි ඇට සැකිල්ලක් නම් තිබ්බා පාරේ අයිනේ. මගදි හමුවුණු හමුදාවේ කට්ටියක් වලහෙක් සැරිසරපු බවටත් පොඩි ආරංචියක් දුන්නා. හැබැයි ඉතින් කාවවත් හමු උනේ නම් නෑ. නරි, හාවෝ, කුරුල්ලෝ, මුවෝ මිසක්.

17. ​ඉතින් ඊට පස්සෙ?
** ​මැණික් ගගේ කදවුරු බිම අපේ ගමනාන්තය විදිහට වෙනස් කරලා ගමනේ යෙදුනත්, මගදි දැනගන්න ලැබුණා මැණික් ගගට කිලෝ මීටර් 2ක් මෙහායින් ඇති දන්සැලක් ගැන. ඒ නිසා රෑ වී ගෙන එමින් තිබ්බත් එතනට අපි දිගටම ගමන් කළා. මිනිස්සු 200කට විතර එකපාර කන්න පුලුවන් විදිහට තිබ්බ ඒ දැන්සැල පොලිතීන් කවරයක්වත් පරිසරයට නොදාමා නියමෙටම කරන් යන එකක්. දැන ගත්ත විදිහට “නිලංග දෑල ක්‍රන්ස්ට්‍රක්ෂන්” ආයතනය තමයි මේක කරන්නේ.

දෙමළ ක්‍රමයට කෙහෙල් කොළේ රසවත් කෑම වේලක් ඒ දන්සැලින් කාලා, එතනම කදවුරු බැදලා, දෙවැනි දවසේ රැ එතන ගත කළා. මේ හරිය වෙද්දි නම් කැළේ අවසාන වෙමින් පවතින බවට ලකුණු පේන්න ගත්තා. ගමන පටන් ගත්තාට පස්සේ යාන්තන් ඇමතුමක් ගන්න සිගනල් ආවේ මෙතෙන්දි. හැබැයි පහුවදා ගමන පටන් ගත්තාම ඒ ටිකත් නැති වෙලා ගියා, ආයි කතරගම කිට්ටු වෙනකල්ම. දෙවෙනි දවසෙත් අපි කිලෝ මීටර් 30ක් 40ක් විතර ඇවිත් තිබ්බා සිතියමේ හැටියට. වේගය නම් පොඩ්ඩක් අඩාල උනත්, සාමාන්‍ය වේගය දල වශයෙන් පැයට කිලෝ මීටර 4ක් වගේ රදවන් තිබ්බා.

​18. කොහොමද තුන්වෙනි දවස නොහොත් අවසාන දවස ආරම්භ කළේ?
** තුන්වෙනි දවස, අපේ ගමනේ අවසාන දිනය උනා. උදේටත් දන්සැලින් කාලම ගමන පටන් ගෙන වැඩි දුරක් යන්න කලින් අපි මැණික් ගග සීමාවට ළං උනා. ආපහු සැරයක් පාද යාත්‍රාවේදී කොළ පාට පරිසරයකට ආවා. මේ හරියේදී පාද යාත්‍රාවේ ගමන් මග වැටිලා තිබ්බේ කිලෝ මීටර් ගණනාවක් යනකං මැණික් ගගේ ඉවුර දිගේ.

19. ඒ කියන්නෙ යාල ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන මං සළකුණක්? පාද යාත්‍රාවේ යන අය විතරද පේන්න හිටියෙ?
** ගගෙන් එහා පැත්තේ සෆාරි කණ්ඩායම් සහ යාල කදවුරු බිම් පේන්න තිබ්බා. අපි සෆාරි කණ්ඩායම් 2ක් 3ක් එහා ඉවුරේ ඉන්නවා දැක්කා. සිංදු කිය කිය, බීලා නටන එක තමයි ඒ අය කරේ. ඔහොම කෑ ගහද්දි සුලභව දකින්න පුලුවන් මුවෙක්වත් ළං වෙන්නේ නෑ. මොන කෙහෙල්මලකට සල්ලි දීලා සෆාරි ජීප් එකක් අරගෙන, මේ කැළේට ආවද කියලා අපි කතා උනේ. තමන්ගේ ගම් පළාතෙම තියෙන තැනකට ගිහින්, අඩු වියදමින් ඔය ටික කරලා එන්න තිබ්බා. ගගේ මේ පැත්තේ නම් සංචාරකයෝ හමු උනේ නෑ.

