ගෙදර ඉඳන් Online සල්ලි හොයන හරි විදි – 01 වන කොටස

මේ දවස්වල ලංකාවේ වැඩිපුර කතා වෙන දෙයක් තමා Online Freelancing කියන්නේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට තියෙන මොනයම් හෝ දක්ෂතාවයකින් Internet හරහා සේවාවක් සපයලා මුදල් ලබා ගැනීම. එත් ඉතින් අනික් හැම ක්ෂේත්‍රයක වගේම මේකෙත් වංචාකාරයෝ, බොරුකාරයෝ වැහි වහලා. සමහර අයට මතක ඇති 2006 වගේ Seagull Software කියලා කොම්පැනියක් මිනිස්සුන්ගෙන් සල්ලි ගත්තා Online රැකියා දෙන්න කියලා. පස්සේ මිලියන ගාණකුත් එක්ක ඒ කට්ටිය අතුරුදහන් උනා.

ඊට පස්සේ ජනප්‍රියම උනේ Ad Clicking. මොකක් හරි Blog Site එකක් අටෝගෙන, Content ටිකක් Copy/Paste කරලා, ඒකට Google Adsense දාලා, ඊට පස්සේ යාළුවන්ට කියනවා ඒවා Click කරන්න කියලා. Click එකකට Site එක අයිති කෙනාට රුපියල් 2,3 ඉඳලා සමහර මාතෘකා වලට 12-15 හම්බවෙච්ච වෙලාවලුත් තියෙනවා. මේක කොච්චර ප්‍රසිද්ධ උනාද කියනවනම් ඊට පස්සේ වැඩමුළු, සම්මන්ත්‍රණ පවා තියලා Clicks දාස් ගණන් එකතු කළා. ඒ උනාට ඒක තනිකරම නරක වැඩක්. මොකද අපි හම්බකරන්නේ Ad එක දාන්න සල්ලි වියදම් කරපු මනුස්සයව රවට්ටලා. එයා හිතන් ඉන්නේ එයාගේ Ad එකට Click කරන්නේ ඇත්තටම එයාගේ ව්‍යාපාරයට කැමති අය කියලා.

ඕක දැනගත්ත නිසා Googleට සිදු උනා ක්‍රම රාශියක් මාර්ගයෙන් කවුද ඇත්ත කරන්නේ, කවුද බොරු කරන්නේ කියලා හොයා ගන්න. ඊට පස්සේ ගොඩක් දෙනාට ලේසියෙන් අලුත් Adsense Account එකක් හදන්න බැරි උනා. සමහර තියෙන ඒවා Cancel උනා. ඉතින් ඔය වගේ තුට්ටු දෙකේ වැඩ නොකර නම්බුකාර විදියට Freelancing කරන විදි කිහිපයක් ගැන තමා මේ ලිපියෙන් කතා වෙන්නේ.

මේ හැම එකකම හොඳ නරක තියෙනවා. හැම එකකම තමන්ගේ හැකියාවට ගැලපීම් නොගැලපීම් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනි දේ තමයි හැමෝටම එක වගේ සල්ලි හොයන්නවත්, Register වෙලා මාසෙකින් Cheque එකක් ගෙන්න ගන්නවත් වෙන්නේ නෑ කියන එක. මේකට ඉවසීම කියන එක අනිවා. ඒ වගේම තමා උත්සාහය අත් නොහැරීම. මම List එක පටන් ගන්නේ අලුතින් ආපු වැඩිය ප්‍රසිද්ධ නැති Platforms වලින්. ඊට පස්සේ ඒවගේ ලක්ෂණ, හොඳ නරක සහ සල්ලි ගෙන්න ගන්න විදි ගැනත් කතා කරනවා. ඔක්කොම කතා කරන්න මේ ලිපිය ප්‍රමාණවත් මදි. පුළුවන් තරම් ගොඩ දා ගමු.

