ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය ඇති වීම හා නැති වීම – දෙවන කොටස

ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය ගැන මම කලින්ම ලිව්ව ලිපියේ අන්තිමට මම කිව්වා ඔයාලට මතක ඇති , රාජාධි රාජසිංහ රජතුමා කරතොට ධර්මාරාම හාමුදුරුවන් එක්ක තරහා වෙලා ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය මල්වතු විහාරයට භාර දුන්නා කියලා . ඉතින් අද ලිපියෙන් මම කියන්න යන්නේ ඒ නිළය ආයෙත් අපේ සබරගමුවට ලබාගන්න ක්‍රියා කරපු එක්නැළිගොඩ පරපුර ගැන වගේම ඒ නිළය සබරගමුවට ලබා දුන්න ආකාරය ගැන .

සබරගමුව මහ සමන් දේවාලයේ අතීත කතාව ගැන මතක් කරනවානම් , මේ දේවාලය නිර්මාණය කරේ දඹදෙණි යුගයේ හිටපු දෙවෙනි පරාක්‍රමභාහු රජතුමාගේ ඇමතිවරයෙක් වන ආර්යකාමදේව කියන ඇමතිවරයා . මේ ඇමතිවරයා සමන් දෙවියන්ට භාර වෙනවා මැණික් ලැබෙන්න කියලා . පස්සේ මෙයාලා හාරපු පතල් වල මැණික් ලැබෙනවා නොසිතූ විදියට . මට මතකයි මේ පතල් වලින් ලැබුණ මැණික් ගල් මිරිස් ගල් තරමටම විශාලයි කියලා .

ඉතින් ආර්යකාම දේව ඇමතිවරයා සමන් වෙහෙර අසලම සුමන සමන් දිව්‍ය රාජයාණන්ට දේවාලයක් නිර්මාණය කරනවා . අද සමන් වෙහෙර නැහැ . මුළු භූමියම ආවරණය වෙන්නේ සමන් දේවාලයෙන් තමයි . ඒත් ඔයාලට තේරෙයි සමන් දේවාලයට ආවා නම් , සමන් දේවාලය කියලා කිව්වට අදත් එතන තියෙන්නේ පන්සලක වටපිටාවක් කියලා .

දේවාලයට ඇතුල් වෙන වෙලාවට දේවාලේ වැඩ කරන කෙනෙක් එන අයට මතක් කරනවා බුදුගෙට ගිහින් බුදුන් වැඳලා දේවාලයට ඇතුල් වෙන්න කියලා . දේවාලය ඇතුලේ උනත් තියෙන්නේ පන්සලක ස්වරූපයක් .

ඉතින් මම කියන්න ආවේ මේ ආර්යකම දේව ඇමතිවරයා දේවාලය හැදුවට පස්සේ රජතුමා , දෙවන පරාක්‍රමභාහු රජතුමා මේ දේවාලය ආර්යකාමදේව ඇමතිවරයාට භාර කරනවා . දේවාලයේ පළවෙනි බස්නායක තනතුරට පත්වුනා කියලා කියන්නේ මේ ආර්යකාම දේවඇමතිවරයා තමයි .

මේ ඇමතිවරයාගේ පරපුරෙන් තමයි කුරුවිට එක්නැළිගොඩ වලව්වේ කුරුප්පු කියන පරපුර පැවතගෙන එන්නේ . මේ වලව්ව නිර්මාණය කරලා තියෙන්නේ නුවර යුගයේ වලව් ඉදිකිරීමේ සම්ප්‍රදාය අනුව . කුරුවිට කුරුගඟ අසබඩ තමයි වලව්ව පිහිටලා තියෙන්නේ .

සැවුල් සංදේශයේ කියවෙනවා නාන්නම්බි කුරුප්පු මන්ත්‍රී කියලා කෙනෙක් ගැන . මේ කෙනා ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ ඇහැලියගොඩ ඉඩම්ගොඩ පාරේ තියෙන අකුරණ මාටුවාගල කියන ප්‍රදේශයේ . ඉතින් මේ අය 1800 දී වගේ තමයි කුරුවිට තියෙන එක්නැළිගොඩ වලව්ව නිර්මාණය කරලා වලව්වට ඇවිත් තියෙන්නේ . එතකොට වලව්වේ හිටපු ප්‍රධානියා තමයි අභයනායක කුරුප්පු කළු බස්නායක නිළමේ තුමා . එතුමා තමයි ඒ කාලේ සබරගමුව මහ සමන්දෙවාලයේ බස්නායක ධුරය දැරුවේ .

