දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධව නීතිය හා ළමා අයිතිවාසිකම්

දරුවෙකු නිවැරදි මාවතට යොමු කිරීමට ගුරුවරයෙකුට ශිෂ්‍ය දරුවෙකුට ඇතැම් විටෙක ශාරීරික දඬුවම් කිරීමට සිදු විය හැකිය. අප කවුරුත් අසා තිබෙන තල සොරා කෑ සිසුවාට දඬුවම් කළ බෝසත් දිසාපාමොක් ආචාර්යවරයාගේ කතාව ගැන කියැවෙන තිලමුට්ඨ ජාතකය මීට උදාහරණයකි.

අසා නැති නම් කියවන්න : https://mahamegha.lk/2017/06/07/danduwama

එනමුත් සීමාව ඉක්මවා අමානුෂික දඬුවම් වලට ශිෂ්‍යයන් යටත් කිරීම ඉන් සාධාරණීකරණය කළ නොහැක. බුදුන්වහන්සේ පවා මෙසේ දේශනා කොට තිබේ.

සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ භායන්ති මච්චුනො
අත්ථානං උපමං කත්වා
නහනෙ‍ය්‍ය නඝාතයේ

“දඬුවම් විඳින්ට හැම කෙනෙක්ම බයයි. මරණයටත් හැම කෙනෙක්ම බයයි. ඒ නිසා තමන්ව උපමාවට අරගෙන, කිසිම සත්වයෙකුට හිංසා කරන්නත් එපා. ඝාතනය කරන්නත් එපා.”

දරුවන්ට අමානුෂික දඬුවම් පැමිණවීම ආදියෙන් පෙනී යන්නේ අදාළ පුද්ගලයන්ගේ සන්තානයේ ධර්මය නොමැතිවීම මෙන්ම රටේ නීතිය වන මූලික අයිතිවාසිකම්, අධ්‍යාපන අමාත්‍යංශ රෙගුලාසි හා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1989 වසරේදී සම්මත කරගන්නා ලද හා 1991 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් ස්ථිර(Ratify) කරන ලද “එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය” ප්‍රකාර ළමා අයිතිවාසිකම් පිළිබඳව ඇති නොදැනුවත්භාවයය.

ලංකාවේ නීතියේ පදනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් විග්‍රහ වන තුන්වන පරිච්ඡේදයේ 12 වන ව්‍යවස්ථාවේ මෙසේ කියැවේ.

“කිසිම තැනැත්තෙකු වධ හිංසාවලට හෝ කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුතුය.”

එමෙන්ම 17 වන ව්‍යවස්ථාවෙන් දක්වා ඇත්තේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ විධිවිධාන යටතේ යම් තැනැත්තෙකුට හිමි වන යම් මූලික අයිතිවාසිකමක් යම් විධායක හෝ පරිපාලනමය ක්‍රියාවක් මගින් උල්ලංඝනය කර තිබීම හෝ උල්ලංඝනය කිරීමට අත්‍යාසන්නව තිබීම හෝ සම්බන්ධයෙන් 126 වන ව්‍යවස්ථාවේ විධිවිධාන සලසා ඇති පරිදී, මූලික අයිතිවාසිකම් කඩ වී මාසයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට නීතීඥවරයෙකු මාර්ගයෙන් ඉදිරිපත් කෙරෙන ලිඛිත පෙත්සමකින් කරුණු දක්වා සිටිය හැකි බවයි.

ගුරුවරයෙකු වනාහි අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වන රජයේ සේවකයෙකි. එනම් ඔහු රාජ්‍ය බලය අනුව ක්‍රියාත්මක පරිපාලන විධායකයේ කොටසකි. ඔහු හෝ ඇය යම් දරුවෙකු වධ හිංසාවලට හෝ කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් කළහොත් එය විධායක ක්‍රියාවකින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් ලෙස සැලකේ. ඉහත දක්වා ඇති ආකාරයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග කෙරී ඉන් අදාළ ගුරුවරයා හෝ ගුරුවරිය වරදකරු වුවහොත් අදාළ දරුවාට වන්දි ගෙවීමට අමතරව සිර දඬුවමකට යටත් වීමටද ඔහුට හෝ ඇයට සිදුවිය හැක.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අමාත්‍යංශ ලේකම්ගේ අත්සනින් නිකුත් කර ඇති 2005.05.11 දිනැති 2005/17 අංක දරණ චක්‍රලේඛය ඉතා වැදගත්ය.

එහි මෙසේ සඳහන් වේ.

පාසල තුළ විනය ආරක්ෂා කිරීම
අනාගත පුරවැසියන් බිහි කරන පාසල එහි ඉගෙන ගන්නා සිසුන්ට දැනුම හා කුසලතා ලබා දෙන අතරම සමාජයේ විනයගරුකව ජීවත් වීමට අවශ්‍ය වන ආකල්ප හා සාරධර්ම ප්‍රගුණ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගද ගත යුතු වේ.

