අර්දොවාන්ගේ ජයග්‍රහණය
තුර්කි ජනාධිපති රචෙප් තයෙප් අර්දොවාන් වසර 20 කට පසුව ඔහුට එල්ල වූ ප්‍රබලම අභියෝගය පරාජය කරමින් එරට ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වාර්තා කළා.
ඔහු අතින් පරාජයට පත්වූයේ එරට ප්‍රධාන විපක්ෂය වන රිපබ්ලිකන් මහජන පක්ෂයේ (CHP) නායක කෙමාල් කිරිච්දරොග්ලු යි. ඔහු පක්ෂ හයක පුළුල් සන්ධානයක සහය ඇතිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණ ද එහිදී පරාජයට පත්වුණා.
තුර්කි ජනාධිපතිවරණයේදී පළමු වටයේදී ම ජයග්‍රහණය වාර්තා කිරීමට නම් අපේක්ෂකයකු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50 ක් ඉක්මවා ඡන්ද ලබාගත යුතුයි. මැයි 14 වනදා පැවති ජනාධිපතිවරණයේ පළමු වටයේදී කිරිච්දරොග්ලු ජයග්‍රහණය කරනු ඇති බවට බොහෝ සමීක්ෂණ වාර්තා පෙන්වා දුන්නා. එහෙයින් ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳ ඔහු දැඩි විශ්වාසයකින් පසුවුණා.
බටහිර රටවල් බොහොමයක් ද ඔහුගේ ජයග්‍රහණය අපේක්ෂා කළ අතර බටහිර මාධ්‍ය ද ඔහුට සහය දක්වනු දිස්වුණා. කෙසේ වෙතත් එම වටයේ දී ඇත්ත වශයෙන්ම ජයග්‍රහණය වාර්තා කළේ අර්දොවාන්. වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් අර්දොවාන් සියයට 49.52 ක් ලබාගනිද්දී කිරිච්දරොග්ලුට ලැබුණේ සියයට 44.88 ක් පමණයි.
අවාසි සහගත තැනක සිට
ජනාධිපතිවරණයේ පළමු වටයේදීම අර්දොවාන් මෙසේ ඉදිරියට පැමිණියේ අවාසි සහගත ස්ථානයක සිටයි. තුර්කි ආර්ථිකය කලකින් වැටුණු නරකම අඩියට වැටී ඇති අතර ඊට වගකිව යුත්තේ අර්දොවාන්ගේ ප්‍රතිපත්තියි.
එමෙන්ම 2023 වසර මුලදී ඇතිවූ දැවැන්ත භූමි කම්පාවට රජය ප්‍රතිචාර දැක්වූ ආකාරය පිළිබඳව ද චෝදනා එල්ල වෙමින් තිබුණා.
බටහිර රටවල් අර්දොවාන් සමග උරණව සිටියේ ඔහු ඔවුන්ට අවශ්‍ය පරිදි කටයුතු නොකිරීම හේතුවෙන්. අර්දොවාන් රුසියාව සමග ගනුදෙනු කිරීම නවතා දැමුවේ ද නැහැ.
එමෙන්ම ස්වීඩනය සහ ෆින්ලන්තය නේටෝ සංවිධානයට සම්බන්ධ කරගැනීමට බාධා පැමිණවීමට ද අර්දොවාන් කටයුතු කළා. මේ අතර කිරිච්දරොග්ලු තමන් බටහිර ලැදි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙන්නුම් කරමින් සිටියා.
කිරිච්දරොග්ලුගේ සන්ධානය තුළ ලිබරල්වාදීන්ගේ සිට ජාතිකවාදීන් දක්වා විවිධ කණ්ඩායම් ඇතුල් වුණා. ඔවුන් ඒකාබද්ධව සිටියේ අර්දොවාන්ට ඇති විරෝධය මුල් කරගෙනයි. අර්දොවාන් විසින් හඳුන්වා දුන් ජනාධිපති මූලික පාලන ක්‍රමය වෙනස් කොට පාර්ලිමේන්තුව වෙත වැඩි බලය පැවරීමත්, අර්දොවාන්ගේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීමත් ඔවුන් ලබාදුන් පොරොන්දු අතර වුණා.
මේ අතර අර්දොවාන් තුර්කි ජාතිකවාදය, ඉස්ලාමීය දර්ශනය ආදී මතවාදයන් පදනම් කරගෙන සිය මැතිවරණ කටයුතු කරගෙන යනු දකින්නට ලැබුණා. විශේෂයෙන්ම බටහිර ලැදි ප්‍රතිවාදියකු හමුවේ ඔහුගේ ජාතිකවාදී මතවාදය සැලකියයුතු සහයක් ඔහු වෙත ඇදගැනීමට සමත් වුණා.
ලිබරල්වාදයෙන් ජාතිවාදයට
පළමු වටයේදී අර්දොවාන් පළමු ස්ථානයට පැමිණිය ද සියයට 50 ඉක්මවා ඡන්ද ලබාගැනීමට නොහැකි වූයෙන් ජනාධිපතිවරණයේ දෙවන වටය පැවැත්වීමට සිදුවුණා. මෙම අවස්ථාවේ කිරිච්දරොග්ලු තරග කළේ පරාජිත මානසිකත්වයෙන් බව පැහැදිලි වුණා. ඔහු එතෙක් පෙන්වූ ලිබරල් මුහුණුවර වෙනස් කරමින් තුර්කියේ රැඳී සිටින මිලියන 4 කට ආසන්න සිරියානු සරණාගතයින් ආපසු යැවීමේ සටන් පාඨය ඔස්සේ සිය ප්‍රචාරක කටයුතු දියත් කළා.