ඔන්න ඔය පරපුරේ කෙනෙක් තමයි 1826 දී මේ වලව්වේ ජීවත් වෙච්ච එක්නැළිගොඩ කුඩා දිසාවේ කියන බස්නායක නිළමේ තුමා . මේ වෙනකොට රත්නපුරේ දිස්ත්‍රික් ඒජන්ත වරයා විදියට පත්වෙලා එන්නේ ජෝර්ජ් ටර්නර් කියන ඉංග්‍රීසි ජාතික නිලධාරියා . මේ නිලධාරියා එක්නැළිගොඩ වලව්වේ රාත්‍රී නවාතැන් ගත්තා දවසක් .

එදා එක්නැළිගොඩ වලව්වේ හිටපු මේ එක්නැළිගොඩ කුඩා දිසාවේ කියන බස්නායක නිලමේතුමා ටර්නර් උන්නැහේ එක්ක සාකච්චා කරා සබරගමුවට නැතිවෙච්ච ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය නැවත වේහැල්ලේ සඟ පරපුරට ලබා ගන්න පුළුවන්ද කියලා හොයලා බලලා ඒ ගැන රොබට් බ්‍රවුන්රිග් උන්නැහේව දැනුවත් කරන්න කියලා . මේ අනුව ටර්නර් උන්නැහේ බ්‍රවුන්රිග් උන්නැහේට ලිපියක් ලියනවා ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය නැවත වේහැල්ලේ සඟ පරපුරට ලබා දෙන්න කියල .

ඒකෙ ප්‍රතිඵලයක් විදියට වර්ෂ 1826 පෙබරවාරි 15 වන දිනයේදී කරතොට ධර්මාරාම හිමියන්ගේ සහ මහකිරිනැලියේ හිමියන්ගේ ගෝල නමක් වන ගාල්ලේ මේධංකර හිමියන්ට ශ්‍රී පාදස්ථානයේ සහ පහතරට සබරගමු දිසාවේ නායක පදවිය නැවත ලබා දෙනවා . අද දක්වා පැවත එන්නේ අන්න ඒ දවසේ නැවත අපිට ලැබුණු නායක පදවිය තමයි .

ටර්නර් උන්නැහේ ලිව්ව දීර්ඝ ලිපියේ තියෙනවා වැදගත් විස්තර කීපයක් . මම ඒවා මේ ලිපියේ සඳහන් කරන්නම් . මොකද ඒවායින් අපිට හිතාගන්න පුළුවන් ඉංග්‍රීසි ආණ්ඩුව උනත් මේ තනතුර නැවත සබරගමුවට දෙන්න හේතු කාරනා උනේ මොනවද කියලා .



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

වර්ෂ 1826 පෙබරවාරි 15 වෙනි දින
රත්නපුරේදීය .

මහනුවර කොමසාරිස් වරුන්ට

මහත්වරුණි ,

ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය බාර ගැනීමට සුදුස්සෙක් තෝරා දෙන පිණිස මට අණකර එවන ලද දෙසැබ්‍ර මස 16 වෙනි දින දරණ ලියමන ලැබුණ බව කියා හිටිමි . ඒ කරණ කොටගෙන එම නිලයේ ඉල්ලුන් කර සිටින්නගේ අයිතිවාසිකන් ගැන රපොර්තු කරන ලෙස දිසාපති දෙදෙනාට සහ බස්නායක නිලමෙටත් පයින්ඩ යැවූ තැන ඔහු විසින් ගාල්ලේ මේධංකර උන්නාන්සේ තෝරන ලදී . එම උන්නාන්සේ දැනට මේ පළාතේ පොරොත්තුව සිටින ඉල්ලුන් කාරයෙක් නොවන නමුත් මේ පළාතේදී මහන කමට ඇතුලත් උන නිසාත් ශ්‍රී පාදයේ නායක වන වේහැල්ලේ නායක උන්නාන්සේගේ ගෝලනමක් නිසාත් ප්‍රධාන කොට උනාන්සේගේ සීලවන්ත කම සහ ශාස්ත්‍රඥ කම නිසාත් විශාල වූත් ප්‍රසිද්ධියක් ලබා සිටින නිසාත් පත්කරන්නට ඕනා . ඒ උන්නාන්සේය කියා ඔවුන් කල්පනා කරනවාය .