20. තුන්වෙනි දවසෙ දකින්න හම්බුණේ මොන වගේ සත්තුද?
** ගමන පුරා දුටු වැඩිම සත්තු ටික නම් හිටියේ මේ හරියේදී. වතුර තියෙන නිසා සහ සාරවත් ගස් කොළන් තිබ්බ නිසා එහෙම උනා වෙන්න පුලුවන්. මුවෝ හැම තැනම කිව්වොත් හරි. සමහර වෙලාවට අපේ සද්ධය ඇහුනහම, මුවෙක්ට දුවන්න ඒ ඇති. සද්ධය කියලා කිව්වෙ ඇවිදිනකොට කොළ පැගුනහම එන පොඩි සද්ධය. අපිවත් වට කරගෙන සිය ගානක් මුවෝ දුවන එක මේ හරියේදී නිතරම සිදු උනා. ඒ වගේම ගමනේදී දුටු එකම කොටි සලකුණත් හමුඋනේ මේ හරියේදී. මගදි අපිව පසු කරගෙන ගියපු සැපයුම් සේවා වාහනයක ටයර් ලකුණ උඩින් කොටියාගේ අඩි සලකුණු වැටිලා තිබුණා. බොහෝවිට මුවෙක් ගොදුරු කර ගන්න ආපු කොටියා, අපි එන සද්ධෙට එතනින් ගියා වෙන්නත් පුලුවන්.

21. එච්චරද?
​** ​ඒ වගේම මුහුණට මුහුණ හොද Size වල් ඌරෙකුත් අපිට මේ හරියේදිම හමුඋනා. අපි ගිය පාර හරහා, ඌරන්ගේ පාරක් වැටිලා තිබ්බ තැනකදි තමයි මේ හමුව සිදු උනේ. අපි දෙගොල්ලොම තප්පර 10ක් විතර නැවතිලා මූණට මූණ බලන් හිටියා. අවසානයේදී ඒ ඌරා, පාර වෙනස් කරලා ආපහු හැරිලා ගියා. ඌ අපිට පහර දෙන්න හිතුවා නම්, කියන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ.

22. එතකොට කොහොමද පාද යාත්‍රිකයින්? අවසාන හරිය නිසා ගොඩක් දෙමළ මිනිස්සුන්ව හම්බවෙන්න ඇති නේද?
** ගමනේදී දැක්ක විශාලම පාද යාත්‍රිකයන්ගේ කදවුරු බිම වෙච්ච මැණික් ගග කදවුරු බිම හමුඋනා මේ හරියේදී. වතුර බොහෝදුරට සිදී ගිය මැණික් ගගේ වැලි තලාවේ කිලෝ මීටරයක් විතර දුරට, දිගටම දෙමළ මිනිස්සු කදවුරු බැදන් හිටියා. කතරගමට පිවිසෙන්න කලින් තමන්ගේ රෙදි හෝදලා, නා ගන්න පුලුවන් නිසා, දවසක් විතර මේ හරියේ මේ මිනිස්සු ඉන්නවා. වැල්ලේ ලීවලින් අට්ටාල හදලා, ඒවායේ රෙදි වේලෙන්න දාලා, හෙවනක පොලිතින් කොලයක් එලාගෙන, නිදාගෙන ඉන්න මිනිස්සු සිය ගාණක් මේ හරියේදී හමුඋනා.

23. ඊට පස්සෙ මොකද වුණේ?
** මැණික් ගග දිගේ වැටිලා තිබුණු පාර අතරමගදි පාලමක් හරහා ගගේ අනිත් ඉවුරට වැටෙනවා එක තැනකදි. එතන ඉදලා පාර වැටිලා තියෙන්නෙ ගගෙන් ඈතට. ගගෙන් ඈත් වෙන්න, ඈත් වෙන්න ආයිත් වතාවක් වියළි කර්කෂ පරිසරයක් වෙතයි අපි ආවේ. මේ හරියේදි නම් සෆාරි කණ්ඩායම් සෑහෙන්න හමුඋනා. මේ වෙද්දි නම් බූට් ඇතුළෙ පෝරණුවක් වගේ වෙලා තිබ්බේ.

24. මේ තමයි ගමනේ අවසානම හරිය?
** ඔව්. ගමනේ තුන්වෙනි දවසේ හවස 5.00 විතර වෙද්දි යාල කටගමුව පිවිසුමට එන්න අපිට හැකි උනා. ඒත් එක්කම යාල ජාතික වනෝද්‍යානය හරහා දින තුනක් පුරා ආ ගමන අවසන් උනා. මෙතන ඉදලා කතරගමට දුර කිලෝ මීටර් 11යි.

25. දිගටම විස්තර කරමු.
** ඒ කොටස නම් ගම්මාන මැදින් තමයි යන්න තියෙන්නේ. ඒ ටිකත් ආපු විදිහටම ගියා. අවසාන දවසේ රෑ අපි, කතරගම දේවාලය ඉස්සරහා අංගනයේ රාත්‍රියේ කූඩාරම් බැන්දා.

26. එතකොට පහුවෙනිදා?
** උදේම රත්තපුරේට එන්න, බස් එකේ නැග්ගා. ඉරිදා දවල් වෙනකොට ගෙදර ආවා.

