ඇෆ්ඝනිස්ථානයට සාමය උදාවේද?
තලේබාන් සංවිධානය ඇෆ්ඝනිස්ථානයේ බලය සම්පූර්ණ වශයෙන්ම පාහේ තමුන් අතට ලබාගැනීමත් සමග මතුවී ඇති ඊළඟ සාකච්ඡාව වන්නේ එරටට සාමය උදාවේද යන්නයි. 1970 දශකයේ අගභාගයේ පටන් ඇෆ්ඝනිස්ථානය නොනැවතීම පාහේ යුධගිනි ඇවිළුණ රටක් වූ අතර එහි බොහෝ ප්‍රදේශ මධ්‍යම ආණ්ඩුවේ පාලනයෙන් ඉවත තිබුණා. මේ තත්ත්වය වෙනස් කළහැකි එක් අවස්ථාවක් වූයේ 2001 ඇමරිකානු ආක්‍රමණයෙන් අනතුරුව ඇෆ්ඝන් තලේබාන් සංවිධානය පසුබැස ගිය අවස්ථාවයි. නමුත් එහිදී ද වැඩි කලක් යන්නට මත්තෙන් නැවත අස්ථාවර තත්ත්වයක් නිර්මාණය වුණා. ඊට බලපෑ එක් හේතුවක් වූයේ තලේබාන් සංවිධානය පාකිස්ථානයේදී ප්‍රතිසංවිධානය වීමයි. නමුත් ඇෆ්ඝනිස්ථානය එසේ සරල පරාමිතීන්ගෙන් විග්‍රහ කළහැකි රටක්ද නොවේ.
ඇෆ්ඝනිස්ථානය විවිධ ජනවර්ගවලින් සමන්විත රටක්. එමෙන්ම එම ජනවර්ග ද විවිධ ගෝත්‍රවලට බෙදී සිටිනවා. එමෙන්ම මේ එක් එක් ගෝත්‍ර බෙහෙවින් ස්වාධීනයි. අන් අය ඔවුන්ගේ වාසස්ථාන වෙත අනවසරයෙන් ඇතුළුවීම ඔවුන් රුස්සන්නේ නැහැ. අතීතයේදී කිසියම් අයකුට එම ප්‍රදේශ හරහා ගමන් කළයුතු නම් ඊට කප්පම් ගෙවිය යුතු වුණා. 1739 දී මූගල් අධිරාජ්‍යය කොල්ල කෑ ඉරානයේ නදීර් ෂා වැනි ප්‍රබලයකු පවා ඉන්දියාවට යන අතර මෙන්ම එන අතර ද ඇෆ්ඝන් ගෝත්‍රවලට කප්පම් ගෙව්වා.
මේ කාරණය නිසාම ඇෆ්ඝනිස්ථානයේ කිසියම් එක්සත්භාවයක් පවත්වාගැනීමට හැකියාව ලැබී ඇත්තේ ධනයෙන් හෝ යුධ බලයෙන් ඉතා ඉහළ තත්ත්වයක වූ අයකුට පමණයි. නූතන ඇෆ්ඝනිස්ථානයේ සමාරම්භකයා ලෙස සැලකෙන අහමඩ් ෂා අබ්දාලි එසේ අධිරාජ්‍යයක් ගොඩනැගුවේ 1747 දී නදීර් ෂාගේ සුවිශාල වස්තුව කොල්ල කෑමෙන් පසුවයි. ධනය මගින් සහයෝගය ලබාගත හැකිවුණ ද පක්ෂපාතීත්වය ලබාගැනීම අනිවාර්ය වුණේ ද නැහැ. ප්‍රකට පැරණි ඇෆ්ඝන් කියමනක් සඳහන් කරන පරිදි “ඕනෑම කඳුගැටයක් අසළ අධිරාජයෙක් වෙයි”. එසේත් නැත්නම් “සෑම මිනිසෙක්ම ඛාන් කෙනෙකි”.
වසර තුන්සියයකට ආසන්න කාලයක් ගතවී ඇතත් මේ මූලික කරුණ වෙනස් වී ඇතැයි සිතීම අපහසුයි. අදටත් ඇෆ්ඝන් ජනතාව මේ ආකාරයි. තම පුද්ගලික නිදහස සහ ගෝත්‍රවල ස්වාධීනත්වය ඔවුන් බෙහෙවින් අගයනවා. ඇෆ්ඝනිස්ථානයේ සිය බලපරාක්‍රමය පතුරවන්නට උත්සාහ කළ බ්‍රිතාන්‍යය, සෝවියට් දේශය සහ ඇමරිකාව යන මහ බලවතුන් තිදෙනාම අවබෝධ කරගැනීමට අපොහොසත් වූ කරුණ මෙයයි.
