බටහිරට පාරාවළල්ලක් වූ සම්බාධක
යුක්‍රේනයේ ගැටුම් අරභයා රුසියාවට එරෙහිව බටහිර රටවල් විසින් දියත් කරන ලද සම්බාධකවලින් බලාපොරොත්තු වූයේ රුසියාවේ ආර්ථිකය බිඳවැට්ටීම මගින් යුද්ධමය මෙහෙයුම් නැවැත්වීම සඳහා බලපෑම් කිරීමයි. කෙසේ වෙතත් මාස කිහිපයක ඇවෑමෙන් මතුව ඇත්තේ එකළ අපේක්ෂා නොකළ ආකාරයේ තත්ත්වයක් බව පෙනීගොස් තිබෙනවා. වර්තමානය වනවිට යුරෝපයේ රටවල් බලශක්ති අර්බුදයක් කරා ගමන් කරමින් සිටින අතර ඒ සමගම ආර්ථික අර්බුදයක් ද මතුවෙමින් පවතිනවා. ඒ සමගම දේශපාලන අර්බුද ද මතුවීමේ අවස්ථාව මතුව තිබෙනවා.
බටහිර රටවල් සමග වූ ආර්ථික සබඳතා බිඳවැටෙද්දී රුසියාව පෙරදිග දෙසට වැඩිපුර නැඹුරු වීමට පටන් ගෙන තිබෙනවා. රුසියානු රූබලය ද ශක්තිමත්ව ඇති අතර ඩොලර්වලට විකල්ප සෙවීම පිළිබඳව ද එරට යම් යම් ඉඟි පළකරමින් සිටිනවා. යුක්‍රේනයේ සටන් දිගටම පවතින අතර රුසියාවේ අවසන් අරමුණු පිළිබඳ තවමත් ඇත්තේ අවිනිශ්චිතභාවයක්.
@elearninglk
බලශක්ති ගැටළුව
යුරෝපයේ අර්බුදයට මූලිකවම හේතු වී ඇත්තේ එම රටවල්වලට බලපාන බලශක්ති අර්බුදය යි. 2020 වසරේදී ද යුරෝපය තම ස්වාභාවික ගෑස් අවශ්‍යතාවයෙන් සියයට 42 ක් සපයාගන්නා ලද්දේ රුසියාවෙනුයි. රුසියාවේ ගෑස් සැපයුම අඩුවීම හෝ නවතාදැමීම හෝ හේතුවෙන් මතුවන හිඟය පියවාගැනීමට යුරෝපයට කෙටිකාලීන විසඳුමක් නැහැ.
මෙය ඇත්තෙන්ම ඛනිජතෙල් සැපයීම පිළිබඳ වන ප්‍රශ්නයටත් වඩා වැඩි අර්බුදයක් වනවා. ඊට හේතුව වන්නේ, රුසියාව දෙසින් වැටී ඇති නළ මාර්ග තරම් අනෙක් මාර්ගවලින් ගෑස් නළ මාර්ග නොමැති වීමයි. ඇමරිකාවෙන් LNG ගෙන්වූවද ඒවා ප්‍රමාණවත් ලෙස බෙදාහැරීම අභියෝගයක් වනවා. රුසියාවෙන් ලැබෙන ගෑස්වලට විකල්පයක් ලෙස LNG ප්‍රමාණවත් නොවන බව 2021 දී ම “ද ඉකොනොමිස්ට්” සඟරාව විසින් අනතුරු අඟවා තිබුණා.
යුරෝපයේ බලශක්ති උද්ධමනය සියයට 40 ද ඉක්මවා තිබූ බව මෑතකදී ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම මේ තවමත් ගෙවෙන්නේ ගිම්හාන සමයයි. සීත කාලය එළඹෙන විට යුරෝපය දැඩි අර්බුදයක් කරා ගමන් කිරීමේ අවකාශයක් තිබෙනවා.
රූබලය ශක්තිමත් වීම
ආර්ථික සම්බාධක පනවන අතරවාරයේ එක් අවස්ථාවක ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කළේ ඔවුන් රුසියානු රූබලය සුන්බුන් ගොඩක් බවට පත්කරන බවයි. නමුත් මේ වනවිට සිදුව ඇත්තේ ඊට වඩා වෙනස්ම තත්ත්වයක්. බොහෝ රටවල මුදල් ඒකක ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව පහළ වැටෙද්දී රුසියානු රූබලය සාර්ථක ලෙස හිස ඔසවාගෙන සිටිනවා. එහි වටිනාකම ඇත්තෙන්ම සැලකියයුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. 2022 පෙබරවාරියේදී ඩොලරයක් සඳහා රූබල් 85 ක් ලැබුණ ද අද වනවිට එම අගය රූබල් 62 ක් පමණ වනවා. සති කිහිපයකට පෙර මෙම අගය රූබල් 53 ක් වැනි අගයකට පවා පහළ වැටුණා.
රූබලය මෙසේ ශක්තිමත් වීමට බලපෑ ප්‍රධාන කරුණු කිහිපයක් වුණා. විදේශ සමග ගනුදෙනු කරන සමාගම්වලට සිය ආදායමෙන් සියයට 80 ක් රුසියාවෙ රඳවන ලෙස නියම කිරීම එක් හේතුවක් බවයි සඳහන් වුණේ. රුසියාවට එරෙහිව සම්බාධක පැනවූ රටවල්වලට ගෑස් ලබාදීමේදී රූබල්වලින් ගෙවන ලෙස නියම කිරීම තවත් ප්‍රබල හේතුවක් වුණා.
