ඉරාක ආක්‍රමණයෙන් විසි වසරකට පසු

March 20, 2023

ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් කිහිපයක් විසින් ඉරාකය ආක්‍රමණය කර විසි වසරක් ගතව තිබෙනවා. එම ආක්‍රමණය මෑත ඉතිහාසයේ අසාර්ථකම යුධ ප්‍රයත්නයක් ලෙස ඉතිහාසගත වී අවසන්. එමෙන්ම එහි ප්‍රතිඵල මැදපෙරදිග කලාපය ඇතුළු සමස්ථ ලෝකයටම අදත් බලපා තිබෙනවා.

ඉරාක ආක්‍රමණය සඳහා ඇමරිකාව විසින් ඉදිරිපත් කරන ලද මූලික කරුණු අතර වූයේ එවකට ඉරාක ජනාධිපති සදාම් හුසේන් අල් කයිඩා සංවිධානය සමග ගනුදෙනු කරන බවත්, ඔහු ජන සංහාරක අවි නිපදවන බවත් යන කරුණුයි. එමෙන්ම එම ආක්‍රමණයෙහි අරමුණ වූයේ ඉරාකයේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමට සහය දීමෙන් කලාපයෙහි ඇමරිකානු හිතවාදී රාජ්‍යයක් ලෙස ඉරාකය ගොඩනැගීමයි.

@elearninglk

ඉරාක ආක්‍රමණය නීති විරෝධී බව එවකට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වූ කොෆී අන්නන් පැහැදිලි කළා. නමුත් එම පැහැදිලි කිරීම් ඇමරිකාවට වැදගත් වූයේ නැහැ. ඔවුන් ඉදිරිපත් කළ සදාම්ගේ අල් කයිඩා සබඳතා පිළිබඳ ප්‍රවාදය විශාල ප්‍රෝඩාවක් බව කෙටි කලකින්ම පසක් වුණා. එමෙන්ම ඉරාකයේ නිපදවන බව සඳහන් වූ ජන සංහාරක අවි පිළිබඳ කිසිදු සාක්ෂියක් සොයාගන්නට ද ඇමරිකාව ප්‍රමුඛ සන්ධානයට නොහැකි වුණා.

අවුල් ජාලයක්
ඇමරිකානුවන් සිය මූලික අරමුණු ලෙස විස්තර කළ අල් කයිඩාව ඉරාකයෙන් පළවාහැරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී, බටහිර ලැදි ආණ්ඩුවක් ඉරාකයේ ස්ථාපිත කිරීම යන කරුණු දෙකම බරපතල ලෙස වැරදී ගියා. මුලින්ම​, ඉරාකයේ නොතිබුණු අල් කයිඩාව එහි පැළපදියම් වීමට අවකාශය ලබාගත්තේ ඇමරිකානු ආක්‍රමණය විසින් ඇතිකළ තත්ත්වය යි. එමෙන්ම​, ඉරාකයේ පසුකාලීනව බිහිවූයේ ඇමරිකානුවන්ට අහිතවත් ආණ්ඩු යි.


බැග්ඩෑඩ් හි සදාම් ප්‍රතිමාව බිම හෙළීම

සදාම්ගේ හමුදා පහසුවෙන්ම පරාජය කරනු ලැබ​, මාස එකහමාරක් තුළ යුධ ජයග්‍රහණය නිල වශයෙන් සැමරීමට ඇමරිකානුවන්ට හැකි වුණා. නමුත් ඉන් අනතුරුව ඇමරිකානුවන් සියල්ලම අවුල් කරගන්නට පටන් ගත්තා.

2003 මැයි මාසයේදී ඉරාකයේ පරිපාලක ලෙස පත්කළ පෝල් බ්‍රෙමර් එම කටයුත්තට​ අතිශයින්ම අදක්ෂ තැනැත්තකු වුණා. ඔහුට ඉරාකය පිළිබඳ නිවැරදි වැටහීමක් වූයේ නැහැ. එමෙන්ම එවැනි වැටහීමක් ඇතිකරගන්නට අවශ්‍ය බවක් පෙනුණේ ද නැහැ.

සදාම්ගේ වැටීමෙන් අනතුරුව කාලයක් තිස්සේ යටකරනු ලැබ තිබුණු සුන්නි – ශියා ගැටුම පුපුරා යන්නට වුණා. එමෙන්ම ශියා දේශපාලන කණ්ඩායම් බලවත් වීම හේතුවෙන් නොසතුටට පත් වූ පැරණි සදාම් පාක්ෂිකයන් ඇතුළු සුන්නි කණ්ඩායම් ඇමරිකානු හමුදා සමග ගැටෙන්නට පටන් ගත්තා. මෙම ගැටුම් ඇතිවන මුල් කාලයේ ඇමරිකානුවන් එය හරියට වටහාගත්තේ නැහැ.

සිය ජයග්‍රහණයෙන් උද්දාමයට පත්ව සිටි ඔවුන්ට තමන් ඉලක්ක කරගත් දැවැන්ත කැරැල්ලක් ඇතිවේයැ යි විශ්වාස කළ හැකි වූයේ නැහැ. මේ අතර අබු ග්‍රායිබ් සිර කඳවුරේ රැඳවියන්ට වදහිංසා කිරීම පිළිබඳ කරුණු අනාවරණය වීමෙන් තත්ත්වය තවත් බරපතල වුණා.