එවිට මේ පළාතේ පදවිය ලත් මල්වතු පාර්සේ උපසම්පදා උන්නාන්සේලා රැස්කොට යෝජනා කරන ලද තැනැත්තාව පොදු කැමැත්තෙන් ඒත්තු ගත් නිසා මාතර දිසාවේ සිටින ගාල්ලේ උන්නාන්සේට ඔහුගේ නම ඒ තානාන්තරය පිණිස ඔප්පු දෙන බව මට දන්වා ඇරියාය , එසේ දන්වා ඇරියේ තමුන්නාන්සේලාගේ ලියමනේ තිබ්බ හීමාවල් සහ නිතර පළාතේ පදිංචි වෙන්නට ඕනා අමුතු ව්‍යවස්ථාවකුත් සමගය . ඒ යෝජනාවට උන්නන්න්සේ එකඟ උන නිසා එම නිළය උන්නාන්සේට දෙන ලෙස මම ඉල්ලමි .

පළාතට නායක කෙනෙක් බොහෝ සේම ඕනෑව තිබ්බ නමුත් කලක සිට කිසිවෙකුට එය නොලැබුනේය . එම නිසා පළාතේ නායක කමත් ඔහුට ලැබෙන ලෙසට මතක් කර සිටිමි . වර්ෂ 1822 දී එම නිලේ අලුත් වැඩියා කිරීමට අභිප්‍රා කල බව එවකට සිටි රැසිදන්ත උනන්සේගේ මේ සමග එවන ලියමනේ පිටපතෙන් පේන නමුත් , එහි නම තිබෙන උනාන්සේ සංඝයා අතර තිබ්බ භේදවල් නිසා නිලේ පිළිගත්තේ නැත . ජෝන් ඩොයිලි උන්නාසේ පෙන්නුන් කර සිටින සායර් උන්නාන්සේගේ ලියමන මේ දෙපාර්ණමෙන්තුවේ පොත් පත්වල නැත .

අත්සන් කලේ ජෝන් ටර්නර්

වර්ෂ 1827 පෙබරවාරි මස 27 දින
රත්නපුරේ දීය

මේ එක ලිපියක් . තව ලිපියක් තියෙනවා . ඒකෙ තියෙන වැදගත් කරුණු ටික විතරක් මම මෙතන උපුටා දක්වනවා .

සංඝයාගේ මූලිකයා වැලිවිට සරණංකර ගණින් කියා කෙනෙක . මේ රට වාසී වැසියන්ගේ ආගමේ ස්ථානවල් ස්ථීර අඩියකට ගෙන දුන්නේ මෙම නමගේ ප්ලවිත වීර්යයෙන්ය .ඔහු විජය රාජ විසින් උපසම්පදාව දෙන්නට පුළුවන් සංඝයා සියන් දේසෙන් ගෙනේ එන පිණිස විල්බාගෙදර මුදුයන්සේ යවන ලෙස සලස්වූවා ය . එම පයිණ්ඩය සියමට ලඟා වෙන්නට ප්‍රථමයෙන් විජය රජ කාලක්‍රියා කාලය . මුදියන්සේ ආපසු සෙයිලමට ආවාය .

කීර්තිස්සිරි රජ විසින් ඔහුව දෙවන යවා සියමෙන් උන්නාන්සේලා ගෙනාවාය . උපසම්පදාව දෙවනුව හරිගැස්සුවාට පසු වැලිවිට සභාවේ ප්‍රධානීය කමකට පත් කලාය . ඔහුට නායක උන්නාන්සේ නොව සඟරාජ කියා නම තබා මේ අලුත් පැවැත්ම වලට අමුතු කාරණා එක්කාසු නොකරන ලෙස ප්‍රවේසම් කරගැනීමට අපූර්ව බලවල් දුන්නාය . මේ අවස්තාවේදී ආඬින්ට ශ්‍රී පාදය නැති උනාය . එවකට ශ්‍රී පාදයට ගම් බිම් වලින් ප්‍රයෝජනේ ලැබුනේ නැත . එම නිල සහ එතුවක් ගබඩා ගමක්ව තිබ්බ කුට්ටාපිටියත් රජ විසින් සඟරජට දෙන ලදුව එම දීමනාව තඹ සන්නසක සටහන් කාලාය .

