සමන් දෙවිඳු හා සමන් දේවාලය

සබරගමුවේ ජීවත්වන සියළු දෙනාම තම ජීවිතයේ වැදගත් සෑම අවස්ථාවකදීම සමන් දෙවිඳුන් වැඳපුදා ආශිර්වාද ලබා ගැනීමට හුරු පුරුදු වී තිබේ. දෙවියන් පිළිබඳ විශ්වාස කලා හෝ නොකලා වසරකට වරක් හෝ දේවාලය වැඳ පුදා ගැනීමට ඔවුහූ අමතක නොකරති.

බුදු හිමිගේ ලංකා ගමන පිළිබඳ කථා පුවත් වලදී සමන් දෙවියන් පිළිබඳ තොරතුරු අනාවරනය වේ. විෂ්ණු,ස්කන්ධ,හෙනකඳ බිසෝ බන්ඩාර,අයියානායක ආදී දෙවිවරුන් මෙන්ම සමන් දෙවියන්ද ප්‍රාදේශීය දෙවි කෙනෙකි. ඈත අතීතයේ ලංකාවේ සබරගමුව හා බිංතැන්න ප්‍රදේශ පාලනය කළ ප්‍රාදේශීය පාලකයෙක් ලෙස සුමන සමන් දෙවියන් සලකනු ලැබේ. එම කාලය තුල මොහු ඉතාමත් ධාර්මික ලෙස පාලනය ගෙනගිය නිසාත්,මහජනතාවට හොඳින් සැලකීම නිසාත්,මරණින් පසු දේවත්වයට මොහු ඔසවා තබන්නට ඇතැයි සමහරුන් විශ්වාස කරනු ලැබේ.

බුදුන්ගේ ලංකා ගමනේදී සෝවාන් මාර්ගඵලයට පත් වූයේ සමන් දෙවියන්ද නැත්නම් සුමන නම්ව සිටි සමන් දෙවියන්ගේ මනුශ්‍ය ආත්මයද යන්න පිළිබඳව යම් අපැහැදිළි තත්වයක්ද පවතී.ආදි මුතුන්මිත්තන් සතුව තිබූ යන්ත්‍ර මන්ත්‍ර අංජනම්එළි ආදී ගුප්ත ශාස්ත්‍රයන්ට අනුව සමන් දෙවියන් ඇතිවීම පිළිබඳ රසවත් කථා පුවතක් තිබේ.

අතීතයේ ජීවත් වූ සුමන නම් පුද්ගලයා පන්සිල් රකින,ඉතා දැහැමි ජීවිතයක් ගතකළ පුද්ගලයෙකි.මොහු දේවත්වය ලැබීමට තරම් කල පින්කම් හේතුවෙන් ශක්‍රභවන රත්වන්නට විය.ශක්‍රයා දිවැසින් ඊට හේතුව බැලූවිට සුමන නැමැත්තා පිළිබඳව දැනගන්නට ලැබිනි.ශක්‍රයා මේ පිළිබඳව විෂ්ණුට සැලකළවිට විෂ්ණු, සුමනව දේවත්වයට පත් කිරීමට කටයුතු කරන ලදී.

දිනක් සුමනට නිවසින් පිටත්ව දුර බැහැරගොස් නැවත නිවසට ඒමට ප්‍රමාද විය.රෑබෝ වීම නිසා සුමන අතරමග නිවසක නවාතැන් ගන්නා ලදී.එම නිවසෙහි වූ මහළු පුද්ගලයෙක් සුමනට හොඳින් සංග්‍රහ කරන ලදී.රාත්‍රී ආහාරයද ලබාගත් පසුව,සුමන නින්දට ගිය අතර මහල්ලාද නින්දට ගියේය.පසුදා උදෑසන සුමන මියගොස් මළකඳ නිවසේ තිබූ අතර මහල්ලෙක් සිට නැත.මෙම නිවසට ඇතුළු වූයේ එය පාළු නිවසක් බව සුමන දැන නොසිටි නිසා වන්නට ඇත.

