හීලෑ අලි ඇත් පරපුර

අවුරුදු දෙදහස් පන්සීයක් තිස්සේ අපේ රටේ දේශපාලනික, ආගමික, ආර්ථික, සංස්කෘතික සහ සමාජීය අංශවලට සෘජුවම සම්බන්ධ වුණු සාධකයක් විදිහට අලි ඇතුන්ව හදුන්වන්න පුලුවන්. ලෝකයේ ඉන්න බුද්ධිමත්ම ජීවියෙක් වෙන අලි ඇතුන්ට තියෙන්නේ, මිනිසා හා සමාන ජීවන අවධියක්. අපේ රටේ බෞද්ධ සංස්කෘතියත් එක්ක අලි ඇතුන් අපිට හරිම සමීපයි. ඉතින් අද හිතුනා අපේ රටේ හීලෑ අලි ඇත් පරපුර ගැන කතා කරන්න.

අලි ඇත්තු ගැන මතක් කරනකොට, eLearning.lk අපිට මුලින්ම මතක් වුණු සම්පත් දායකයෙක් තමයි දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන කියන්නෙ. ඉතින් අපි දර්ශනගෙන් අහලා බලමු එයා අපේ රටේ හීලෑ අලි ඇත් පරපුර ගැන දන්න විස්තර වලින් කිහිපයක්.

01. කොහොමද අලි ඇතුන්ට ආසාවක් ඇති වුණේ? කොච්චර හීලෑ වුණත් එයාලා ළගට යන්න බයක් දැනෙන්නේ නැද්ද?
** ඔය ප්‍රශ්නය මගෙන් අපේ කැම්පස් එකේ යාළුවො, ප්‍රදර්ශකවරුන් පවා වෙලාවකට අහනවා. මම හිතන්නේ මුහුණුපොතේ මම වැඩිපුර අලින්ගේ පින්තූර දාන නිසා වෙන්න ඇති. මේ දේ ගැන අහනකොට මට හිතේ මැවෙන රූප දෙකක් තියෙනවා. මම ගොඩක් පොඩිකාලේ, මම හිතන්නේ මම මොන්ටිසෝරි යන්නත් කලින් වෙන්න ඕන. දවසක් අපි සමන් දේවාලයේ පෙරහැර බලන්න ගියා. අම්මා මාව උකුලේ වාඩිකරවාගෙන පෙරහැර විස්තර කරනවා. එදා පෙරහැර අවසානයේ සමන් දෙවියන්ගේ දේවාභාරණය වැඩම කරවන කපු මහතා ආපු අලියා පෙන්නලා අම්මා මට කිව්වා මතකයි, අර ඉන්නේ දේවාලේ අලියා කියලා. ඒ අලියා ඇඳලා හිටියේ කහ පාටට හුරු ඇඳුමක්. මම ඒ අලියා මට නොපෙනී යනකල් බලාගෙන හිටියා. එදා තමයි මට අලියෙක් ගැන ආසාවක් හිතුන පලවෙනි දවස. ඊට කලින් මට අලි ගැන අහන්න දකින්න ලැබුණත් මතකයක් ඉතුරුවෙලා නෑ. පොඩි කාලේ අලි දැක්කම සමහර ළමයි බයේ කෑගැහුවට, මම එහෙම කෑගහන්නේ නෑ කියලා අම්මා කියනවා. ඇස් ලොකු කරගෙන අලියා දිහා බලාගෙන ඉන්නවලු.

