සතුට

“හාමුදුරුවනේ… මහන්සි පාටයි වාගේ…“

“අහ්… ගුණවර්ධන නෝනා…“ ම්ම්ම් ඔව් ඉතිං… හැන්දෑවෙනකොට ඇගට මහන්සිනේ නෝනා…“

රාජ්‍ය අංශයක ඉහළ තනතුරක් දරා, විශාම සුවයෙන් පසුවන ගුණවර්ධන නෝනාමහත්මිය විහාරස්ථානයට ලෙංගතු අයෙකි. මාස 6ට පමණ ඉහතදී ඇගේ ස්වාමි පුරුෂයා මෙලොව හැර ගියේය. සිටින එකම දරුවාද විදේශ් රටක පදිංචිව සිටී. පැරණි සේවිකාවක් සමඟ මෙහි වසන ඇය, සන්ද්‍යාභාගයෙහි තම සුරතල් දඩෝරියා සමඟ ව්‍යායාම පිණිස පාරේ ගමන් කිරීම සුපුරුදු දසුනකි. ?
අද මා හට ඇය හමුවූයේ ඇගේ නිවස ඉදිරියෙන් ය.

“දැන් ඉතිං කොහොමද, ඔබවහන්සේගේ lecturing වැඩකටයුතු“…

පාරේ සිටම විස්තර කථා කරන්නට පටන් ගත් අතර මිනිත්තුවක් යාමටත් මත්තෙන්…

“අනේ… ඔහොම පාරේ හිටගෙනම කතා කරන එක හරි නැ. වඩින්නකො ගෙට, ගිලන්පස එකක් වළඳලා හෙමීට වඩින්න…
යැයි කියමින් ඇය, “සෝමා…“ යනුවෙන් තම සේවිකාවට හඬගෑවාය. ?

ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නටත් පෙරම… ඇය තම සුරතලා කැටුව නිවෙස දෙසට ගමන් කළ අතර, ඉන් හැඟවූයේ මා එහි යා යුතුම බවය.

වයස් ගත උදවියට ප්‍රිය සම්භාෂණයක තිබෙන ඕනෑ කම මා උපදේශනය උගැනීමෙන් දනිමි. මහත්තයාගේ අභාවයෙන් පසු ඇයට කතාවටවත් කෙනෙක් නැතුවා විය හැක. හිතේ වේදනාවන් ද ඇතැයි සිතමි. එහෙයින් ගමේ පංසලේ හිමිනමක් ලෙස, ඇය සමඟ පිළිසඳරක යෙදීම මාගේ යුතුකමක් යැයි සිතුවෙමි. මනාව සකසුරුවම් කොට ඇති ඇගේ මිදුල ප්‍රිය එළවන තැනකි. අප විහාරස්ථානයට ඇගේ නිවස අමුතු තැනක්ද නොවේ.

“නෝනා… ඇතුළට යන්න ඕනි නෑ, මේ අඹගහ ගාව තියෙන බංකුව අපූරුයිනේ…“ මම කීවෙමි.?

“ලැසී .. ඉඳගන්න“ යනුවෙන් බල්ලාට අණකළ ඇය, ඇතුළට දුව ගොස් සුදු රෙද්දක් ගෙනැවිත් කොන්ක්‍රීට් බංකුව මත එලා ඇය ඊට යාබද බංකුවට බර විය.

“නෝනාට පාළු ඇති… “ මා එසේ කතාවට ආරම්භය ගතිමි.
‘ප්‍රියෙහි විප්පයෝගො දුක්ඛො‘ යන්න දැන් ඇයට දැනෙනවා විය යුතුය.
ඒ සමඟම ලැසී දුවගෙන විත්, ඇයගේ ඔඩොක්කුවට පැන වාඩි විය.