ගම් වාසීන් දින කීපයකට පසුව කුණු ගඳ ගසනවිට පරීක්ෂා කළවිට සුමනගේ කුණුවූ මළසිරුර සොයාගෙන තිබේ.මේවනවිට සුමන දේවත්වයට පත්ව සිටි අතර මහල්ලා ලෙස ආ වීෂ්ණු සුධර්මා නම් දිව්‍ය සභාවේදී සුමනට “සමන්“ යන නාමය ලබාදී ලංකාව ආරක්ෂා කිරීමට පවරන ලදී.මෙම මහල්ලා සිටි නිවහන පිහිටි ප්‍රදේශය අද කුරුවිට දෙවිපහල ලෙස හැදින්වෙන්නේ යැයි සමහර පැරැන්නෝ කියනුලැබේ.

දෙවියන් ඇතිවූ එනම් පහලවූ ප්‍රදේශය නිසා මෙය දෙවිපහල ලෙස නම් වන්නට ඇත.දෙවියන්ගේ වාස භවන සමනළ කන්ද ලෙසද වාහනය ලෙස ඇලි හස්තියාද සම්මත විය.බුදුන්ගේ ලංකා ගමන මින් පසුව සිදුවන්නට ඇත.

මෙය ලිඛිත සාක්ෂි කිවක් හෝ වෙනයම් සාක්ෂි නොමැති කථා පුවතකි.නමුත් එහි යම් රසවත් බවක් තිබේ.කෙසේ හෝ පහළවූ සමන් දෙවියන් සෝවාන් ඵලයට පත් දෙවිකෙනෙකි. කකුසඳ,කෝනාගම,කාශ්‍යප,ගෞතම බුදුවරුන්ගෙන් මතු බුදුබව ලැබීමට විවරණ ලත් කෙනෙක් බව සඳහන්වේ.සමන් දෙවියන් අවලෝතිකේෂ්වර බෝසත් කෙනෙක් යැයි සමහරු කියනු ලැබේ.

මේ පිළිබඳ තොරතුරු සොයන විට මට හමු වූ මන්තර හා ගුරුකම් පිළිබඳ නිපුන පුද්ගලයෙකු සමන් දෙවියන් පිළිබඳව වෙනමවූ කථාවක් කියන ලදී. එනම් සමන් දෙවියන් යකුන්ට හා රාක්ෂයින්ට, මිනිසුන් බිලිදුන් කථා පුවත් තම මන්තරවල අඩංඟු බවයි.මහසෝනා හා රීරි යකා සමන් දෙවියන්ගේ ප්‍රදාන සේවකයින් බවත් සමනල කන්ද වටා ඇති කඳු යාය මෙම යකුන් දෙදෙනාගේ වාසස්ථාන වව බවත් සිරිපා කරුණා කරන්නන්ගේ ආරක්ෂාව සඳහා මෙම යකුන් දෙදෙනාව සමන්දෙවියන් විසින් සේවයේ යොදවා ඇති බවත් ඔහු වැඩිදුර පවසන ලදී.

බොධිසත්ව චරිතයක් හා මෙය ගැළපේදැයි තවදුරටත් සිතාබැලිය යුතුය. සමන් දෙවියන්ගේ පැරණි රූපයක් පුරාණ දඹුලු ලෙන් විහාරයේ ඇත.අත් ඉදිරියට යොමු කරගෙන “කටක හස්ථ මුද්‍රාව“ දැක්වෙන ලෙස සුදුහඳුන් දැවයෙන් මෙම පිළිරුව නෙලා තිබේ.විහාරය තරමටම මෙම පිළිරුව පැරණි බව හා එය ශ්‍රේෂ්ඨ කළාකෘතියක් බවත් විද්වතුන් ප්‍රකාශ කර තිබේ.

@elearninglk

සමන් දෙවියන් ශ්‍රීපාදයට සබරගමුව මහ සමන් දේවාලයට බොල්තුඹේ,මහියංගනය,දැරණියගල, ආදී දේවාලවලට අධිගෘහිතව වාසය කරනු ලැබේ.

එම ප්‍රදේශවල ජනතාවත් ලංකා වාසි සියළුදෙනාවත් ආරක්ෂා කිරීමට සමන් දෙවිඳුන් නිතිපතා දායක වේ.