අලි ගැන ආසාව තවත් වැඩි කරන්න හේතු උනේ දළදා මාලිගාවේ ඉඳලා මියගිය රාජා ඇතා. පොඩි කාලේ අම්මයි තාත්තයි මාව දළදා මාලිගාවට එක්ක ගියා. එදා මට වෙච්ච දේවල් යන්තමට වගේ මතකයි. මම එතකොට මොන්ටිසෝරි යන කාලේ. දළදා මාලිගාව වැඳලා අම්මයි තාත්තයි මාව රාජා ඉන්න කෞතුකාගාරය බලන්න එක්ක ගියා. එදා කොහොම හරි රාජාගේ රූපය දැකලා මට අලි ඇත්තු ගැන ආසාවක් ඇති උනා. ඉස්සර මේ අනුරුව බලලා එන අයට එතනින් ඇතාගේ රූපය මුද්‍රණය කරලා තියෙන පින්තූර Post Card එකක් දෙනවා. මම මේ Post Card එක ගොඩක් කල් පරිස්සම් කරගෙන හිටියා. රාජාගේ රූපය බලන හැම වෙලාවකම වගේ මට අලි ඇත්තු ගැන ආසාවක් ඇති උනා. ඒ කාලේ මම අඬන්නේ සෙල්ලම් බඩු ඉල්ලලා නෙවෙයි, අලියෙක් ගෙනැත් දෙන්න කියලා. අම්මලා වැඩ ඇරිලා එන වෙලාවට මොනවද ගේන්න ඕන ඇහුවමත් මම කියන්නේ අලියෙක් ඕන කියලා. කොටින්ම කියනවනම් මම අපේ වත්තේ තියෙන කිතුල් ගස්, කොස් ගස් කපන්නවත් ඉඩ දුන්නේ නෑ, අලියට කන්න දෙන්න ඕන නිසා. පස්සේ පස්සේ ඉතින් වටපිටාව ගැන තේරුම් ගන්න වයස එනකොට මට තේරුනා මේක කියන තරම් ප්‍රායෝගික දෙයක් නෙවෙයි කියලා. ඒත් ආසාව නම් තාම එහෙමම තමයි. ඒ නිසා තමයි අලියෙක් ඉන්න තැනක් වෙලාවක් දැන ගත්තම පොඩ්ඩක් ළඟට ගිහින් බලලා එන්න යන්නේ.

මිනිස්සුන්ට ආසාවල් ඇති වෙන හැටි ගැන බෙල්ලන ඥානවිමල හාමුදුරුවෝ එක පොතක කියලා තියෙනවා. ඒකෙදි කියන්නේ සංසාරික පුරුද්ද නිසා එහෙම ආසාවල් ඇති වෙනවා කියලා. මේකත් එහෙම වෙන්න ඇති.

02. ආසාව තියෙන්නේ හීලෑ අලි ඇතුන්ට විතරමද?
** අලි නම් කොයි අලියත් මට එකයි. හැබැයි අලි පැටවුන්ට වැඩිපුර කැමතියි. ඇත්තුන්ගෙන් තෝරාගත්ත කීපදෙනෙක්ට විතරයි කැමති. ඒ, ඒ අයගේ පෙනුම නිසා. මම කැමති ගොඩක් ඇත්තු දැන් මැරිලා. එහෙම මිය ගිය මිල්ලන්ගොඩ රාජා, හෙයියන්තුඩුවේ රාජා, හෙම්මාතගම හාමුදුරුවන්ගේ වෑවලදෙනියේ රාජා, බෝතලේ වලව්වේ ගාමිණී, නවම් රාජා, රුවන් රජා, මගේ List එකේ මුලින්ම වගේ හිටපු අය. මිය ගිය අයගෙන් හෙයියන්තුඩුවේ රාජා තමයි මම කැමතිම ඇතා. ජීවත් වෙලා ඉන්න අයගෙන් නැදුන්ගමුවේ රාජාට තමයි වැඩිපුරම කැමති. කතරගම වාසනා ඇතාටත් මම වැඩිපුර කැමතියි.

