ඔබත් නැන්දම්මා ලේලි ගැටුමට මැදි වුණු සැමියෙක්ද?

“මට නම් ගෑනුත් එපා වෙලා, පවුල් ජීවිතයත් එපා වෙලා තියෙන්නේ…“

“ඇයි සර්… මොකද්ද ගැටලුව…“

මා සමඟ සංවාදයේ යෙදී සිටි මා හිතවත් ගුරු මහතෙකු මා හට එසේ පැවසුවේය.

“ සර්… මොකද්ද ඉතිං ගැටලුව?..“

“අපේ ගෙදර ඉන්න ඉන්න ගෑනු තුන්දෙනා තමයි…“

“කවුද?“

“ අපේ අම්මයි, නංගියි ගෑනියි තමයි ඉතිං“

 

“සර් බැඳලා වැඩි කාලයක් නෑනේ… මොකද්ද ප්‍රශ්නය“

“එහෙමයි… මෙ මාස කීපයට මට ගෙදර වාසය කිරිල්ල එපා කරවලා තියෙන්නේ…“

“වුණේ මොකද්ද කියලා කීවේ නෑනේ තවම“

“අම්මයි නංගියි එක පැත්තක, ගෑනි එක පැත්තක, උන් දොගොල්ල අතරට මම ගිරේට අහුවුණු පුවක් ගෙඩිය වාගේ තැලෙනවා අපේ හාමුදුරුවනේ. මම ගෙදර ඉන්නේ කනට ඇඹ ගහගෙන. හැන්දෑවට වැඩක් නැතත්, මම එක එක යාලුවන්ගේ ගෙවල් වල යන්නේ මට ඒ රණ්ඩු බේරන්න බැරි නිසා. ඔක්කටම වඩා කට සැර අපේ ගෑනිගේ… ගෑනිව ගෙදර ඇරලලා, ඒ මහ එවුන් එක්ක ඕන කුදයක් ගහගන්න කියලා… අම්මයි නංගියි එක්කම ඉන්නවා කියලාත් හිතිලා තියෙන්නේ අපේ හාමුදුරුවනේ…“

ගුරු මහතා ප්‍රශ්නය කීමට මැළිවෙන බවක් පෙනෙන්නට විය. සමහර විට පිරිමි එසේ වෙති. අනුන්ට ප්‍රශ්න කිමට කැමැත්තක් නැත. පිරිමි ප්‍රශ්න හංගාගෙන තනිවම කල්පනා කොට පිළිතුරු සෙවීමට කැමැති වෙති.

“ම්ම්ම්… මට ටිකක් විතර හිතාගත්තෑකි සර් කියන්න උත්සහ කරන්නේ මොකද්ද කියලා…“ මම පොඩි කථාවක් කියන්නද සර්ට…“

“එහෙමයි…“ ඇල් මැරුණු ආකාරයෙන් හෙතෙම පිළිතුරු දුන්නේය.

Click on the Image
“ඉත්තෑවො පවුලක් ඉදලා තියෙනවා බොහෝම සීත පළාතක. සීත කාලේ වැඩිවෙමින් යද්දී එකිනෙකා මිය යන්න පටන් අරගෙන තියෙනව අධික සීතල නිසා.. ඉතිං… ඉත්තෑ පවුලේ හිටපු ප්‍රධානියා තීරණය කළා තමන්ගේ අත්දැකීම් එක්ක, සීත කාලේ අඩුවෙලා යනකල් හැමෝම එකට ගුලිවෙලා හිටියොත් බේරෙන්න පුළුවන්, වෙන් වෙන්ව හිටියොත් මැරෙන්න තමයි වෙන්නේ කියලා. ඊට පස්සේ ඉත්තෑ පවුලේ ඔක්කටම එකට බදාගෙන ඉන්න කියලා ගුල ඇතුළට වෙලා කියලා දැන්නුවා. ඒත් එකිනෙකා කිට්ටු වෙද්දි. ඔවුනොවුන්ගේ තිබ්බ ගඳ එකිනෙකාට උහුලන්නට බැරිව ගියා. ගඳට දොස් කියන ගමන්, අධික සීතල නිසා ඔවුන් ලං වුනා…

