විදුලිය ගැන පොඩි කතාවක්

බලශක්තිය ගැන කතාකිරීමේදී විෂය බාර ඇමතිවරයාගේ/ ඇමතිවරියගේ සිට විදුලි පාරිභෝගිකයා දක්වා වරද්දා ගන්නා ඉතා සරල කාරණයක් ඇත. එනම් ක්ෂමතාවය (power) හා ශක්තියයි (energy). මේ සඳහා මට සාමාන්‍ය පෙළ පාඩමක් කෙටියෙන් ඉදිරිපත් කිරීමට සිදුවෙයි.

නිමල් ජල කරාමය ඇර බාල්දියක් ඒ යටින් තැබූ විට තත්පරයකදී එයට එක්රැස්වන ජල ප්‍රමාණය ක්ෂමතවයට සමාන වෙයි. නිමල් ඒ ආකාරයෙන් කරාමය පැයක් හෝ දිනක් ආදී වශයෙන් ඇර තැබුවහොත් තැබුවහොත් එකතු කරගත හැකි මුළු ජල ප්‍රමාණය පැයක හෝ දිනක ශක්ති සැපයුමට සමානවෙයි.

නිමල්ගේ කරාමයෙන් ජලය ගලන්නේ එකම ශිඝ්‍රතාවයෙන් නම් එකතුවන මුළු ජල ප්‍රමාණය පහසුවෙන් ගණනය කල හැක. උදාහරණයක් ලෙස තත්පරයකට ජලය ලීටර 0.1 ක් පිරේ නම් පැයකදී එකතුවල ජල ප්‍රමාණය ලීටර 360 කි (0.1 x 3600). එහෙත් නිමල්ගේ කරාමයෙන් එන ජල ප්‍රමාණය නිරතුරුවම අඩු වැඩි වෙයි නම් මෙම ගණනය කිරීම ලෙහෙසි නැත.

විදුලි ක්ෂමතාවය, වොට් (Watt හෝ W) වලින් මනිනු ලැබේ. සාමාන්‍යයෙන් නිවසක හෝ කර්මාන්තශාලාවක ක්ෂමතාවය වොට් දහසේ එකක වලින් නැත්නම් කිලෝ වොට් (kW) වලින් ප්‍රකාශ කිරීම පහසුය. විදුලි බලාගාර ධාරිතාවය වොට් මිලියනයේ – මෙගා වොට් (MW) – ඒකක වලින් හෝ වොට් බිලියනයේ – ගිගා වොට් (GW) – ඒකක වලින් සඳහන් කිරීම පහසුය. සමහර රටවල ගිගා වොට් දහසේ ඒකක (ටෙරා වොට් -TW) වලින්ද කතාකරන කාලය එළඹ ඇත.

වසරක පමණ කාලයක් සැලකීමේදී විදුලි ජනකයක් එකම ක්ෂමතාවයකින් නිරතුරුවම නිෂ්පාදන ක්‍රියාවලියේ නිරතවෙතැයි බලාපොරොත්තු විය නොහැක. අලුත්වැඩියා හා නඩත්තු කටයුතු, පාරිභෝගික ඉල්ලුම, ශක්ති ප්‍රභව සැපයුම ආදී කරුණු මත විදුලි ජනනය අඩු වැඩි වීමට හෝ සම්පුර්ණයෙන් නැවතීමට පුළුවන. මේ නිසා වසරකදී නිපදවන ශක්තිය බලාගාරයේ ධාරිතාවය මත පමණක් රඳා නොපවතී.

සාමාන්‍යයෙන් ශක්තිය මනින ඒකකය ජූලය (J) වුවත් විදුලි ශක්තිය මැනීම සඳහා වොට්-පැය (Wh) යන ඒකකය යොදාගනී. මෙය සාපේක්ෂ වශයෙන් කුඩා ඒකකයක් බැවින් kWh, MWh, GWh ආදී වශයෙන් වොට්-පැය දහසේ, මිලියනයේ සහ බිලියනයේ ඒකක සාමාන්‍යයෙන් භාවිත කෙරේ.

දැන් අපි ලංකාවේ තත්වය දෙස බලමු. මේ වන විට රටේ මුළු විදුලිබල ස්ථාපිත ධාරිතාවය (total installed capacity) ගිගා වොට් 4 කට මදක් ඉහලය (සසඳා බැලීම සඳහා – ඉන්දියාවේ මුළු ස්ථාපිත ධාරිතාවය ගිගා වොට් 335 කි). ලංකාවේ වාර්තාවන උපරිම විදුලිබල ඉල්ලුම ගිගා වොට් 2.5 කට වඩා ස්වල්පයක් වැඩිය. මේ අනුව බැලූ බැල්මට ලංකාවේ විදුලි බල නිෂ්පාදනය ඉහටත් උඩින් සෑහේ.

එසේ නම් කලින් කලට රට අඳුරේ පවතින්නේ කුමක් නිසාද?

ලිපිය දිගටම කියවන්න >>>

මහාචාර්ය චන්දිම ගෝමස් මහතා, ආසියාවේ බොහෝ ප්‍රදේශවල අකුණු ආරක්ෂණ පිළිබඳ සමාගම් විශාල සංඛ්‍යාවක උපදේශකයෙක් ලෙසත්, ආසියාවේ අකුණු ආරක්ෂණ සහ විදුලි සුරක්‍ෂිතතාව පිළිබඳ ප්‍රමුඛ පුහුණුකරුවෙක් ලෙසත්, විද්‍යුත් ආරක්ෂාව සහ විද්යුත් චුම්භක අනුකූලතා සම්බන්ධව පළපුරුදු ඉංජිනේරු උපදේශකයෙක් ලෙසත්, ඉංජිනේරු සහ භෞතික විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙක් සහ ලේඛකයෙක් ලෙසත් කටයුතු කරනවා. මහචාර්ය චන්දිම ගෝමස් මහතා ඔහුගේ ජීවන අත්දැකීම්, කාර්යයන්, විද්‍යාවට දක්වන දායකත්වය, විද්‍යාව සහ තාක්ෂණයේ අනාගත ප්‍රවණතා සහ රාජ්‍ය අංශය සඳහා වඩාත් පලදායී ලෙස විද්‍යාව යොදාගෙන වැඩකටයුතු කාර්යක්ෂම කර ගැනීම පිළිබඳව මෙම බ්ලොග් අඩවියේ කෙටියෙන් සඳහන් කරනු ලබයි.