01. eLearning.lk

උගන්නන්න කැමතිද? eLearning.lk වගේ Platforms වලින් Online ඕගොල්ලන්ට කැමති විෂයක් උගන්නන්න පුළුවන්. මේකේ උගන්නන්න සුදුසුකම් පෙන්නන්න ඕනි නෑ. ඔයාට හොඳටම පුළුවන් මොනවද, ඒක උගන්නන්න. Studentsලා කැමති නම් එච්චරයි. මේකත් දුවන්නේ Ratings උඩ තමා. පාඨමාලාවක් අඩුම තරමේ පැයක්වත් දිග වෙන්න ඕනි. එකෙන් 60% video වශයෙන් තියෙන්නත් ඕනි. තව Free Course එකක් තියෙනවා Become a Teacher කියලා. මුලින්ම Student කෙනෙක් හැටියට ලියාපදිංචි වෙලා ඒක කරලා ඉන්න.

ඔබට හොඳට උගන්නන්න පුලුවන්නම් මේක ඉතාම හොඳ ක්‍රමයක්. eLearning.lk සාමාජික ශිෂ්‍ය සංඛ්‍යාව 15,000කට අධිකයි. අපේ පාඨමාලාව අපිටම Price කරන්න පුළුවන්. අපිට ඕනිනම් අපේ පාඨමාලාව 50% OFF නැතනම් 90% OFF වගේ ප්‍රවර්ධනය කරන්නත් eLearning.lk උදවු කරනවා. අපේ පාඨමාලාවකට එන Student කෙනෙකුට මුළු Content එකම පෙන්නනවා. කාලෙන් කාලෙට පාඨමාලාව යාවත්කාලීන කරන්නත් අමතක කරන්න එපා. තව Studentsලා අහන ප්‍රශ්න වලට Forum එකේ උත්තර දෙන්න ඉක්මනටම. ඒකෙන් Ratings වැඩි වෙනවා.

ඒ විතරක් නෙවේ, eLearning.lk හරහා Live Classes කරන්නත් පුලුවන්. මේ හැම දෙයකටම eLearning.lk එකේ Customer Support Center එක ඔයාලාට බොහොම කාර්යක්ෂම විදිහට උදව් කරනවා සහ මග පෙන්වනවා.

විශේෂතා:
* අධ්‍යාපන සුදුසුකම් වැදගත් නෑ. උගන්නන පුළුවන් මොනවද ඒක හරියට කියලා දෙන්න පුලුවන්. හැබැයි Boring වෙන්නෙ නැතුව, එක එක අලුත් උපක්‍රම භාවිතා කරලා, හොඳ Quality එකකට.
* Course එකේ Price එකෙන් 82% අපිට ලැබෙන්නේ (T&C Applied)
* Videos කාටවත් හොරෙන් Download කරන්න බෑ
* ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේද අනුව, හොර කරන්න බැරි විදිහේ Online විභාග පැවැත්වීමේ පහසුකම්
* පැය 18ක අඛන්ඩ Customer Support Service එකක්
* සිසුන්ට සහභාගී වීමේ සහතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විභාග සහතික
* Live Classes වල Meeting Links වෙනත් අය සමඟ Share කරන්න බෑ
* eLearning.lk එකෙන් තල්ලුවක් – Email Campaigns, SMS Campaigns, Social Media Campaigns, Sales Agents, Sales and Marketing Strategies (T&C Applied)
* වෙනත් මුදල් ඉපැයීමේ ක්‍රම – Become a Sales Agents, Become an Expert
* තමන්ගේ ආදායම තමන්ටම පරීක්ෂා කර ගන්න පුලුවන් විශේෂිත Dashboard එකක්
තවත් විශේෂතා >>>
? වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා – 075 6 700 700 (Call) / 075 954 1398 (WhatsApp Messages)

ගෙවීම්:
* එක් විකුණුමකට හිමි මුදල, දවස් 10ක් තුළ, බැංකු ගිණුමට බැර කෙරෙනවා

02. Outsourcely

Outsourcely කියන්නේ හරියට Job Market එකක් වගේ. සේවාදායකයෝ ඇවිත් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය අනුව ජොබ් එකේ විස්තර සටහන් කරනවා. සේවා සපයන්නෝ විදියට අපි ලියාපදිංචි වෙලා ඒවාට Apply කරනවා. මෙතෙන්දි මුලින්ම අපෙන් අහනවා අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. Graphic Design, Web Design, Coding, Data Entry, SEO, Online Research, Personal Secretary වගේ දේවල් සහ Customer Support, Letter Writing වගේ දේවලුත් මේකේ Post වෙනවා. Freelance වලටම වැඩිය Full Time හරි Part Time හරි Job එකක් හොයාගන්න ඕනේ අයට කියාපු Platform එක.