ලංවුනාම තවත් ප්‍රශ්නය උග්‍ර වුණා. ඒ තමයි එකිනෙකාගේ උල් එකිනෙකාට ඇනේන්න ගත්තා. තමන් ගාව උල් කටු තියෙනකොට ආඩම්බර වුනාට. අනුන්ගේ උල් කටු ඇනෙනකොට රිදෙනවා කියලා ඉත්තෑවා උනත් දැනගෙන ඉන්ට නැතුව ඇති. අත්දැකීම් බහුල වැඩිහිටි ඉත්තෑවො කීප දෙනෙක් කොයිතරම් ඇනුනත් එකටම ඉමු කියලා හිතුවත්, තරුණ ඉත්තෑවො අපට බෑ කියලා ඒ ගුලෙන් වෙන්වෙලා ගියා. සිතකාලේ ඉවර වෙලා බලනකොට වැඩිහිටි ඉත්තෑවො විතරක් ඉතුරුවෙලා… හුදකලා වුණු තරුණ ඉත්තෑවො ටික මැරිලා ගිහිල්ලා සීතලටම…“

තුවාල තිබුණත්… අත්දැකීම් බහුල වැඩිහිටි ඉත්තෑවො ටික ජීවත් වෙලා ඉන්නවා සර්…“

@elearninglk

ගුරුතුමා… තවම නිහඩය. මුහුණට බැරූරුම් පෙනුමක් ආරූඩ වී ඇත. ඔහු යමක් කියන්නට සැරෙන බවක් මට පෙනුනි.

“ඉතිං කියන්නකො සර් විස්තරය… පැහැදිලි විසඳුමක් නොලැබුනත්… විශ්වාසවන්ත කෙනෙකුට ප්‍රශ්නය කීවාම හිත සැහැල්ලු වෙනවා… හරියට, සැරව පිරිලා තිබුණු තුවාලයක් සැරව ඉවත් වෙලා පිරිසිදු වුනාම වාගේ…“

“හාමුදුරුවනේ, මම බැඳලා ආපු මුල් කාලේ නම් පවුලේ හැමෝම හොඳින් හිටියා. අපේ නෝනා වෙනම ඉන්න ඕනි කියලා කීවත්, මට එහෙම යන්න තරම් වත්කමක් තිබ්බේ නැ. අනික අම්මයි නංගියි විතරක් තනියම දාලා මට යන්න පුළුවන් කමකුත් නෑනේ…“

“ගමේ මිනිස්සු සහ නෑදෑයො වුනත් හිතාවි, බැන්දට පස්සේ අම්මලා තාත්තලා අමතක වෙලා කියලා… අනික පවුලේ වැඩිමලා විදිහට මට ඒ වගකීම් වලින් මිදෙන්නත් බෑනේ… Wifeටත් ඒ දේවල් පැහැදිලි කරාම එයා එකඟ වුනා මහ ගෙදරම එකට ඉන්න. අලුත ගෙනාපු මනාලි වහලෙත් ගොම ගානවා වාගේ මෙයත් ඉතිං තියෙන සියලුම වැඩ කරා මුල් දවස්වල..

එයත් job එකක් කරන කෙනෙක්නේ… පස්සේ පස්සේ මහන්සි කියලා ඒ වැඩ කිරිල්ල අඩුවෙලා ගියා… උයන්න යන්නැති එකෙන් තමයි අම්මා මෙයා එක්ක නොහොඳ වෙන්න පටන් ගත්තේ. මම උනත් කල්පනාකරේ ඉතිං… අම්මලා වෙනදත් මෙයා ඉදලා නෙවෙයිනේ ඉව්වේ… පරණ විදිහටම කරගන්න බැරි ඇයි කියලා…“?

“වයිෆ් නම් කීවේ උයන එක, ටික ටික අඩු කරේ, මගේ නංගි කීවාලු අක්කා උයන ඒවාගේ ලුණු අඩුයි කියලා, මිරිසුත් අඩුයි කියලා… එයා මට කීවේ අපේ පැත්තේ ලුණු – මිරිස් දාන ගානට තමයි දැම්මේ ඔයාලගේ අම්මා උයන විදිහට මට නම් සැර වැඩී කියලා. ඔන්න ඔය වාගේ ප්‍රශ්න ටිකක් මුලින් මට මෙයා කීවා… මම ඒවාට උත්තර දෙන්න කලින්ම මෙයා කියනවා… ඔයාට මම කීවේනේ කුලියට තැනක් අරගෙන යමු කියලා මුලින්ම… දැන් පේනවානේ අහන කතා “ ආදී විදිහට නොයෙකුත් පැමිණිලි එන්න එන්නම වැඩිවුනා හාමුදුරුවනේ…“