——————————————–

තවත් ද්‍රව්‍ය ඇතුව ඇත්දත් කුට්ටමක් රජ්ජුරුවන්ට තෑගී කර මෙම දීමනාව වෙනස් කරගන්නට ආඬි උත්සාහ කලාය . එම ඇත්දත් කුට්ටම රජ විසින් ශ්‍රී පාදයට පූජා කරන ලද්දේය . සපරගමු පළාතේ නායක උන්නාන්සේගේ මෙහි ඇතුල තිබෙන ලියවිල්ල ප්‍රකාරයට ශ්‍රී පාදයේ සහ කුට්ටාපිටියටද පැල්මඩුල්ල ගම සහ විහාර සමග සඟරාජ විසින් මෙම පළාතේ වැලිබොඩඋන්නාන්සේට දෙන ලද්දේය .

——————————————–

එවක් පටන් ශකවර්ෂ 1703 දී රාජාධි රාජසිංහට රට ලැබෙන තුරු නායක සතර දෙනකුට ශ්‍රී පාදේ සමග පහත රට නායක කම තිබී පැල්මඩුල්ලේ පොරොත්තුව සිටියාය . ඉන් අන්තිම කාරයා දැනට මාතර සිටින කරතොට නායක උන්නාන්සේය . මොරතොට මල්වත්තේ නයක් උන්නාන්සේය . ඔහු රජාගේ ගුරුන්නන්සේය . සපරගමු පළාතේ සංඝයා ලන්සියාට එකතුව සිටිනවා කියා මොරතොට රජට දැනුම් දී ශ්‍රී පාදයේ කරතොටගෙන් නැති කළාය .

රත්නපුරයේ නිළමේ සන්නස නුවරට ගෙනගියේ රජ එන පරිද්දෙන් සපරගමුවේ දිසාව කරවන දොඩම්වල අධිකාරම විසින් මල්වත්තේ විහාර සාංඝිකවංශයෙන් තැබුවාය . ඒකාලේ පටන් පසුගිය අවුරුද්ද දක්වා ශ්‍රී පාදයේ කුට්ටාප්ටියත් සමග මල්වත්තේ නායක උනානසේ බුක්ති වින්දාය . පහත රටට නිසා නායක කෙනෙක් නැතිව සිටියාය . වේහැල්ලේගේ ගෝලයෝ පැල්මඩුල්ලේ පදින්චිව සිටියාය . පැල්මඩුල්ලෙන් මල්වත්තේ නායක උනන්නසේලාට ලැබුණු ප්‍රයෝජන නම් ශ්‍රී පාදෙට ලැබෙන පූජා වලින් ඔවුන්ට නුවරට කත් අටක් ගිහින් දෙනවා පමණක , මේ අය කිරීමත් පරණ එකක් නොවේය .

ශ්‍රී පාදයේ පූජාවල් නුවරට ගෙන යාම ක්‍රම ක්‍රමයෙන් විරුද්ධ පිළිවෙලට මෙපමණ කල් කෙරීගන ආවාය . මගේ විභාගය සීග්‍ර ලෙස කලේ ප්‍රධාන ලෙස මෙම කාරණාවල් දැනගත්තේ ඒගැන පක්ෂ පාතී වලින් නිසා මෙම කර තිබෙන ඉල්ලීම ගැන කිසි වාසියක් මට පෙනෙන්නේ නැත . සත්තකට මම පැල්මඩුල්ලේ ශ්‍රී පාදයට අයිති ගමක් නොවේය . පහත රට නායක කමටද අයිති බවත් පෙනෙන්නේ නැත . අහම්බෙන් වාගේ නායකවරු තුන් දෙනෙක් පිට පිටම එක එක්කෙනාගෙන් පැල්මඩුල්ල උරුම කරගෙන තියනවාය .

———————————————-

එම අදහස ඇතිව මෙම ආණ්ඩුව විසින් ශ්‍රී පාදේ ප්‍රධාන කමට පත්කළ නායක උන්නාන්සේට කීර්ති ශ්‍රී ගේ සන්නස භාර දෙන ලෙස මම මතක් කරනවාය . එම ලියමන මහනුවර පරකුඹුරේ උනන්න්සේ වෙත තිබී දෙහිගම දිවනිළමේ භාර තැබුවාය කියා ආරංචිය ශ්‍රී පාදයේ ලාංචනය කොටා තිබුණු කීර්ති ශ්‍රී පූජා කල ඇත්දත් කුට්ටම කොබ්බෑකඩුවේ නායක උන්නාන්සේ විසින් අපේ යුධ සේනාව පළමුවෙන් නුවර පැමුනුන වකවානුවේ මහනුවරට ගෙනගියාය . ඒවා දැනට උඩුනුවර ගොඩැල්ලේ දෙනියේ විහාරයේ තිබෙනවාය . ඒවා ගෙනත් ශී පාදස්ථානයට භාර දෙන ලෙස මම සඟවා දෙනාවාය .