03. හොදයි. අපි මුලින්ම වාසනා ඇතාගෙන්ම ආරම්භය ගමුකො. අනිත් හීලෑ ඇතුන් එක්ක බැලුවම කතරගම වාසනාව අදුරගන්න හරිම ලේසියි කියනවා නේද?
** වාසනා ඇතා අඳුරගන්න ලේසියි. අලි කුල වලින් මම හිතන විදියට වාසනා මංගල හෝ උපෝසථ කියන කුල දෙකෙන් එකකට අයිති වෙන්නේ. වාසනා ඇතාට තියෙන්නේ හරිම ගාම්භීර පෙනුමක්. වාසනා ඇතා සාමාන්‍යයෙන් ඉන්නේ ඔලුව ටිකක් ඉහලට ඔසවාගෙන. ඒක තමයි ඇතෙක්ගේ තියෙන ගාම්භීර බව වැඩි කරන්න තියෙන හොඳම දේ. වාසනා ඇතාගේ දල දෙකට දාලා තියෙන දල කොපු ගලවලා තියෙනවා මම දැකලා නෑ. ඒ නිසා ඒ දල කොපු වලිනුත් වාසනා අඳුරගන්න පුළුවන්. මේ දල කොපු ස්ථීර ලෙසටම දාන්න ඇත්තේ දල ගෙවෙන නිසා. ඇතා නානකොට දල දෙක ගඟේ තියෙන ගල්වල වැදිලා ගෙවිලා කැඩිලා යන්න පුළුවන් නිසා මෙහෙම දල කොපු හයි කරන්න ඇති. නැදුන්ගමුවේ ඇතාගේ නම් දලවල පැත්ත පැත්ත ගෙවිලා තියෙනවා. එයාට එහෙම වෙන්නත්, මෙයාට එහෙම නොවෙන්නත් හේතු වෙන්න ඇත්තේ මේ දල කොපු හයි කරලා තියෙන එක වෙන්න ඕන.

වාසනාගේ තවත් විශේෂ ලක්ෂණයක් තමයි හොඩවැල ඔතාගෙන කටින් හපාගෙන තමයි ඉන්නේ. එහෙම ඉන්නේ එයාට ඒක පුරුදු කරලා තියෙන නිසා කියලයි මම හිතන්නේ. උඩරට අලි බලන අය, අලින්ට හොඩවැල කට ඇතුලේ තියන් ඉන්න පුරුදු කරනවා. එහෙම කරන්නේ පාරේ ගැහැණු සතුන්ගේ මුත්‍රා වැටිලා තිබුනොත් ඒවා ඉව කරලා මේ අලි නොසන්සුන් වෙන්න පුළුවන් නිසා. වාසනාට ඒ පුරුද්ද කොහොම ලැබුනද කියන්න බෑ. හැබැයි වාසනාත් හොඩවල කටේ දාගෙන තමයි ඉන්නේ වැඩි වෙලාවක්. ඇවිදිනකොට එයා හොඩය කටේ නැත්නම්, දල දෙකේ හරි ඔතාගන්න බලනවා.

04. තව කාටද කැමති?
** අලින්ගෙන් වැඩිපුරම කැමති යක්කල කාලි කෝවිලට අයිති ගජබා කියන අලියට. හේතුවක් කියන්න අමාරුයි. හැබැයි ඒ හේතුව පෙනුම වෙන්න ඇති කියලා හිතනවා. ගොඩක් වෙලාවට මම වැඩිපුර අවධානය යොමු කරන්නේ උසින් වැඩි මුහුණේ රෞද්‍ර පෙනුම අඩු අලින්ට. ගජබා ඒ දෙකම සම්පූර්ණ කරලා තියෙනවා. ඇත්තුන්ගෙන් නම් වැඩිපුරම කැමති නැදුන්ගමුවේ රාජාට. ඇත්තටම නැදුන්ගමුවේ රාජා, “දෙවු පුර ඇතෙකි” කියන ගජගා වන්නමට හරියටම ගැළපෙනවා. ඒ වගේ ශාන්ත ප්‍රභාවමත් බවක්, වෙන අලි ඇතුන්ගේ මුහුණුවල මම දැකලා නෑ.

05. අලි ඇතුන් ගැන කතා කරනකොට, මද කිපෙනවා කියන වචනය හැමතිස්සෙම වගේ අහන්න ලැබෙනවා. මද කිපීම ගැන නිර්වචනය කරනවා නම්?
** මද කිපෙනවා කියන්නේ අලියා ලිංගික ක්‍රියාවලියට සූදානම් කියලා පිටට හඟවන සංඥාවක්. මද දිය වැගිරෙන්නේ කන කිට්ටුව තියෙන මද ග්‍රන්ථිවලින්. මේ ශ්‍රාවය දුඹුරු පාටට හුරුයි. කෝපිවල තියන සුවඳ වගේ සුවඳක් තමයි තියෙන්නේ. අලියා ලිංගික එක් වීමකට සූදානම් කියන සංඥාව තමයි මේ නිකුත් කරන්නේ. මේ කාලෙට අලියා ගාවට කිට්ටු වෙන්න බෑ. එයාව කොහෙවත් එක්ක යන්නත් බෑ. ඒ නිසා එයාව ගස් බැඳලා තියනවා මාස දෙකක් විතර මද කාලය අවසන් වෙනකල්. ඊට පස්සේ තමයි ආයෙත් සංසුන් තත්ත්වයට පත් වෙන්නේ. මද කිපෙන එක දැනගන්නේ අර මද ග්‍රන්ථි වලින් මද ශ්‍රාවය වෙන සලකුණත් එක්ක.