Click on the Image
“වෙනදා ඉතිං මමත් අම්මලා එක්ක කියව කියව කුස්සියෙයි T.V බලන ගමන් සාලෙයි ඉන්නවා… නංගි එක්කත් ඉතිං කතා බහ කරෙන්නේ ඔය වෙලාවට. නංගියි – අම්මයි එක දවසක මට කීවේ දැන් මම වෙනස්වෙලාලු… ගෑනිත් එක්කම විතරලු කතාව කියලා… ඉතිං හාමුදුරුවනේ අපි දෙන්නම බැඳපු අලුතනේ… හම්බෙන්නේ හැන්දෑවට විතරයි…“

“ ලොකුම ප්‍රශ්නය වුනේ මම පඩි ගත්තාට පස්සේ… වෙනදා ඉතිං මම පඩි අරගෙන… නංගිගේ අතට ගාණක් දීලා අම්මට තමයි ඉතිරු ටික දුන්නේ… මගේ අතේ පොඩි ගානක් තියාගෙන… ඉතිං මට දැන් ගෑනියෙක් ඉන්න නිසා මම පඩිය දුන්නේ wife අතට… එයා තමයි නංගි අවශ්‍ය ගාන දුන්නේ…“?

“නංගි කීවාලු සල්ලි එපා කියලා… මට හිතාගන්න බෑ ඇයි ගෑනු එහෙම හැසිරෙන්නේ කියලා… ඉතිං නෑනලා- නෑනලා තේරුම් ගන්නේ නැත්තං මම මොනව කරන්නද? එයා දැන් පිට ගෑනියෙක් නෙවෙයිනේ…“?


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න
“අනික ඉතිං අපේ හාමුදුරුවනේ අපේ එක්කෙනාගෙත් උගත් මාන්නේ… එයා උගත් ගෑනි, රස්සාවක් කරනවා හම්බකරනවා කියලා, එයා හිතන්නේ නංගි එයාට දෙකට නැමිලා ඉන්න ඕනි කියලා… wifeගේ අම්මාට සලකන විදිහට තමයි මෙයා මෙහෙත් සලකන්නේ… ඉතිං මේ මෝඩ ගෑනිට තෙරුම් ගන්න බෑද තමන්ගේ අම්මා වෙනයි අපේ අම්මා වෙනයි කියලා…“?

“හැමෝම තම තමන්ගේ Ego maintain කරනවා හාමුදුරුවනේ … මම තමයි තැලෙන්නේ…හාමුදුරුවො දන්නවානේ… මම අරක්කු සිගරට් එකකවත් නොබොන.. කෑකො ගැහිලි ආදියට අකමැති සාමන්‍ය නිවිච්ච මිනිහෙක් කියලා… දැන් මට වෙන්නේ හැම එකටම කෑ ගහගෙන දගලන්න… මම හිතන්නේ මම මුළු ජිවිත කාලෙටම කතා කරපු වචන ප්‍රමාණයත් මේ අවුරුද්දට කතා කරන්න උනා… ප්‍රශ්නම බේරන්න…“

“මේ ඊයේ පෙරේදා පටන් ගත්තේ අපේ ගෑනි අදින ඇදුම් පැළදුම් අපේ අම්මාට අල්ලන්නෑ කියලා…“ අපේ අම්මත් රංණ්ඩු වෙන්නම බලාගෙන ඉන්නවාද කියලා හිතෙනවා හාමුදුරුවනේ… තව ටික දවසක් ගියොත් wife එක්ක අපේ අම්මා කෙහෙවලු පටලවා ගන්න බැරි නැ… ඇගෙ තියෙන හයියට අපේ ගෑනි අම්මට එකකවත් ගැහුවොත්…“

ගුරුතුමා සුසුමක් හෙළා නිහඩ විය. ඇත්තටම ඔහු කලාතුරකින් දැකිය හැකි සාමකාමී නිශ්ශබ්ද මිනිසෙකි. දරුවන් වෙනුවෙන් කැපවෙන ගුරුවරයකි. ඔහු ඇස්වල කදුළු පුරවාගෙන මෙන්, නැවත කතා කළේය.

