පැල්මඩුල්ල ගණේගම අරමණපොළ රංකොත් රජමහා විහාරය සහ දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේ

සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන තවත් වැදගත් ඓතිහාසික මෙන්ම බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය ලද සිද්ධස්ථානයක් ගැන කියන්න තමයි මම අද ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ .

හැමදාම අපි ඔතනින් යනකොට මේ විහාරය ඉදිරියේදී බස් එකේ ඉඳගෙන ඉන්න ආසනයෙන් පොඩ්ඩක් නැගිටලා ගෞරව කරලා යන්න පුරුදු වෙලා තියෙනවා . අඩුවෙන් හෝ වේවා අපේ පරපුර ඒ ගෞරව දැක්වීම සිදුකරත් අපෙන් පසු පරපුරවල් ඒ දේවල් කරන්නේ නැති බවක් තමයි පේන්නේ .

අනිත් කාරණාව තමයි මෙහෙම ගෞරව කරන අයත් සමහර දෙනෙක් දන්නේ නැහැ ඇයි මෙතනදී නැගිටින්නේ කියලා . දකින දකින පන්සලක් බෝධියක් ගානේ නැගිටින්න තරම් අපි අන්ධ බෞද්ධයෝ නෙවෙයි . ඒත් මේ වගේ උතුම් තැනකදී නැගිට්ටා කියලා පස්සේ ගෙඩි එන්නේ නැහැ . අතීතයේ ඉඳලා මිනිස්සු මේ විහාරයට ගරු කරන්නේ මේ විහාරයේ රෝපණය කරලා තියෙන බෝධීන් වහන්සේ නිසා කියලා කවුරු කවුරුත් දැනගන්න ඕන .

මොකද කියනවනම් මේ බෝධීන් වහන්සේ දේවානම් පියතිස්ස මහ රජතුමාගේ කාලයේ රෝපණය කරපු එකක් . ඉන්දියාවේ ඉඳලා වැඩම කරවපු විජය ශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාකාවෙන් හටගත්ත අෂ්ට පලරුහ බෝධීන් වහන්සේලාගේ දෙතිස් පලරුහ බෝධීන් වහන්සේලාගෙන් එක් නමක් තමයි මේ රෝපණය කරලා තියෙන්නේ . ඒ නිසා තමයි මෙතනදී මිනිස්සු මේ බෝධීන් වහන්සේට ගෞරව දැක්වීමක් විදියට අඩුම තරමේ නැගිටින්න බැරිනම් වැඳලාවත් යන්න පුරුදු වෙලා තියෙන්නේ .

මිහිදු හාමුදුරුවෝ වෘක්ෂ වන්දනාව තමයි බෝධි වන්දනාවෙන් ප්‍රතිස්ථාපනය කලේ . ඒ වන්දනා ක්‍රමය නිසා බුදු දහම ව්‍යාප්ත වීම ඉක්මන් උනා කියලා මම හිතනවා . ඒ නිසා දේවානම් පියතිස්ස රජතුමාත් දෙතිස්පලරුහ බෝධීන් වහන්සේලා ලංකාව හැමතැනම රෝපණය කරවලා බුදු දහම ප්‍රචලිත කරන්න ඒ දේවල් උදවු කරගත්තා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් .

සමහර මිනිස්සු හිතාගෙන ඉන්නේ මෙතන තියෙන මේ බුදුපිළිමය නිසා මිනිස්සු නැගිටිනවා කියලා . බුදුන්වහන්සේගේ දසබලධාරී දෙතිස්මහා පුර්ෂ ලක්ෂණ පෙන්නුම් කරන ඒවගේ බුදුපිළිමයක් ඉදිරියේදී බෞද්ධයෙක් ඉබේ උනත් නැගිටෙන එක පුදුමයක් නෙවෙයි . ඒත් මේ ගෞරව දැක්වීම කරන්නේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දෙතිස් පලරුහ බෝධීන් වහන්සේට කියන එක හැමෝම මතකයේ තියාගන්න කියලා .

මේ කතාව දන්න දන්න හැම කෙනා එක්කම කියලා ප්‍රචාරය කරන්න . මොකද ගොඩක් දෙනෙක් ඒ කතාව දන්නේ නැහැ . අනාගත පරපුර උනත් දැනුවත් කරන එක අපේ වගකීමක් කියලා තමයි මම නම් සලකන්නේ .

