කඩොලාන ද? ක්‍රීඩා පිටිය ද ?
ලෝකයේ තියෙන පරිසර පද්ධතින් අතරින් ඉතාමත් වැදගත් පරිසර පද්ධතියක් විදිහට කඩොලාන පරිසර පද්ධතිය අපට හඳුන්වා දෙන්න පුළුවන්. කරදිය සහ මිරිදිය දෙකම මිශ්‍ර වී ඇති ප්‍රදේශවල තියෙන මේ කඩොලාන ශාක වලට සාමාන්‍ය ශාකවලට ජීවත් වීමට අපහසු පරිසර සාධක වලට ඉතා සාර්ථකව මුහුණ දීමේ හැකියාව තියෙනවා.
කඩොලාන ශාක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්ත වෙනවා. එනම් සත්‍ය කඩොලාන සහ ආශ්රිත කඩොලාන යන ශාකයි. කඩොලාන පරිසර පද්ධතියේ දී පමණක් දක්නට ලැබෙන ශාක සත්‍ය කඩොලාන ලෙස හඳුන්වන අතර ඉන් එපිට දක්නට ලැබෙන්නා වූ ශාක ආශ්රිත කඩොලාන ලෙස හඳුන්වනු ලබනවා. සත්‍ය කඩොලාන ශාක වලට උදාහරණ ලෙස මල් කඩොල්, හීන්කඩොල්, මට්ටි කඩොල් වැනි කඩොලාන විශේෂ ද මඩගස්, මණ්ඩ වැනි විශේෂ ද කිරළ විශේෂ ද හඳුන්වා දිය හැකියි.
එසේම ආශ්රිත කඩොලාන ශාක සඳහා කටු ඉකිලි, කැරැන් කොකු හා ඇටුන වැනි කඩොලාන දැක්විය හැකියි. එසේම කඩොලාන ශාක වල ප්‍රධාන වශයෙන් මුල් වර්ග දෙවර්ගයක් බලාගන්න පුළුවන්. එනම් කරු මුල් (Prop Roots) හා කයිරු මුල් (Stilt Roots) ලෙසයි. කයිරු මුල් හටගන්නේ කඳෙන් වන අතර කරු මුල් හට ගැනීම සිදුවන්නේ අතුවලිනි.
පසෙහි තිබෙන බුරුල් ස්වභාවයට මෙන්ම තද සුලඟටද ඔරොත්තු දී කඩොලාන බිමට පෙරලීම වළක්වා ගැනීම ප්‍රධාන වශයෙන් මේ මුල් මගින් සිදු කරයි. එසේම මෙම ශාකවල මුදුන් මුලෙන් හට ගන්නා ජලය හරහා ජලයෙන් ඉහලට පැන නගින මුල් “ස්වසන මුල්” හෙවත් “වායුධර මුල්” ලෙස හඳුන්වනවා. එසේම ජලයෙන් ඉහලට මතුවන මෙම මුල් දණහිසක් ආකාරයට නැමී නැවත ජලය තුළටම ගමන් කරන ආකාරය අපට බලා ගන්න පුළුවන්. ඒවා හඳුන්වන්නේ “දනහිස් මුල්” ලෙසයි. මෙම මුල් මත ස්වසනය සඳහා අවශ්‍ය කරන සිදුරු පිහිටා තිබෙනවා.
කඩොලාන ශාක මගින් සිදුවන සේවය අති විශාලයි.
ප්‍රධාන වශයෙන් “මුහුදු කෑම” වැළැක්වීම මෙම පරිසර පද්ධතිය මගින් සිදු වන විශේෂ මෙහෙයක්. මෙම ශාක සතු කරු මුල් ඉතා හොඳින් පස සමඟ බැඳී පවතින නිසා පස ආවරණය වෙනවා. එයින් මුහුදු රළ පස සමග ගැටීම වැළකී මුහුදු කෑමෙන් මුහුදු වෙරළ ආරක්ෂා වෙනවා.
බොහෝ වෙලාවට මුහුදු වෙරළ ලගින්ම පිහිටන්නේ කඩොලාන ශාක පද්ධතියයි. මුහුදේ සිට එන වේගවත් සුළං පළමුව වදින්නේ කඩොලන ශාක මතයි. මෙම ශාක සතු සුළඟට ඔරොත්තු දීමේ හැකියාව නිසා රට තුළට පැමිණෙන සුළඟේ වේගය අඩු කරලීමට උපකාරී වෙනවා.