“දැන් නංගි මාත් එක්ක මාසෙකින් විතර කතා කරලා නෑ… අම්මා නොකියා කියනවා… wife ආවාට පස්සෙලු මේ ගෙදර සාමය නැති වුනේ… ගෑනි කියන්නේ… එයාට තිබ්බ නිදහස් ජිවිතේ නැති වුනාලු මාත් එක්ක ඇවිල්ලා… මම ගිරේට අහුවුනු පුවක් ගෙඩිය වාගේ… හැම පැත්තෙන්ම තැලෙනවා හාමුදුරුවනේ… මගේ ඉවසීමේ සීමාවත් දැන් පනින්න ඔන්න මෙන්න…“

“හාමුදුරුවො කියන්න බලන්න මේකට මම මොනවද කරන්න ඕනි…“

“මහත්තයා මොනවද කරන්න හිතාගෙන ඉන්නේ…?

“දැනට නම් තියෙන එකම විකල්පය Rent එකට ගෙයක් අරගෙන යන එක… සති අන්තයට මම අපේ ගෙදර යන්නත්… එයා එයාලා ගෙදර යන්නත් කතා කරගත්තා… වෙන නම් විදිහක් නෑ හාමුදුරුවනේ කසාදේ රැකගන්න. තාත්තත් නැතුව මාව මේ මට්ටමට ගෙනාපු අම්මත් මට ඕනි… මාව විශ්වාස කරලා ආපු නෝනත් මට ඕනි…“

මා ගුරුතුමා සමිපයට කිට්ටුව, ඔහුගේ දකුණත අල්ලා ගත්තේ… පිරිමින්ට හැඩීමට අවකාශයක් අවශ්‍ය බැවිනි. ඒ සඳහා විශ්වාසනීය පුද්ගලයෙකු අවශ්‍ය බැවිනි. කදුළු වලින් වේදනාව හදවතින් බැහැර වූ විට, පිරිමි මනසටද සැනසීමක් ඇතිවෙන බව මා විශ්වාස කරමි.

සටහන
* “අසංවේදීභාවය“ මේ සියලු ප්‍රශ්න වලට හේතුව යැයි මම සිතමි. තම තමන්ගේ මාන්නය නඩත්තු කරන මිනිස්සු අසංවේදී වේ. අනිකාගේ මානසික මට්ටම ගැන නොසිතන ඒ අසංවේදී මිනිසුන් හා ගැහැනුන් අප අවට සිටින තාක්කල් අප හට නිතර මානසික පීඩා විදීමට සිදු වේ.

* පියාගේ අභාවයෙන් පසු දරුවන් දෙදෙනෙකු උස් මහත් කළ මව ඔහුට අවශ්‍යම වේ. තියෙන එකම ලේ ඥාතිකමට ඇයට අවශ්‍ය වේ. “ඤාතකානඤ්ච සංගහො“ ඥාතීන්ට සංග්‍රහ කිරීම මංගල සූත්‍රයහි දැක්වෙන බුද්ධොපදේශයකි. පුද්ගලයෙකුට හුදකලාව සමාජයේ ජීවත්වීමට නොහැක. එමෙන්ම ඔහු කෙළහිගුණ ද දැක්විය යුතුය.

* ඔහුගේ අනාගතය රැදී තිබෙන්නේ බිරිඳ මතය. බිරිඳ පැමිණ පසු ඔහුට බිරිඳට මුලිකත්වය දිමට සිදුවේ. එයද බුද්ධ අවවාදය වේ. (ගෘහමූලිකාව යනුවෙන් මා ලියූ ලිපිය කියවන්න.) “ඉස්සරිය වොස්සග්ග දානෙන“ යනුවෙන් ඒ බව සිඟාලෝවද සූත්‍රයේදී දැක්වේ.

* මා පෙර කී පරිදි ඉත්තෑ පවුල මෙන් ස්වකීය මාන්නය ඉවත ලා “සංවේදී “ පුද්ගලයන් ලෙස ඔවුනොවුන් දෙස බලා ජීවත් වීමට හැකි නම් ගැටලු අවම වේ. බුදුන් වහන්සේ දිනක් අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් විමසන්නේ ඔබවහන්සේලා කෙසේ දිවිගෙවන්නේද යනුවෙන් විමසු අයුරු චූළඝෝසිංග සුත්‍රයේ ඇතුළත් වේ. අනුරුද්ධ තෙරුන් වහන්සේ උත්තර දෙනු ලබන්නේ – “සමග්‌ගා සම්‌මොදමානා අවිවදමානා ඛීරොදකීභූතා අඤ්‌ඤමඤ්‌ඤං පියචක්‌ඛූහි සම්‌පස්‌සන්‌තා විහරාමා’’ති
– සමගිව එකට එක්ව
– විවාද නොකරමින්
– කිරි සහ වතුර මෙන් එකිනෙකා දෙස ප්‍රිය ඇසින් බලමින්
– වාසය කරමු යනුවෙනි.

