පුටින්ගේ අවදානම් සහගත Game එක
නිරන්තරයෙන් ඇවිල යන යුක්‍රේන අර්බුදය නැවත වරක් ඇවිලී ගියවිට පෙර අවස්ථාවල මෙන්ම ටික කලක් අර්බුදය ඇදීගොස් පසුව සමථයකට පත්වේ යයි බොහෝ දෙනා විශ්වාස කරන්නට ඇති. කෙසේ වෙතත් අන් කවදාකටත් වඩා මෙවර යුක්‍රේන ආක්‍රමණයක් පිළිබඳ භීතියක් බටහිර විසින් ගොඩනගනු ලැබුණා. ඇමරිකානු රජය දිගින් දිගටම රුසියාව විසින් කරනු ලබන ආක්‍රමණයක් පිළිබඳ කියා සිටි අතර ඔවුන් දින වකවානු පවා ප්‍රකාශ කරන්නට වුණා. ඒ අතර බටහිර මාධ්‍ය ද දිගින් දිගටම මෙම ප්‍රචාරයේ යෙදී සිටියා.
කෙසේ වෙතත් යුද්ධය ඇමරිකානු රජය හෝ මාධ්‍ය හෝ පුරෝකථනය කළ දිනට සිදුවූයේ නැහැ. එහෙත් වෙනදා මෙන් ප්‍රශ්නය යටගියේ ද නැහැ. ඒ වෙනුවට රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් යුක්‍රේනයෙන් වෙන්වීමට තැත්කරන දන්යෙත්ස්ක් මහජන සමූහාණ්ඩුව සහ ලුහාන්ස්ක් මහජන සමූහාණ්ඩුව පිළිගන්නට කටයුතු කළා.
මේ සමගම රුසියාවට එරෙහිව බටහිර රටවලින් සම්බාධක පැනවෙන්නට පටන් ගැනුණා. ඉතාම ප්‍රබල ලෙස ඔහුගේ පියවර විවේචනයට ද භාජනය වුණා.
නමුත්, මෙම ප්‍රතිචාරය පුටින් බලාපොරොත්තු නොවූවක් විය නොහැකියි. ඔහු එය බලාපොරොත්තු වියයුතුව තිබුණා. එමෙන්ම ඔහු බලාපොරොත්තු වන්නට ද ඇති. එවන් තත්ත්වයක් යටතේ මෙම සමූහාණ්ඩු දෙක පිළිගැනීම ඉතා අවදානම් සහගත ක්‍රියාවක් බව පෙනී යනවා. නමුත් ඔහු එම පියවර ගන්නට ද පසුබට වූයේ නැහැ. මේ තුළින් ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය තවමත් එලෙසම පවතිනවා.
එමෙන්ම රුසියාව විසින් පිළිගන්නා ලද සමූහාණ්ඩුවල දේශසීමා ලෙස තමන් සලකන්නේ එම සමූහාණ්ඩු දැනට පාලනය කරන ප්‍රදේශ පමණක් නොව එම සමූහාණ්ඩු අයිතිවාසිකම් කියා සිටින සියළු ප්‍රදේශයන් බව ද ක්‍රෙම්ලීනය අවධාරණය කර තිබෙනවා. එහෙයින් නුදුරු අනාගතයේදී නැවැත යුක්‍රේනයේ දරුණු ගැටුම් හටගනු ඇතැයි බියක් මතුව තිබෙනවා. රුසියාව විසින් යුක්‍රේනය දැවැන්ත ආක්‍රමණයකට ලක් කරනු ඇතැයි බ්‍රිතාන්‍යය ආදී ඇතැම් බටහිර රටවල් පැහැදිලි ලෙසම කියා සිටිනවා.