සමන් දේවාලය මුලින්ම ඉදිවී ඇත්තේ දැනට වර්ශ 776කට පමන පෙර ඳඹදෙනි යුගයේ විසූ කීර්තිමත් නරපතියෙකු වූ දෙවන පරාක්‍රමභාහු රජු විසිනි.පොළොන්නරු යුගයේ බිඳවැටීම සමගම දඹදෙනියට රාජ්‍යය සංක්‍රමනය විය.සොලී ආක්‍රමණ නිසා ලංකාවේ ආර්ථිකය බිඳවැටී තිබින.දෙවන පැරකුම්බා රජු තම භාන්ඩාගාරය තර කිරීම සඳහා මැණික් රැගෙන එන ලෙස තන ඇමති මණ්ඩලයේ විසූ ආර්යකාමදේව ඇමතිවරයාට උපදෙස් දී තිබේ.

එකල පටන් මැණික් සඳහා සබරගමුව ප්‍රසිද්දවී තිබී ඇත.ආර්යකාමදේව පිරිස සමග සබරගමුවට පැමිණ මැණික් ගැරීම සාර්ථක වුවහොත් මහ දෙවොලක් සාදා කැප කරන ලෙස සමන් දෙවියන්ට භාරවී තිබේ.මැණික් ගැරීම සාර්ථක විය.වීශාල මිරිස්ගලක් තරම් මැණික්ද තවත් මැණික් විශාල ප්‍රමානයක්ද ලැබී තිබේ.


Click on the Image

ආර්යකාමදේව මෙම පුවත දෙවන පැරකුම්බා රජුට දැන්වූ පසු රජු දේවාලයේ කටයුතු ඉටු කිරීමට ආර්යකාමදේව ඇමතිට මුදල් හා පිරිවර ලබාදී තිබේ.සබරගමුවේ මැණික් ව්‍යපාරිකයන් සමන්දෙවියන්වෙත භාර වීම මෙහී සිට සම්ප්‍රදායක් විය.ආර්යකාමදේවයන් දේවාලය සාදා අවසන් කළවිට රජු විසින් ශ්‍රීපාදස්ථානයේ ඇති සමන් දේව ප්‍රතිමාවක් හා දේවාභරණ මෙම දේවාලයට වඩමවා දේවාලය අංග සම්පූර්ණ කරන ලදී.

මෙම දෙවොල ඉදි වූයේ පුරාණ සමන් වෙහෙර පිහිටි ස්ථානයේ බවට මතයක් ඇත.නමුත් අද එවැනි වෙහෙරක් දක්නට නැත.මේ ආකාරයට සමන් දේවාලය ඉදිවිය.දේවාලය ශාන්ති මණ්ඩපයක්,දික්ගෙයක්,හේවිසි මණ්ඩපයක්,හඳුන් කුඩම,පෙරහැර ගමන්කරන වීදියකින්ද සමන්විතවිය.දේවාලයේ මහනුවර යුගයට අයත් බුදුමැදුරක් ඇත.මෙහි මහනුවර යුගයේ චිත්‍ර ඇත.

ඊට ඉදිරියෙන් පත්තිනි දේවාලයක් ඇත.මුල් සමන්දේවාලයේ පත්තිනි දේවාලයක් තිබී නැත.නමුත් හංගමුව මගුරුගොඩ පුරාණ පත්තිනි දේවාලයේ ඇති දේවාභරණ කීපයක් සමන්දේවාලයේ පත්තිනි දේවාලයට වඩමවා දේවාලය ඉදි කරන ලදී.මීට අමතරව ලිඳක්,මුරුතැන්ගෙයක්,ඇතුළු ගබඩාවක් දේවාලයට අඩංගුවේ..

සැවුල් සංදේශය කියවනවිට සමන්වෙහෙරක් පිළිබඳව රූපයක් මැවේ.නමුත් පැහැදිළි සාක්ෂි හමුවී නැත.වළගම්බා රජු විසින් සමන් වෙහෙරක් කරවූ බවට සැකයක් තිබේ.ඊට හේතුව පොත්ගුල් විහාරය ඉදිකලේද වලගම්භා රජු වීමයි.