කඩොලාන ඉතාමත් හොඳ ජෛව විවිධත්වයක් ඇති පරිසර පද්ධතියක්. ශාක තුළ සිදුවන ප්රභාසංස්ලේෂණ ක්‍රියාවලිය නිසා නිපදවෙන ද්‍රව්‍ය එම ශාක පත්‍ර තුළ සහ කඳන්වල තැන්පත් වෙනවා. ක්ෂුද්‍ර ජීවීන් ඒවා වියෝජනය කර ප්‍රෝටීන් බහුල කුඩා අංශු බවට පත් කරනවා. මෙම අංශු වෙරළබඩ ජලය වෙත ගසාගෙන යනවා. ඒවා කුඩා ජලජ ජීවීන්ට හොඳ ආහාරයක්. එම කුඩා සතුන් විශාල සතුන්ගේ ආහාර බවට පත් වෙනවා. එම නිසා කඩොලාන ශාක පරිසරය විශාල ආහාර දාමයක ආරම්භක පුරුකක් බවට මනාව පැහැදිලි වෙනවා.
එසේම සැතපුම් දහස් ගණනක් ගෙවා කලින් කලට ශ්‍රී ලංකාවට පැමිණෙන සංක්‍රමණික පක්ෂීන්ට පළමුවෙන්ම හසුවන්නේ මේ කඩොලාන ශාක පරිසරයයි. එම කුරුල්ලන් බොහෝවිට ගිමන් නිවා ගන්නේ මෙම කඩොලාන පරිසරයේ දී. මෙම ශාක පද්ධතිය තුළ තවත් සතුන් රැසක්ම ජීවත්වනවා. වල් බළලා, හඳුන් දිවියා, දිය බල්ලා සහ මුහුදු ඌරන් වැනි සතුන් ඒ අතරින් ප්‍රධානයි.
කැරන්කොකු නමින් හැඳින්වෙන මීවන වර්ගයට අයත් කඩොලාන ශාකයේ දළු ඉතාමත් ජනප්‍රිය මැල්ලුමක්. ගැමියන් විසින් ගිං පොල් ශාකයේ අතු වලින් පැදුරු, වට්ටි ආදිය සකසා ගන්නා අතර බොහෝ විට වෙස්මුහුණු කැපීමට භාවිතා කරන්නේ ගොන් කදුරු ශාකයේ කඳ කොටසයි.
ඒ වගේම කඩොලාන අතරින් සුවිශේෂී ශාකයක් වන කිරළ ගසින් මිනිසාට ලැබෙන්නේ විශාල සේවයක්. එහි මුල් මඟින් කිරළ මූඩි සකසා ගන්නා අතර කිරළ ගෙඩි ඉතාමත් ප්‍රණීත පානයක් ලෙස සකසා ගන්නත් පුළුවන්. අපේ රටේ එතරම් ජනප්‍රිය නොවුනත් මී මැසි පාලනයට කඩොලාන ඉතාමත් යෝග්‍යයි.
ලෝකයේ තිබෙන විශාලතම කඩොලාන පරිසර පද්ධති වලින් එකක් වන බංග්ලාදේශයේ සුන්ඔබාන්ස් ප්‍රදේශයේ පිහිටි කඩොලාන පරිසර පද්ධතියෙන් වසරකට මී පැණි ටොන් විස්සක් පමණ ලබා ගන්නවා.
මෙවන් වූ විශාල සේවයක් රටට සපයා දෙන කඩොලාන පරිසර පද්ධතීන් රටට මහඟු සම්පතක් වන අතර අනාගත පරම්පරාව උදෙසා මේ වටිනා සම්පත රැක ගැනීම ඔබෙත් මගෙත් පරම යුතුකමක්.
උපුටා ගැනීම් :
* ඡායාරූපය 01 : www.googleapis.com
* ඡායාරූපය 02 : Peter Prokosch
* ඡායාරූපය 03 : www.nature.org
* ඡායාරූපය 04 : www.zsl.org
* ඡායාරූපය 05 : www.carbonbrief.org