මුලින් රුසියානු ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව යුරෝපයේ බොහෝ රටවල් කීව ද ඔවුන්ට වෙන විකල්පයක් ද වූයේ නැහැ. තව ද රුසියාව විසින් ආනයන අඩු කිරීම ද රූබලය ශක්තිමත් වීමට හේතු වුණා.
ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ ගිය හෙයින්, වෙනදා තරම් තෙල් සහ ගෑස් අලෙවි නොකළත් වෙනදාට වඩා ආදායමක් ලබාගැනීමට රුසියාවට හැකිවී තිබෙනවා. එමෙන්ම චීනය සමග බලශක්ති ගනුදෙනු වැඩි කිරීම ද රුසියාවට වාසිදායක වී තිබෙනවා.
ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් ලෝක මූල්‍ය ක්‍රමය හසුරවන හෙයින් තමන්ට එරෙහි ස්ථාවර ගන්නා රටවල් මත සම්බාධක පැනවීමෙන් බලපෑම් කිරීමට උත්සාහ කරනවා. රුසියාවේ සිද්ධියත් සමග මේ පිළිබඳ වැඩි කතාබහක් නිර්මාණය වූ අතර ඩොලරයට විකල්ප ගැන ද වෙනදාට වඩා සාකච්ඡා කෙරෙන්නට පටන් ගෙන තිබෙනවා.
ඩොලරයට විකල්ප මූල්‍ය ඒකකයක් පිළිබඳ රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් පසුගිය දා රටවල රාජ්‍ය නායක හමුවේදී අදහස් දැක්වූවා. මේ අතර ජූලි මස අවසානයේදී ෂැංහයි සහයෝගීතා සංවිධානයේ විදේශ අමාත්‍ය හමුවට පැමිණි රුසියානු විදේශ අමාත්‍ය සර්ගේයි ලැව්රොෆ් ද තම සාමාජික රටවල් අතර ඒ ඒ රටවල මුදල් ඒකක යොදාගෙන ගනුදෙනු කිරීම පිළිබඳ අදහස් දක්වා සිටියා.
ඉන්දියාව ද සිය රුපියල් යොදාගෙන ජාත්‍යන්තර ගනුදෙනු සිදුකිරීමේ අවස්ථාව ලබාදී තිබෙනවා. එයට මූලික හේතුවක් වූයේ රුසියාව සමග ඩොලර්වලින් ගනුදෙනු කිරීමේ අපහසුවයි. එමෙන්ම සම්බාධක හේතුවෙන් රුසියාවට බටහිරින් නොලැබෙන ඖෂධ, රෙදිපිළි ආදිය එරටට යැවීමට ඉන්දියාව බලාපොරොත්තු වනවා.
සම්බාධක ගැන සම්බාධක
කෙසේ වෙතත් බටහිර රටවල දේශපාලකයන් සම්බාධක පිළිබඳ තවදුරටත් කරුණු දක්වමින් ඒ සඳහා පෙනී සිටින බවත්, සම්බාධක අසාර්ථක යයි කිසිවකු හෝ තර්ක කළහොත් ඔහු හෝ ඇය හෝ පුටින් වෙනුවෙන් පෙනී සිටින්නේ යයි හංවඩු ගසන බවත් “ද ගාර්ඩියන්” පුවත්පත වෙනුවෙන් ලිපියක් ලියමින් ප්‍රවීණ මාධ්‍යවේදී සයිමන් ජෙන්කින්ස් පෙන්වා දුන්නා. දැනට පවතින කොන්සර්වේටිව් පක්ෂ නායකත්ව තරගයේදී ද එම කරුණ දිස්වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
තවදුරටත් ඒ පිළිබඳ අදහස් දක්වන ජෙන්කින්ස් කියා සිටින්නේ සම්බාධක පැනවීමෙන් බොහෝවිට සිදුවන්නේ අදාල රටේ පාලන තන්ත්‍රය තවත් ශක්තිමත් වීම බවයි. 2014 දී ක්‍රිමියානු අර්බුදය අරභයා රුසියාවට පැනවූ සම්බාධක අසාර්ථක වූයේ එම සම්බාධක දුර්වල වූ නිසාවෙන් බව බටහිර දේශපාලකයන් තර්ක කරන බව මතක් කළ ජෙන්කින්ස්, ඔවුන්ට ද රුසියාවට එරෙහි නව සම්බාධක විශාල පාඩමක් විය යුතු යයි පවසනවා.
ඉතිහාසයේ කවරදාකවත් කිසිදු රටකට එරෙහිව පනවන ලද ආර්ථික සම්බාධක සියල්ලටම වඩා බරපතල සම්බාධක පැනවූව ද අදටත් රුසියාව වඩාත් ශක්තිමත්ව සිටින බව ඔහු කියා සිටිනවා. එසේ නම් 2014 දී පැනවූ සම්බාධක අසාර්ථක වූයේ ඒවා දුර්වල වූ නිසාවෙන් යයි පැවසිය හැකිදැයි ඔහු ප්‍රශ්න කර සිටිනවා.
සම්බාධක පිළිබඳ විවාද කිරීමේ විවෘතභාවය යන කරුණට සම්බාධක දමාගතහොත් අනාගතයේදී ද යුරෝපය සහ ඇමරිකාව මේ අයුරින්ම සම්බාධක යුද්ධවල පැටලී බලාපොරොත්තු කඩ කරගැනීමේ ඉඩකඩ තිබෙනවා.