කඩාවැටුණ උතුරු කොරියන් චන්ද්‍රිකාව
උතුරු කොරියාව විසින් ඔත්තු බලන චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීම සඳහා කරන ලද උත්සාහයක් අසාර්ථක වූ බව මැයි 31 වනදා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.
කොරියානු අර්ධද්වීපයට බටහිර දෙසින් මුහුදට වැටුණු සුන්බුන් සමහරක් ගොඩගන්නට සමත් වූ බව දකුණු කොරියානු බලධාරීන් ප්‍රකාශ කළා. උතුරු කොරියානු පුවත් සේවය වන කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය සඳහන් කරන පරිදි අදියර දෙකකින් යුක්ත වූ රොකට්ටුවෙහි දෙවන අදියර නියමාකාරව ක්‍රියාත්මක වී නැහැ.
දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය පවසන පරිදි මෙම රොකට්ටුවෙහි සුන්බුන් මුහුදට පතිතව ඇත්තේ චීනයේ සහ දකුණු කොරියාවේ අනන්‍ය ආර්ථික කලාප හමුවන ප්‍රදේශයේ යි. මේ අතර තමන් විසින් සොයාගන්නා ලද සිලින්ඩරාකාර කොටසක ඡායාරූප දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර තිබුණා.
මෙම උත්සාහය උතුරු කොරියාව චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමට කරන ලද හයවැනි උත්සාහයයි. එමෙන්ම 2016 න් පසුව එවන් උත්සාහයක් දරන ලද පළමු අවස්ථාව ලෙස ද මෙය දකින්නට ලැබෙනවා.
විවෘතභාවය
උතුරු කොරියාව මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීම පිළිබඳ බෙහෙවින් විවෘතව ප්‍රකාශ කර තිබුණා. මැයි 31 සහ ජූනි 11 අතර කාලය තුළ මේ සඳහා කටයුතු කරන බව ඔවුන් ප්‍රකාශ කර තිබුණු අතර ඉදිරි දින කිහිපය තුළ නැවතත් මේ සඳහා ඔවුන් නැවත උත්සාහ කිරීමේ අවකාශයක් ද පවතිනවා.
නමුත් මෙසේ සිය කටයුතු පිළිබඳව විවෘත ලෙස ම ප්‍රකාශ කිරීම තුළ උතුරු කොරියාව සම්ප්‍රදායට වඩා තරමක් වෙනස් ආකාරයකට කටයුතු කර තිබෙනවා. සාමාන්‍යයෙන් ඔවුන් රොකට් හෝ බැලිස්ටික් මිසයිල අත් හදාබැලීමකට පෙර ඒ පිළිබඳ පූර්ව ප්‍රචාරයන් සිදු කරන අවස්ථා විරලයි.
@elearninglk
මෙම අවස්ථාවේ ඔවුන් එම ක්‍රමය වෙනස් කර තිබෙනවා. එමෙන්ම දැනට පෙනී යන පරිදි අසාර්ථක වීම් මධ්‍යයේ වුවද ඔවුන්ට මෙම අත්හදාබැලීම් සඳහා අවශ්‍ය දැනුම, මූල්‍යමය ශක්තිය සහ අනෙකුත් අවශ්‍යතා සපුරාගැනීමට හැකියාව ඇති බවයි පෙනී යන්නේ.
එනම් යම් දිනෙක උතුරු කොරියාව සාර්ථක ලෙස චන්ද්‍රිකාවක් කක්ෂගත කරනු ඇතැයි අනුමාන කළ හැකියි.
මෙසේ රොකට්ටුවක් මගින් චන්ද්‍රිකාවක් දියත් කිරීම උතුරු කොරියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ යෝජනාවල ඇති කොන්දේසි කඩකිරීමක් වනවා. එම යෝජනා අනුව එරටට බැලිස්ටික් මිසයිල තාක්ෂණය යොදාගැනීම තහනම්. කෙසේ වෙතත් උතුරු කොරියාව සඳහන් කරන්නේ ඔවුන් සාමකාමී කටයුතු සඳහා මෙම තාක්ෂණය යොදාගන්නා බවයි.