විශේෂතා:
* සාමාන්‍යයෙන් Part Time Job එකකට ඩොලර් 300 වගේ ඉඳන් ගෙවනවා.
* ලියාපදිංචි වෙච්ච වෙලාවේ ඉඳන් Chat Support එකෙන් අපිට ඕනේ ප්‍රශ්නයක් නිරාකරණය කරගන්න පුළුවන් ලේසියෙන්ම.
* Email වලින් අපේ හැකියාවන්ට ගැළපෙන Jobs ගැන Alerts දෙනවා. එහෙම නැත්නම් අපිටත් පුළුවන් ජොබ් ලිස්ට් එක manual browse කරලා apply කරන්න.
* Apply කරනකොට හරියට Job එක ගැන විස්තර බලලා Apply කරන්න. තමන්ව හරියටම Market කරගන්න ඕනි. මොකද තවත් Application 30ක්වත් එක්ක තරඟ කරන්න වෙනවා ඕගොල්ලන්ට.


Click on the Image

ගෙවීම්:
* සේවාදායකයා එයා ගෙවන ගාන දාලා තියෙනවා. එහෙම දාලා නැත්නම් සුදුසු ගාණක් දාන්න. පලවෙනි Job එක නම් ටිකක් අඩු ගාණක් දැම්මට කමක් නෑ. හැබැයි Undercut කරන්න යන්න එපා ඕනෙවට වැඩිය. Programming වගේනම් වැඩිය ගන්න පුළුවන්.
* Oursourcely හරහා නෙමෙයි ගෙවීම් වෙන්නේ. ඒක අපි Customer එක්ක කතා කර ගන්න ඕනි. Bank එකට එවනවද, Payoneerද, නැත්නම් Skrillද කියන එක.

03. Iwriter.com

ගොඩක් හොඳට Articles ලියන්න පුලුවන් නම් ඉංග්‍රීසියෙන්, මේක තමා හොඳම තැන. හැබැයි Standard Level ලියන්නෙක් නම් දැනෙන ගාණක් හම්බ කරන්න ගොඩක් මහන්සි වෙන්න ඕනි. iWriter එකට සේවාදායකයෝ ඇවිත් මොන වගේ ලිපියක්ද උවමනා කියල කියනවා. ඒවගේ වචන ප්‍රමාණය, මාතෘකාව, සමහර මූලාශ්‍රර, Keywords සහ Tone එක මොකක්ද කියලත් කියනවා. Tone එක කියන්නේ ලිපිය Friendlyද නැත්නම් Professional විදියට ලියන්න ඕනිද කියන එක. උදාහරණයක් විදියට මේ ලිපිය Friendly Tone එකෙන් ලියලා තියෙන්නේ.

ලිපියක් Job Board එකට වැටුනම අපිට පුළුවන් ඒක ලියන්න ගන්න. අපි ඒක ලියන්න ගත්තම වෙන කෙනෙකුට ලියන්න ගන්න බැරි වෙන්න Block වෙනවා.

ඉක්මනටම Publish වෙන Jobs ලබාගන්න ඕනි. නැත්නම් වෙන කෙනෙක් ඒක ලියන්න ගන්න පුළුවන්. හැබැයි තමන් දන්න දෙයක් ලියන්න ගන්න. නොදන්න මාතෘකා ලියන්න ගිහින් Rating එක අඩු කරගන්න එපා. මොකද ඕගොල්ලන්ට Standard Level එකේ ඉඳන් Premium Level එකට පනින්න ලිපි 30ක් ලියලා ඒවා Star Rating එකේ 4ක් හෝ ඊට වැඩිය ගන්න ඕනි. 4.5 පැන්නුවොත් කෙලින්ම Elite Level එකට යන්න පුළුවන්. මේ උඩ Levels වලදී හොඳට ගෙවනවා.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

විශේෂතා:
* ලිපි ලිවීම පමණයි.
* ඉක්මනට සල්ලි හොයන්න පටන් ගන්න පුළුවන්.
* ගෙවීම් මුලදී මදි උනත් පස්සේ හොඳට හොයන්න පුළුවන්.
* අපිටත් පුළුවන් සේවාදායකයා Rate කරන්න. ඒක හරි වැදගත්.
* සමහර වෙලාවට අපි හොඳට ලියුවත් සේවාදායකයට පුළුවන් Reject කරන්න. ඒකට කරන්න දෙයක් නෑ. කැමතිනම් ආයිත් ලියලා දෙන්න පුළුවන්. නැත්නම් ඒක අතැරලා වෙන එකක් ලියන්න පුළුවන්. Reject උනාම Ratings වලට බලපෑමක් නෑ.
* ඔක්කොම ලිපි Copyscape Filter එකකින් යනවා. ඒක හින්දා Copy Paste කරන්න නම් එපා (Zero Plagiarism).

