අසිරිමත් සීගිරිය – පළමු කොටස
පසුගිය ලිපි මාලාවන් ඔස්සේ අපි කතා කළා අනුරාධපුරයේ පුරාවිද්‍යාත්මක ස්ථාන සම්බන්ධව. අද අපි අනුරාධපුරයෙන් ටිකක් මිදිලා මාතලේ පැත්තට යනවා. ඒ සීගිරිය ගැන කතා කරන්නයි.
දැන් ගොඩක් අයට ප්‍රශ්නයක් ඇති සීගිරිය අනුරාධපුරයට අයිති නැද්ද කියලා. සීගිරිය අනුරාධපුර රාජධානි සමයට අයිති වුණත්, සීගිරිය ස්ථානයක් විදිහට අයිතිවෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයටයි. ඒක සාමාන්‍යයපෙළ වගේම, උසස්පෙළ ඉතිහාසය හදාරන ගොඩක් දරුවන් වරද්දගන්න කරුණක්.
සීගිරියේ ඉතිහාස කතාව ඔයාලා දැනටමත් දන්නවා… රජකම ලබා ගැනීමේ අරමුණින් තමන්ගේ පියා වුණු ධාතුසේන රජතුමාව ඝාතනය කරන කාශ්‍යප කුමාරයා බලෙන් රාජ්‍යත්වයට පත් වෙලා, නීත්‍යානුකූලව රජකම හිමිවිය යුතු මුගලන් කුමාරයාගෙන් ආරක්ෂා වෙන්න, සීගිරි පර්වතයට ගිහින් සීගිරි බලකොටුව නිර්මාණය කරනවා.
හැබැයි ඉතිහාසඥයන්ගේ මතය, කාශ්‍යප රජතුමා රාජ්‍ය පාලනය කරපු කාලසීමාව තුළ මේ වගේ දැවැන්ත නිර්මාණයක් සම්පූර්ණ වශයෙන්ම ඉදි කරන්න බෑ කියන එකයි. ඒ නිසා සමහර ඉතිහාසඥයන් මතයක් පල කරනවා සීගිරිය නිර්මාණය වෙන්න ඇත්තෙ ධාතුසේන රජතුමාගේ කාල සීමාවේදී කියලා.
තවත් සමහරක් අය මත පල කරනවා, සීගිරිය ඊටත් වඩා සෑහෙන කාලයකට කලින් නිර්මාණය වෙලා, කාශ්‍යප රජතුමාගේ අවධිය වන තෙක් ටිකෙන් ටික සංවර්ධනය වෙමින් තිබුණු ප්‍රදේශයක් කියලා.
කොහොමින් කොහොම හරි දැනට ලැබිලා තියෙන පුරාවිද්‍යාත්මක සාධක සහ කාල නිර්ණයන් අනුව මේ මත දෙකම සත්‍යයක් වෙලා තියෙනවා වගේම, කාශ්‍යප යුගයෙන් පසු අවධි වලට සම්බන්ධ පුරාවිද්‍යාත්මක සාධකත් ලැබිලා තියෙනවා..
@elearninglk
සීගිරිය කිව්වම ගොඩක් අයට මතක් වෙන්නේ දිය අගල් වලින් සමන්විත බලකොටුවක්, එහෙමත් නැත්නම් බිතුසිතුවම් සහ කැටපත් පවුරු සහිත කලාගාරයක්, ඒත් නැත්නම් භූගත උමං මාර්ග ඔස්සේ ඉහළට වතුර ගෙනයන තාක්ෂණයක්. හැබැයි සීගිරිය තවත් අංශ ගණනාවකින් අපට වැදගත් වෙනවා.
