ඉන්දියාවේ ප්‍රාන්ත දෙකක පොලිස් භටයෝ වෙඩි තබාගනිති

සාමාන්‍යයෙන් රටවල් දෙකක් අතර දේශසීමා අර්බුද එතරම්ම අලුත් දෙයක් නොවෙයි. නමුත් එකම රටක ප්‍රාන්ත දෙකක පොලිසි අතර ගැටුමක් ඇතිවීම සහ එයින් එක් ප්‍රාන්තයක නිලධාරීන් කිහිපදෙනකු මියයාම සහ තවත් විශාල පිරිසකට තුවාල සිදුවීම යනු ලෙහෙසියෙන් අසන්නට ලැබෙන දෙයක් නොවේ. නමුත් ඉන්දියාවේ එවැනි දේ වෙන්නට පුළුවන්.

2021 ජූලි 26 වන සඳුදා ඊසානදිග ඉන්දියාවේ අසාම් සහ මිසෝරාම් ප්‍රාන්ත සීමාවේ සිදුවූ ගැටුමකින් අසාම් ප්‍රාන්ත පොලිස් නිලධාරීන් සය දෙනකු මියගොස් පුද්ගලයන් පනස් දෙනකු පමණ තුවාල ලැබුවා.

මේ අර්බුදය අද ඊයේ පටන්ගත්තු අර්බුදයක් නොවෙයි. එමෙන්ම ඊසානදිග ඉන්දියාවේ ප්‍රාන්ත සීමා පිළිබඳ එකම අර්බුදයත් මෙය නොවෙයි. මීට පෙර අසාම් සහ නාගලන්තය අතර කිහිප විටෙකම ගැටුම් වාර්තා වී තිබෙනවා. නමුත් අසාම් සහ මිසෝරාම් අතර මෙවන් බරපතල ගැටුමක් වාර්තා වන්නේ මෙම අවස්ථාවේයි.

ඊසානදිග ඉන්දියාව
ඊසානදිග ඉන්දියාව එරට අනෙක් ප්‍රදේශයන් හා සම්බන්ධ වන්නේ නේපාලය සහ බංග්ලාදේශය අතරින් වැටුණු කුඩා බිම් තීරුවක් හරහායි. එය සිලිගුරි කොරිඩෝරය නම් වනවා. ඊසානදිග ඉන්දියාවේ ප්‍රාන්ත හතක් වන අතර ඒවාට “සත් සොයුරියෝ” යයි ද නම් කෙරෙනවා. මෙම ප්‍රාන්ත හතෙන් ජනගහනය අතින් ඉහළින්ම සිටින්නේ අසාම් ප්‍රාන්තයයි. එහි මිලියන 35 ක පමණ ජනගහනයක් වන අතර අන් ප්‍රාන්ත හයේම ජනගහනය එකතු කළත් එයින් අඩක්වත් නැහැ.


ඊසානදිග ඉන්දියාව​ (pngkey.com)

අසාම් ප්‍රාන්තයේ අසාම්වරුන්, බෝඩෝවරුන් සහ බෙංගාලීන් වාසය කරනවා. අනෙක් ප්‍රාන්ත හයේම වැඩිපුර සිටින්නේ විවිධාකාර ගෝත්‍රයි.

අසාම් ජනතාව සාමාන්‍යයෙන් පිටස්තරයන්ට කැමැති නැහැ. එහෙයින් දිල්ලියේ පාලකයින්ව මෑතක් වනතුරු ඔවුන් එතරම් රිස්සුවේ නැහැ. වර්තමානය වනවිට භාරතීය ජනතා පක්ෂයේ ආගමනය සමග මෙහි යම් වෙනසක් සිදුව තිබෙනවා. නමුත් මෙය ඒ පිළිබඳ සාකච්ඡා කරන්නට සුදුසු අවස්ථාව නොවේ.