06. අලි ඇතුන්ගේ ලිංගභේදය ගැන කතා කරනවා නම්? කොහොමද මෙයාලා වෙනස් වෙන්නෙ සහ මෙයාලාගේ අභිජනනය සිද්ධ වෙන්නෙ?
** අලි සහ ඇතුන් කියන දෙගොල්ලෝ ගත්තම අලියට දළ දෙකක් නැහැ. ඇතාට දළ දෙකක් තියෙනවා. අලියාගේ ගැහැණු සතා හඳුන්වන්නේ කෙනෙර කියලා. ඇතාගේ ගැහැණු සතා හඳුන්වන්නේ ඇතින්න කියලා. ගැහැණු සත්තුන්ට දළ දෙකක් එන්නේ නෑ. මම ඒ කිව්වේ ආසියාතික අලින්ට. හැබැයි අප්‍රිකානු අයට නම් ගෑණු පිරිමි භේදයක් නෑ, දෙගොල්ලන්ටම දළ පිහිටලා තියෙනවා. ඇතින්නක් සහ කෙනෙරක් හඳුනාගන්නේ ප්‍රසූතියෙන් පස්සේ. ඇත් පැටියෙක් ප්‍රසූත කලොත් ඇතින්නක්. අලි පැටවූ ප්‍රසූත කලොත් කෙනෙරක්. හඳුනාගන්න වෙන ක්‍රමයක් නම් මම දන්නා තරමින් නැහැ.

ඇතෙක් සහ කෙනෙරක් අතර ප්‍රජනනයෙන් ලැබෙන්නේ අලි පැටවූ. ඇතින්නක් සහ ඇතෙක් හෝ ඇතින්නක් සහ අලියෙක් අතර ප්‍රජනනයෙන් අනිවාර්යෙන්ම ඇත් පැටියෙක් ඉපදෙනවා කියලා අලි ඇත්තු බලාගන්න අය අතරේ පිළිගැනීමක් තියෙනවා. ඒ වගේම ලැබෙන පැටවුන්ගේ ලක්ෂණ ගැන බලලා මේ ගැන ඒ අය පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කරලත් තියෙනවා. අලියෙක් සහ කෙනෙරක් අතරේ ප්‍රජනනයෙන් නම් අනිවාර්යෙන්ම ඇතිවෙන්නේ අලි පැටියෙක් තමයි. අලි ඇතුන්ගෙන් පැටවූ ඇතිකර ගැනීම කරනකොට ඇත් පැටියෙක් ඕන නම්, සාමාන්‍යයෙන් ගාල් කරන්නේ හොඳ ලක්ෂණ තියන ඇතෙක් සහ ඇතින්නක්. ඒකෙන් ඇත් පැටියෙක් ලැබෙන්න තියෙන සම්භාවිතාව ඉතාම වැඩියි.