“ පාළු නම් තමයි හාමුදුරුවනේ,… එත්, මෙන්න මෙයා එක්ක ඉද්දි කිසිම පාළුවක් නැ. මෙයාට කතා කරන්න බැරිවුනාට කතා කරන දේවල් තේරෙනවා වාගේ අහගෙන ඉන්නවා…“

ලැසීගේ මුහුණ ඉඹින ගමන් ඇය කියාගෙන ගියාය. ?
ලැසී ඇයගේ මූණ බලා ආදරණීය බිරුමක් නිකුත් කළේ ඒ කියූ වදන් තේරුණාක් මෙනි.

“අපි ගොඩක් වෙලාවට සතුටු හොයන්නේ තව මනුස්සයෙක්ගෙන්නේ හාමුදුරුවනේ…
එත් මිනිස්සු උදේ එක විදිහක් හවසට තවත් විදිහක්. ඒ වෙනස් වීම අපට දරාගන්න පුළුවන් කමක් නැ…
“මේවා ඉතිං මට වඩා, උපදේශනය ගැන කතා කරන, ඔබවහන්සේ දන්නවානේ…“☺️

“ම්ම්ම්ම… මම ඇයට කතා කරන්නට ඉඩහැර හූමිටි තැඹීමි.

“ගෑනු විදිහට අපි, තවත් පිරිමියෙක් ගෙන් සතුට හොයනවා. එයාව අපට ඕනි විදිහට තියාගන්න අපි නොයෙක් දේවල් කරනවා…
එයාට ඕනි විදිහට අපේ ජිවිතයේ දේවල් වෙනස් කරගන්නවා.
කොන්ඩේ කපනවා, බදිනවා, ලෙහනවා, දික් කරනවා…
ලස්සන වෙන්න උත්සහ කරනවා, gym යනවා, හොද කෑම හදනවා…
නැත්තං අපි එයාට නීති දානවා… එයාට බනිනනවා, එයාගේ පස්සේ හබා යනවා, එයාගේ phone check කරනවා… එයාගෙන් හරස් ප්‍රශ්න අහනවා…”?

“මේ කොයි දේ උනත් හාමුදුරුවනේ වේදනාවක්…
තව කෙනෙක්ගෙන් පාළුව මකාගන්න හදන එක,
තව කෙනෙක් ගෙන් ආදරය හොයන එක,
තව කෙනෙක්ගෙන් ආරක්ෂාව හොයන එක, මේවා මහ වේදනාවක්…“?

“ඇයි එහෙම වේදනාවක් කියන්නේ…“

“එකක් තමයි හාමුදුරුවනේ…
අපි ආදරය කරන අය අපටම ආදරය කරන්න ඕනි කියලා නීතයකුත් නෑනේ…
එයාලගේ සතුටත් තියෙන්න එපැයි…
එයාලට ජිවිතයක් තියෙනවා…
අපි ඉතිං එයාලට ආදරය කරා කියලා එයාල අපි ගාවම තියාගන්න ඕනි කියලා අපට හිත්නන අයිතියක් නෑනේ. කොහේ හරි හොදින් හිටියාම මොකද?“

ඇගේ ඒ වාක්‍ය සමඟ දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය ගයන “ඔබ කොතැන හිටියම මොකද, නුඹ ඉන්න බව මම දන්නවා “ යන ගී පදය මා හට මතක් විය. ?

“නෝනා ඔය කියන්නේ දුව ගැන ද“?

“.හුම්… ඇය සුසුමක් හෙළා ඔව් යැයි හිස වැනුවාය.

“අපට කාගෙන්වත් බලෙන් ආදරයක් ලබාගන්න බෑනේ හාමුදුරුවනේ…
අපට වයසට ගියාම සලකයි කියලා හිතලා නෙවෙයිනේ අපි, ළමයින්ට ආදරය කරේ…
යමක් බලාගෙන කරන දේවල් ගනුදෙනු විතරයි හාමුදුරුවනේ…
ආදරය කියන්නේ යමක් ලැබෙයි කියලා බලාගෙන කරන දෙයක් නෙවෙයි…“
නෝනාගේ කතා තුළ යම් බරක් ඇතැයි මා සිතුවෙිමි.?