මෙන්න තියෙනවා සිංහල බෝධි වංශයේ මේ බෝධීන් වහන්සේ ගැන කියවෙන ඡේදය

” පස් ලා ගඳ කළල් පුරා, එහි රෝපණය කොටැ මහ ආසන ස්ථානයෙහි තැබුහ. එකෙනෙහි සියල්ලවුන් බලබලා සිටියැ දී මැ සතර රියනක් පමණ ඇති තරුණ වු බෝපැල අටෙක් නැංගේ යැ’ රජ්ජුරුවෝ ඒ ආශ්චර්ය්මණ දැකැ ධවලච්ඡත්රනයෙන් පූජා කොටැ ත්රිරශඬ්ඛයෙන් අභිෂේක ජලය වක් කොටැ පූජා කොළෝ යැ.

එයින් එක් බෝපැළයක්එයින් එක් බෝපැළයක් සමුද්රපතීරයෙහි සිටැ එන ගමනේ මහා බෝධින් වහන්සේ පිහිටි තැන දඹුලු තොටැ රෝපණය කෙළේ යැ. එකක් තවක්ක නම් බ්ර්හ්මණ ග්රාුමයෙහි පිහිටුවුයේ යැ. එකක් ථුපාරාමයෙහි පිහිටු වුයේ යැ. එකක් කසුන්ගිරි වෙහෙරැ පිහිටු වුයේ යැ. එකක් ප්ර්ථමක චෛත්යිස්ථානයෙහි පිහටුවුයේ යැ. එකක් සෑගිරියෙහි පිහිටුවුයේ යැ. එකක් රෝහණ ජනපදයෙහි කදරගම පිහිටුවුයේ යැ, එක් බෝපැලයක් එහි මැ සඳුන්ගමැ රෝපණය කැරැවුයේ යැ.

ඉක්බිත්තෙන් ඉතිරි ඵල සතර දෙනාගේ බිජුවටින් අට අට බැගින් උපන් දෙතිස් ඵලරුහ ශ්රීත මහා බෝධීන් වහන්සේ අතුරින් මල් වැස්සා වෙහෙරැ එක් ඵලරුහ බෝධියක් ද, එසේ මැ තන්ත්රිසමාල නම් වෙහෙරැ එකක් ද පිහිටියේ යැ, මුහුදු බඩ මහාජල්ලික නම් කෙවුල් ගමැ එක් බෝධියක් ද, මෙසේ මැ කොට්ටියාරම ද, පොලොන්නරුවෙහි ද, මාතලේ රුයිගම ද, රුහුණු රටැ මාගම ද, වීල්වලද, මහියඬ්ගණයෙහි ද, සේරුවිල සමීපයෙහි නයින් ගේ විල්ගම්වෙහෙරැ ද, ඌව බදුල්ලේ මුතියඬ්ගණයෙහි ද, එම රටැ බුත්හල හප්පෝරු වෙහෙරැ ද රුහුණු රටැ සිතුල්පවු වෙහෙරැ ද, තංගලු වෙහෙරට බටහිර දික්හි වු වනවාස වෙහෙරැ ද, වැලිගම් වෙහෙරැ ද, පරගොඩැ ද, මැද්දේගමැ ද, ගණේගමැ ද, කොත්මලේ පුසුල් පිටියෙහි ද, මායාරට වතුරේ ද, බෙලිගලැ ද, බෙල්ලන්විලැ ද, වඳුරව ද, වට්ටාරමේ රජමහාවිහාරයෙහි ද, සුලුගල්ලේ ද, රැස්වෙරුවේ ද, කථියාවෙහි ද, ගිරිබා වෙහෙරෙ ද, යාපවු සුන්දරගිරි පවුවෙහි ද, කසාගලු වෙහෙරෙහි ද, ඇඹලව රහත් ගල්වෙහෙරෙහි දැ”යි මෙසේ සමසතළිස් මහා බෝධි රාජයෝ බුදුරජාණන් වහන්නේ ගේ අධිෂ්ඨාන වු ලෙසට මැ මේ ශ්රීරලඬ්කාද්වීපයෙහි පිහිටියාහු යැ. ”