ඉතින් මේ හේතුව නිසා කෙනෙර සහ ඇතින්න පැහැදිලිවම හඳුනාගන්න පුළුවන් වෙලා තියෙනවා. අලි ඇත්තු ගැන විද්‍යාත්මකව පරීක්ෂණ කරනවා අඩුයි. මොකද අලියෙක් ඇතෙක් කන්න දිදී තියාගෙන ඉන්න එක ලොකු වියදමක්නේ. ඒ වගේම අලින්ගේ මාස විසි හතරකට ආසන්න, ඒ කියන්නේ අවුරුදු දෙකකට ආසන්න ගැබ් කාලය නිසා අලි ඇත්තුන් ගැන පරීක්ෂණ කරන්න ඉතාම වැඩි කාලයක් ගත වෙනවා. කියන්න තව විශේෂ දෙයක් තියෙනවා දැනගැනීම වෙනුවෙන්. ගොඩක් වෙලාවට අලි බලන අය ඇතින්න කියලා ගෑණු සතුන්ට කතා කරනවා ඇහෙනවා, ඔයාලත් අහලා ඇති. එහෙම කිව්ව පලියටම ඒ ඇතින්නක් කියලා විශ්වාස කරන්න එපා. අලි බලාගන්න අය ඇතින්න කියලා කියන්නේ කෙනෙර කියලා කියනවට වඩා ඇතින්න කියන එක කියන්න ලේසි නිසා.

07. අලි ඇතුන්ව කුල වලට බෙදලා තියෙනවා කියලා අපි අහලා තියෙනවා. ඒ සම්බන්ධව මොනවද මේ ගැන නොදන්න අයට කියන්න තියෙන්නෙ?
** ඔව්. කුල දහයක් තියෙනවා. ඒ කුල තමයි කලාවක, ගන්ගෙයිය, පන්දර, තම්බ, පිංගල, ගන්ධ, මංගල, හේම, උපෝසථ, ඡද්දන්ත කියන කුල දහය. ඒ ඔක්කොම කුල ගැන මම එකින් එක විස්තර කරලා තියෙනවා – https://elearning.lk/blog/sri-lankan-elephants-castes/

08. මිනිසුන් අතරේ තිබුණු කුල භේදය නැති වෙමින් යන යුගයක, මිනිසා විසින්ම අලි ඇතුන්ව කුලවලට බෙදලා වෙන් කරන එක සාධාරණද?
** මිනිස්සු මිනිස්සුන්ව කුලවලට බෙදලා තියෙන්නේ උස් පහතකම් සලකන්න. අලි ඇත්තු වෙන් කරලා තියෙන්නේ ඒ අයගේ භාහිර ලක්ෂණ බලලා හොඳ අලි ඇත්තු තෝරාගන්න. හොඳ ලක්ෂණ තියෙන අය විතරයි හිලෑ කරන්න ගන්නේ. අනිත් අයව අල්ලන්නේ නෑ. ඒ පදනමටයි අලි ඇත්තු කුලවලට වෙන් කරලා තියෙන්නේ.

09. අලි භාෂාව ගැන එහෙමත් දන්නවා ඇති නේද?
** අලි භාෂාව කියන එක ගැන කිව්වම සමහර අය හිතනවා අලින්ට ඒ දේවල් තේරෙන්නේ අලින්ට ඒ භාෂාව සමීප නිසා වෙන්න ඇති කියලා. එහෙම එකක් නැහැ. අලින්ට පොඩි කාලේ ඉඳලා සාමාන්‍ය සිංහල ඉගැන්නුව නම් එයාලාට අපේ භාෂාවෙන්ම විධාන දෙන්න පුළුවන්. ඒත් අලි භාෂාව කියන එක වෙනස් භාෂාවක් විදියට වෙන් කරලා අලි බලන අය අතරේ විතරක් තියාගෙන ඉන්නේ, සාමාන්‍ය මිනිස්සුත් අලින්ට විධාන දෙන්න ගත්තම සත්තු හසුරවන්න අපහසු වෙන නිසා. අනික අලි භාෂාවේ තියෙන වචන ගොඩක් ඒවා උච්චාරණය කරනකොට අපහසුවකින් තොරව වැඩි හඬකින් උච්චාරණය කරන්න පුළුවන්. මේ නිසා අලි භාෂාව ඒ අයට උච්චාරණය කරන්නත් පහසුයි. අලි භාෂාව හැදිලා තියෙන්නේ කේරල, මලයාල, තෙලිඟු භාෂාවල් වලට සමීප වචන ආශ්‍රය කරගෙන.