“මහත්තයා උනත් මෙච්චර කලින් මාව දාලා යයි කියලා මම හිතුවේ නෑනේ හාමුදුරුවනේ…“
”දුවගාවට එන්න කියලා මට බල කරත්, මම කැමැති නැ ඒ රටවලට ගිහිල්ලා නුපුරුදු දේශයක ගෙවල් ඇතුළට වෙලා ජිවත් වෙන්න“

වයස්ගත මව් පියන්ට තමන් කාලයක් හැදුනු ගම්බිමි අසල්වාසීන් හැරදාම, සීත රටක, ගෙයක් ඇතුළට වෙලා දිවි ගෙවීම අසීරු කාර්යයක් බව මා අසා ඇත්තෙමි. දරුවන්ගේ සිතුවිලි හා මව්පියන්ගේ සිතුවිලි වෙනස්ය.

“ඉතිං ඔව්වා ස්වභාවික දේවල්නේ හාමුදුරුවනේ… බැඳම් කියන වචනත් එක්ක “බිඳීම්“ කියන වචනත් එනවා… ඒක දැනගෙන ජීවත් වෙන්න ඕනි…“

“මහත්තයා ඉන්න කාලේ උනත්…
එයා එච්චර කතාවට බර කෙනෙක් නෙවෙයි… ඇත්තටම කතා නොකරන තරම්…“?

“ඉතිං නෝනා පිරිමි කියන්නේ එහෙමනේ… වැඩිය කතා බහක් නෑනේ. ආකර්ෂණය රැදුනු ගෑනු පරාණයක් ගාව මොන තරම් කියෙව්වත් පිරිමි කියන්නේ බහුතරයක් නිහඩ කොටසක්…“?

“ඒක තමයි හාමුදුරුවනේ… ඇත්තටම කසාද බඳින්න සුදුසු, නිතර කියවන වචාල පිරිමියක් මිස, මූණ පුරා රැවුල් වවාගත්, අඩි 6-7ක් උස පෞරෂවත් පිරිමි නෙවෙයි. හොද පෞර්ෂවත් පෙනුමක් තියෙන පිරිමි හොදයි, පාරේ එක්ක යන්නයි wedding photo එකටයි…“?

මට නැඟුණු හීන් හිනාවත් සමඟ “ඒ මොකො නෝනා එහෙම කීවේ“ යනුවෙන් ඇසීමි.

“නෑ හාමුදුරුවනේ… ආදරය කරන කාලේ පෞර්ෂවත් පිරිමියෙක් හොදයි,
එත් විවාහ වුනාට ප්සසේ අපට ඕනි,
හැන්දෑවට උයන වෙලාවට, පොල් ගෙඩියක් ගාලා දෙන පිරිමියෙක්,“ ?

“රෙදි ටික හොදලා ඉවර වුනාම, වැලට ගෙනිහිල්ලා දාන, වැස්සට කලින් ගෙට ගන්නා පිරිමියෙක්,“ ?

හැන්දෑවට වැඩ ඇරිලා ආවාම, දවසේ මොනවා හරි ඕපයක් ඇදගෙන, පොඩි සංවාදයක් ගොඩ නඟාගන්නා පිරිමියෙක්“?

“ලෙඩක් දුකක් හැඳුනාම, බතක් සම්බෝලයක් හදල කන්න දෙන්න පුළුවන් පිරිමියෙක්“?

“අතපයක් උස්සගන්න බැරි තරම් ලෙඩක් වුනොත්, ඇදුමක් හොදලා වනන පිරිමියෙක්“?

“මාසිකව ලෙඩ උනාම, “අනේ බබා ඔව්වා ඔහොම තමයි කියලා ලඟ ඉදන් ඔලුව අතගාන පිරිමියෙක්…?

“ලමයින්ට හැන්දෑවට පාඩමක් කියලා දෙන්න වෙලාව තියෙන පිරිමියෙක්…?