2006 තෙක් ඉරාක අල් කයිඩා නායකයා වූ අබු මුසාබ් අල් සර්කාවි

ඇමරිකානුවන් ඉරාකය පාලනය කිරීමේදී වැදගත් පුද්ගලයන් වනු ඇතැයි බලාපොරොත්තු වූයේ සදාම් පාලන සමයේ බටහිරට පැනගොස් එහි සිට විවිධ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් අටවාගෙන දේශපාලනය කළ අයයි. 2003 ට පෙර බටහිර මාධ්‍යවල ද ඉරාකය පිළිබඳ අදහස් දැක්වීමට අවකාශ ලැබුණේ ඔවුන්ටයි.

නමුත් ඉරාක භූමියේ ඔවුන්ට විශාල පදනමක් වූයේ නැහැ. සදාම් එළවා දමා වසර කිහිපයක් යනවිට​, පෙර කී බටහිර ලැදි ඉරාක ජාතික දේශපාලකයන් ද අවලංගු කාසි බවට පත්ව තිබුණා. එසේත් නැතිනම් ඇමරිකානුවන් සමග අමනාප වුණා.

මේ අතර ශියා දේශපාලන කණ්ඩායම් එහි වඩා ප්‍රමුඛ වන්නට වුණා. මේ පිරිස් සහය ලබාගත්තේ ඇමරිකාවේ දරුණු ප්‍රතිවාදියකු වූ ඉරානයෙන්. එහි ප්‍රතිඵලය වූයේ ඉරානයට හිතවත් ආණ්ඩු ඉරාකයේ බිහිවීමයි.

ඇමරිකාවට එරෙහි කැරැල්ල තුළින් අල් කයිඩා සංවිධානයට ද ඉරාකය තුළට රිංගා ගැනීමට අවස්ථාව සැලසුණා. එම තත්ත්වය පාලනය කිරීමේ හැකියාවක් ඇමරිකානුවන්ට වූයේ නැහැ. අවසානයේ සිදුවූයේ සදාම් පාලන කාලයේ නොතිබුණු අල් කයිඩාව ඉරාකයේ ශක්තිමත් වීමයි.

පසු කලෙක ඒ තුලින්ම නිර්මාණය වූ ISIS සංවිධානය ඉරාකයේත් සිරියාවේත් විශාල ප්‍රදේශයක් පාලනය කරන තත්ත්වයට පත්වුණා. ඔවුන්ව පරාජය කිරීමට වූයේ විශාල උත්සාහයක් දැරීමෙන් අනතුරුවයි. එමෙන්ම එම උත්සාහයේ ප්‍රතිඵලය ලෙස ඉරාකය තව තවත් ඉරානය වෙත ඇදී ගියා.


ඉරාක අර්බුදයේ කොටුවූ ඇමරිකානු හමුදා

ලක්ෂ ගණනක් ඉරාක ජීවිත සහ හාරදහසකට වැඩි ඇමරිකානු ජීවිත අහිමි කරගනිමින් අවසානයේ ඇමරිකාව ඉරාක ආක්‍රමණය තුළින් ලබාගත්තේ පරාජයක්, අපකීර්තියක් සහ තමන්ට අහිතවත් පාලනයක්. ඉරාක ජනතාවට හිමිවූයේ අනාරක්ෂිතභාවය සහ විනාශයයි. එමෙන්ම ලෝකයටම බලපෑ ISIS තර්ජනය සඳහා කෙළින්ම දායක වූයේ ද ඇමරිකානු අසාර්ථකත්වයයි.

වඩා හොඳට කළ හැකිව තිබුණාද​?
ඉරාක ආක්‍රමණය වඩා සාර්ථකව කළ හැකිව තිබුණා ද යන්න විවාදාත්මක කරුණක්. ඇමරිකානුවන් අසමත් වීමට බලපෑ ප්‍රධානම කරුණ වූයේ සදාම්ගෙන් අනතුරුව ඉරාකයට සිදුවන දේ පිළිබඳ සැලැස්මක් නොවීමයි.

නමුත් එසේ සැලැස්මක් වූව ද ආගමික ගැටුම් සහ සුන්නි ප්‍රතිරෝධය හමුවේ එවැන්නක් සාර්ථක වේදැ යි අනුමාන කළ නොහැකියි. අනෙක් අතට ඇමරිකානුවන් උපදෙස් ගත්තේ ද ඉරාක භූමියේ එතරම් ප්‍රබල පදනමක් නොවූ පිටුවහල්ව සිටි දේශපාලකයන් වෙතින් හෙයින් එසේ සූදානම් වූව ද එම සූදානම ප්‍රමාණවත් නොවීමේ ඉඩක් තිබුණේ යයි කිව හැකියි.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

එක් අතකට ඉරාක ආක්‍රමණය පිටුපස සැබැවින්ම තීරණ ගත් ආයුධ සහ තෙල් ව්‍යාපාරිකයන් සුළුතරයට ඉරාකයේ වසර විස්සක් තිස්සේ සිදුවූ දේ අදාලම නොවන්නට ඇතැයි ද සිතිය හැකියි. ඔවුන්ට සිය ව්‍යාපාරික ඉලක්ක සපුරාගත් පසු අනෙක් කරුණු කිසිවක් අදාල නොවන්නටත් ඇති.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.