මේ වගට ජෝන් ටර්නර් .

ඔන්න ඕවා තමා දෙවන ලියුමේ තිබ්බ විශේෂ සටහන් . මේවා අනුව යමින් අවසානයේ ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය අපේ සබරගමුවට ආයෙත් ලැබුණා . ඒ කාලෙත් හූරා කෑම් නොතිබුනාම නෙවෙයි . ඒත් අද තරම් නෑ .

ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය ගාල්ලේ මේධංකර හිමියන්ට ලැබුනට පස්සේ ව්‍යාකූල වෙලා තිබුණු ශ්‍රී පාදස්ථානයේ පරිපාලන කටයුතු ආයෙත් පිළිවෙලකට කරගෙන යන්න ඒ හිමියන් වැඩකටයුතු කළා .

ගාල්ලේ මේධංකර හාමුදුරුවෝ ධර්ම ශාස්ත්‍රීය සේවාව මනාව ඉෂ්ට කළා වගේම තමන්ගේ වගකීම් නොපිරිහෙලා ඉෂ්ට කළා . ඒ විතරක් නෙවෙයි ශ්‍රී පාදස්ථානයේ ආගමික පසුබිම එදා වගේම රැකගන්නත් උන්වහන්සේ වැඩ කටයුතු සිද්ද කළා .

මම දැන් සටහන් කරන්නම් ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය දරපු නායක ස්වාමීන් වහන්සේලාගේ නම් ලිස්ට් එක . ඒ ලිස්ට් ඒක අනුව අපිට තව මේ ගැන සාකච්චා කරන්න පුළුවන් වේවි කියලා මම හිතනවා .

වේහැල්ලේ ධම්මදින්න හිමි
කඹුරුපිටියේ සඟිධර ගුණරතන හිමි
මාලිම්බඩ ධම්මධර හිමි
කුඩා කඹුරුපිටියේ හිමි
කරතොට ධර්මාරාම
මොරතොට නායක හිමි
කොබ්බෑකඩුවේ නායක හිමි
වැලිවිට නායක හිමි
ගම්මුල්ලේ නායක හිමි
ගාල්ලේ මේධංකර හිමි
ඉඳුරුවේ සුමංගල හිමි
ගලගම අත්ථදස්සී හිමි
හික්කඩුවේ ශ‍්‍රී සුමංගල හිමි
පරගල සෝභිත හිමි
රඹුක්පොත පඤ්ඤාසාර හිමි
මොරන්තුඩුවේ ධම්මානන්ද හිමි
බටුගෙදර යසස්සී හිමි
හඳපාන්ගොඩ විමල හිමි
2012 වසරේ දි බෙන්ගමුවේ ශී‍්‍ර ධම්මදින්න හිමි මේ දක්වා

මෙන්න මේ ස්වාමීන් වහන්සේලා පිලිවෙලින් අද දක්වා ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය දරමින් කටයුතු කරලා තියෙනවා . ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය එක්කම බැඳුනු පදවිය තමයි සබරගමුව ඇතුළු පහතරට සංඝ නායක පදවිය . මේ පදවි දෙකම එකම ස්වාමීන් වහන්සේ නමක් තමයි මුල ඉඳලා පවත්වාගෙන ආවේ . ඒත් පස්සේ කාලෙකදී මේ පදවි දෙක වෙන් උනා .


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

මේ නායක හිමිවරුන්ගේ ලිස්ට් එකේ වැඩ ඉන්නවා ඉඳුරුවේ සුමංගල කියලා නායක ස්වාමීන් වහන්සේ නමක් . මුන්වහන්සේට 1830 ජූලි 25 වෙනිදා තමයි රොබට් විල්මර්ට් හෝර්ටන් කියන ආණ්ඩුකාර තුමා සබරගමුව ඇතුළුව පහතරට සංඝ නායක පදවිය ලබා දුන්නේ .

ඊට පස්සේ 1836 සැප්තැම්බර් 17 වෙනිදා ශ්‍රී පාදස්ථානයේ නායක පදවියත් භාර දුන්නා . මේ ලබාදීම සිදු කෙරුනේ අක්ත පත්‍ර දෙකකින් . ඒකට හේතුව මොකක්ද කියල මම පොත් ගණනාවක හෙව්වා . ඒත් එකට හේතුව මොකක්ද කියලා හොයාගන්න ලැබුනේ නෑ . හැබැයි තනතුරු දෙක දීලා තිබුණේ එකට නෙවෙයි දෙපාරකට .