ගෙවීම්:
* වෙලාවට ගෙවනවා.

04. Stock Images
මේ අවස්ථාව තියෙන්නේ අපේ රටේ තවත් ජනප්‍රිය විනෝදාංශයක් වගේම අදායම් මාර්ගයක් වන ඡායාරූපකරණය කරන අයට. Shutterstock කියන්නේ එක site එකක් විතරයි. තව මේ වගේ Sites ගොඩක් තියෙනවා.

ලංකාවෙත් Picture.lk කියල Site එකක් තියෙනවා.

ඕගොල්ලන්ට හොඳ හැකියාවක් තියෙනවනම් Photography වලට, යාළුවෙක්ගෙන් හරි ටිකක් හොඳ මට්ටමේ කැමරාවක් ඉල්ලගෙන අදම පටන් ගන්න. iPhone 5 වලින් පස්සේ Versions වල Camera එකත් හොඳයි මේ වැඩේට. හොඳ නිර්මාණශීලි ඇහැක්, Lighting ගැන පොඩි දැනුමක්, Color Correction, Brightness, Contrast සහ Photo Editing වල දැනුම තියෙනව නම් මේක හොඳම විදියක් සල්ලි හොයන්න.

ගොඩක්ම ඉල්ලුමක් තියෙන්නේ අපේ රටට, පරිසරයට, සංස්කෘතියට අදාල දේවල් වලට. මොකද සුදු ජාතිකයෝ අතට අත දෙන Photos ගහල දැන් වැඩක් නෑ. පුළුවන් තරම් ලංකාවේ වටිනාකම පෙන්වන ඒවා තමා ඕනෙ. තව Abstract Art කියන්නෙත් සැහෙන ජනප්‍රිය දෙයක්. පින්තුර විතරක් නෙමේ. 4K videos වලටත් සැහෙන ඉල්ලුමක් තියෙනවා. විනාඩි 1-2 පොඩි පොඩි Clips තමයි මෙතන කතා වෙන්නේ. උදාහරණයක් විදියට වැවක වතුර හෙල්ලෙන හැටි. මද සුළගේ ගස් යටින් බයිසිකල් පදින ළමයි, කොළඹ රාත්‍රියට පහන් දල්වාගෙන යන වාහන පෝලිම් වගේ ඒවා.

හැබැයි Photos ගන්නකොට ඒවාට පෙනී ඉන්න අයගෙන්, ස්ථාන වලින් ලිඛිත අවසර ගත් බවට සාක්ෂි තියා ගන්න ඕනි. මේ වෙබ් අඩවි වලින් ඒවා ඉල්ලනවා. ගොඩක් වෙලාවට පුද්ගලයෝ ඉන්නව නම් තමයි ඉල්ලන්නේ. හැම තැනම වගේ පින්තුර Upload කරද්දී පිළිපදින්න ඕනේ නීති රෙගුලාසි තියෙනවා. ඒවා කියවලා තමා වැඩේට බහින්න ඕනි.


Click on the Image

විශේෂතා:
* පින්තුර සහ Video Clips පමණයි.
* අපේ පින්තුර වලට හොඳ ප්‍රචාරයක් ලබා දෙනවා Google Images හරහා.
* අපේ පින්තුර හොරෙන් පාවිච්චි කරන අයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න එකත් ඒගොල්ලෝ කරලා සමහර වෙලාවට දඩත් අය කරලා දීපු අවස්ථා තියෙනවා.
* ලියාපදිංචි වෙද්දී මුලින්ම අපේ පින්තුර වල තත්වය පරික්ෂා කරලා බලලා තමා ඒගොල්ලෝ අපිව ඇතුළට ගන්නේ. පොඩි විභාගයක් වගේ. ඒක සමත් වීම අනිවා.
* පින්තුර ගන්න විදිය සහ මොනවද හොඳ ඉල්ලුමක් තියෙන මාතෘකා ගැන වැඩමුළු, ලිපි සහ Video ලබා දෙනවා.
* ලියාපදිංචි වෙද්දී අපේ අනන්‍යතාවය තහවුරු කරන්න ඕනි Driving License එකේ හරි NIC එකේ හරි පිටපතක් යවලා.

