මාලදිවයින් පාලක පක්ෂය දෙකඩ වෙයිද?
එළඹෙන සැප්තැම්බරයේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (MDP) අපේක්ෂකයා තෝරාගැනීමේ ඡන්ද විමසීම ජනවාරි 28 වනදා පවත්වනු ලැබුණා. මෙහිදී වර්තමාන ජනාධිපති ඊබ්‍රහීම් සෝලිහ් හිටපු ජනාධිපති මොහොමඩ් නශීඩ් පරාජය කරමින් ජයග්‍රහණය කළා. ඒ සමගම මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවයක් නිර්මාණය වී තිබෙනවා.
පසුගිය වසර කිහිපය මුළුල්ලේම මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අභ්‍යන්තර ගැටුම හේතුවෙන් එරට දේශපාලනය වූයේ අවිනිශ්චිත තත්ත්වයකයි. දිගුකාලීන මිතුරන් මෙන්ම ඥාතීන් ද වන සෝලිහ් සහ නශීඩ් අතර මතගැටුම් එම පක්ෂයේ අභ්‍යන්තර බල අරගලයක් නිර්මාණය කළා. MDP පක්ෂයේ අපේක්ෂකයා තේරීමේ ඡන්දයෙන් ද එම ගැටුම නිරාකරණය වන බවක් පෙනෙන්නේ නැහැ.
@elearninglk
අවුරුදු පහක ගැටුමක්
මොහොමඩ් නශීඩ් මාලදිවයින් ජනාධිපතිවරයා ලෙස පත්වූයේ 2008 දී පවත්වන ලද එරට පළමු ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරණයේදී යි. දශක තුනක් මාලදිවයින් ජනාධිපතිවරයා වූ මොහොමඩ් අබ්දුල් ගයූම් එහිදී පරාජය වුණා.
කෙසේ වෙතත් 2012 දී, දේශපාලන ව්‍යාකූල සමයකදී මොහොමඩ් නශීඩ් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වුණා. ඔහු කියා සිටියේ තමාගේ ඉල්ලා අස්වීම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව සහ එය බලහත්කාරයෙන් සිදුවූවක් බවයි.
ඉන් වසර එකහමාරකට පමණ පසුව 2013 දී පවත්වන ලද ජනාධිපතිවරණයේදී මොහොමඩ් අබ්දුල් ගයූම්ගේ අර්ධ සහෝදරයකු වන අබ්දුල්ලා යමීන් විසින් මොහොමඩ් නශීඩ් පරාජය කරනු ලැබුණා. යමීන් පාලන සමයේදී නශීඩ් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදී චෝදනා ආදී විවිධ චෝදනා මත සිරගත කෙරුණා. පසුකාලයකදී ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා විදෙස්ගත වීමේ අවකාශය හිමිවුණා.
එනමුත් අධිකරණ තීන්දු හේතුවෙන් ඔහුට මැතිවරණවලට තරග කිරීමේ අවස්ථාව තිබුණේ නැහැ. මේ හේතුව නිසා 2018 ජනාධිපතිවරණය සඳහා ඊබ්‍රහීම් සෝලිහ් ඉදිරිපත් කිරීමට මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තීරණය කළා.
ජනාධිපතිවරණයේදී ඊබ්‍රහීම් සෝලිහ් විසින් අබ්දුල්ලා යමීන් පරාජය කරනු ලැබුණා. කෙසේ වෙතත් ඒ අවස්ථාව වනවිටත් මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රබලම චරිතය ලෙස පිළිගැනුණේ නශීඩ් මිස සෝලිහ් නොවෙයි. 2019 මහමැතිවරණයෙන් ආසන 87 කින් යුක්ත පාර්ලිමේන්තුවේ ආසන 65 ක් ම මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් දිනාගන්නා ලද අතර නශීඩ් කතානායක ලෙස තෝරාගනු ලැබුණා.
ජනාධිපති සෝලිහ් කෙමෙන් කෙමෙන් සිය ප්‍රතිරූපය ගොඩනගාගනිමින් නශීඩ්ට විකල්පයක් ලෙස පක්ෂය තුළ ද නැගී එන්නට වුණා. මේ අතර කරුණු කිහිපයක් අරභයා දෙදෙනා අතර මතගැටුම් වර්ධනය වෙන්නට පටන් ගැනුණා. ඉන් එක් කරුණක් වූයේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් යටතේ සිදුවූ බව කියන දැවැන්ත දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ නීතිය ක්‍රියාත්මක නොවූ බවට නශීඩ් විසින් කළ චෝදනාවයි. යමීන් චෝදනාවලට වරදකරුව සිරගත කෙරුණ නමුත් දූෂණවලට සම්බන්ධ බව කියන අන් අයට එරෙහිව ප්‍රමාණවත් ලෙස පියවර නොගත් බවයි නශීඩ් පාර්ශවය පවසා සිටින්නේ.
තව ද, සෝලිහ් යටතේ මාලදිවයින් රජය අල් කයිඩා, ISIS ආදී අන්තවාදී කණ්ඩායම්වලට එරෙහිව ප්‍රමාණවත් ලෙස පියවර නොගන්නා බවට ද චෝදනා එල්ල වීමට වුණා. මෙම තත්ත්වය 2021 වසරේදී නශීඩ් ඉලක්ක කරගෙන එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව උත්සන්න වුණා. මෙම ප්‍රහාරය පිළිබඳ සම්පූර්ණ කරුණු මෙතෙක් ද පැහැදිලි වී නැහැ.