ප්‍රධානතම වැදගත්කම තමයි ප්‍රාග් ඓතිහාසික යුගයේ ආදී මානවයින්ගේ ජනාවාස පැවති ප්‍රදේශයක් විදිහට මේ භූමිය පුරාවිද්‍යාත්මක වශයෙන් හෙළිදරව් කර ගැනීම. තවත් වැදගත්කමක් තමයි කාශ්‍යප යුගයට පෙර සහ පසු කාලයන් වල සීගිරි පර්වතය භික්ෂූන් වහන්සේලාගේ ආරාමයක් විදිහට භාවිතා වීම කියන කරුණ. ඒවගේම සීගිරියෙන් කරපු කැණීම් වලින් හොයා ගෙන තියෙන ගණන් කරලා අවසන් කරගන්න බැරි විදේශීය කාසි ප්‍රමාණයන් නිසා සීගිරිය, පෙර රජ දවස අපේ රටේ ලෝක වෙළද මධ්‍යස්ථානය විදිහට භාවිතා වෙන්න ඇති කියලත් මතයක් තියෙනවා.
ඊටත් අමතරව ජනප්‍රවාද කතා අනුව සීගිරි පර්වතය හා බැඳුනු පුලස්ථි, වෙස්සවන, රාවණ වගේ රජවරුන් ගැන ඉතිහාස කතා අපිට අහන්න ලැබෙනවා. ඒත් ඒවා Facts, එහෙමත් නැත්නම් පුරාවිද්‍යාත්මක වශයෙන් මෙතෙක් තහවුරු කරගෙන නෑ.
ඉතින් මේ සෑම ඉතිහාස කතාවක්ම අපි පොඩ්ඩක් පැත්තකින් තියලා, වෙනදා වගේම Facts මත, එහෙමත් නැත්නම් පුරාවිද්‍යා සාධක මත කෙරෙන අධ්‍යයන කටයුතු වලට සූදානම් වෙමු!
සීගිරිය කියන්නේ අක්කර ගණනාවක් ඈතට යනතෙක් විසිරිලා පැතිරිලා තිබෙන ප්‍රදේශයක්. සාමාන්‍යයෙන් පුරාවිද්‍යාඥයන් කියන විදිහට තවමත් සීගිරියේ විධිමත් ලෙස කැණීම් කරලා තියෙන්නෙ 25%ක වගේ ප්‍රදේශයක් විතරයි. 75%ක ප්‍රදේශයක් තවමත් කැණීම් කටයුතු කරන්න ඉතුරු වෙලා තියෙනවා. ඒ කැණීම් කටයුතු කළා නම් අද වෙනකොට ලංකා ඉතිහාසය බොහෝ දුරට වෙනස් වෙන්න ඉඩ තියෙනවා, අපිට හිතාගන්නවත් බැරි විදිහට.
සිංහ පාදය, කැටපත් පවුරු, ජල මල්, බිතු සිතුවම් වගේ දේවල් හැරුණුකොට සීගිරියේ තව ගොඩාක් දේවල් බලන්න තියෙනවා. සීගිරිය හරියට අධ්‍යනය කරනවා නම් ඒ වැඩේ කරන්න සම්පූර්ණ දවසක් වුණත් මදි. ගොඩක් අය පෙළබිලා තියෙන්නෙ සීගිරිය බලද්දි, කිසිම තැනක නතර වෙන්නෙ නැතුව, ප්‍රධාන මාර්ගය දිගේ කෙලින්ම ගිහින්, පඩි පෙළ් ටික නැගගෙන නැගගෙන උඩටම යන්න. ඒ නිසා කොච්චර හොඳට පේන්න තිබ්බත්, සම්ප්‍රදායික සංචාරකයින්ට සීගිරියට සම්බන්ධ ගොඩක් අංග මග හැරෙනවා. ඉතින් ඒ නිසා තමයි අද අපි සීගිරිය ගැන කතා කරන්න හිතුවේ. තවත් කල් වෙලා යවන්නෙ නැතුව අපි බලමු සීගිරියේ අපිට දකින්න ලැබෙන අනිත් අංග මොනවද කියලා.