ගෙවීම්:
* පටන් ගන්නේ පොඩි ගානක් වගේ තමයි.
* හැබැයි මේ පින්තුර වල අයිතිය (Copyright) තාමත් තියෙන්නේ ඔයාට.
* අපි දෙන්නේ වෙන කෙනෙකුට මේ පින්තුරේ පාවිච්චි කරන්න තාවකාලික අවසරයක් විතරයි (License).
* ඒ වගේම පින්තුරේ හොඳනම් ඒක නැවත නැවත ඕනේ තරම් විකිණෙයි.
* සමහර Websites විකිණුම් මුදලෙන් 25%-30% වගෙත් ලබා දෙනවා.
* Shutterstock සල්ලි එවන්නෙ Paypal, Skrill වගේම තැපෑලෙන් එන Cheque පතකින්.
* Photodune වගේ sites අපිටම අවස්ථාව දෙනවා Pricing තීරණය කරන්න. හැබැයි ගිනි ගණන් දාලා Sales නෑ කියලා අඩනවා එහෙම නෙවේ ඕන්.
* මේකෙන් සල්ලි ගෙන්න ගන්න හොඳම විදිය තමා Bank Transfer පහසුකම. හැබැයි ඩොලර් 500ක් එකතු වෙනකම් ඉන්න වෙනවා.
* Adobe Stock කියන්නෙත් මේ වගේ තවත් සේවාවක්.

05. User Testing

User Testing කියන්නේ ඕනෙම භාණ්ඩයක් හෝ සේවාවක් ගැන ඒක අවසානයේ පාවිච්චි කරන කෙනා දරන අදහස කලින්ම විමසා බැලීම. ඔක්කොම මෘදුකාංග, වෙබ් Sites, Mobile Apps සහ වෙළඳ දැන්වීම් ඇතුළු සැහෙන දේවල් ප්‍රමාණයක් ගැන End User මොකද හිතන්නේ කියන එක දැන ගන්න පුළුවන් මේ ක්‍රමයට. හැම ව්‍යාපාරයක්ම කළ යුතුම, එහෙත් අඩුවෙන්ම සිද්ධවෙන දෙයක් තමයි User Testing. ඔගොල්ලන්ගෙන් කිසිම තාක්ෂණික දැනුමක් බලාපොරොත්තු වෙන්නේ නැති එක වාසියක්. මොකද ඒගොල්ලන්ට ඕනේ ඒගොල්ලන්ගේ අදහස හෝ Design එක ගැන සාමාන්‍ය කෙනෙක් දරන අදහස මොකක්ද කියලා විතරයි.

User Testing කරන්න පුළුවන් Sites කීපයක්ම තියෙනවා. ලියාපදිංචි උනාම ඒගොල්ලන්ගේ මෘදුකාංගයක් භාගත කරලා Install කරගන්න ඕනි. ඊට පස්සේ ඒක හරහා පළමුවෙනි අදහස් දැක්වීම කරලා Upload කරන්න වෙනවා. ඒගොල්ලෝ පෙන්නන ප්‍රශ්න ශබ්ද නගා කියවලා ඒවාට උත්තර දෙන්නත් ඕනි. ඒක බලලා තමා ඕගොල්ලන්ගේ ගිණුම සක්‍රීය කරන්නේ ඉස්සරහට වැඩ කරගෙන යන්න. මේකට හොඳ ඉංග්‍රීසි කතා කීරීමේ හැකියාව වගේම හොඳ Internet සම්බන්ධතාවයක් අත්‍යවශයි. User Testing Sites ගොඩක් ලංකාවට සේවා සපයන්නේ නෑ වගේම මෙහෙන් සේවා ලබා ගන්නෙත් නෑ.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