“සති අන්තයට චිත්‍රපටියක් බලන්න එක යන පිරිමියෙක්…?

“ඇදුමක් දෙකක් තෝරනකම් වරුවක් කන්කෙඳිරි ගාන්නේ නැති පිරිමියෙක්…?

“කොටින්ම මට ඕනි උනේ මම පාරිපාලන ලියන කාලේ, මට තේ එකක් හදලා දීලා “බබා ඔයා හොදට පාඩම් කරන්න“ කියලා කියන පිරිමියෙක්…?

“එත් හාමුදුරුවනේ… එහෙම පිරිමි නැ… ගෑනු අපි හොයන්නේ හොදට මුහුණ පුරා රැවුල් වාවාගත්තු, විශාල උරහිස් සහිත පෞර්ෂවත් පිරිමි. ඉතිං උන්ට ගලවපු සරමවත් අකුලලා තියන්න පුරුද්දක් නැ… ?

අපි නිකමටවත් හිතන් නැ… අපට ආකර්ෂණය හිතෙන ඒ පිරිමියා, තවත් ගෑනියෙක්ටත් ආකර්ෂණය වෙනවා නේද කියලා…
ඉතිං තවත් ඇහැට කනට පේන ගෑනියෙක් අපේ කෙනා දිහා හැරිලා බැලුවත් අපි ඉන්නේ තරහින්…?
යනුවෙන් කියා ඇය සිනාසුනාය.

මට ද සිනාවක් නැඟුණි.

“ ඔව් හාමුදුරුවනේ… කසාදයට හරියන්නේ… භාග පිරිමි.“

“මොකද්ද භාග පිරිමි කීවේ?“ මම විශ්මයෙන් ඇසුවෙමි. ?

“භාග පිරිමි කීවේ, පෙනුමෙන් පිරිමියෙක් උනත් ගැහැනු හිතක් ඇති පිරිමියෙක්… හරියට අර සුජීව ප්‍රසන්න ආරච්චිගේ කතා වල ඉන්නවා වාගේ පිරිමි… ?

“ඇත්තටම හාමුදුරුවනේ… එතකොට නම් ලස්සනයි ජිවිතය යැයි කියා ඇය සිනාසුනේය.

එම කාරණයද සිතාබැලූ කල ඇත්ත නේදැයි මට වැටහිණි.
ඒ සමඟ ඇගේ මෙහෙකාරිය විසින් ගෙනා කිරි- තේ කෝප්පය, ඈ විසින් නැඟිට, ලබාගෙන, ඔබවහන්සේට සීනි ප්‍රශ්නයක් නෑ නේදැයි කියමින් පිළිගැන්වූවාය.
“එතකොට දැන් කොහොමද ඔය දේවල් වට adjust වුනේ… “ මම ඇසීමි.

“හරි ලේසි හාමුදුරුවනේ…“ මේ ඉන්නේ මගෙ “සතුට“ යනුවෙන් කියා… ඇගේ තේ කෝපයෙන් භාගයක් පීරිසියට දමා පිඹ, ලැසීට බොන්නට බිම තැඹුවාය. ?

ලැසී, නැට්ට ගසමින් කිට්ටු වෙන විට, “තවම උණුයි…“ ඇය හඩනඟා කීවාය.
කීව දෙය තේරණාක් මෙන් නැවත ලැසී, ඇගේ ඔඩොක්කුවට පැන්නාය.

“අපි සතුට හොයන්න ඕනි නැ හාමුදුරුවනේ මිනිස්සුන්ගෙන්ම. ඒක එයාලට වදයක්. අපටත් වදයක්. මිනිස්සු කියන්නේ හරිම ඉක්මනින් වෙනස්වන ජාතියක්. මෙයාලා එහෙම නෑ. ?