01. පිට දිය අගල
අපේ රටේ වගේම අනිත් රටවල් වල වුණත් ගොඩක් රාජධානි, මාළිගා නිර්මාණය කරනකොට දිය අගල් වර්ග දෙකක් නිර්මාණය කරනවා. ඒ දෙකෙන් පළවෙනි දිය අගල තමයි පිට දිය අගල කියන්නෙ. පිට දිය අගල නිර්මාණය වෙන්නෙ රාජධානිය හෝ මාළිගාවේ මායිම වටේටයි. මේ තමයි සතුරු ආක්‍රමණයකදී සතුරන්ට හමුවෙන පළවෙනි බාධකය. පිට දිය අගල, සාපේක්ෂ වශයෙන් වැඩි පළලක් අරගන්නවා. සීගිරියේ පිට දිය අගල තරණය කරන්න අපහසු වෙන්න කිඹුල්ලු දාලා තිබ්බා කියලා සැළකෙනවා.
02. ඇතුළු දිය අගල
පිට දිය අගල හරහා යන පාර දිගේ ඉදිරියට යනකොට හමුවෙන්නෙ ඇතුළු දිය අගලයි. එහෙමත් නැත්නම් මීට පෙර සඳහන් කරපු අනිත් දිය අගල් වර්ගයයි. මේ තමයි සතුරු ආක්‍රමණයකදී සතුරොන්ට හමුවෙන දෙවෙනි බාධකය. ඇතුළු දිය අගල, පිට දිය අගලට වඩා පටු වුණත්, විශාල ගැඹුරකින් යුක්ත වෙනවා. හැබැයි මේ දිය අගල්, පර්වතය වටේටම අඛණ්ඩව නිර්මාණය වෙලා නෑ.
03. කුඩා ජල උද්‍යානය (ජල උද්‍යානය 01)
සීගිරියේ පහළ ප්‍රදේශය විවිධ කොටස් වලට බෙදලා තිබෙනවා. ඉන් පළමු වෙනි කොටස තමයි ජල උද්‍යානය කියලා හඳුන්වන්නෙ.
සීගිරි පර්වතය දිහාවට යනකොට අපිට හමු වෙන පළවෙනි ජල උද්‍යානය තමයි කුඩා ජල උද්‍යානය කියන්නෙ. මේ උද්‍යානය නිර්මාණය කරලා තියෙන්නෙ කොටස් පහක ආකෘතියකටයි. ඒ කොටස් අතරෙ ජල ක්‍රීඩා මණ්ඩප, පොකුණු, ජල උද්‍යාන වගේ අංග ඇතුළත්. මේ පොකුණු නොගැඹුරු, සෙමෙන් ගලා යන ජලයෙන් වැසුනු, පතුළු බොරළු හෝ කිරිගරුඩ වලින් නිර්මාණය කරපු පොකුණුයි.
මේ උද්‍යානයේ අංග එකම කාලයක නිර්මාණය වුණු දේවල් නෙවේ. පෙළක් අංග 5 වන සියවසේ අග භාගයේදී නිර්මාණය කරපුවා. තවත් ඒවා 10 වන සහ 13 වන සියවස් අතර කාලයේදී නිර්මාණය කරපුවා. හැබැයි තවමත් මේ උද්‍යානයේ කැණීම් කටයුතු සම්පූර්ණ වශයෙන්ම නිම කරලා නෑ.
04. ත්‍රිත්ව දොරටුව
තවත් ඉදිරියට යනකොට අපිට හමුවෙනවා ත්‍රිත්ව දොරටුව. සීගිරි පර්වතයට යන හැමෝම මේ දොරටුවෙන් ඇතුළ් වුණත්, මේ දොරටුව ළග නතර වෙලා මේක අධ්‍යනය කරන කෙනෙක් නැතිම තරම්.