විශේෂතා:
* හොඳ ඉංග්‍රීසි දැනුමක් හා Internet සම්බන්ධතාවයක් පමණයි අවශ්‍ය. කිසිම තාක්ෂණික දැනුමක් අවශ්‍ය නෑ.
* Jobs, Emails වලින් තමයි Alert වෙන්නේ. විනාඩි 5ක් ඇතුළත Accept නොකළොත් වෙන කෙනෙක් ඒක ගන්න ඉඩ තියෙනවා.
* මේ කාර්යය වෙනත් සේවා ඇතුලේ උනත් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ ගැන පසුවට…

ගෙවීම්:
* සාමාන්‍යයෙන් විනාඩි 5-6ක Test එකකට ඩොලර් 5ක් වගේ ගෙවනවා.
* PayPal තමා බොහෝ වෙලාවට.
* කෝකටත් මේවගේ ගොඩක් සේවාවන් තියෙන නිසා හැම එකකම Register වෙලා බලන්න. මට වඩා යමක් ඕගොල්ලන් හොයාගත්තොත් Comment කරන්න අමතක කරන්න එපා.

06. Envato

ලංකාවේ වැඩි දෙනෙක් නොදන්න, ඒත් දන්න ටික දෙනා හොඳට හොයන Platform එකක් තමයි මේ. Envato කියන්නේ වෙළඳපොළක්. ඒකෙ එක එක විදියේ Platforms වල එකතුවක් තියෙනවා. මගේ හිතවතෙක් සති හතරක් එක දිගට මහන්සි වෙලා වැඩ කරලා අවුරුදු 3ක් ඇතුළත ඩොලර් 50,000+ වැඩිය හෙව්වා. ඔව්, ඔයා ඒක කියෙව්වා හරි. ඩොලර් 50,000ක්. ඕගොල්ලන්ට තියෙන IT Related දක්ෂතා, Photography සහ Music හැකියාවන් මෙහිදී ප්‍රයෝජනවත් වෙනවා.

Envato එකේ Themeforest, Codecanyon, Videohive, Audiojungle, Graphicriver, Photodune සහ 3docean කියලා වෙන වෙනම වෙළදපොළවල් තියෙනවා. Author කෙනෙක් හැටියට එකක Register උනාම අනික් ඕනි එකකට Access හම්බවෙනවා.

Themeforest කියන්නේ ඕගොල්ලන්ට හොඳ නිර්මාණශීලී විදියට සහ Standard විදියට Website Templates හදල විකුනන්න පුළුවන් තැනක්. WordPress, Drupal, Joomla, Magento, Opencart වගේ එකී මෙකී නොකී Platforms ගණනාවකට Templates මෙතන අලෙවි වෙනවා.හැබැයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන තත්වයට Template එකක් හදනවා කියන්නේ හරිම ආමාරු වැඩක්. සුපිරි වැඩකාරයෙක් වෙන්න ඕනි එක පාරින් Template එකක් Approve වෙන්න. කොහොමත් අපිටත් 3-4 පාරක් වැරදි හද හද Resubmit කරන්න උනා වැඩේ ගොඩ දාගන්න. Approval Process එක ගැන මෙතනින් කියවන්න.

මේ ටිකම තමා අනික් Envato Platforms ගැනත් කියන්න තියෙන්නේ. කොහොම උනත් After Sales Service එකයි, Item එකේ තත්වයයි හොඳ නැත්නම් මෙතන අනාගතයක් නෑ.

Codecanyon කියන්නේ Progammersලගේ වැඩ පෙන්නන්න තියෙන තැන. ඕනෙම පරිගණක භාෂාවකින් ලියපු Software එකක්, Plugin එකක් හෝ Script එකක් අනික් අයට වැඩක් වෙයි කියලා හිතෙනවනම් මේකේ List කරන්න. හැබැයි වැඩ කරන Demo එකක් දාන්නත් අමතක කරන්න එපා. තව පටන් ගනිද්දී අතින් ගෙවලා හරි වෙන Account එකකින් 4/5 star Rating එකක් දාගන්න.

Videohive කියන්නේ Video Editing කට්ටියට හදපු වෙළඳපොල. මේකේ After-Effects, Vegas වගේ මෘදුකාංග වලට Plugins, Lower Thirds, Clips, Effects, සහ Templates හදලා විකුනන්න පුළුවන්.