තලේබාන්වරුන්ගේ වාසි අවාසි
තලේබාන්වරුන්ට මෙම අවස්ථාවේ ඇෆ්ඝනිස්ථානයේ ස්ථාවරත්වය ස්ථාපිත කිරීම සඳහා එක් වැදගත් කරුණක උපකාරය තිබෙනවා. එනම් බලාපොරොත්තු නොවූ ආකාරයේ හමුදාමය ජයග්‍රහණයක් ලැබීමයි.
ඇෆ්ඝනිස්ථානයේ ජනතාවගේ ස්වභාවය හේතුවෙන් 20 වන සියවස මැදභාගයේ යම් කිසි කාලයක (පසුගිය රාජාණ්ඩුවේ අවසන් කාලය. එනම් 1960 දශකය පමණ වනවිට) හැරුණුවිට ස්ථාවර පරිපාලනයක් ඇතිකිරීමෙන් පමණක් එරට ස්ථාවර කිරීමට අපහසුයි. ඊට වඩා වැදගත් වන්නේ හමුදාමය ජයග්‍රහණ සහ ගෝත්‍රවල ප්‍රධානීන්ගේ පක්ෂපාතීත්වය යි. කිසියම් හමුදාවක් ජයග්‍රහණය ලබන බවක් පෙනෙද්දී විරුද්ධවාදීන් සටන අතහැරීම හෝ ඔවුන් හා එක්වීම කඩිනම් වීම එරටට අමුත්තක් නොවේ. එමෙන්ම ඇතැම් ප්‍රාදේශීය ප්‍රධානීන්ගේ පක්ෂපාතීත්වය මාරුවීම ද වැදගත් කරුණක්. මෙවර තලේබාන් ජයග්‍රහණයට මේවා ද සාධක වනවා.
නමුත් මේ කරුණම තලේබාන්වරුන්ට අභියෝගයක් බවට ද පත්වන්නට පුළුවනි. දැනට ඇෆ්ඝනිස්ථානයේ ප්‍රධාන තලේබාන් විරෝධී ව්‍යාපාරය පවතින්නේ පන්ජ්ශීර් නිම්නයේයි. අහමඩ් ෂා මසූද්ගේ පුත්‍රයා වන අහමඩ් මසූද් මෙහි අරගලයේ නායකයා වනවා. එහි 6,000 සිට 9,000 ක් දක්වා සටන්කාමීන් සිටින බව සඳහන්.
මෑතකදී ඇෆ්ඝනිස්ථානයේ රුසියානු තානාපතිවරයා සඳහන් කළේ මෙම ප්‍රදේශය අල්ලාගැනීම තලේබාන් සංවිධානයට අපහසු නැති බවයි.
කෙසේ වෙතත් දුෂ්කර කඳුකර මාර්ග අතරින් පන්ජ්ශීර් නිම්නයට පහරදීම පහසු වන්නේ නැතැයි සිතිය හැකියි. මෙවන් ප්‍රහාරයකදී සැලකියයුතු හානියක් සිදුවනු ඇතැයි තලේබාන් සංවිධානයට යම් අවිනිශ්චිතතාවයක් පවතිනවා. එවැනි තත්ත්වයක් එහි ප්‍රතිරූපයට හානිකර වන හෙයින් තලේබාන්වරුන් සාකච්ඡා මගින් මසූද් සමග එකඟතාවයක් ඇතිකරගැනීමට උත්සාහ කරමින් සිටිනවා.
මේ අතර මසූද් වෙත තජිකිස්ථානයේ සිට ආධාර ලැබෙන බව ද වාර්තා වනවා. ඇතැම් වාර්තා අනුව ඔවුන්ට ඉන්දියාවෙන් ද ආධාර සහ ආයුධ ලැබෙනවා. මේ පිටුපස රුසියාව ද සිටින බව ඇතැම් ඇෆ්ඝන්වරුන්ගේ මතයයි.
මේ අතර ඇෆ්ඝනිස්ථානයේ ISIS සංවිධානය (ISIS-K හෙවත් ISIS-කොරාසාන්) විසින් අගෝස්තු 26 වනදා එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරයන් සමග තලේබාන් සංවිධානය වෙත තවත් අභියෝගයක් එල්ලවේද යන සැකය මතුව තිබෙනවා.
ඇතැමුන් ප්‍රශ්න කරන්නේ වැඩිපුර පෙනෙන්නට නොසිටි ISIS-K සංවිධානය මෙසේ ඉස්මතුවීම ගැටළුවක් බවයි. එහෙත් මෙම මතයේ එක් නොගැලපෙන ස්ථානයක් තිබෙනවා. ISIS-K සංවිධානය කල්මරමින් සිටියා විනා සම්පූර්ණ වශයෙන් පරාජයට පත්ව සිටියේ නැහැ. ජූලි මාසයේ අවසන් දිනවල ඇෆ්ඝන් ජනාධිපති මැදුර අසළට රොකට් ප්‍රහාරයක් එල්ල කළේ ද ISIS-K බවයි සඳහන් වුණේ.