මෙතන ප්‍රධාන දොරටුවක් සහ ඒ දොරටුව දෙපස පරිවාර දොරටු දෙකක නටබුන් දැකගන්න පුලුවන්.
05. පැරණි කපරාරුව
ඊළගට අපිට දකුණු පැත්තෙන් පඩිපෙළක් හමුවෙනවා. එතනින් උඩට නැග්ගොත් පැරණි කපරාරු බිත්තියක් දැක ගන්න පුලුවන්. මේක ගැන නම් වැඩි විස්තරයක් කොහෙවත් නෑ.
06. ජල උද්‍යානය – 02
සීගිරි පර්වතය දිහාවට යන ගමනේදී අපිට දෙවනියට මුණ ගැහෙන ජල උද්‍යානය නම් කරලා තිබෙන්නේ ජල උද්‍යානය අංක 02 කියලයි. මේ ජල උද්‍යානයේ ජල මල් හතරක් දැක ගන්න පුලුවන්.
මේ ජල මල් හතර ටිකක් විතර ප්‍රසිද්ධයි. මොකද මේ ජල මල් හතරට ජලය සැපයෙන්නේ භූගත ජල කාණු තුළින්. අදටත් වර්ෂාව සහිත අවස්ථා වලදී, මේ ජල මල් ක්‍රියාත්මක වෙනවා.
07. ජල උද්‍යානය – 03
මීටත් පස්සෙ හමු වෙන ජල උද්‍යානය තමයි ජල උද්‍යානය – 03 කියලා හඳුන්වන්නෙ. මේ ප්‍රදේශයේ පොකුණු දෙකක් දැකගන්න පුලුවන්. එක පොකුණක් අටපට්ටමක හැඩයක් අරගන්න අතරෙ අනිත් පොකුණ L හැඩයේ ස්වරූපයක් අරගන්නවා.
කුඩා පර්වතයකට සම්බන්ධ කරලා නිර්මාණය කරලා තිබෙන අටපට්ටම් පොකුණේ ශෛලමය පිය ගැටපෙළක් දැක ගන්න පුලුවන්.
08. චෛත්‍යය
ජල උද්‍යාන කොටසට පස්සෙ අපි ළගා වෙන්නෙ ශිලා උද්‍යන කොටසටයි. මේ ප්‍රදේශය ස්වභාවික පර්වත බහුල ප්‍රදේශයක් නිසා තමයි මේ නම වැටිලා තියෙන්නෙ. දැනට සීගිරියේ සිදු කරලා තියෙන පුරාවිද්‍යාත්මක කැණීම් වලින් සොයාගෙන තියෙන පැරණිතම පුරාවිද්‍යාත්මක සාධක සොයාගෙන තියෙන්නෙ ශිලා උද්‍යානය ආශ්‍රිත ප්‍රදේශයෙන්.
මීට හොඳම උදාහරණය තමයි මේ ආශ්‍රිත ප්‍රදේශයෙන් සොයා ගත් වසර 6000ක් තරම් පැරණි ප්‍රාග් ඓතිහාසික ජනාවාස පිළිබඳ සාධක.
ඊටත් අමතරව ක්‍රි.පූ 3 වන සියවසේදී මේ ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වුණු ආරාම සංකීර්ණයක සාධකත් හොයාගෙන තියෙනවා. ජල උද්‍යානය පහු කරනවත් එක්කම දකුණු පැත්තට තියෙන ගුරු පාර දිගේ ගියොත් අපිට මේ ආරාම සංකීර්ණයට පිවිසෙන්න පුලුවන්. ඊට අයත් වෙන කටාරම් කෙටූ ගල් ලෙන් 30ක් අතරින් ගල් ලෙන් 8ක බ්‍රාහ්මී අක්ෂර සහිත සෙල්ලිපි සොයාගෙන තියෙනවා.
