මට පුළුවන්
ජීවිතය හැමෝටම බලාපොරොත්තු තියෙනවා. ජීවිතයේ යම් දෙයක් බලාපොරොත්තු වෙනවා. අපි අපේ ජීවිතයේ වැටුණු තැන් ඉලක්ක අතඇරියා. යම් කෙනෙක් අපිට බෑ කියද්දි අපි අපේ ඉලක්ක අතඇරියා. ජයග්‍රහණය පේනමානේ දී අපි අපේ ඉලක්ක අතඇරියා.
ඒත් අපි අපේ පුංචි කාලේ අම්මා තාත්තා හරි වැඩිහිටියෙක් හරි කිව්වෝත් අපිට එපා ඒ වැඩේ කරන්න, වැටෙයි ඔයා කියලා කිව්ව වෙලාවලදි අපි ඒ වැඩ අත ඇරියේ නෑ නේද? වලි දදා හරි අපිට ඕන දේ අපි කළා නේද? ඒ කාලේ ඉතින් අපි වැටුනා කියලා ඒක ගනං ගත්තෙත් නෑ නේ.. රිදුනා කියලා ඇඩුවෙත් නෑනේ.
හැබැයි අපි කොයි වෙලාවකදිවත් මානසිකව වැටුණේ නෑනේ. ඒ හැම දෙයක්ම වැටි වැටි හරි අපි කළා නේද? එහෙනම් ඇයි දැන් වෙලාවක් නෑ, කම්මැලියි, අරය කරනකං, මෙයා කරනකන් බලං ඉන්නෙ? පුංචි කාලේ හිතේ තිබ්බ ධෛර්යය දැන් කෝ? අපිට අපිව අමතක වෙලා නේද?
මිනිස්සුන්ට හැම දෙයක්ම ලේසියෙන් ලැබෙනවා නම් එහි වටිනාකමක් තියෙනවද..? ගංගාවක් උනත් ගල්පර අතරින් හැපි හැපී ඉස්සරහට එද්දි නේද එකේ ලස්සන බව ඉස්මතු වෙන්නේ……?
පුංචි කතාවක් කියන්නම්. ඒ කතාව පුංචි උනාට ඔබට මට ගන්න තියෙන කතාව නම් පොඩි නෑ ඉතින්. විශාල ගල් තලාවක් මත පුංචි බීජයක් වැටෙනවා. ඒ බීජයට ඒ ගල්තලාවක් මත ජීවත් වෙන්න හරි අමාරුයි. තමන්ගේ ජීවිතේ හොයාගන්න එහෙම ගල් පැල්මක් අස්සට ගියපු ඒ බීජය, චුට්ට චුට්ට ජලය එකතු කරල කොහොම හරි එයාගේ මුල් ටික ශක්තිමත් කරගෙන පුංචි පැලයක් වෙනවා… මෙම පුංචි බීජය ඒ විශාල ගල්තලාවක්, වටපිටාවේ රුස්ස ගස් අතරින් දැවැන්තයෙක් විදිහට නැගිසිටිනවා. ඇත්තටම පුංචිම පුංචි කතාවක්. හැබැයි සොබාදහමේ අපේ ජීවිතයට ලබා දෙන ලොකු පණිවිඩයක්…
සරු පසෙකට වැටුණු බීජයකට විතරක් නෙමෙයි. කටුක ගල් තලාවක් මතට වැටුණු පුංචි බීජයටත් දැවැන්තයෙක් විදිහට විදියට නැගිටින්න පුළුවන්. ඒක තියෙන්න ඕන හොඳ ආත්ම ශක්තියක් වගේම ධෛර්යයක්. බෑ කියන වචනෙ ජීවිතෙන් කට් කරලා මට පුළුවන් කොහොමහරි ඉලක්කයට යනවා කියන සිතුවිල්ලත් එක වැඩ කරන්න ඕනේ.
ඔබ චුට්ටක් හිතුවද ඔලිම්පික් පදක්කමකට මෙච්චර ලොකු වටිනාකමක් ලැබෙන්නේ ඇයි කියලා? එහෙනම් චුට්ටක් හිතන්නකෝ පදක්කම අපි හැමෝටම ගන්න පුළුවන් නම් ඒක මෙච්චර වටිනවද? ඇත්තටම නැහැ. ඔලිම්පික් පදක්කම ගන්න කොච්චර අමාරුයිද?
හැබැයි අමාරුවෙන් හරි ඒ ගමන ගියොත් එකෙන් ලැබෙන ජය සතුට කීර්තීය කෝච්චර වටිනවද? එතකොට අපි බාධක ජයගෙන ලබන ඒ ජයග්‍රහණය කොච්චර වටිනවද? චුට්ටක් ඒ ගැනත් හිතමු…
ඇත්තටම ජීවිතයේ යම් තැනකදි දිනලා තියෙන්නේ රෝස මල් යහනාවක් තුළින් තමන්ගේ ජීවිතේ ජයග්‍රහණය කරපු මිනිස්සු නෙවෙයි. මේ මහා පොළොව… ඒකෙ දූවිලි ,රස්නය ,දාඩිය එක්ක පොර බැඳලා තමන්ගේ ඉලක්ක වලට ගියපු මිනිස්සු. අපිටත් පුළුවන්.
ඇත්තටම අපි අපේ ගැන හිතලා තියෙන්නේ කොච්චර නම් අඩු තක්සේරුවකින් ද කියලා හිතන්න පුලුවන්ද?
ඔයා ගැන ලස්සන ලොකු කතාවක් තියේ අනිත් අයට කියන්න. මොකද ඔයා ආපු ගමන් මග තුළ ඔයාට ලැබුණු ප්‍රශ්න, අභියෝග, ඔයා මුහුණ දීපු විදිය… ඒවත් එක්ක ඔයාට තවත් ප්‍රශ්නයකදී, ඒවා හරියට ගලපා ගෙන, මේ කාලයක් මේ ප්‍රශ්නෙට මං මේ වගේ විසඳුමක් ගත්ත කියලා තමන්ගේ ජයග්‍රහණයට යන පාරේ ඒක ඇත්තටම ඔයාට වැදගත්.
මොකද ඔයාට මේ කතාව දවසක වැදගත් විදිහට කියන්න පුළුවන් නිසා. මං ඔයාට යම් වචන දෙකක් කියලා දෙන්නම්.
ඒ තමයි “ මට පුළුවන් “. ඔයා නිතරම හිතන්න ඕනි. “ඔයාට පුලුවන්. ඔයා කොහොම හරි මේ දේ කරනවා”… මේ කාලය තුළ කොහෝම හරි මගේ ඉලක්කයට යනවා. හැබැයි ඒ යන මාර්ගයේ නම් ලේසි නෑ….. ඔයාට එන අභියෝග වලදී කටුකත්වයදි හිතන්න මට ලස්සන දිණුම් කණුවක් තියෙනවා. මම ඒකට කොහොම හරි යනවා. ඒ තුළින් ඔයාට ලැබෙන අලුත් ජීවිතේ ගැන හිතන්න. එහෙම හිතලා මේ එන අභියෝග ඔයා ගන්න. ඒ අභියෝග ඔයාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක් වෙන්න පුළුවන්.
ඔයාම තමයි ඔයාම ඔප දාලා ලස්සන ජිවිත මැණික ලස්සනට හදාගන්න ඕන .ඒ නිසා මට පුළුවන් කියන වචනෙත් එක්ක අපි ඉස්සරහට යං…