සම්බාධක පිළිබඳ තර්ජනය
කෙසේ වෙතත් දැවැන්ත ආක්‍රමණයකට නොයන තෙක් රුසියාවට එරෙහිව බටහිර රටවල් විසින් ගනු ලබන ක්‍රියාමාර්ග අතර බරපතලම වනුයේ සම්බාධක බව රුසියාව හොඳින් දන්නවා. ඇතැම් දරුණු රුසියානු විරෝධීන් ඩෙලර් මගින් ජාත්‍යන්තර වෙළෙඳපොලේ ගනුදෙනු කිරීමේ හැකියාව ද නැති කළයුතු යයි ඉල්ලීම් කළ ද එවන් දුරක් යාමට ජාත්‍යන්තරය සූදානම් යයි දැනට පෙනෙන්නේ නැහැ. එමෙන්ම යුරෝපයට රුසියානු බලශක්තිය අවශ්‍ය වනවා. එසේ නොමැති වුවහොත් ඔවුන් දැඩි අපහසුතාවයකට පත්වනවා. මේ බව ද රුසියාව හොඳින්ම දන්නවා.
ඒ අතරතුර යුරෝපයෙහි ප්‍රධානම රටවල් දෙක වන ජර්මනිය සහ ප්‍රංශය සිටින්නේ කිසියම් අතරමැදි අවස්ථාවකයි. ජර්මනියට එක් අතකින් රුසියානු බලශක්තිය අවශ්‍යයි. ඔවුන් පුටින් විසින් දන්යෙත්ස්ක් හා ලුහාන්ස්ක් සමූහාණ්ඩු පිළිගත් පසු රුසියාවේ සිට තම රටට වැටී ඇති නෝර්ඩ් ස්ට්‍රීම්-2 නල මාර්ගය සඳහා සහතිකය ලබාදීම අත්හිටවූවා.
ඒ අනුව නුදුරු අනාගතයේදී එය ක්‍රියාත්මක නොවනු ඇති. අනෙක් අතට ජර්මනියේ බලයෙහි සිටින්නේ අලුත් ආණ්ඩුවක් වන අතර එය ද එකිනෙකට වෙනස් මතයන් සහිත පක්ෂ තුනකින් සැදුම්ලත් සන්ධානයක්. ඒ හේතුව නිසා බලශක්ති මිල ඉහළ යාමෙන් සිදුවන ආර්ථික බලපෑම වැඩි කලක් දරාගැනීමට එරටට නොහැකි වේ යයි රුසියාව අපේක්ෂා කරනවා විය හැකියි.
මේ අතර ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් අප්‍රේල් මාසයේ පැවැත්වෙන ප්‍රංශ ජනාධිපතිවරණය පිළිබඳ අවධානයෙන් සිටිනවා. ඔහු සිය පාලන කාලය තුළ ජනාධිපති ව්ලදිමීර් පුටින් සමග යහපත් සබඳතාවක් ගොඩනගාගැනීමට උත්සුක වූ අයෙක්.
යුක්‍රේන අර්බුදය උත්සන්න වූ අවස්ථාවේ ඔහු මොස්කව් මෙන්ම කීව් වෙත ද සංචාරය කරමින්, එම රටවල නායකයින් මුණගැසෙමින් මැදිහත්කරුවකුගේ භූමිකාව ක්‍රියාවට නැගීමට උත්සාහ කළා. පවතින දේශපාලනික තත්ත්වය හමුවේ ඔහු ද බරපතල පියවරයන්ට නොයනු ඇතැයි රුසියාව අපේක්ෂා කරනවා විය යුතුයි.
මින්ස්ක් එකඟතා
යුක්‍රේන අර්බුදය විසඳීම සඳහා විසඳුමක් ලෙස 2015 දී සියළු පාර්ශව එකඟ වූ මින්ස්ක් එකඟතාවයන් රුසියාව විසින් බිඳ දමන ලද බව ඇමරිකාවෙන් කෙලින්ම එල්ල වූ චෝදනාවක් වුණා. කෙසේ වෙතත් පුටින් කියා සිටියේ මින්ස්ක් එකඟතා යුක්‍රේනය විසින්ම බිඳ දමන ලද බවයි.
