පෙනෙන දෑසින් එපිට

August 6, 2020

ශ්‍රී ලාංකික ජනතාව මැතිවරණ උණුසුමෙන් රත් වී තිබෙන මොහොතක ලෝකයේ තවත් තැනක අමිහිරි ඛේදවාචකයක් සිදුවිය. තව ටික දිනකින් එය අතීතයට එක්වූ තවත් සිදුවීමක් වනු ඇත. නමුත් මේ සිදුවීමෙන් අප උගත යුතු පාඩම අමතක කර දැමුවහොත් එය නැවත වරක් නව මුහුණුවරකින් සමහර විට අපේ රටේම ප්‍රතිරූපනය විය හැක.

මා කිහිප අවස්ථාවක ජාතික බලශක්ති ප්‍රතිපත්ති ගොඩනැගීමෙහිලා (ලංකාවේ නොවේ) දායක වී ඇත. එසේම මැලේසියාවේදී මගේ අධීක්ෂණය යටතේ සිසුන් කිහිප දෙනෙක්ම සෞඛ්‍ය සත්කාර අපද්‍රව්‍ය (healthcare waste) පිළිබඳව පර්යේෂණ තුලින් තම පශ්චාත් උපාධි ලබාගන්නා ලදී. බලශක්ති ප්‍රතිපත්ති ගොඩනැගීමේදී වැඩිම කාලයක් යොමුකරන අංශය පිළිබඳව යමෙක් ඇසුවහොත් මට දිය හැකි සරලම පිළිතුර අපද්‍රව්‍ය බැහැරකරණය යන්නයි. එය විදුලි බලාගාරයක ප්‍රාග්ධනයෙන් සහ මෙහෙයුම් පිරිවැයෙන් විශාලම කොටසකට හිමිකම් කියයි. න්‍යෂ්ඨික බලගාරයකදී මේ තත්වය වඩාත් තීරණාත්මක වෙයි.

සෞඛ්‍ය සත්කාර අපද්‍රව්‍ය සම්බන්ධයෙන් අප දීර්ඝ කාලින සමීක්ෂණයක් කල අතර එහිදී හෙලිවුයේ. යුරෝපයේ සහ වෙනත් දියුණු රටවල සෞඛ්‍ය සත්කාර ආයතනවලට ඇති විශාලම හිසරදය අපද්‍රව්‍ය බැහැර කිරීම බවයි. ඒ රටවල ඇති සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා ඔවුන්ට විශාල මෙහෙයුම් පිරිවැයක් දැරීමට සිදුවෙයි. නමුත් මැලේසියාව, චීනය, ඉන්දුනීසියාව වැනි රටවල මෙම ප්‍රමිතීන් වලින් රිංගා යාමට සෞඛ්‍ය සත්කාර අංශයට බොහෝ සෙයින් ඉඩකඩ ඇත.

මා ඊළඟට කියන්න යන දේ මුලින්ම ලිව්වේ මීට වසර පහළොවකට පමණ පෙර විදුසර හෝ දිවයින පුවත්පතටය. වසර 2000 ට ආසන්න වකවානුවක පකිස්ථානයේ පැවතී න්‍යෂ්ඨික බලාගාර ආරක්ෂණය පිලිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රනයකදී මට බෙල්ජියම් ජාතික විද්‍යාඥයෙක් හමුවිය. සති දෙකක් පමණ කාලයක් බුහුර්බාන් කදුකරයේ ඉතා මනරම් හෝටලයක නේවාසිකව පැවති මෙම වැඩසටහනේදී මට ඔහු ඉතා සමීප මිතුරෙකු විය. ඔහුගේ නම මතක තබා ගත නොහැකි තරම් සංකීර්ණය. එබැවින් මම ඔහු ක්‍රිස් නමින් හඳුන්වන්නම්. ක්‍රිස් න්‍යෂ්ටික බලාගාර අධික්ෂණය පිළිබඳව ජාත්‍යන්තර කමිටු කිහිපයකම සාමාජිකයෙකි. ඔහු කී බොහෝ කාරණා සාරාංශ ගත කරනවා නම් මෙසේය.
සෝවියට් දේශයෙන් බිඳී ගිය රටවල කිහිපයක්ම න්‍යෂ්ඨික විදුලි බලාගාර සහ න්‍යෂ්ඨික අවි වලට හිමිකම් කියයි. මේ බොහෝ රටවල් පසු කාලයක ආර්ථික අවපාතයන්ට ගොදුරු විය. මේ නිසා නන්‍යෂ්ඨික අපද්‍රව්‍ය බැහැර කරණය ඔවුනට දරා ගත නොහැකි තරම් වියදම් අධික ක්‍රියාවලියක් බවට පත්විය.

