ඉන්ටර්නෙට් කේබල් සහ මුරුසියේ ඉන්දියානු ඔත්තු සේවා කලබගෑණිය
චීනයේ හුවාවි සමාගමේ උපාංග වැඩි වශයෙන් යොදාගනිමින් තනන ලද ඉන්ටර්නෙට් කේබල් පද්ධතියක්, චීන ඔත්තු සේවා එයින් දත්ත සොරාගන්නා බවට සැකයක් සහ ඉන්දියානු ඔත්තු සේවා මෙහි දත්ත ලබාගන්නා බවට වූ චෝදනාවක් සහ එම මෙහෙයුම සඳහා පැමිණි උඩුරැවුල්කාර නිලධාරියෙක් යනාදී විවිධ අංග ඇතුලත් සිදුවීම් මාලාවක් හේතුවෙන් මුරුසිය මේ දිනවල දැඩි දේශපාලන කලබගෑණියකට පත්ව තිබෙනවා.
මුරුසි අගමැති ප්‍රවීන්ද් ජග්නෝත් වෙත විපක්ෂය විසින් දේශද්‍රෝහී චෝදනා පවා එල්ල වී තිබෙන අතර මෙම සිද්ධියට ඉන්දියාවේ වූ සම්බන්ධය හෙළිකරන ලද්දේ අගමැතිවරයා විසින්ම වීම විශේෂ සිදුවීමක්. කෙසේ වෙතත් ඉන්දියාව වෙතින් මේ පිළිබඳව ජූලි 28 වනදා වනවිටත් ප්‍රතිචාරයක් ලැබී තිබුණේ නැහැ.
@elearninglk
මුරුසියේ වැදගත්කම
මෙම සිදුවීම පිළිබඳ විස්තර කිරීමට පළමුව මුරුසිය මෙම කතාබහට පාත්‍රවීම සඳහා හේතුවූ කරුණු අපට සොයාබැලීමට සිදුවනවා. මුරුසියේ ජනගහනය මිලියන 1.2 ක් පමණ වන අතර ඉන් තුනෙන් දෙකක් ඉන්දීය සම්භවය ඇති අයයි. ඉන්දීය සාගරයෙහි පිහිටි ප්‍රධාන දිවයිනට අමතරව තවත් කුඩා දූපත් ගණනාවක් ද එරටට අයත් වනවා. මේ ඇතැම් දූපත් පිහිටා ඇත්තේ ප්‍රධාන දූපතෙන් කිලෝමීටර් සිය ගණනක් ඈතින්.
ජාත්‍යන්තර දේශපාලනයේදී කතාබහට ලක්වන ඇමරිකානු හමුදා කඳවුරක් පිහිටා තිබෙන දියේගෝ ගාර්සියා දූපත පිළිබඳ අර්බුදයට ද මුරුසිය සම්බන්ධයි. බ්‍රිතාන්‍ය පාලනය යටතේ මුරුසිය පැවති සමයේ දියේගෝ ගාර්සියා දූපත ඇතුලත් චාගෝස් කොදෙව් රැස අයත්ව තිබුණේ එම ප්‍රදේශයටයි. එනම් එය ද මුරුසියේ කොටසක් ලෙස පාලනය වුණා. කෙසේ වෙතත් මුරුසිය ස්වාධීනත්වය ලබාගැනීමට පෙර බ්‍රිතාන්‍යයන් විසින් චාගෝස් දිවයින් මුරුසියෙන් ඉවත් කර වෙනම බ්‍රිතාන්‍ය විජිතයක් ලෙස ප්‍රකාශ කළා. පසුව එහි ඇමරිකන් කඳවුරක් ඉදිකිරීම සඳහා බදු දෙනු ලැබුණා. ඒ සඳහා එම දූපත්වල ස්වදේශිකයන් ඉවත් කරනු ලැබුණා.
මුරුසිය මෙම දිවයින්වල අයිතිය ඉල්ලා ජාත්‍යන්තර අධිකරණ හමුවට ගොස් තිබෙනවා. එමෙන්ම ස්වදේශිකයන් ද තමන් පිටුවහල් කිරීමට එරෙහිව අධිකරණයට කරුණු දක්වා එය අනීතික බවට තීන්දුවක් ද ලබාගත්තා. මුරුසිය පවසන්නේ තමන්ට එම ප්‍රදේශයේ ස්වෛරීභාවය ලබාදෙන්නේ නම් ඉන්පසු ඇමරිකාවට දැනට පවතින කඳවුර දිගටම පවත්වාගෙන යාම සඳහා එම ප්‍රදේශය බදුදීමට වුවද සූදානම් බවයි. ඔවුන් ඉදිරිපත් කරන තර්කය නම් තම අයිතිය යටතේ පැවතිය යුතු ප්‍රදේශයක් බදු දී ලැබෙන ආදායම හිමිවිය යුත්තේ තමන්ට බවයි.