AudioJungle කියන්නේ Music Tracks, Jingles සහ Sound Effects හදන්න පුළුවන් අයට ඒගොල්ලන්ගේ නිර්මාණ විකුණන්න පුළුවන් තැනක්.

Graphicriver කියන්නෙ ගොඩක්ම Photoshop, Illustrator වගේ ඒවා භාවිතා කරලා හදන ඕනිම දෙයක් ගන්න තියෙන තැන. Business Cards ඉඳන් Presentation දක්වා ඕනි එකක්. හැබැයි ඉතින් තමන්ගේම Original නිර්මාණ වෙන්න ඕනි. ඒ වගේම තමා Quality එක. ඒ තත්වයට හදන්න බැරි නම් වෙලාව නාස්ති කරන්න එපා. පුරුදු වෙලා එන්න.

Photodune ගැන අපි උඩත් කතා කළා.පින්තුර විකුනන්න පුළුවන් මෙතනින්.

3Dcoean කියන්නේ Maya/StudioMax වගේ ඒවාට Textures, Models හදලා දාන්න පුළුවන් තැනක්.

විශේෂතා:
* විවිධ අංශ වලට අයත් අයට කෙලින්ම ඒගොල්ලන්ගේ Items විකුණන්න පුළුවන්.
* අලුතෙන් එන කෙනෙකුට උනත් වැඩ හොඳ නම් සල්ලි හොයන්න සමාන අවස්ථාව තියෙනවා.
* කාලෙන් කාලෙට තරග තියලා සැළකිය යුතු මුදල් ත්‍යාග ලබා දෙනවා.
* සැහෙන Support Community එකක් ඉන්නවා.
* දැනට ඕගොල්ලෝ සේවාදායකයන්ට කරන Projects පොඩ්ඩක් වෙනස් කරලා මේකට දාන්න.
* Review process එක ලේසි නෑ.

ගෙවීම්:
* අපේ Item එකේ Price එකෙන් 50% හම්බවෙන්නේ. අපේ Rank එක වැඩි වෙන්න වෙන්න ලැබෙන Cut එකත් වැඩියි.
* Bank Transfer, Skrill, Payoneer සහ Paypal වගේ ගොඩක් විදි තියෙනවා සල්ලි ගෙන්න ගන්න. මම නම් නිර්දේශ කරන්නේ Bank Transfer ක්‍රමය. හැබැයි ඩොලර් 500ක් පිරෙනකම් ඉන්න ඕනි.
* Author කෙනෙක් විදියට ලියාපදිංචි වෙන්න Forms ගොඩක් පුවරන්න තියෙනවා.
* අපේ නිරීක්ෂණ වල හැටියට Envato තමා මේ ඔක්කොගෙන්ම වැඩිම මුදල් ඉපයීමේ හැකියාවක් තියෙන Platform එක. හැබැයි Quality එක, Support එක සහ නිර්මාණශීලීත්වය සැහෙන වැදගත්.

07. Fiverr

අවිවාදයෙන් තොරව ලංකාවේ වැඩිම දෙනෙක් භාවිතා කරන Platform එක. මේකේ සාමාන්‍යයෙන් වැඩකට ගෙවන්නේ ඩොලර් 5යි. ඒ හින්දා පැයක් ඇතුළත කරන්න පුළුවන් වැඩක් තමා List කරන්න ඕනි ලාභයක් ගන්න නම්. හැබැයි සේවාදායකයා කැමති නම් හෝ Package එකක් විදියට දුන්නොත් ඕනේ තරම් හොයන්න පුළුවන් (Fiverr දීල තියෙනවා Package හදන්න පහසුකම්). සීමාවක් නෑ. Review Process එකක් ඇත්තෙම නැති තරම්. හැබැයි Rating System එක ප්‍රබලයි. Ratings අනුව තමා තීරණය වෙන්නේ කොච්චර දුරට අපි Search Results වල පේනවද, සේවාදායකයන්ට අපිව නිර්දේශ වෙනවද කියන එක. ඒක හින්ද මුල් කාලේ කොන්ද කඩාගෙන වැඩ කරන්න වෙනවා හොඳ Rating ටිකක් ගන්න.

