චීන විදේශ ඇමතිගේ ඉන්දීය සංචාරය​

March 30, 2022

චීන විදේශ අමාත්‍ය වෑංග් යී 2022 මාර්තු 25 වනදා ඉන්දියාවේ හදිසි සංචාරයක නිරත වුණා. මෙම සංචාරය පිළිබඳ කලින් ඉන්දියාව හෝ චීනය හෝ නිල නිවේදනයක් නිකුත් කළේ නැහැ. කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය මේ පිළිබඳ දින කිහිපයක සිටම හෙළිදරව් කරමින් තිබුණා. මෙම සංචාරය චීනය පාර්ශවයෙන් කළ ඉල්ලීමක් අනුව සිදුවූවක් බවයි දැනගන්නට ලැබුණේ.

මෙම සංචාරයෙහි වැදගත්කම වන්නේ වසර දෙකකට පෙර දෙරට අතර දේශසීමාවේ ඇතිවූ ගැටුම්වලින් අනතුරුව චීනයේ මෙවන් ඉහළ පෙළේ අයකු ඉන්දියාවේ සංචාරය කළ පළමු අවස්ථාව මෙය වන නිසයි.

චීන විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවල් මෙන්ම විදේශ ලේකම් එස්. ජායිශංකර් ද හමුවුණා. ඔහු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමට ද ඉල්ලීම් කර තිබුණු නමුත් එයට අවස්ථාවක් ඔහු වෙත ලබා නොදෙන ලද බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.

අසාර්ථක සංචාරයක්
ඉන්දීය මාධ්‍ය පවසන ආකාරයට වෑංග් යීගේ සංචාරය එතරම් සාර්ථක වූවක් ලෙස ගිණිය නොහැකියි. වෑංග් යී අජිත් දෝවල් හමුවූ අවස්ථාවේ දෙරට අතර දේශසීමා අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීමට ඔහුට චීනයේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ආරාධන කළ බව වාර්තා වනවා.

දෝවල් ඊට සිය කැමැත්ත පළ කළ නමුත් ඊට ප්‍රථමයෙන් ලදාක් ප්‍රදේශයේ දේශසීමාව ආශ්‍රිතව ඇතිවී ඇති තත්ත්වයන් නිරාකරණය කරගත යුතු බව ඔහු පවසා තිබෙන බවයි සඳහන් වන්නේ.


අජිත් දෝවල්

ඉන්දීය විදේශ ලේකම් ජායිශංකර් ද ප්‍රකාශ කළේ දෙරට අතර සබඳතා සාමාන්‍ය අතට හැරීම සඳහා මෙම දේශසීමා ප්‍රශ්නය නිරාකරණය කරගත යුතු බවයි. දේශසීමා අර්බුදය පවතින තෙක් දෙරට අතර සබඳතා සාමාන්‍ය අතට හැරී ඇතැයි පැවසිය හැකි නොවන බව ඔහු කියා සිටියා. මේ අනුව චීන විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ සංචාරය කළ මූලික අරමුණු ඉටු වූයේ දැයි සැකයක් මතුව තිබෙනවා.

චීන විශ්ලේෂකයන් ඇතමෙක් ඉන්දියාවේ ස්ථාවරය විවේචනය කරනු දක්නට ලැබුණා. ඔවුන්ගේ මතය වන්නේ දෙරට අතර සබඳතාවන් හි විවිධ අංශ තිබෙන බවත් දේශසීමා අර්බුදය පිළිබඳ අනවශ්‍ය තරම් බරක් දෙමින් ඉන්දියාව අන් අංශයන් නොසලකා හරින බවත් ය​.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

BRICS සමුළුව සහ යුක්‍රේන අර්බුදය
චීන විදේශ අමාත්‍යවරයාගේ සංචාරයෙහි දී රුසියාව සහ යුක්‍රේනය අතර අර්බුදය පිළිබඳ ද සාකච්ඡා සිදුවූයේ යයි විශ්වාස කෙරෙනවා. මෙම අර්බුදය හේතුවෙන් රුසියාව වෙත පැනවී ඇති බරපතල සම්බාධක සමග රුසියාව චීනය සහ ඉන් දියාව දෙසට වඩාත් නැඹුරු වනු දක් නට ලැබෙනවා.

රුසියාව හුදෙකලා කිරීමේ අරමුණින් බටහිර රටවල් චීනය සහ ඉන්දියාව වෙත බලපෑම් කිරීමේ උත්සාහයක නිරත වන බවද පෙනී යනවා. මෙවන් පසුබිමකදී චීන සහ ඉන්දීය නායකයින් මේ පිළිබඳ වැඩියෙන් කතාබහට ලක්කළ යුතු වනවා.

ඉන්දියාව යුක්‍රේන අර්බුදයේදී ගන්නා ලද්දේ මධ්‍යස්ථ වූ ස්ථාවරයක්. ඉන්දියාව ක්වොඩ් සංවිධානයේ සාමාජිකයකු වන නමුත් ඇමරිකාව​, ඔස්ට්‍රේලියාව සහ ජපානය යන අනෙක් සාමාජික රටවල් රුසියාවට විරුද්ධ මතයක් දරද්දී ඉන්දියාව ඉන් වෙනස් ස්ථාවරයක සිටිනවා. චීනය සිටින්නේ ද බටහිර රටවලට විරුද්ධ ස්ථාවරයකයි. එය රුසියාවට සහය දීමක් ද නොවේද යන්න පිළිබඳ විවාද කළ හැකියි.