සමන්දේවාලය සාදා වසර 200කට පමණ පසුව එය පිළිසකර කර තිබේ.ක්‍රි.ව.1410 දී හයවන පැරකුම්භා රජු මෙම පිළිසකර කිරීම සඳහා රිදී පඬුරු 26000 ක් ලබා දී ඇති බවට වාර්තාවී තිබේ.මෙම පිළිසකර කිරීම කර තිබෙන්නේ නීලප්පෙරුමාල් පඬිතුමා විසිනි.මොහු ආර්යකාමදේවගේ මුනුබුරෙකි.මුල්වරට දේවාලය සෑදූ විට එහි කපු නිලය “ඇත්ඔය කපුරාල“ට දෙවන පැරකුම්භා රජු විසින් භාර දී තිබේ.

රජු විසින් දේවාලයේ බස්නායක ලෙස ආර්යකාමදේව ඇමති පත් කරන ලදී. කපුනිලය පසුව වෙනස් විය.ක්‍රිව 1410 දී දේවාලය පිළිසකර කිරීම සමගම නීලප්පෙරුමාල්ගෙන් ශ්‍රී නාරායන කපු පරපුරත්,මයිලප්පෙරුමාල්ගෙන් ශ්‍රී විජය නාරායන කපු පරපුරත් බිහිවිය.ශ්‍රී නාරායනයෝ ප්‍රධාන කපු පරපුරත් ශ්‍රී විජය නාරායනයෝ දෙවන කපු පරපුරත් නියෝජය කළහ.මොවුන් අද දක්වාම තම රාජකාරිය අකුරටම ඉටු කරමින් පවතී.

මුල් සමන්දේවාලය පෘතුගීසීන් විසින් කඩා විනාශ කර දමන ලදී.අප දැනට දකින දේවාලය ඉදිකරන ලද්දේ දෙවන රාජසිංහ රජු මගිනි.එම කාලයේ කලාත්මක හා ගුප්ත හැඟුම් දනවන ලෙස දේවාල ඉදි කළ හැකි වාතාවරනයක් නොතිබිනි.දේවාලයට ගියවිට මදක් සෝදිසියෙන් බලන්න.දේවාලයේ හඳුන් කුඩමට ගොඩවන පියගැටපෙල දෙපස මුරකාරයින්ගේ රූප අසම්පූර්ණ හා අසමමිතිකය.

මකර තොරන් අසම්පූර්ණය.චීත්‍ර ඇඳිමේදී වැඩි රටා, රූප, වර්ණ, යොදා නැත.දේවාලයට පිවිසෙන ගල් උළුවස්ස වෙනත් උළුවහු කීපයක කැබලි වේ.දේවාලයේ ලී කැටයම් ආදිය දක්නට නැති තරම්ය.මෙසේ වීමට හේතු වන්නට ඇත්තේ එකළ වූ දේශපාලනික අරගලයන් තිබීමය.නමුත් දේවාලයක තිබිය යුතු අංග සියල්ල මෙම දේවාලයේ අඩංගුවේ.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

දේවාලයේ හා දේවාලයට සම්බන්ධ පවුල්වලට යැපීමට කුරුවි,හංගමුව,කලවාන,නිවිතිගල,රත්නපුර ආදී ස්ථානවල නින්දගම්,6 වන පැරකුම්භා රජු විසින් ලබාදී තිබේ.ඊට අමතරව දේවාලයේ පුදපූජා වත්පිළිවෙත් පිළිබඳව සඳහන් සන්නසක්ද එම රජු ලබා දී තිබේ.අදත් දේවාලයේ මෙම සන්නසේ දැක්වෙන ලෙස පුදපූජා අකුරටම ඉටු කරනු ලැබේ.