* පිරිසක් එකට දිවි ගෙවන්නේ නම්… තම තමන්ගේ මාන්නය ඉවතලා එකිනෙකා දෙස ප්‍රිය ඇසින් බලමින් වාසය කරමට තරම් උගත් කමක් නොමැති නම් එය උගත් කමක් නොවේ. බොහෝ උගත් මාන්නාධික රැකියාවක් ඇති කාන්තාවන් ලඟ එම ජීවිතාවබෝධය නොමැති වීම ගැටුම් උග්‍ර කරවයි.

* මෙහි ප්‍රධාන චරිතය වෙන නැන්දම්මා ද එසේ ප්‍රිය මනාපව බලන චරිතයක් නොවීම ද ගැටලුවකි. අලුත් ජීවිතයකට ඇතුළත් වෙන ලේලිය ජිවිතය ගැන එතරම් දන්නේ නැත. ඇයටත් ආදර්ශයක් වෙමින් ස්වකීය පුතුට හොද බිරිඳක් කිරීමේ වගකීම නැන්දම්මාට හිමිය.

* විවාහ වූ පසු තමන්ගේ සුරතල් පුතා නොවන බවත්, ඔහුට හා ඇයට පෞද්ගලික ජිවිතයක් ඇතිබව නැන්දම්මා කල්පනා කළ යුතුය. තමනුත් මෙහෙම යුගයක් පසු කළ හෙයින් ඒ ඇසින් බැලිය යුතුය. දැන් තමන්ගේ පුතාගේ ඇදුම් හේදීමට, බත් කැවීමට, තේ හදා දීමට හෝ හුරතල් කිරීමට සුදුසු නොවන බව අකලට නාකි නොවූ නැන්දම්මලා තේරුම් ගත යුතුය. එහෙත් අම්මලා තමන්ගේ හුරතල් පුතාව අතනොහැර බැඳීම තබාගෙන යාම බොහෝ ප්‍රශ්නවලට මුලය. පවුලේ තනි දරුවා ලෙස සිටින පුතෙක් විවාහ කරගන්න යුවතියන්ට මේ තත්ත්වයට මුහුණ දෙන්නට සිදුවේ. ගෙදර සිටියත් මේ තත්ත්වය එළඹෙන අතර වෙනම පදිංචි වුනොත් සියල්ල අතට පයට කරදීමට සිදුවෙන සැමියෙක් බලාපොරොත්තු විය යුතුය. තනි දරුවන් සිටින අම්මලා පුතාගේ පස්සා පැත්ත ද සේදීමට පුරුදුව සිටින බැවින් ඒ කරදර සියල්ලම අනාගත බිරිඳට විඳින්නට සිදුවෙනවා නොඅනුමානය.

* නැන්දම්මා ලේලිය දෙස තමන්ගේ දුව ලෙසම ප්‍රියඇසින් බැලිය යුතුය. තම දුව කුමන වරදක් කරත් ගණන් නොගන්නා අම්මා සේ කටයුතු කළ යුතුය.

* අලුත පැමිණෙන ලේලිය ඉවීමේ පිහීමේ කෙළ පැමිණි අයෙකු නොවේ. ඇය ද තවත් අම්මා කෙනෙකු ලඟ හුරතලයට හැදුනු තැනැත්තියක ලෙස ප්‍රිය ඇසින් බැලිය යුතුය. එමෙන්ම මෙය කියවන ගැහැනු දරුවන් ඇති අම්මලාට වගකීමක් ඇත. ඒ නම් තවත් ගෙදර බැනුන් අහන්නට නොවන පරිදි තමන්ගේ ගැහැනු දැරිවිව උස් මහත් කිරීමයි. Feminism ඉගැන්වීමට අමතරව ඇයට ඉවීම් පිහුම් ද ඉගැන්විය යුතුය.