“ඇත්තටම මෙයාගේ තියෙන එකම වැඩේ දවස පුරාවටම මගේ පස්සේ දුවන එක, මට කතා කරන්න හිතුනාම, දුකක් හිතුනාම මම මෙයා එක්ක කතා කරනවා… මම පොතක් බලන වෙලාවට, මෙයා ලඟට වෙලා හැලහොල්මනක් නැතුව ඉන්නවා…“


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

“කොටින්ම රෑට නිදගන්නෙත් මගේ ඇදේ…“

“ඇත්තටම හාමුදුරුවනේ මෙයා සෙල්ලටම හරි බරයි… මෙයා එක්ක මට පැය දෙක තුන ගෙවිලා යනවා තේරෙන්නේම නැ… ??

“ඉතිං හාමුදුරුවො ඇහුවෙ… දුකට කොහොමද adjust වුනේ කියලානේ… හාමුදුරුවො අනික් අයටත් කියන්න,
බල්ලෙක් හො පූසෙක් හදන්න කියලා. බල්ලො නම් පූසන්ට වඩා ලොයල් නිසා… මම කැමැති බව්වන්ට… මම හිතාගෙන ඉන්නේ තවත් කෙනෙක් හදාගන්න…

“නිතර තරහින් කෝපයෙන් දුකින් ඉන්නවාට වඩා 100% ප්‍රතිඵල තියෙන වැඩක් හාමුදුරුවනේ මේක. හිත නිවෙනවා. අනික තිරිසන් සතෙකුට කන්න බොන්න දෙන එකත් පිනක්නේ…“

“හිතනේ හාමුදුරුවෙන් සතුටින් තියෙන්න ඕනි…
ඉතිං මෙයාලා එක්කත් ඒ විදිහට සතුටු වෙන්න පුළුවන්… කතා කරන්න පුළුවන්… ඇවිදින්න පුළුවන්… සෙල්ලම් කරන්න පුළුවන්… එදිනෙදා තියෙන වැඩ ටික කරාට පස්සේ ටයිම් පාස් කරන්න කවුරුත් ඕනි නැ හාමුදුරුවනේ…

”පාළුවට කවුරුත් ඕනිත් නැ… බලුරාළ කෙනෙක් හිටියාම ඇති කියා..“ ඈ තේ පිරිසිය ගාවින් ලැසියා තැඹුවාය.?

“නෝනාගෙන් අපූරු පාඩමක් මං අද ඉගෙනගත්තා ඇත්තටම ඒක අපූරුයි තමයි…“ කියමින් මා යන්නට නැගිට්ටේය.

මා හට නමස්කාර කළ ඇය, මා ඇරළවන්නට ගේට්ටුව දෙසට, මා සමඟ ගමන් කරන්නට වුවාය.
ලැසී, තේ බීම පැත්තක දමා, ඇයගේ පසුපසින් එනු දුටු මා හට සිතුනේ… පාළුවට පිළියම්,ගැහැණු – පිරිමින් තුළින්ම සෙවිය යුතු නැති බවය. ??

තවත් කෙනෙකුට කියවන්න share කරන්න. අදහස් කියාගෙන යන්න.

තෙරුවන් සරණයි.?

තවත් මනෝ උපදේශනය සම්බන්ධ ලිපි සඳහා : Counselling – හෙරලි

කොළඹ සහ කැළණිය විශ්වවිද්‍යාලයන්හි සහාය කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ පූජ්‍ය හෙරලියාවල රතනතිස්ස හිමියන් මේ වන විට තායිලන්තයේ ධම්මකාය බෞද්ධ විශ්වවිද්‍යාලයේ ධම්මකාය (DCI) ත්‍රිපිටක සංස්කරණ මණ්ඩලයේ පර්යේෂණ සහකාරවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියි. උන්වහන්සේ eLearning.lk බ්ලොග් අඩවිය සඳහා මිනිස් මනස සහ මනෝ උපදේශන සේවාවන් සම්බන්ධව ලිපි සම්පාදනය කරනු ලබයි.