කලින් සිටි, සෑම පාර්ශවයක්ම ඒකරාශී කරගතහැකි බවක් පෙන්නුම් කළ නායකයා වෙනුවට මේ අවස්ථාවේ දකින්නට ලැබුණේ ජාතිවාදී නායකයෙක්. එමගින් ඔහු අර්දොවාන්ට සහය දෙන ජාතිකවාදී කඳවුරෙන් කොටසක් තමන් වෙත ගෙන්වාගැනීමට අපේක්ෂා කළ නමුත් සිය කඳවුරේ ලිබරල්වාදීන් උරණ කරගත්තා.
මේ අතර පළමු වටයේදී සියයට 5.17 ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් තුන්වන ස්ථානයට පත්වූ අන්ත ජාතිකවාදී සිනාන් ඔගාන් තම පාර්ශවයට සහය දැක්වීම සඳහා පොළඹවාගැනීමත් කිරිච්දරොග්ලුගේ බලාපොරොත්තුවක් වන්නට ඇති. නමුත් ඔගාන් අර්දොවාන්ට සහය දැක්වීමට තීරණය කිරීමත් සමග කිරිච්දරොග්ලු තවත් දුර්වල වුණා.
අර්දොවාන් පාර්ශවය දිගටම සිය ජාතිකවාදී, බටහිර විරෝධී ප්‍රචාරක ව්‍යාපාරය ගෙනගියා. දුර්වල වූ කිරිච්දරොග්ලු ජනාධිපතිවරණයේ පළමු සහ දෙවන වට අතර වූ දෙසතියක කාලය තුළ කිසිදු විටෙක ඉදිරියට පැමිණෙනු දක්නට ලැබුණේ නැහැ. අවසානයේදී සිදුවූයේ ඡන්ද ලබාගැනීම සඳහා ජාතිවාදයට නැඹුරු වීමේ උපක්‍රමය අසාර්ථක වීමයි.
මිලියන 27 ක් ඉක්මවා ඡන්ද ලබාගනිමින් අර්දොවාන් ජනාධිපතිවරණයේ දෙවන වටය ජයග්‍රහණය කළා. ඔහු ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 52.16 ක්. කිරිච්දරොග්ලු සියයට 47.84 ක් පමණක් ලබාගත්තා.
අර්දොවාන්ගේ අනාගතය
අර්දොවාන් පාර්ශවය ඔහුව හඳුන්වා දුන්නේ සියවසකින් තුර්කියේ පහළ වූ විශිෂ්ටතම නායකයා ලෙසයි. එනම්, මුස්තාෆා කෙමාල්ගෙන් අනතුරුව එවන් නායකයකු තුර්කියට පහළ වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මුස්තාෆා කෙමාල් අටටුර්ක් ජාතිකවාදය මත පදනම්ව නවීන තුර්කිය නිර්මාණය කළ අතර නවීන ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් එරට ආගමික ගතානුගතිකත්වය පසුබැස්වීමට සමත් වුණා.
අර්දොවාන් අනුගමනය කරන්නේ ජාතිකවාදය සහ ආගමික ගතානුගතිකත්වය මිශ්‍ර වූ මතවාදයක්. එනම්, ඔහු අටටුර්ක් විසින් නිර්මාණය කළ තුර්කියේ ආගමික පසුබිම වෙනස් කරමින් සිටිනවා. වර්තමානයේ කෙසේ වෙතත්, අනාගතයේදී මෙහි බලපෑම කලාපීය වශයෙන් එතරම් යහපත් වේ යයි සිතන්නට අපහසුයි.
තුර්කි ආණ්ඩුව ඊළඟ වසර පහ තුළ බටහිර විරෝධී ප්‍රතිපත්තිවල දිගටම ගැලී සිටීදැයි මේ මොහොතේ පැවසිය නොහැකියි. මැතිවරණ වේදිකාවේ කුමක් සඳහන් කළත්, අනාගතයේ මතුවන දේශපාලන තත්ත්වයන් හමුවේ මේ කරුණු වෙනස් විය හැකියි.
කෙසේ වෙතත් බටහිර රටවල් තේරුම් නොගන්නා තවත් කරුණක් තුර්කි ජනාධිපතිවරණයේදී දකින්නට තිබෙන බවත් අමතක නොකළ යුතු යි. බටහිර රටවල් කෙතරම් විවේචනය කළ ද තුර්කි ජනතාව තුළ එරට මැතිවරණ පිළිබඳ විශ්වාසයක් පවතින බව පැහැදිලියි. ජනාධිපතිවරණයේ පළමු වටයේදී සියයට 87 ක් ඉක්මවූ ඡන්දදායකයින් පිරිසක් සිය ඡන්දය භාවිතා කිරීම ඊට සාක්කි දෙනවා.
@elearninglk