එම එකඟතා අනුව බෙදුම්වාදී ප්‍රදේශ දෙක දිගටම යුක්‍රේනයෙහි කොටස් වශයෙන් පැවතිය යුතු වූ අතර ඒවාට පුළුල් ස්වයං පාලන බලතල ලබාදීමට නියමිත වුණා. එම එකඟතා කිසිදු අවස්ථාවක සම්පූර්ණ ලෙස ක්‍රියාවට නැගුණේ නැහැ.
එමෙන්ම යුක්‍රේනය විසින් බෙදුම්වාදීන් අත පැවති ප්‍රදේශයන්ට ආර්ථික සම්බාධක පැනවීම සහ එම ප්‍රදේශයන්ට පහරදීම මගින් මින්ස්ක් එකඟතා බිඳ දැමූ බවයි රුසියාවේ තර්කය වන්නේ.
මින්ස්ක් එකඟතා ඇතිවී වසර හයක් ඉක්මවා ගොස් තිබියදී ද එය ක්‍රියාත්මක නොවීම මෙන්ම යුක්‍රේනය නේටෝ සංවිධානයට එක්වීම සඳහා කරන උත්සාහයන් වැළැක්වීම ද පුටින් විසින් ගන්නා ලද භයානක පියවරට හේතු වන්නට ඇතැයි අනුමාන කළ හැකියි. පුටින් නැගෙනහිර යුක්‍රේනයේ බෙදුම්වාදී සමූහාණ්ඩු පිළිගැනීමෙන් අනතුරුව හමුවූ මුල්ම රාජ්‍ය නායකයා වූ අසර්බයිජාන ජනාධිපතිවරයා සමග වූ සාකච්ඡාවෙන් අනතුරුව ද ප්‍රකාශ කළේ යුක්‍රේනය නේටෝව සමග එක් නොවන බවට සහතිකයක් ලබාදිය යුතු බවයි.
යුක්‍රේනය සහ රුසියාව අතර දිගටම පවතින අර්බුදකාරී වාතාවරණයක් තුළ යුක්‍රේනයට නේටෝවට එක් විය නොහැකියි. පුටින්ම වරක් ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් හමුවූ අවස්ථාවක පැවසූ පරිදි යුක්‍රේනය නේටෝව සමග එක්වීමෙන් අනතුරුව එරට ක්‍රිමියාව ලබාගැනීමට උත්සාහ කළහොත් රුසියාව සමග ගැටුමක් ඇතිවන අතර ඒ අනුව නේටෝ රටවල් ද ඊට ඈඳෙනු ඇති. යුක්‍රේනය සහ රුසියාව අතර අර්බුදය සමථයකට පත් නොවන තාක්කල් යුක්‍රේනයට නේටෝව සමග එක්විය නොහැකි වන්නේ මෙම කරුණ නිසයි. අනෙක් අතට මෙම ගැටුම සමථයකට පත්වීමට නම් යුක්‍රේනය නේටෝව සමග එක්විය නොයුතු බවට රුසියාව විසින් සහතිකයක් ඉල්ලා සිටිනු ඇති. එවිට ද නේටෝ සාමාජිකත්වය යුක්‍රේනයට ලබාගත නොහැකියි.
මේ අනුව රුසියාව සිදුකර ඇත්තේ යුක්‍රේනයට නේටෝව සමග සම්බන්ධ වීමේ අවකාශය අහුරා දමන ගමන් තම කේවල් කිරීමේ බලය වර්ධනය කරගැනීමට උත්සාහ කිරීමයි. බටහිරින් තමන්ට එරෙහිව කුමන පියවරක් ගත්ත ද නේටෝවේ ව්‍යාප්තිය සීමා කිරීම සඳහා එය ඉවසා සිටිය යුතු යයි රුසියාව සිතන බවක් පෙනී යනවා.
eLearning.lk විශේෂ නිවේදනය
මෙය 2022 පෙබරවාරි 24 වන දින යුධ ගැටුම් ඇති වීමට පැය කිහිපයකට පෙර ලියන ලද ලිපියක් වන අතර මෙම ලිපිය කිසිදු සංශෝධනයක් නොමැතිව ඒ ආකාරයෙන්ම පල කරන ලදී.