ඇමරිකාවට ඉන්දියන් සාගරයේ ඇති වැදගත්ම මර්මස්ථානය දියේගෝ ගාර්සියා බැවින් එහි තත්ත්වය වෙනස් කිරීමට ඔවුන් මනාප නැහැ. ඔවුන් පවසන්නේ අප්‍රිකානු රටවල් ගණනාවක් සමග මුරුසිය ද න්‍යෂ්ටික අවිහරණ ගිවිසුමකට එළඹ ඇති හෙයින් දියේගෝ ගාර්සියාවෙහි ස්වෛරීත්වය ඔවුනට ලැබුණහොත්, න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන යාත්‍රා එහි පැමිණීමට එරෙහි වියහැකි බවයි.
ඉන්දු-මුරුසි සහ චීන-මුරුසි සබඳතා
මුරුසි ජනතාවගෙන් තුනෙන් දෙකක්ම ඉන්දියානු සම්භවයක් ඇති අය වන හෙයින් ස්වාභාවිකවම එම රටවල් දෙක අතර කිට්ටු සම්බන්ධතාවයක් පවතිනවා. එම සම්බන්ධතාවය ජාතික ආරක්ෂාව පාර්ශවයෙන් ගන්නා විට වඩාත් තීව්‍ර වනවා. මුරුසියේ ජාතික ආරක්ෂක උපදේශක ලෙස පත්කෙරෙන්නේ ඉන්දියානු ආරක්ෂක අංශයක හෝ බුද්ධි ආයතනයක හෝ සේවය කළ නිලධාරියෙක් වීම එයට උදාහරණයක් ලෙස ගත හැකියි.
මුරුසියේ වර්තමාන ජාතික ආරක්ෂක උපදේශක වන්නේ හිටපු රෝ සංවිධාන නිලධාරියකු වන කුමාරේසන් ඉලංගෝ යි. එමෙන්ම මුරුසියේ ප්‍රධාන දූපතෙන් කිලෝමීටර් 1000 ක් පමණ උතුරින් පිහිටි අගලෙගා දූපතේ ඉන්දියානු හමුදා හෝ බුද්ධි මධ්‍යස්ථානයක ඉදිකිරීම් ද පසුගිය සමයේ සිදුකෙරුණා.
කෙසේ වෙතත් පසුගිය සමයෙහිදී චීනය මුරුසිය සමග සිය සබඳතා පුළුල් කරගැනීමට සමත් වුණා. මීට එක් හේතුවක් වුණේ දියේගෝ ගාර්සියා සම්බන්ධ ගැටළුවේදී බටහිර රටවලින් මුහුණදීමට සිදුවූ ප්‍රතික්ෂේප වීම බවයි සඳහන් වන්නේ.
මුහුද යටින් දිවෙන ඉන්ටර්නෙට් කේබලය මුරුසි-ඉන්දු-චීන කතාන්දරයට සම්බන්ධ වන්නේ මෙතැනදීයි.
SAFE කේබලය සහ මුරුසිය
දකුණු අප්‍රිකාව සහ මැලේසියාව අතර වැටුණු, ඉන්දියන් සාගරය පත්ලේ දිවෙන SAFE නමින් හැඳින්වෙන ඉන්ටර්නෙට් කේබලය රටවල් ගණනාවකට ඉන්ටර්නෙට් පහසුකම් සම්පාදනය කරනවා. මෙය ගොඩබිම හා සම්බන්ධ වන ස්ථාන (ලෑන්ඩිං පොයින්ට්ස්) ලෙස දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හා ඩර්බන් අසළ ස්ථාන දෙකක්, රියුනියන් දූපත, ඉන්දියාවේ කෝචි සහ මැලේසියාව දකින්න ලැබෙනවා. මෙම කේබලය ඉදිකිරීමේදී අවශ්‍ය උපාංග වැඩිවශයෙන් ලබාගත්තේ චීනයේ හුවාවි සමාගමෙන්.
මුරුසිය සමග සම්බන්ධතා වර්ධනය කරගත් චීනය එරටට අයත් කුඩා දිවයිනය පිහිටි බයි දු යකොටෙට් (Baie du Jacotet) නම් ස්ථානයකට ලෑන්ඩිං පොයින්ට් එකක් ලබාදීමට කටයුතු කළා.
මේ සමගම මෙම ස්ථානය යොදාගෙන චීනය විසින් මෙම කේබල් පද්ධතිය හරහා දිවෙන දත්ත ඒකරාශී කරගන්නා බවට සැකයක් නිර්මාණය වීමට පටන්ගත්තා. මෙම කේබල් ඉන්දියාවට මෙන්ම ප්‍රංශයේ කොටසක් වන රියුනියන් දූපත සමග ද සම්බන්ධ වන හෙයින් එම රටවල් ද ඒ පිළිබඳ විමසිලිමත් වුණා.