ඊට පෙරද ඔවුන් ක්‍රියාකාරීව සිටියා. එමෙන්ම පැවති ඇෆ්ඝන් රජය බිඳවැටෙද්දී සිරගතව සිටි ISIS-K සාමාජිකයන් සිය ගණනක් හෝ ඇතැම්විට දහස් ගණනක් හෝ නිදහස ලබාගත්තා.
කෙසේ වෙතත් තලේබාන්වරුන් ඇෆ්ඝනිස්ථානයේ බලය තහවුරු කරගන්නවාත් සමග අගෝස්තු 26 ප්‍රහාර මාලාව වැනි බරපතල ප්‍රහාරයක් ISIS-K සංවිධානය විසින් සිදුකිරීම වැදගත් කරුණක්. මෙය කිසිදු බාහිර බලවේගයක උපකාර නොමැතිව සිදුකළේය යන්න ඇතැම් විචාරකයන්ගේ සැකයට හේතු වී තිබෙනවා. එය පිටුපස වෙනත් බලවේගයක් සිටින්නේ නම් ඒ කවරෙක්ද යන්නත් එකවර විග්‍රහ කරගත නොහැකි ගැටළුවක් වනවා. ඇමරිකාව දෙසට ඇතැම් විට ඇඟිලි දිගු වුණත් පාකිස්ථානය දෙස ද සැකයේ බැල්මක් එල්ල වීමේ ඉඩක් තිබෙනවා. ISIS-K යනු පාකිස්ථානයේ උපකාර ඇතිව මූලාරම්භය ලබාගත් සංවිධානයක් වීම ඊට හේතුවයි.
තලේබාන් හැසිරීම
තලේබාන්වරුන් ඇෆ්ඝනිස්ථානයේ හැසිරෙන්නේ මිශ්‍ර වූ ලීලාවකින්. එක් අතකින් ඔවුන් තමන්ට එරෙහි වූ ප්‍රබල නායකයින්ට හානි පමුණවා නැහැ. ඔවුන් සමග සාකච්ඡා කිරීමට පවා තලේබාන්වරුන් යොමුව තිබෙනවා.
ඇෆ්ඝනිස්ථානයේ ජනගහනයෙන් අඩක් පමණ පතාන් හෙවත් පෂ්තුන් නොවන ගෝත්‍රවල පුද්ගලයන් බැවින් ප්‍රධාන වශයෙන් පෂ්තුන් මූලයක් සහිත තලේබාන් සංවිධානයට එම අනෙකුත් ජනවර්ගවල නායකයින්ගේ අනුකූලත්වය ලබාගැනීම ඉතා වැදගත් වන බවට කිසිදු සැකයක් නැහැ. තමන්ව විනාශ කිරීමට ශපථ කළ අබ්දුල් රශීද් දොස්තම් වැනි නායකයින් සමග පවා සාකච්ඡා කිරීමේ නැඹුරුවක් තලේබාන්වරුන් පෙන්වන්නේ ඒ නිසයි.
මේ අතර තලේබාන්වරුන් සිය අන්තවාදී අදහස් අතැර ඇති බවට කිසිදු අයුරකින් අනුමාන කළ නොහැකියි. ඔවුන් ඇතැම් ස්ථානවල සිය විරුද්ධවාදීන් දඩයම් කිරීම පිළිබඳ අවස්ථා වාර්තා වුණා. එමෙන්ම චිත්‍රපට සහ සංගීතය පිළිබඳ ඔවුන්ගේ ඇති තහංචි ක්‍රියාත්මක කිරීම පිළිබඳ ද යම් පියවරයන් ගෙන තිබෙනවා.
කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ අධ්‍යාපන අයිතීන් පිළිබඳ ඔවුන් දක්වන මතයන් මගින් ද පෙනෙන්නේ බලය තහවුරු වීම ස්ථිර වූ පසු ඔවුන්ට අවශ්‍ය දේ සිදුවනු ඇති බවයි. එහෙයින් මෙවැනි කරුණු පිළිබඳ කිසිදු බලාපොරොත්තුවක් තබාගත නොහැකියි. ජීවිත අවදානම පවා නොතකා කාබුල් ගුවන් තොටුපල ඔස්සේ රටින් පළායාමට අදටත් ඇෆ්ඝන් වැසියන් උත්සාහ කරන්නේ එම කරුණ නිසයි.
කෙසේ වෙතත් රටේ කිසියම් ස්ථාවරත්වයක් ඇතිකර නොගතහොත් කෙමෙන් කෙමෙන් සිය පාලනය අස්ථාවර වන පැත්තට කරුණු පෙළගැසෙන්නට ඉඩ ඇති බව තලේබාන්වරුන් දැන සිටිනවා. කිසියම් ආකාරයක සාකච්ඡා කිරීමේ නැඹුරුවක් සහ සංහිඳියාවක් ඔවුන් වෙතින් පෙන්නුම් කෙරෙන්නේ එම කරුණ හේතුවෙන් බව සිතිය හැකියි.