දේවාලයේ නිල රාජකාරියේ ප්‍රධානියා කපුමහතාය.මුරුතැන්රාල මුරුතැන් පිසීම කරයි.බත්තන රාල මුරුතැන්ගෙයි සිට මුරුතන කපුමහතාට ගෙනවිත් භාරදෙයි.උදව්කරන රාල මුරුතැන් රාලට උදව් කරනු ලැබේ.මුරේ හේනේ මාමා නම් පුද්ගලයා දේවාලයේ රෙදි සේදීම,වියන් බැඳීම සිදුකරයි.මුරුතැන ගෙන එනවිට පන්දම් අල්ලන්නේ පන්දම්කාරයාය.මුරුතැන් පිසීමට බොලපැන් ලෙස හැඳින්වෙන පැන් ගෙනඑන්නේ බොලපැන්කාරයාය.


Click on the Image

දේවාලයේ පහන් දල්වන්නේ වට්ටොරු අප්පුය.ගබඩාවේ අඩංගු දේවල් ගබඩාමොහොට්ටාල විසින් නිදහස් කරන අතර ඒවා අන් අයට බෙදාදෙන්නේ ගබඩාවිදානේය.දවුල් තම්මැට්ටම් හොරනෑව හක්ගෙඩිය වාදනය කරන පිරිසක් වෙනමම පාරම්පරිකව එම රාජකාරිය කරනු ලබයි.ආලත්ති පෑම නම් රාජකාරිය ආලත්ති අම්මාවරු සිදුකරයි.ඔවුන් පාරම්පරික වැඩිහිටි කාන්තාවන්වේ.

දේවාලයේ දික්ගේ දක්නට ලැබුනත් අද දික්ගේ නැටුම සිදුනොවේ.එම පරම්පරා අභාවයට ගොස් ඇත.කාලවේලාව දැනුම් දීමට ගණිතගුරු කෙනෙක් සිටි අතර එම නිලය අද ක්‍රියාත්මක නොවේ.මෙම සියල්ලෝම රාජකාරියේදී තනිසුදු ඇඳුම් පමනක් අඳිනුලබයි.හිසේ සුදු රෙද්දක් බැඳගනී.

දේවාලයට සම්බන්ධ හෝ එම ගමේ මරණයක් වූ විට දේවාලයේ තේවාව කරන්නේ නැත.ඊට හේතුව කිල්ලට හසුවීම නිසායැයි කියනු ලැබේ.මෙම සියළු කාරයන් මෙහෙයවීම බස්නායක නිළමේගේ රාජකාරියයි.

අතීතයේ බස්නායක නිලය රජු විසින් පත්කළ අතර අද එය ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඡන්දයෙන් පත්කෙරේ.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

දිනපතා තේවය සෑම දිනකම පවත්වන අතර වාර්ෂිකව දුරුතු මහ කාර්තිය,බක්මහ කාර්තිය,ඇසළ මහ කාර්තිය හා ඉල්මහ කාර්තිය යන මංගල්‍යයන් පවත්වනු ලබයි.

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

eLearning.lk නිවේදනය
මෙම ලිපිය පල කිරීමේ මූලික සහ එකම අරමුණ වන්නේ මෙම විශ්වාසයන්, ඓතිහාසික ස්ථානයේ ඉතිහාසය, මෙම ස්ථානය හා බැදුනු ඓතිහාසික කතා පුවත් සහ සංස්කෘතික කාරණාවන් පිළිබඳව ඔබ වෙත දැනුමක් ලබා දීම පමණි. මෙහි ඇති ඓතිහාසික සිදුවීම් සහ ජනප්‍රවාද කතාවන් සත්‍යයයක් යැයි අප කිසි විටෙකත් සඳහන් කර නැත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෛවීය විද්‍යා උපාධිධාරීවරයෙක් වන දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන මහතා ජ්‍යෝතිෂ්‍යවේදියෙකු, ලේඛකයෙකු සහ පර්යේෂකයෙකු ලෙස කටයුතු කරනු ලබයි. අප රටේ අලි ඇත් පරපුර පිළිබඳව සහ විවිධ පළාත්වල ඇති ආගමික, සාමාජීය, සංස්කෘතික කරුණු පිළිබඳව තොරතුරු ඔහු eLearning.lk බ්ලොග් අඩවිය ඔස්සේ ගෙන එයි.