කර්තෘ සටහන: අසාම් හි භාරතීය ජනතා පක්ෂය බලය පැතිරවූ ආකාරය පිළිබඳ ඔබට මෙම පොඩ්කාස්ට් එක මගින් අසන්නට පුළුවන්.

මේ අතර ඊසානදිග අනෙක් ප්‍රාන්ත හයේ ජනතාව දිල්ලියේ පාලකයින්ව එතරම් රුස්සන්නේ නැතුවාක් මෙන්ම අසාමයේ බලපෑම ද එතරම් රුස්සන්නේ නැහැ. මනිපූර් සහ ත්‍රිපුර හැරුණු විට ඉතිරි ප්‍රාන්ත සියල්ල අසාම් ප්‍රාන්තයේ භූමිප්‍රදේශය තුළින් වෙන්කරන ලද ප්‍රාන්ත යි. මේ වෙන්වීම සිදුවූයේ ද දිල්ලියේ පාලනය මෙන්ම අසාම් පාලනය ප්‍රාදේශීය ගෝත්‍ර විසින් නොරිස්සූ නිසයි. සත්‍ය වශයෙන්ම මෙම බොහෝ ප්‍රදේශයන් හි කලක් තිස්සේ බෙදුම්වාදී අරගල පැවතුණා. මිසෝරාම් හි වත්මන් මහ ඇමතිවරයා ද කලක් එම ප්‍රදේශයේ බෙදුම්වාදී අරගලයෙහි ප්‍රබලයකු වුණා.

භාරතීය ජනතා පක්ෂයට සහය දෙන ඊසානදිග පක්ෂ එක්කර ඊසානදිග සංවර්ධන සන්ධානය නම් එකමුතුවක් පවා ගොඩනගා තිබුණ ද ඒ ඒ පක්ෂ අතර පවා ගැටළු අදටත් තිබෙනවා.

අසාම් – මිසෝරාම් මායිම
අසාම් සහ මිසෝරාම් අතර මායිම පිළිබඳ ගැටළුව බ්‍රිතාන්‍ය පාලන සමය තෙක් දිවෙනවා. නමුත් එකල ප්‍රශ්නයක් වීමට හේතුවක් වූයේ නැහැ.

අසාම් ප්‍රාන්තයෙන් වෙන්වීමට පෙර මිසෝරාම් යනු එහි එක් දිස්ත්‍රික්කයක් වුණා. එකල වර්තමාන මිසෝරාමය හඳුන්වාදෙන ලද්දේ ලුෂායි කඳු ලෙසයි. අසාමයේ බරක් නිම්නයේ චහාර් ප්‍රදේශය සහ ලුෂායි කඳු අතර මායිම පිළිබඳ සාකච්ඡා 1873 දී සිදුවුණ අතර ඒ අනුව 1875 දී එම මායිම් ප්‍රසිද්ධ කෙරුණා. මෙහිදී මිසෝ ගෝත්‍ර නායකයන් සමග සාකච්ඡා කර තිබුණු හෙයින් ඔවුන්ගෙන් විරෝධයක් පැමිණියේ නැහැ.

1933 දී මෙම මායිම් නැවත වෙනස් කෙරුණ අතර එහිදී මිසෝ ගෝත්‍ර නායකයින්ගේ අදහස් විමසීමක් වුණේ නැහැ. චහාර් ප්‍රදේශය සහ මිසෝරාමය අතර මායිම පිළිබඳ ගැටළුවට මූලය ඇත්තේ මෙහියි.

ඉන්දියාව නිදහස ලබා කලක් ගියතැන අසාමයෙන් වෙන්කරන ලද ප්‍රාන්ත කිහිපයක් නිර්මාණය වුණා. මෙම ප්‍රාන්ත නිර්මාණය කෙරුණේ අභ්‍යන්තරිකව පැවති සන්නද්ධ අරගල පිළිබඳ මෙන්ම බාහිර දේශපාලන සාධක ද සලකා බැලීමෙන් පසුවයි. ඒවා ද වඩා විස්තර ඇතිව සාකච්ඡා කළ යුතු අර්බුද වනවා. නමුත් පැහැදිලිව මෙම අවස්ථාවේ පැවසිය හැකි කරුණ වන්නේ මෙම ප්‍රාන්ත නිර්මාණය කිරීම තරමක් කඩිමුඩියේ සිදුවූ බව යි.