දහ – යන්න
උදරි – හොඩය උස්සන්න
හෙත්ත – පිටිපස්සට යන්න
දෙරි – ගන්න
හිද / හිඳ – නිදාගන්න / ඇලවෙන්න / වාඩිවෙන්න
මෙහෙ දහ – මෙහෙ එන්න
ඉඩ දහ – අයින් වෙලා යන්න
පුරු උදරී – හොඩය උස්සලා තල්ලු කරන්න
හරුව – විසි කරන්න
පිචන් – එපා
හෝවාන් – නවතින්න
දෙරි දහ – ගිහින් ගන්න

කොඩිවින කපන, කොඩිවින කරන, දිෂ්ටි ගෙන්නන, දිෂ්ටි යවන මන්තරවල මේ වගේ වචන කීපයක් තියෙනවා. දිෂ්ටියට යන්න, එන්න වගේ දේවල්වලට තමයි ඒ වචනවලින් විධාන සපයන්නේ. ඒ නිසා මේ වචන මන්තර සාහිත්‍යයත් එක්කත් සම්බන්ධයි කියලා කියන්න පුළුවන්. අලි භාෂාව එක්ක අලි බලන අය ගැනත් දෙයක් කියන්න ඕන. අලි බලන පරණ උදවිය මේ ශිල්පය හරියට දැනගෙන හිටියා. අලි භාෂාව උච්චාරණය කරන්න හොඳට දැනගෙන හිටියා. ඒත් දැන් ඉන්න අලුත් අය අලි භාෂාව උච්චාරණය කරනවා ඇහුණාම මට මතක් වෙන්නෙ, සතුට සුරංග මහත්මයාගේ ගායනා ශෛලිය. ඒ විධාන වලට අලියා අවනත වෙන්නත් හොරයි. ඒ නිසා අලියා වැරදි කරා වගේ හෙණ්ඩුවෙන් අලියට අනිනවා. මේ ළඟදී YouTube නාලිකාවේ එක වීඩියෝ එකක් තිබුණා, හුණුපිටිය ගංගාරාමයේ අලි බලන්නෙක් අලි පැටියට දස වද දීලා අලි භාෂාව උගන්වන රූපරාමු පෙළක්. අලියට අලි භාෂාව උගන්වන එක කලාවක්. ඒක මෙහෙම කෙටියෙන් විස්තර කරන්න බැහැ.

10. ඇත්තු ගැන කතා කරන කොට අපිට ගොඩක් වෙලාවට අහන්න ලැබෙන දෙයක් තමයි ගජ මුතු කියන්නෙ. ඇත්තටම මොනවද ඒ?
** ගජමුතු කිව්වම සමහර අයට හිතේ මැවෙන්නේ මුතු ඇට. ඒත් ගජ මුතු එච්චර සුන්දර නැහැ. ඔපමට්ටම් කරලා ගත්තම තමයි රවුමට තියෙන්නේ. ඒත් සමහර ගජමුතු ස්වභාවයෙන්ම ගෝලාකාර වෙනවා. ගජමුතු හැදෙන්නේ මෙහෙමයි. ඇතෙක් වැඩෙනකොට ඇත් දලත් වැඩෙනවා. මෙහෙම වැඩෙනකොට ඇතාගේ දන්තිනය වර්ධනය වෙන්නේ දලය පටන්ගන්න හරියෙන්. කාලයක් යනකොට දන්තිනය එකතුවෙලා එකතුවෙලා දලයේ ඇතුලේ තියෙන කුහරයත් කෙටිවෙනවා. මේ කුහරයට ආගන්තුක දේවල් ඇතුල් වෙන්න පුළුවන්. ඒ දලය පළුදුවෙලා තියෙනවනම්. මේ වගේ ආගන්තුක දේවල් වටේටත් දන්තිනය තැම්පත්වෙලා තමයි ගජමුතු නිර්මාණය වෙන්නේ. මේක සරලව කිව්වට කාලයක් ගතවෙන හෙමින් සිදුවෙන ක්‍රියාවලියක්. ඒ නිසා ගජමුතු ඇතිවීමත් දුර්ලභයි.