මෙම ප්‍රහාරය පිළිබඳ ආණ්ඩුව විසින් අන්තවාදී සංවිධාන වෙත චෝදනා එල්ල වුව ද, නශීඩ් පාක්ෂිකයන් සමහරෙක් පවසන්නේ එවන් කණ්ඩායම් පිළිබඳ නිසි පියවර නොගත් හෙයින් ආණ්ඩුව ද ඊට වගකිවයුතු බවයි.
මේ අතර නශීඩ් ජනාධිපති පාලන ක්‍රමයක් වෙනුවට පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් මාලදිවයිනට අවශ්‍ය බවට තර්ක කිරීමට වුණා. ඔහුගේ මෙම අදහසට ඒ වනවිට පාර්ලිමේන්තුවේ MDP මන්ත්‍රී කණ්ඩායමේ බහුතර කැමැත්ත තිබූ බවයි එම පාර්ශවයේ වූ මන්ත්‍රීන් කියා සිටියේ. එමෙන්ම පක්ෂයේ ඉදිරි පියවර පිළිබඳව ද සෝලිහ් සහ නශීඩ් අතර වූයේ මත දෙකක්.
මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට පාර්ලිමේන්තු බහුතරය පවතින හෙයින් අනෙකුත් කුඩා පක්ෂ සමග එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් නොවන බව නශීඩ් පාර්ශවය කියා සිටියා. නමුත් සෝලිහ් පැවසූයේ 2018 දී තමන්ට සහය දුන් අන් පක්ෂයන් සමග ද එක්ව කටයුතු කළ යුතු බවයි. මෙම කුඩා පක්ෂ අතරේ සෝලිහ් ජනප්‍රිය චරිතයක් බව පෙනෙන්නට තිබුණා.
අපේක්ෂක ඡන්දය
කෙසේ වෙතත් කල් යාමේදී සෝලිහ් මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුළ ද සිය බලපෑම පුළුල් කරගන්නට සමත් වුණා. නශීඩ් පාර්ශවයේ වූ ප්‍රබලයින් කිහිප දෙනකු සෝලිහ් පාර්ශවයට සහය පළකිරීම එහිදී එක් වැදගත් සිදුවීමක් වුණා. මේ අතර ජනාධිපති අපේක්ෂකයා තේරීමේ ඡන්දයට පෙර පාක්ෂිකයන් 39,000 ක් පමණ ඡන්ද ලැයිස්තුවෙන් ඉවත්කර තිබෙනවා.
නශීඩ් පාර්ශවය පවසන්නේ එම පිරිසෙන් වැඩි දෙනෙක් ඔහුගේ අනුගාමිකයන් බවයි. කෙසේ වෙතත් පක්ෂ බලධාරීන් පවසන්නේ ඔවුන් විසින් ඉදිරිපත් කෙරුණ අයදුම්පත් නිවැරදි ලෙස ඉදිරිපත් කර නොතිබූ හෙයින් ඔවුන්ව ලැයිස්තුවෙන් ඉවත් කළ බවයි. ඔවුන්ට යළි එක්වීමේ හැකියාව තිබෙන බව ද ඔවුන් කියා සිටියා.
අපේක්ෂකයා තේරීමේ ඡන්දයට මුලින් නශීඩ් ඉදිරිපත් වේදැයි නිශ්චිත වූයේ නැහැ. කෙසේ වෙතත් ඔහු පසුව තරගයට අවතීර්ණ වූ අතර මාලදිවයිනේ විවිධ ස්ථානවලදී ඔහුගේ රැස්වීම්වලට සැලකියයුතු පිරිසක් පැමිණියා. ඔහු දූෂණය පිටුදකින බව සිය ප්‍රචාරක රැස්වීම්වලදී පුන පුනා සඳහන් කළා. මේ අතර සෝලිහ්ගේ රැස්වීම්වලට ද සැලකියයුතු පිරිසක් පැමිණෙනු දකින්නට ලැබුණා.
මේ අතර දෙපාර්ශවය විසින් එකිනෙකා වෙත ද ඉතා බරපතල ලෙස පහර එල්ල කෙරුණා. එම තත්ත්වය කෙතෙක් වීද යත් තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත් සෝලිහ් සහ නශීඩ් අතර එකමුතුවක් නැවත ඇති නොවනු ඇති බවයි බොහෝ විචාරකයන් සැක පහළ කළේ. තමන් ජයගතහොත් නැවත එක්ව පක්ෂය ගොඩනගන්නට කටයුතු කරන බව සෝලිහ් ප්‍රකාශ කර තිබෙනවා. නමුත් නශීඩ් එවැනි අදහසක් දක්වා නැහැ.
තවද, සෝලිහ් කෝවිඩ්-19 වසංගතය අවස්ථාවේ නිසි පියවර ගනිමින් තත්ත්වය පාලනය කිරීමට සමත් වූ බවත් ඔහුගේ සුබසාධන කටයුතු දිගටම කරගෙන යාම සඳහා තවත් වරක් ඔහුව ජනාධිපති ලෙස පත්කරගත යුතු බවත් ඔහුගේ ආධාරකරුවන් පවසනවා.
MDP අපේක්ෂක ඡන්දයේදී සෝලිහ් සියයට 61 ක පමණ ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ඇති බවයි මූලික ප්‍රතිඵල අනුව කියැවුණේ. මේ අනුව ඔහු ජයග්‍රාහකයා ලෙස නම් කෙරුණා. මේ අතර නශීඩ්ගේ ඉදිරි පියවර මෙම ලිපිය ලියන අවස්ථාව වනවිටත් අවිනිශ්චිතව තිබෙනවා. ඔහු පක්ෂය කඩාගෙන යාමේ ඉඩක් නැත්තේ ද නැහැ.