කෙසේ වෙතත් බටහිරින් පැනවිය හැකි සම්බාධක හේතුවෙන් චීනය ද ගමන් කරන්නේ තරමක් ප්‍රවේශම්සහගත මාර්ගයකයි. එහෙයින් චීනයට තම ස්වාධීන මතය පවත්වාගැනීමට ඉන්දියාවේ සහය වැදගත් වනවා. චීන රජයේ පුවත්පත් යුක්‍රේන අර්බුදය අරභයා ඉන්දියාවේ ස්ථාවරය පිළිබඳ සිය ප්‍රසාදය දැක්වූයේ ද එම කරුණ නිසයි.


2019 BRICS සමුළුව බ්‍රසීලයේදී පැවැත්වුණා

චීනය මෙම වසරේදී BRICS සමුළුව සඳහා සත්කාරකත්වය ලබාදීමට නියමිතයි. රුසියාව ද මෙහි සාමාජිකයකු වනවා. එමෙන්ම ඉන්දියාව ද එහි සාමාජිකයෙක්. BRICS රාජ්‍ය නායක සමුළුව එම සංවිධානයේ සාමාජික රටවල් වන බ්‍රසීලය​, රුසියාව​, ඉන්දියාව​, චීනය සහ දකුණු අප්‍රිකාව යන රාජ්‍යයන් හි නායකයින් මුණගැසෙන අවස්ථාවක් වන හෙයින් අන් සාමාජික රටවල රාජ්‍ය නායකයින් ඊට සහභාගී වනු ඇතැයි චීනය බලාපොරොත්තු තබනවා.

එහිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සහභාගීත්වය ද ඉතා වැදගත් ලෙස චීනය විසින් සලකනු ලබනවා. චීන විදේශ අමාත්‍යවරයා ඉන්දියාවට පැමිණෙන්නේ ද මෙම අදහස පෙරදැරි කරගෙනයි.

දිගුකාලීන අරමුණු
චීනයේ දිගුකාලීන අරමුණු සැලකීමේදී ද ඉන්දියාව සමග මිත්‍රත්වය වර්ධනය කරගැනීම වැදගත් වනවා. එක් අතකින් බටහිරට අභියෝග කිරීමේදී ඉන්දියාව යනු සහයට සිටිය හැකි පාර්ශවයක් වනවා. දකුණු ආසියාතික කලාපය ගතහොත්, පාකිස්ථානය කඩාවැටෙන රාජ්‍යයක් බව පැහැදිලි වෙමින් තිබෙනවා. එමෙන්ම එහිදී චීන ජාතිකයන් ඉලක්ක කරගෙන ප්‍රහාර ද කිහිපයක්ම එල්ල වී තිබෙනවා. තව ද එරට තුළ චීනය තමන්ට අවශ්‍ය බොහෝ දේ කරගෙන අවසන්. එහෙයින් ඉන්දියාව වඩා වැදගත් බලවතකු ලෙස චීනයට පෙනී යා හැකියි.

එමෙන්ම යම් දිනෙක තායිවානය ආක්‍රමණය කිරීමට චීනය යොමු වන්නේ නම් එවන් අවස්ථාවක ඉන්දියානු දේශසීමාව ප්‍රදේශය සන්සුන්ව තබාගැනීම චීනයට අත්‍යවශ්‍ය වනු ඇති. චීන රජයේ විදේශ කටයුතු පිළිබඳ උපදේශකයකු වන ජින් කැන්රොංග් නම් මහාචාර්යවරයා 2022 පෙබරවාරි මුලදී ජපානයේ නික්කෙයි පුවත්පතට අදහස් දක්වමින් 2027 වනවිට තායිවානය අත්පත් කරගැනීමේ අවකාශය පිළිබඳ කරුණු දැක්වූවා.

මේ වනවිට චීන නාවික හමුදාව ද කෙමෙන් කෙමෙන් සවිමත් කෙරෙමින් පවතිනවා. එහෙයින් 2027 වනවිට කෙසේ වෙතත් තවත් දශකයක් තුළ තායිවානය වෙත විශාල තර්ජනයක් කිරීමට චීනයට හැකිවනු ඇතැයි සැක කළ හැකියි.

නමුත් මෙවන් අවස්ථාවක චීනයට බටහිරින් එන අභියෝගයට මුහුණදීමට චීනය සූදානමින් සිටිය යුතු අතර ඉන්දියාව සමග යහපත් සබඳතාවයක් පැවතීම එහිදී වැදගත් වනු නොඅනුමානයි. එවැනි අනාගත දැක්මක් සහිතව චීනය ඉන් දියාව සමග යළි මිත්‍රත්වයක් ඇතිකරගැනීමට අපේක්ෂා කරනවා විය හැකියි. එසේ නම් වෑංග් යීගේ ගමන තුළින් ආසන්න ඉලක්ක සපුරාගත නොහැකි වුවද දුරස්ථ ඉලක්ක සපුරාගැනීම සඳහා අවස්ථාවක් උදා කරගැනීමට චීනයට හැකියාවක් තිබෙනවා.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.