ඒකැ නිසා මම හිතන්නේ මෙතනින් තමයි මේ නායක පදවිය ද්වි කන්ඩනයට ලක් උනේ කියලා . මේ ලිපි දෙකම පැල්මඩුල්ලේ විහාරයේ අදත් පරෙස්සමට තැම්පත් කරලා තියෙනවා . ගිහි පැවිදි සභාවක් මගින් සහ ආණ්ඩුවේ බලතල මත තීරණය අරගෙන ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය පත්කරන පිළිවෙල පටන් ගත්තේ මෙන්න මේ හෝර්ටන් ආණ්ඩුකාර තුමාගේ කාලයේ ඉඳලා තමයි . ඉතින් අද දක්වාම පැවත එන්නෙ එදා හෝර්ටන් පටන්ගත්ත ඒ ක්‍රමය .

ඉඳුරුවේ හාමුදුරුවන්ට පස්සේ ශ්‍රී පාදස්ථානයේ නායක කම ලැබෙන්නේ ගලගම අත්තදස්සී කියන හිමියන්ට . මේ හිමියන් ශ්‍රී පාදස්ථානයට විතරයි නායක උනේ . ඒ කියන්නේ එතනින් මේ තනතුර දෙකඩ උනා කියන එක . සියඹලාකටුවේ අත්තදස්සී කියන හාමුදුරුවන්ට සබරගමුව ඇතුළු පහතරට නායක පදවිය ලැබුණා .

සියඹලාකටුවේ හාමුදුරුවෝ වැඩහිටියේ ගල්පොත්තාවල විහාරයේ . ඉතින් ගලගම අත්තදස්සී හාමුදුරුවෝ ශ්‍රී පාදස්ථානයේ වගකීම් හරියට ඉෂ්ට කරන්නේ නැති විත්තිය දැනගෙන සියඹලාකටුවේ හාමුදුරවො ගල්පොත්තාවල විහාරයෙන් යන්න යනවා . ඒ යන්න යන්නේ ඇත්දළ කුට්ටමත් ගල්පොත්තාවල විහාරයේම දාලා .

මේ ගැන සංඝ සම්මේලනයකදී කතාවෙනවා . ඊට පස්සේ සර් රිචර්ඩ් මෝර්ගන් කියන නීතිඥ වරයා මේ ගැන ආණ්ඩුවට දැන්වුවාට පස්සේ රත්නපුරයේ රැස් කරපු නායක හාමුදුරුවරු දහ දෙනෙකුගෙන් සමන්විත සංඝ සභාවක් මගින් ශ්‍රී පාදස්ථානයේ නායක කමෙන් ගලගම අත්තදස්සී හිමියන්ව ඉවත් කරනවා .

ඊට පස්සේ දිගටම නායක හිමිවරුන් පත්කරේ රජයේ බලයලත් නිලධාරීන් සහ නායක ස්වාමීන් වහන්සේලාගේ චන්දයෙන් වැඩිම චන්ද ගනු ලබන හිමිවරු . ඒත් නඩු තීන්දුවකින් තමයි හික්කඩුවේ සුමංගල හිමියන්ගේ නායක පදවිය ස්ථීර වෙන්නේ .

ඔහොම ඔහොම ඉතින් ශ්‍රී පාදස්ථානයේ නයක් පදවිය අද දක්වා විවිධ හල හැප්පීම් වලට ලක් උනත් පැවතගෙන එනවා . මට මතක අවසන් නායක හිමියන් හඳපාන්ගොඩ විමල නායක හිමියන් . ඒ කාලේ බෙංගමුවේ නායක හිමියන් තමයි සබරගමු පළාතේ නායක පදවිය දැරුවේ .

තවත් ලිපියකින් හමුවෙමු

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෛවීය විද්‍යා උපාධිධාරීවරයෙක් වන දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන මහතා ජ්‍යෝතිෂ්‍යවේදියෙකු, ලේඛකයෙකු සහ පර්යේෂකයෙකු ලෙස කටයුතු කරනු ලබයි. අප රටේ අලි ඇත් පරපුර පිළිබඳව සහ විවිධ පළාත්වල ඇති ආගමික, සාමාජීය, සංස්කෘතික කරුණු පිළිබඳව තොරතුරු ඔහු eLearning.lk බ්ලොග් අඩවිය ඔස්සේ ගෙන එයි.