27. ගෙදර ආවට පස්සෙ ගමන ගැන මොනවද හිතුනෙ? ඇගටත් පුදුමාකාර සනීපයක් දැනෙන්න ඇති නේද?
** තවත් කැමති ගමනක් ගිය සතුට තමයි. ඒ වගේම අලුත් අත්දැකීම් ටිකක් එකතු උනා. පරිසරය ගැන, මිනිස්සු ගැන… විශේෂයෙන්ම දෙමළ මිනිස්සු ගැන. මීට කලිනුත් ඔවුන් එක්ක වැඩ කරලා තිබුණු අත්දැකීම් තවත් අලුත් උනා. අපි වගේම තමා. සංස්කෘතියේ පොඩි වෙනසක් විතරයි තියන්නේ. ඇගට නම් මහන්සියි. ඒක ඉතින් බලාපොරෙත්තු වෙන්න වෙනවනේ.

28. ඔන්න දැන් කරන්න පුලුවන් සාකච්ඡාව පටන් ගත්ත වෙලාවෙ ඉදලා බලාගෙන හිටපු දේ. දැන් මතක් කරමු තමන්ගේ ගමන් සගයව. ඒ ගමන්ම ස්තූති කරන්න ඕන අනිත් අයවත් මතක් කරමු.
** මේ ගමන මම ගියේ තනියම නෙමේ. මගේ යාලුවෙක් එක්ක. මේ ගමනේ නඩේ ගුරා එයා. හිටපු හමුදා නිළධාරියෙක් වන ඔහු ත්‍රාසජනක ක්‍රියාකාරකම් (Adventure) පිළිබද ආයතනයක (Adventure Team 09) හිමිකරුවෙක් වගේම ඒ පිළිබදව ප්‍රවීනයෙක්. නමින් තරිදු සේනානායක. මට වඩා සෑහෙන්න අත්දැකීම් එයාට තියෙනවා. ඇත්තටම මේ වගේ ගමන් යන්න ඕන, ඒ වගේ අත්දැකීම් තියෙන අය එක්කයි. මොකද සාමාන්‍ය ගමනකට වඩා අවදානම් සහිතයි මේ වගේ ගමන්වල. අනික අපිට ගමන පුරා වතුර, කන්න ජාති දීපු දෙමළ මිනිස්සුන්ටත් ස්තූති කරන්න ඕනි.

29. මොනවද ඉදිරි බලාපොරොත්තු? ඉදිරියේදී මොන වගේ ස්ථානද, සංචාරයට තෝරගෙන තියෙන්නෙ?
** ලැයිස්තුව නම් සෑහෙන්න දිගයි. කාලයත් එක්ක ලැබෙන අවස්ථා එක්ක, ඒවා යන්න පුලුවන්වෙයි හෝ නැති වෙයි.

30. වරුණට ලියනවා නම්?
** varuna24@gmail.com

ඔන්න ඔහොමයි මේ සාකච්ඡාව නිමා වෙන්නේ. වරුණ එක්ක කරපු මේ සාකච්ඡාව ගොඩක් රසවත් එකක් වුණා. මේ සාකච්ඡාව හරහා අපිත් යාල මැදින් කතරගම දේවාලයට ගියපු පාද යාත්‍රාවට එකතු වුණා. ඉතින් අපි වරුණට ගොඩක් ස්තූතිවන්ත වෙනවා අපිත් එක්ක එකතු වුණාට. ඉදිරියේදිත් වරුණ එක්ක තවත් කතාබහක් ආරම්භ කරන්න අපි බලාපොරොත්තුවක් තියාගමු.

වරුණ ඉස්සරහට කරන්න යන සංචාර සහ ඒ සංචාරවල විස්තර, ඡායාරූප බලන්න බලාපොරොත්තු වෙන අයට පුලුවන්, වරුණගේ Facebook පිටුවට Like එකක් දාන්න. ඒ වගේම මේ පිටුව හරහා වරුණගේ පහුගිය සංචාරවල විස්තර සහ ඡායාරූප නරඹන්නත් ඔයාලට පුලුවන්.

https://www.facebook.com/Waruna-Kamalawanshas-photography-111098895600338/

ඊට අමතරව තරිදු ඉස්සරහට කරන්න යන සංචාර සහ ඒ සංචාරවල විස්තර, ඡායාරූප බලන්න බලාපොරොත්තු වෙන අයට පුලුවන්, තරිදුගේ Facebook පිටුවට Like එකක් දාන්න. ඒ වගේම මේ පිටුව හරහා තරිදුගේ පහුගිය සංචාරවල විස්තර සහ ඡායාරූප නරඹන්නත් ඔයාලට පුලුවන්.

https://www.facebook.com/frogops/

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.