මෙම ප්‍රකාශය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් බහුතරයක් දෙනා එතරම් විශ්වාස කරන්නේ නැහැ. බැලිස්ටික් මිසයිල තාක්ෂණය ඉතාම පහසුවෙන් යුධමය කටයුතු සඳහා යොදාගැනීමට හැකිවීම ඊට හේතුවයි.
උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් අප්‍රේල් මාසයේදී මෙම චන්ද්‍රිකාව සකස් කෙරෙන බව පැවසෙන මධ්‍යස්ථානයෙහි සංචාරයක නිරත වුණා. ඔහු සඳහන් කර තිබුණේ නැගෙනහිර ආසියාවේ ඇමරිකානු සහ ඇමරිකානු හිතවාදී රටවල හමුදාවන් හි කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා චන්ද්‍රිකා කිහිපයක් කක්ෂගත කිරීමට අපේක්ෂා කරන බවයි.
කෙසේ වෙතත් 2016 න් අනතුරුව උතුරු කොරියාව චන්ද්‍රිකා තාක්ෂණය අතින් ඉදිරියට පැමිණ ඇතිදැයි තහවුරු කළහැකි වූයේ නැහැ. එමෙන්ම චන්ද්‍රිකාවකට අවශ්‍ය කැමරා, විද්‍යුත් උපාංග ආදිය කෙතරම් දියුණු තත්ත්වයක වේදැයි කිවහැකි වන්නේ ද නැහැ. විශේෂයෙන්ම උතුරු කොරියාව මත පනවා ඇති සම්බාධක හේතුවෙන් අවශ්‍ය විද්‍යුත් උපකරණ ආදිය සපයාගැනීමේ අපහසුවකට ඔවුන් පත්ව සිටිය හැකියි.
කලාපීය තත්ත්වය
උතුරු කොරියාවේ මෙම යුධ සූදානම කලාපීය වශයෙන් උණුසුම්කාරී වාතාවරණයක් නිර්මාණය කර තිබුණා. ජපානය ප්‍රකාශ කර තිබුණේ මෙම වස්තුව කවරක් වුවත් එමගින් තම ස්වෛරී ප්‍රදේශයන්ට තර්ජනයක් වේ යයි දිස් වුවහොත් එය විනාශ කිරීමට කටයුතු කරන බවයි. මේ අතර මෙම කාර්යය පිළිබඳ උතුරු කොරියානු බලධාරීන් විසින් ජපන් වෙරළාරක්ෂක හමුදාවට දැනුම් දී ඇති බවත් ජපන් බලධාරීන් සඳහන් කර තිබුණා.
කෙසේ වෙතත්, අප්‍රේල් මාසයේදී උතුරු කොරියානු මිසයිල අත්හදාබැලීමක් හේතුවෙන් ජපානයේ උතුරින් පිහිටි හොක්කයිදෝ දිවයිනට අනතුරු ඇඟවීම් කරන්නට සිදුවූ පසුබිමෙහි ජපානය මෙම කටයුත්ත පිළිබඳව ද දැඩි අවධානයෙන් සිටින බවයි පෙනෙන්නට වූයේ.
උතුරු කොරියානු රොකට්ටුව ඔකිනාවා දූපත්වලට ඉහළින් පියාසර කළ හැකි බවට අනුමාන කෙරුණ අතර කහ මුහුදේ ප්‍රදේශ දෙකකට සහ පිලිපීනයට නැගෙනහිරින් ප්‍රදේශයකට එහි සුන්බුන් පතිත විය හැකි යයි අනුමාන කර තිබුණා. එහෙයින් ජපානය ඔකිනාවා හි නවීන පේට්‍රියට් මිසයිල පද්ධති ස්ථානගත කරන්නට කටයුතු කළා.
කෙසේ වෙතත් මෙම අවස්ථාවේ ඒවායේ අවශ්‍යතාවයක් මතු වූයේ නැහැ. නමුත් උතුරු කොරියාව මෙයින් සිය අත්හදාබැලීම් නවත්වන්නේ නැති බව ඉතා පැහැදිලිව පෙනෙන හෙයින් අනාගතයේදී කිසියම් අවස්ථාවක මෙම පේට්‍රියට් මිසයිල අවශ්‍ය වීමේ ඉඩක් මතුවිය හැකි යයි ද එසේ වුවහොත් කලාපීය තත්ත්වය අසමතුලිත විය හැකි යයිද බියක් මතු වනවා.