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

ඉතින් දේවානම්පියතිස්ස රජතුමා මේ විහාරය කරවලා විහාරයේ පැවැත්ම තහවුරු කරාට පස්සේ කාලයත් එක්ක මේ විහාරය දියුණුවෙන් දියුණුවට පත්වෙලා තිබිලා තියෙනවා . ඒත් පළවෙනි විජයබාහු රජතුමාගේ කාලේ ලංකාවේ තිබ්බ වාතාවරණයත් එක්ක බුදුදහම විනාශවෙලා තමයි තිබිලා තියෙන්නේ . ඒ නිසා රජතුමා බුරුම රටින් ස්වාමීන් වහන්සේලා වැඩම කරවලා ලංකාවේ බුදුදහම සහ උපසම්පදාව නැවත පිහිටවනවා . ඒ වෙලාවේ වැඩම කරපු ස්වාමීන් වහන්සේලා ශ්‍රී පාදස්ථානය වන්දනා කරන්න වඩින ගමනේදී මේ විහාරයේ නවාතැන් අරගෙන තියෙනවා . අරමණ දේශයේ ඉඳලා වැඩපු හිමිවරු නැවතුණු තැන අරමණ පොළ විදියට නම් කරලා අවසානයේ මේ විහාරය අරමණපොළ විහාරය විදියට නම් කරලා තියෙනවා .

මේ විහාරය නම් පොතේ සඳහන් වෙන්නේ දෙනවක හෙවත් ද්‍රෝනවක්ක විහාරය කියලා . ද්‍රෝනවක්ක කියලා කියන්නේ මෙන්න මේ නිසා . විජයබාහු රජතුමා යුද්ධ කරන සමයේ මේ විහාරය කිට්ටුව තියෙන කෙහෙල්බද්දල හා දෙනවක කියන ගංගා එකතුවෙන තැන කඳවුරක් ඉදිකරලා තියෙනවා . ද්‍රෝණයක් වැනි ස්ථානයක් නිසා අන්තිමට මේ ප්‍රදේශය දෙනවක කියලා හඳුන්වලා තියෙනවා . ඒ වගේම මේ විහාරයත් දෙනවක කියලා නම් කරලා තියෙනවා .

පස්සේ මේ විහාරය කෝට්ටේ යුගයේ තමයි නැවතත් සංවර්ධනය වෙන්නේ . ඒ හයවෙනි පරාක්‍රමබාහු රජතුමාගේ අනුග්‍රාහකත්වයෙන් . එතුමා මේ විහාරය පිළිසකර කරවලා අද පවතින බුද්ධ මන්දීරයත් ඉදිකරවලා එතුමන්ගේ මව , සුනේත්‍රා දේවියට පිං පෙත් අනුමෝදන් වීම සඳහා පැපිලියානේ සුනේත්‍රා දේවී මහ පිරිවෙණට මේ විහාරයත් පූජා කරලා තියෙනවා . ඒත් අද වෙනකොට නම් ඒ සම්බන්ධතා ගිලිහිලා තියෙන්නේ . මේ විහාරයේ තියෙන සමහර කැටයම් එහෙම ඒ කාලෙට ගැළපෙනවා කියලා පිළිගැනීමක් තියෙනවා .

ආයෙත් ඔන්න ලංකාවේ හාමුදුරුවරු නැති කාලයක් ආවා අපේ සරණංකර සංඝරාජ හාමුදුරුවන්ගේ කාලේ . පස්සේ උන්වහන්සේනේ සියමෙන් හිමිවරු වැඩම කරවගෙන ලංකාවේ උපසම්පදාව නැවත ස්ථාපිත කරන්න වැඩ කටයුතු කලේ . මේ කාලේ ලංකාවේ ඉඳලා තියෙන්නේ ස්වාමීන් වහන්සේලා නෙවෙයි . ගණින්නාන්සේලා . ඒ අය පැවිදි උනාට විවාහ වෙලා එහෙම ගිහි ජීවිතයකුත් ගෙවලා තියෙනවා . ඒ නිසා ඒ අයට ගනින්නාසේලා කියලා කියලා තියෙනවා . මේ විහාරය තිබුණු පැත්තෙත් ගණින්නාන්සේලා ඉඳලා තියෙනවා . ඒ නිසා මේ පැත්තට ගණේගම කියලා නම් ලැබිලා තියෙනවා . සරණංකර හිමිගේ කාලයේ එවකට හිටපු රජතුමා මේ විහාරය අනෝමදස්සී කියලා හාමුදුරු කෙනෙක්ට පූජා කරලා තියෙනවා කියලා සන්නස් වල සඳහන් වෙනවා .