කාශ්‍යප රජතුමාගේ කාලයේදී මේ ප්‍රදේශය රජ මාළිගා පරිශ්‍රයට අයත් වුණත් කාශ්‍යප රජතුමාගෙන් පසුව නැවතත් මේ ප්‍රදේශය ආරාම සංකීර්ණයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මේ ප්‍රදේශයේ දැකගන්න ලැබෙන ස්තූපය, කාශ්‍යප රජතුමාගෙන් පසු අවධියට අයත් වන ස්තූපයක්.
මේ ස්තූපය ඉදි කරලා තිබෙන්නෙ කුඩා ගලක් මතයි. ඒ ආසන්නයේ ප්‍රාථමික මට්ටමේ සඳකඩ පහණක් දැකගන්න පුලුවන්.
09. බෝධිඝරය
මේ ආරාම සංකීර්ණයට අයත් වැදගත් ස්මාරකයක් වන බෝධිඝරයත්, කාශ්‍යප රාජ්‍ය පාලන සමයෙන් පසු කාලයක ඉදි වුණු අංගයක්. මේ බෝධිඝරයේ සැලසුමේ කොටස් විදිහට කළුගලින් නිර්මාණය කළ වටකුරු පිට බැම්ම, ගඩොලින් නිර්මාණය කළ වේදිකාව, එහි මැද කොටසේ බෝධිය සඳහා ගල් පුවරු වලින් වට කළ ආවාටය හඳුන්වන්න පුලුවන්.
බෝධිඝරයට පිවිසීම සඳහා ආරම්භ වෙන පඩිපෙළ ආසන්නයේ පා දෝණියක් දැකගන්න පුලුවන්. පා දෝණියක් කියලා කියන්නෙ පාද ධෝවනය සඳහා ජලය රැස් කරලා තිබෙන අංගයකටයි. ඒ වගේම මේ පඩිපෙළෙත් කැටයම් දකින්න නැති ප්‍රාථමික මට්ටමේ සඳකඩ පහණක් තියෙනවා.
පුරාවිද්‍යාඥයන්ගේ සොයා ගැනීම් අනුව මේ බෝධිඝරය නිර්මාණය කරලා තියෙන්නෙ අදියර දෙකක් යටතෙයි. ඒ අනුව වටකුරු ගල් බැම්ම සහ සමචතුරශ්‍රාකාර වේදිකාවේ තිබෙන හුණුගල් පළමු අදියරයට අයත් වෙනවා.
දෙවන අදියරය නොහොත් දෙවන අවධියට වේදිකාවේ තිබෙන ගඩොල් ඇතුරුම සහ චතුරස්‍රාකාර ආවාටය වටා තිබෙන කළුගල් පුවරු අයත් වෙනවා.
10. කැසිකිළිය
අපට මේ කැසිකිළිය දැකගන්න පුලුවන් වෙන්නෙ බෝධිඝරයට එහා පැත්තෙන්. මේ කැසිකිළියට එකතු වෙන මුත්‍රා, පරිසරයට හානියක් නොවන විදිහට බැහැර කරන්න පැරැන්නෝ සමත් වෙලා තියෙනවා.
මුත්‍රා ගලේ සිදුරට යටින් අගුරු, හුණු, අළු, වැලි වගේ ද්‍රව්‍ය පුරවපු, පතුල සිදුරු කරපු මුට්ටි කිහිපයක් එක යට එක තියලා තියෙනවා. ඒ නිසා ඒවා හරහා ගමන් කරන මුත්‍රා පිරිසිදු වෙලා අවසානයේ නැවතත් පොළවට එකතු වෙලා, උරා ගන්නවා.
11. පිළිම ලෙන
කාශ්‍යප යුගයට පෙර භික්ෂූන් වහන්සේලාගේ සංඝාවාසයක් විදිහට භාවිතා වෙලා තිබුණු මේ ගල් ලෙන, කාශ්‍යප යුගයෙන් පසුව පිළිම ගෙයක් විදිහට භාවිතා කරලා තියෙනවා. මේ ලෙනේ මුල් කටාරමට ඉහළින් තවත් කටාරමක් කොටලා ඇතුළත බදාම ආලේප කරලා සිතුවම් ඇඳලා තිබිලා තියෙනවා.