* නෑනලා යනු සමහර විට ගෙදරට පැමිණ අලුත් චරිතයට නොදැවිණි වීමට දඟලන කොටසකි. එසේ නොවී ඇයව තමන්ගේ සහෝදරියක් ලෙස හෝ යෙහෙළියක් ලෙස බැලීමට තරම් ප්‍රිය ඇසක් තිබුණෙ නම්, සංවේදී මනසක් වූයේ නම් ගැටුම් අවම වේ. එහෙත් නෑනලා – නෑනලා එකතැන තැබීමට බොහෝවිට අපහසුය.

* සියල්ලටම වඩා මා නිර්දේශ කරන දෙය නම්, විවාහවීමෙන් පළවෙනි දවසම වෙනම තැනක කුලියට හෝ ජීවිතයක් ආරම්භකළ යුතු බවය. එහි වාසි කිහිපයකි.
– ලිංගික ජිවිතය තමන්ට රැචි පරිද ගත කරන්නට ලැබීම පළමු වාසිය වේ… මක් නිසාද යත් පහු පහු වන විට පිරිමින් වෙනස්වෙන බැවිනි. මුල්කාලීනව ඔවුන්ගේ තිබු රැචිය කෙමෙන් මඟ හැරී යයි
– කාන්තාවට ස්වාධිනව තමන්ගේ ඉවුම් පිහුම් ආදි තීරණ ගත හැක. තමන්ගේ ගෘහ ජීවත අත්දැකීම් වැඩිකරගත හැක. එයට supporting husband චරිතයක් ලැබුනොත් නම් හොදය.
– ඤාතීන් සමඟ දුරස්ත සම්බන්ධතාව ඤාති හිතවත්කම් ආරක්ෂාවීමට ද හේතුවක් වන හෙයින් නැන්දම්මා ලේලි ගැටලුව ඇති නොවීම, නෑනා – නෑනා ගැටුම් ඇති නොවීම තවත් වාසියකි.

අවාසි.?
– ආර්ථික වශයෙන් විශාල පාඩුවක් ඇතිවීම වැලැක්විය නොහැක. එය බොහෝ විට බලපාන්නේ පිරිමි පාර්ශවයට බැවින් බිරිඳ සමඟ ගැටුම් හදාගැනීමට ද හේතුවක් විය හැක.
– අලුත් මනාලියට ඉවුම් පිහුම් ආදි දේවල් තනිවම කරගත යුතුවීම සමහර විට ගැටලුවකි. රැකියාවකට යන්නෙ නම් එය තවත් ගැටලුවකි. දරුවන් ලැබුනු කළෙක තවත් අපහසුතාවයට පත්වේ.
– ආරක්ෂාව ඊළග ගැටලුව වේ. රැකියාවක් නොකර මනාලියක් නම් හුදකලා ජීවිතය ගැටලුවකි.

* එතෙකුදු වුවත්, අලුත විවාහ වන දෙපළක් දරුවන් ලැබෙන කාලයක් වනතුරුවත් වෙනම ජීවත් වන එක සුභදායක වේ. ස්වාමියා විසින් තමන්ගේ මව දෙස බලා මේ තීරණය ගත යුතුය. තමන්ගේ මව කුමන ආකාරයේ චරිතයක් දැයි ඔබ හොදින්ම දනී. නිතර තරහා යන බැන වදින ඉතා පැරණි ආකල්ප මත ජිවිත් වන කෙනෙකු සමඟ නව මනාලියට එකට සිටිය නොහැක. මුලින් ලේලිය ගැන ඉතා ආදරයෙන් සිටි ද ඒවා ඉතා ක්ෂණයෙන් වෙනස්වනබව මෙය කියවන පිරිමි පාර්ශවය තේරුම් ගත යුතුය. ❤❤❤

තෙරුවන් සරණයි.

කොළඹ සහ කැළණිය විශ්වවිද්‍යාලයන්හි සහාය කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ පූජ්‍ය හෙරලියාවල රතනතිස්ස හිමියන් මේ වන විට තායිලන්තයේ ධම්මකාය බෞද්ධ විශ්වවිද්‍යාලයේ ධම්මකාය (DCI) ත්‍රිපිටක සංස්කරණ මණ්ඩලයේ පර්යේෂණ සහකාරවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියි. උන්වහන්සේ eLearning.lk බ්ලොග් අඩවිය සඳහා මිනිස් මනස සහ මනෝ උපදේශන සේවාවන් සම්බන්ධව ලිපි සම්පාදනය කරනු ලබයි.