Fiverr ප්‍රමුඛත්වය දෙන්නේ Buyerට (සේවාදායකයට). Complain යන්නේ නැතුව වැඩේ ගොඩින් බේරගන්න බලන්න. එක Job එකකින් නැතිවෙන එක වෙන Job එකකින් අල්ලන්න පුළුවන්. Top Rated Seller කෙනෙක් උනොත් රැකියාවෙන් අයින් වෙලා සම්පූර්ණ කාලය Fiverr වලට යොදන්න. පාඩුවක් වෙන්නේ නෑ.

මේකේ ඕනෙම දෙයක් කරන්න පුළුවන්. Data Entry වල ඉඳන් පොල් ගහකට නැගලා පොල් ගෙඩියක් කඩන එක දක්වා සියලුම දේ. විශ්වාස නැද්ද? මේක බලන්න.

හඳහන් බැලීම, අවවාද දීම, ගණකාධිකරණය, නීති උපදෙස් වල ඉඳන් වෙබ් නිර්මාණකරණය, ලිපි ලිවීම, අලෙවිකරණය, User Testings, සිංදු කීම වගේ ඕනෙම එකකින් සල්ලි හොයන්න පුළුවන්.

හැබැයි ඉවසීම සෑහෙන වැදගත්. ලියාපදිංචි වෙලා Gig එකක් දැම්ම පමණින් Jobs එන්නේනෑ. සමහර වෙලාවට පළවෙනි Job එක එන්න මාස 3ක් වගෙත් යනවා. Rating වැඩි උනාම කරගන්න බැරි තරම් එනවා.

විශේෂතා:
* පොඩි පොඩි වැඩ කරලා සල්ලි හොයන්න පුළුවන්
* හැමවිටම සේවාදායකයා හරි කියන තැන ඉඳන් වැඩ කරන්න
* අපි වෙනුවෙන් Fiverr, Marketing කරලා දෙනවා
* ලොකු ඉංග්‍රීසි දැනුමක් ඕනි නෑ
* තරගකාරීත්වය සැහෙන වැඩියි. Indiansලා ගොඩක් ඉතා අඩු මුදලට ලොකු දේවල් කරලා දෙනවා
* තමන්ටම අවේණික වූ දේවල් කරන්න
* හරියට Gig පිටුවේ විස්තර ටික දාන්න හිත ඇදිලා යන විදියට
* අපි මේ ලිපියේ කියපු/නොකියපු අනික් platforms වලින් එන Jobs, Fiverr එකට දාලා අතරමැදියෙක් විදියට වැඩ කරන්නත් පුළුවන් කැමති නම්

ගෙවීම්:
* Fiverr 25%ක් තියා ගන්නවා ඒගොල්ලන්ගේ ගාස්තු විදියට.
* Skrill, Bank Transfer, Payoneer සහ Paypal වලින් මුදල් ගෙන්වාගන්න පුළුවන්.
* පොඩි ගානක් උනත් ගෙන්න ගන්න පුළුවන්. හැබැයි සල්ලි එවන්නත් පොඩි ගානක් කපා ගන්නවා. ඩොලර් 1-5 දක්වා වගේ.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

තවත් මම නොකියපු Platforms සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒවා ගැනත් ඉදිරියේදී ලියන්නම් ප්‍රතිචාර බලලා. පිළිගත් සමීක්ෂණයකින් (ICTA) හෙළිවෙලා තියෙනවා ලංකාවේ Online Freelancing කරන අය 22,000+ ඉන්නවා කියලා. ඒගොල්ලන්ගෙන් අවුරුද්දකට විදේශ විනිමය ඇමෙරිකානු ඩොලර් මිලියන 14ක් වගේ ගේනවා. අපිට මේ ගාණ සැහෙන වැඩි කරගන්න පුළුවන් හරියට අපේ කට්ටිය දැනුවත් කරලා මග පෙන්නුවානම්.

මොකද ලංකාවේ මොන වැරදි තිබුණත් අපේ මිනිස්සුන්ගේ තියෙන නිර්මාණශීලීත්වය ලෝකේ කාටවත් දෙවෙනි නෑ. ඒ සඳහා ගත්ත සුළු වෑයමක් මේ ලිපිය. Share කරලා දැනුවත් කරන්න යාලුවන්ව. ඉදිරි ලිපි වලින් මේ හා සම්බන්ධ විවිද දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

02 වන කොටසට මෙතනින් >>>

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.