මේ විහාරයට රංකොත් වෙහෙර කියලත් කියනවා . ඒකට හේතුවෙලා තියෙන්නේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා කරවපු විහාර ගෙයි වහලයේ සවිකරලා තිබුණු රන් කොත් දෙක කියලා තමයි කියන්නේ . පෘතිගීසීන් ලංකාව ආක්‍රමණය කරපු කාලේ මේ විහාරයටත් අවාසනාවන්ත කාලයක් උදා වුණා . මේ විහාරය අසල බල කඳවුරක් ඉදිවෙලා තිබුණ . ඔවුන් මේ විහාරයේ වස්තුව මංකොල්ල කාලා පිළිම සහ වෙනත් දේවල් අසල තියෙන ගඟට විසිකරලා තියෙනවා . අද විහාරගෙයි තියෙන සමාධි බුද්ධ ප්‍රතිමාව ගඟේ තිබිලා ආයෙත් හොයාගත්ත පිළිමයක් කියලා තමයි කියන්නේ .

මේ විහාරයේ චිත්‍ර ආයෙත් මතුකරගන්නකොට පෘතුගීසි සෙබලෙකුගේ සහ පූසන් දෙදෙනෙකුගේ චිත්‍ර මතුවෙලා තියෙනවා . ඒ නිසා මේ ස්ථානයේ පෘතිගීසීන් ඉඳලා තියෙනවා කියලා අවිවාදයෙන්ම පිළිගන්න පුළුවන් .

මේ විහාරයේ ගල් කණු සහ තවත් කළුගල් නිර්මාණ පිහිටලා තියෙනවා . ඒ වගේම පෘතුගීසීන් විසිකරලා දාලා ගඟේ ගිලිලා තිබුණු සමහර දේවල් නැවතත් ගොඩ අරගෙන පන්සලේ තැම්පත් කරලා තියෙනවා . ඔයාලටත් විහාරයට යන්න ලැබුණොත් ගිහින් බලන්න . මේ විහාරය තමයි මම දාන්න හැටියට රත්නපුරේ තියෙන පැරණිම විහාරය වෙන්නේ . ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි . මේ විහාරයේ වැඩ ඉන්න දෙතිස් පලරුහ බෝධීන් වහන්සේ නිසා .

තවත් වැදගත් කාරණාවක් තමයි මේ ස්ථානය අදවෙනකොට වෙඩින් ෆොටෝ ගන්න ලොකේෂන් එකක් වෙලා තියෙන එක . කමක් නැහැ එහෙම කරාට . ඒත් මේ ස්ථානයේ ගෞරවය ආගමික ස්වරූපයට හානි වෙන්නේ නැතිවෙන්න ඒ දේවල් කරන්න කියලා මම ඉල්ලා හිටිනවා . මෙතන ෆොටෝ ගන්න කපල් එකට උදේම පන්සලේ හාමුදුරුවෝ පිරිත් කියලා ආශිර්වාද කරලා පොඩි බුදුපිළිමයක් තෑගී දෙනවා . පස්සේ විවාහ යුවල පොරොන්දු කරගන්නවා සෑම වසරකම නොකඩවා පන්සලකට දානයක් දෙනවා කියලා . අන්න ඒ දේ හරිම වටිනවා . මේ තැන ෆොටෝ ගන්න දෙනවා වගේම බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කරන්න උන්වහන්සේ ක්‍රියා කරන එක බෞද්ධ අපි අගේ කොට සලකන්න ඕන.

ඒ වගේම මම මුලින් කිව්වා කරුණු කාරණා ටිකත් මතක තියාගන්න . ඒ මේ විහාරයේ වැදගත්ම දෙය බෝධීන් වහන්සේ මිසක් පිළිම වහන්සේ නෙවෙයි කියන කාරණාව .

එහෙනම් ආයෙත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෛවීය විද්‍යා උපාධිධාරීවරයෙක් වන දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන මහතා ජ්‍යෝතිෂ්‍යවේදියෙකු, ලේඛකයෙකු සහ පර්යේෂකයෙකු ලෙස කටයුතු කරනු ලබයි. අප රටේ අලි ඇත් පරපුර පිළිබඳව සහ විවිධ පළාත්වල ඇති ආගමික, සාමාජීය, සංස්කෘතික කරුණු පිළිබඳව තොරතුරු ඔහු eLearning.lk බ්ලොග් අඩවිය ඔස්සේ ගෙන එයි.