මිසෝරාමය 1972 දී මධ්‍යම රජය යටතේ පවතින පාලන ප්‍රදේශයක් ලෙස අසාමයෙන් වෙන් කෙරුණ අතර එය 1987 දී ප්‍රාන්තයක් බවට පත් කෙරුණා. අසාමයෙන් එම ප්‍රදේශය වෙන්කරද්දී පැරණි මායිම් ගැටළුව පිළිබඳ සලකා බලනු ලැබුණේ නැහැ. ඒ වෙනුවට ඒ වනවිට පැවති, 1933 දී ඇතිකරන ලද මායිම් යොදාගනු ලැබුණා. මිසෝ ගෝත්‍රිකයන් එම මායිම සමග එකඟතාවයක් පළ කරන්නේ නැහැ.


අසාම්-මිසෝරාම් ගැටුමට තුඩුදුන් ප්‍රදේශ​ (The Indian Express)

මේ පිළිබඳ මෑතකාලීනව ගැටුම් වර්ධනය වීමක් දකින්න ලැබුණා. තමන්ට අයත් ප්‍රදේශයන් හි අසාම් නිලධාරීන් පැමිණ යම් යම් කටයුතුවල නිරතවන බව මිසෝරාමය චෝදනා කරනවා. අසාම් පොලිස් නිලධාරීන් ද අවස්ථා කිහිපයකම මිසෝ ගම්වැසියන්ට බාධා කරන්නේ යයි චෝදනා මතුවුණා. මිසෝරාම් හි වයිරංටේ හිදී මෙන්ම අසාමයේ ලයිලපූර් හිදී පසුගිය සමයේ ගැටුම් වාර්තා වුණා.

ජූලි 26 වන සඳුදා සිදුවීමට හේතු වූයේ අසාම් හි උසස් පොලිස් නිලධාරීන් ඇතුළු පොලිසියේ 200ක පමණ පිරිසක් වයිරංටේ වෙත පැමිණීමත් සමගයි. අසාම් බලධාරීන් පවසන්නේ තමන් ගැටළු නිරාකරණය කරගැනීමට පැමිණි බවයි. තමන්ට අයත් යයි අසාමය විසින් පවසන ප්‍රදේශයක මිසෝරාමය විසින් මාර්ගයක් ඉදිකිරීමේ සිද්ධියක් සහ මුරපොලක් ඉදිකිරීමේ සිද්ධියක් මෙම ගැටළු වනවා.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

කෙසේ වෙතත් මිසෝරාමය පවසන්නේ අසාම් පොලිසිය තමන්ගේ මුරපොලවල් කඩා බිඳගෙන පැමිණි බවයි. මෙහිදී ඇතිවූ ගැටුම අතරතුර වෙඩිතැබීමක් ද සිදුවූ අතර අසාම් පොලිසියේ සය දෙනකු ඉන් මියගියා.

මෙයින් පසු ඇතිවූ මතභේදය අතරවාරයේ ප්‍රාන්ත දෙකේම මහ ඇමතිවරුන් ස්වදේශ කටයුතු ඇමති අමිත් ෂා වෙතින් ඉල්ලා සිටියේ මෙම ගැටළුව නිරාකරණය කරන්නට මැදිහත් වන ලෙසයි. කෙසේ වෙතත් ප්‍රාන්ත දෙකක පොලිස් භටයින් මෙසේ ගැටුම් ඇතිකරගැනීම එක් අතකින් ශෝචනීය තත්ත්වයක් වන අතර අනෙක් අතින් ඉන්දියාවේ දේශපාලනයේ සංකීර්ණත්වය පිළිබඳ තවත් එක් සාක්ෂියක් ද වනවා.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.