වර්තමාන සමාජයේ දක්නට ලැබෙන අයහපත් ප්‍රවනතාවක් නම්, ළමයින් හිංසනයට හා අපයෝජනයට ලක් වන සිද්ධීන් වැඩි වීමයි. වර්තමාන සංකීර්ණ සමාජ රටාව තුළ, පාසල් වියේ පසුවන ළමයින් පාසල තුළදීද විවිධාකාර පුද්ගලයින්ගේ හිංසනයන්ට භාජනය වෙමින් පවතින බව ඉදිරිපත් වන වාර්තා වලින් පැහැදිලි වේ. එවැනි එක සිද්ධියක් නිසාවෙන් වුවද ළමයෙකුගේ මුළු ජීවිතයම අඳුරු වීමට ඉඩ තිබේ. මෙම හිංසනයන් සිදු කරන පුද්ගලයන් හා ආයතනයන් අතරට පාසල් පද්ධතිය, එහි සිටින කාර්ය මණ්ඩලය හා සිසුන්ද අන්තර්ගත වන බව අනාවරණය වී තිබේ.

පාසල් සිසුන්ට විවිධ ආකාරයෙන් සිදු කරන හිංසනයන් සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට විරුද්ධව දෙමාපියන් නීතිමය පියවරයන් වෙත යොමු වූ අවස්ථා රාශියකි. තවද ලෝකයේ ළමා හිංසනය වැඩි වීමත් සමඟම ළමා රැකවරණ කටයුතු හා ළමා අයිතීන් සුරැකීමේ විවිධ පියවර පුළුල් වෙමින් පවතී. එබැවින් පාසල තුළදී මෙන්ම ඉන් පිටතදීත් මෙවැනි තත්වයන්ට ළමයින් භාජනය වීමට ඉඩ නොතැබිය යුතු අතර, යම් හෙයකින් එවැනි අවස්ථාවක් පැන නැගුණ හොත් සිය ආරක්ෂාව සඳහා ගත යුතු පියවර පිළිබඳවද ළමයින් දැනුවත් කළ යුතුය. පාසල තුළ සිසුන්ට ආරක්ෂාව සැලසීම හා හිංසන වැළැක්වීම අත්‍යවශ්‍ය වන බැවින් මෙමගින් ලබාදෙන උපදෙස් පිළිපැදිය යුතු බව අවධාරණය කරමි.

2.00 ශාරීරික දඬුවම්
සෑම අවස්ථාවකදීම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශාරීරික දඬුවම් දීමෙන් වැළකිය යුතුය. විදුහල්පතිවරුන් ,ගුරුවරුන් විසින් සිසුවා තුළ චර්යාමය වෙනසක් ඇති කිරීමේ චේතනාවෙන්, සද්භාවයෙන් වුවද ශාරීරික දඬුවම් දීම නොකළ යුතුය. මෙහිදී දඬුවම් දීමෙන් නොව කරුණු අවබෝධ කර දීම, ආදර්ශය හා මනා සංවිධානය මගින් අභ්‍යන්තර වශයෙන් ස්වයං විනයක් ඇති කර ගැනීමට පුහුණු කිරීමෙන්, කෙනෙකු සිය ජීවිතය පුරාම නීතිගරුක පුද්ගලයෙකු වශයෙන් ජීවත් වීමට අවශ්‍ය පුහුණුව ලබා ගන්නා බව අමතක නොකළ යුතුය.

ශ්‍රී ලංකාව විසින්ද අත්සන් කර ස්ථිර කර ඇති (1989) එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ, 28(2) වගන්තිය මගින්ද පාසල් විනය පරිපාලනය ළමයාගේ මානව ගරුත්වයට අනුකූල වන ආකාරයට සිදු කරන බවට වග බලා ගත යුතු බව අවධාරණය කර ඇත.

eLearning.lk නිවේදනය
මෙම පල කිරීමේ සඳහන් වන කිසිවක් eLearning.lk අප ආයතනයේ අදහස් නොවන බව කරුණාවෙන් සළකන්න.

නීතිඥ යලිත් වසන්ත මනහර විජේසුරේන්ද්‍ර මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධරයෙක්. එමෙන්ම බෞද්ධ හා හින්දු ධර්මයන් පිළිබඳ පර්යේෂකයෙක්. "Buddhist Answers for Critical Questions" නම් වූ කෘතියක් ලියා එය ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් කළ යලිත් විජේසුරේන්ද්‍ර මහතා, ලෝකයාට සත්‍යයේ, ධර්මයේ, සතුටේ හා සාර්ථකත්වයේ මාර්ගය පෙන්වා දීම උදෙසා ලිපි සම්පාදනය හා දේශන පැවැත්වීම සිදු කරනු ලබනවා.