ක්‍රි.පූ 3 – 1 සියවස් වලට අයත් සෙල්ලිපියක් මේ ලෙනෙන් සොයාගෙන තියෙනවා. ඒ සෙල්ලිපියට අනුව “තිරි” කියන ප්‍රධානියාගේ පුත්‍රයෙක් වුණු “අභික්ධය” කියන කෙනා මේ ලෙන භික්ෂූන් වහන්සේලා උදෙසා පූජා කළා කියලා තිබෙනවා.
ඒ වගේම හිස සිදී ගිය බුද්ධ ප්‍රතිමාවක් මේ ලෙනෙන් සොයාගෙන තියෙනවා. ලක්ෂණ අනුව ප්‍රතිමාව ක්‍රි.ව 7 – 8 සියවස් වලට අයිති එකක් කියලා සැක කෙරෙනවා.
ගල් ලෙන ඇතුළෙත් බදාම ආලේප කරලා බිතු සිතුවම් නිර්මාණය කරලා තිබුණු බවට සාධක තියෙනවා. ඒ වගේම ගල් ලෙනට පිටතින් සහ ඇතුළත තිබෙන ගඩොල් ශේෂ කොටස් වලින්, පෙර රජ දවස මේ පිළිම ලෙන තිබුණු ආකාරය ගැන දළ අදහසක් ගන්න පුලුවන්.
මේ කියපු සෑම පුරාවිද්‍යාත්මක සාධකයක්ම තියෙන්නෙ සීගිරි පර්වතය දිහාවට ඇවිදගෙන යන ප්‍රධාන මාර්ගයෙයි.
මේවා අධ්‍යනය කරන්න නම් ඔයාලට කරන්න තියෙන්නෙ සීගිරි පර්වතය දිහාවට ඇවිදගෙන යන ගමන් වම් පැත්ත සහ දකුණු පැත්ත බැලීමත්, වම් පැත්තේ සහ දකුණු පැත්තේ තිබෙන අතුරු පාරවල් වලින් හැරිලා පොඩි දුරක් ගමන් කිරීමත් විතරයි.
ඉතින් මෙන්න මේ විදිහට සීගිරියේ පුරාවිද්‍යාත්මක සාධක ගැන ගෙන එන ලිපි මාලාවේ පළවෙනි ලිපිය අවසන් කරනවා. දෙවෙනි ලිපියත් සමඟ ඉක්මණින්ම හමු වෙමු.
මූලාශ්‍ර
01. සීගිරි පුරාවිද්‍යාත්මක ස්ථානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ස්ථාපනය කර ඇති දැන්වීම් පුවරු
02. එදා සහ අද සීගිරිය (කෘතිය) – ආචාර්ය ඊ.ඇම්.රත්නපාල
විශේෂ ස්තූතිය
01. නිමල් රණසිංහ – හිටපු උසස්පෙළ ඉතිහාසය විෂයභාර ආචාර්යය, කොළඹ ආනන්ද විද්‍යාලය
02. වරුණ කමලවංශ – හිටපු නිළධාරී, මධ්‍යම සංස්කෘතික අරමුදල
03. හසිත ගුණසිංහ – කථිකාචාර්ය, ඉතිහාස අධ්‍යයන අංශය, කැළණිය විශ්වවිද්‍යාලය
04. ඉයන් ඉද්දමල්ගොඩ – විධායක නිළධාරී, Maya.lk
05. සංජය ඇල්විටිගල – සම නිර්මාතෘ සහ විධායක නිළධාරී, eLearning.lk
06. සස්‍රී සමරවික්‍රම – ව්‍යාපෘති කළමනාකරු, Maya.lk