ඉන් පසු ක්‍රිස් පැවසු සෑම කාරණයක් සඳහාම ඔහු කිහිප විටක් “මම කියන මේ කිසිම දෙයක් තහවුරු වෙලා නැහැ” යයි කීමට වගබලා ගත්තේය.

මෙවන් වාතාවරණයක න්‍යෂ්ඨික අපද්‍රව්‍ය බැහැර කිරීමට ලාබදායි ක්‍රමයක් ඔවුන් සොයාගැනීමට ඇති බව ක්‍රිස්ගේ අදහසයි. එනම් ජිවිතාන්තයට ආසන්න වූ නැවක් කුලියට ගෙන එයට එම අපද්‍රව්‍ය පැටවීමයි. ඉන්පසු එම නෞකාව දුර බැහැර මුහුදු සීමාවකදී හදිසි අනතුරක් සේ හඟවමින් එය ගිලවා දැමීම හෝ නැව අතහැර පලා යාමට නැවේ කපිතාන්වරයා එකඟ කරවා ගනියි. චීනය, යුරෝපය හෝ ඇමරිකාවද මෙම ක්‍රමවේදය අනුගමනය කරන්නේ නැති බවට සහතිකයක් දිය නොහැකි බව ක්‍රිස් පැවසිය.

“මේ බොහෝ නෞකා කෙලවර වෙන්නේ නුඹලාගේ රටවල් ආසන්නයේ” කියමින් අවසානයේදී ක්‍රිස් සිනාසෙන්න විය.

ලිපිය දිගටම කියවන්න >>>

මහාචාර්ය චන්දිම ගෝමස් මහතා, ආසියාවේ බොහෝ ප්‍රදේශවල අකුණු ආරක්ෂණ පිළිබඳ සමාගම් විශාල සංඛ්‍යාවක උපදේශකයෙක් ලෙසත්, ආසියාවේ අකුණු ආරක්ෂණ සහ විදුලි සුරක්‍ෂිතතාව පිළිබඳ ප්‍රමුඛ පුහුණුකරුවෙක් ලෙසත්, විද්‍යුත් ආරක්ෂාව සහ විද්යුත් චුම්භක අනුකූලතා සම්බන්ධව පළපුරුදු ඉංජිනේරු උපදේශකයෙක් ලෙසත්, ඉංජිනේරු සහ භෞතික විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙක් සහ ලේඛකයෙක් ලෙසත් කටයුතු කරනවා. මහචාර්ය චන්දිම ගෝමස් මහතා ඔහුගේ ජීවන අත්දැකීම්, කාර්යයන්, විද්‍යාවට දක්වන දායකත්වය, විද්‍යාව සහ තාක්ෂණයේ අනාගත ප්‍රවණතා සහ රාජ්‍ය අංශය සඳහා වඩාත් පලදායී ලෙස විද්‍යාව යොදාගෙන වැඩකටයුතු කාර්යක්ෂම කර ගැනීම පිළිබඳව මෙම බ්ලොග් අඩවියේ කෙටියෙන් සඳහන් කරනු ලබයි.