චීනය මුරුසියට ලබාදෙන ආධාර මෙතැනින් නැවැත්වූයේ නැහැ. ඔවුන් පුද්ගලයින්ගේ මුහුණු හඳුනාගැනීමට සංවේදී කැමරා පද්ධතියක් සවිකිරීමට ආධාර ලබා දුන්නේ මුරුසිය ඉල්ලා සිටින්නටත් පෙර බවයි සඳහන් වන්නේ.
මුරුසිය පවසන්නේ මෙය අපරාධ අවම කිරීම අරමුණු කරගෙන සිදුකරන ලද්දක් බවයි. කෙසේ වෙතත් මුරුසිය සාමාන්‍යයෙන් සාමකාමී රටක් වන අතර එම ව්‍යාපෘතිය ක්‍රියාවට නගන සමයේදී එහි අපරාධ ප්‍රමාණය සාමාන්‍ය පමණට ද වඩා අඩුව පැවතුණා. චීනය වෙනත් රටවල ද මෙවන් ව්‍යාපෘති සඳහා ආධාර කිරීම පසුගිය සමයෙහි සිදුකළ බව ද ප්‍රකට කරුණක්.
කැමරා ව්‍යාපෘතිය සහ කේබල් ව්‍යාපෘතිය අරඹන ලද්දේ 2015 දී වන අතර මුරුසි ටෙලිකොම් ප්‍රධානියා ලෙස ශෙරී සිං වැඩ භාරගත්තේ ද එම වසරේ යි. එමෙන්ම කැමරා සවිකිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධව මූල්‍ය වංචා සිදුව ඇති බවට ද මුරුසියේ ජාතික විගණන කාර්යාලය පසුකලෙක සොයාගත්තා.
ටෙලිකොම් ප්‍රධානියා රහස් එළිකරයි
මුරුසි ටෙලිකොම් ආයතන ප්‍රධානී ශෙරී සිං සිය ධුරයෙන් 2022 ජූනි 30 වනදා ඉල්ලා අස්වුණා. ඉන්පසු ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ බයි දු යකොටෙට් හි ලෑන්ඩිං පොයින්ට් එකට සංවේදක උපකරණ සවිකිරීම සඳහා අවසර දෙන ලෙස තමන්ට අගමැතිවරයාගෙන් උපදෙස් ලැබුණ බවයි.
මේ සමගම මුරුසි විපක්ෂය අගමැතිවරයා ඉලක්ක කරගෙන ප්‍රබල විරෝධයක් ගොඩනැගුවා. පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳ අදහස් දැක්වූ අගමැතිවරයා කළේ තරමක් ගැටළු සහගත වූ ක්‍රියාවක්.
මෙම ස්ථානයෙහි කටයුතු සම්බන්ධයෙන් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මතුවූ බව පෙන්වාදුන් අගමැතිවරයා එහෙයින් ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි වෙතින් තමන් පුද්ගලිකවම උපකාර ඉල්ලා සිටියේ යයි කියා සිටියා. මෙසේ මෙම ස්ථානයේ දත්ත එකතු කිරීමක් සිදුවූයේ නම් ඊට සම්බන්ධ වූයේ ඉන්දියානුවන් බව මේ අනුව හෙළිදරව් වුණා.
මේ සමගම මුරුසි විපක්ෂය අගමැතිවරයා ඉලක්ක කරගෙන ප්‍රබල විරෝධයක් ගොඩනැගුවා. පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳ අදහස් දැක්වූ අගමැතිවරයා කළේ තරමක් ගැටළු සහගත වූ ක්‍රියාවක්.
මෙම ස්ථානයෙහි කටයුතු සම්බන්ධයෙන් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මතුවූ බව පෙන්වාදුන් අගමැතිවරයා එහෙයින් ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි වෙතින් තමන් පුද්ගලිකවම උපකාර ඉල්ලා සිටියේ යයි කියා සිටියා. මෙසේ මෙම ස්ථානයේ දත්ත එකතු කිරීමක් සිදුවූයේ නම් ඊට සම්බන්ධ වූයේ ඉන්දියානුවන් බව මේ අනුව හෙළිදරව් වුණා.
ඉන් අනතුරුව මෙම ආන්දෝලනය තවත් තීව්‍ර වුණා. මේ සමගම ඉන්දියානු නිලධාරියකු බව කියන උඩු රැවුළක් සහිත අයකුගේ ඡායාරූප ද මුරුසි මාධ්‍යවල පළවුණා. මේ අනුව චීනයේ කටයුතු පිළිබඳ ඇති සැකය මත ඉන් දියානුවන් මෙහි දත්ත ඒකරාශී කිරීමේ කටයුත්තකට මුලපුරා ඇතැයි යන සැකය මතුවුණා. කෙසේ වෙතත් ඉන්දියානු ආණ්ඩුව මේ පිළිබඳ කිසිවක් නිල වශයෙන් සඳහන් කර නැහැ.