අනික ගජමුතු ඇතිවෙන්න වැඩි සම්භාවිතාවක් තියෙන්නේ පළුදු වෙච්ච හෝ රෝගී ඇත් දලවල. මේ හේතුව නිසාම අද කාලේ සමහර ඇතුන්ගේ දල හිතා මතාම පළුදු කරන අවස්ථාත් මම අහලා තියෙනවා. ගජ මුතු නිර්මාණය උනාට පස්සේ සමහර ඒවා දතේ කුහරයේ පැත්තක ඇලිලා තියෙනවා. නැත්නම් මේක කුහරය තුලට වැටිලා එහෙ මෙහෙ හෙලවී හෙලවී තියෙනවා. මේ සෙලවීම නිසා ඇතිවෙන ඝර්ෂණයෙන් ගජමුතු ඇටය රවුම් වෙන්න පුළුවන්. ගජමුතු තියෙන සමහර ඇත්තු ඔලුව හොලවනකොට දලේ ඇතුලෙන් ටක ටක ගාලා සද්දේ ඇහෙනවා. ඒකෙන් කියන්නේ එයාගේ දලේ ඇතුලේ ගජමුතු තියෙනවා කියලා. ගජමුතුවල වටිනාකම මනින්නේ කෝටි ගණන්වලින්. ඒත් මේවා වෙනුවෙන් මරණ ඇත්තුන්ගේ ජීවිතවල වටිනාකම මිනිස්සු තක්සේරු කරන්නේ නෑ. සමහර වෙලාවට මරණ ඇත්තුන්ගේ දලවල ගජමුතු ඇත්තෙත් නැහැ. ඒ නිසා ගජමුතු හොයන්න ඇත්තු මරන්න එපා කියලා කියන්න ඕන. ලංකාවේ ඇත්තු නැතිවේගෙන යනවා. ඒ නිසා ඉන්න සත්තු ටිකවත් රැකගන්න ඕන.

11. අලියෙක්ගේ බඩ යටින් ගියාම, වස් දොස් දුරු වෙනවා කියන්නෙත්, ඒ වගේම අපේ අය හදා ගත්ත තවත් මිත්‍යාවක් නේද?
** ඒක නම් බොරු කතාවක්. මනුස්සයෙක් බය උනාම ඇඟේ සමේ තියෙන ග්‍රන්ථිවලින් පෙරමෝනයක් වගේ රසායනික ද්‍රව්‍යයක් ශ්‍රාවය වෙනවා. මේ නිසා තමයි අලියා දැනගන්නේ අපි බයවෙලා කියලා. අලියාගේ බඩ යටින් යන්න යන්න අපිට ඒ දේ හුරු දෙයක් වෙනවා. එතකොට අර පෙරමොනය ශ්‍රාවය වෙන්නේ නෑ. ඒ නිසා බය ගතිය නැති වෙනවා. අලියෙක්ට බය නෑ කියන්නේ ඉතිං ඊට වඩා අඩු තව ගොඩක් අයට බය නෑ කියන එක. මේ බය ඇතිවීම නවත්වන්න තමයි අලියාගේ බඩ යටින් යන්නේ. ඒත් අද කාලේ ග්‍රහ අපල දුරුවෙන්න ඒවා මේවා කිය කියා යනවා. කමක් නෑ ඉතින් මිනිස්සුන්ගේ කැමත්තනේ. ඔය ක්‍රියාවලිය ඇතිවෙලා තියෙන්නේ අලි බලන කෙනාට මුදල් උපයාගන්න උවමනාව නිසා. අලියාගේ බඩ යටින් ගියාම දෙන මුදලෙන් ඒ අය තමන්ගේ ඕනා එපාකම් සපුරාගන්නවා. ඒකයි මේ සම්ප්‍රදාය ඇතිවෙලා තියෙන්නේ.

12. මට තව පුංචි ප්‍රශ්නයක් තියෙනවා. පෙරහැරවල් වල කරඩුව වේවා දේවාභරණ වේවා, මේවා තැන්පත් කරන්නෙ පිරිමි සත්තුන්ගෙ විතරයි. ඇයි ගැහැණු සත්තුන්ව යොදා ගන්නෙ නැත්තෙ?
** අලි ඇත්තු පිටේ දේවාභරණ වැඩම කිරීම තමයි ඉස්සෙල්ලම සිද්ද උනේ. බුදු හාමුදුරුවන්ගේ කාලෙන් පස්සේ තමයි අලි ඇත්තුන්ගේ පිටේ සධාතුක කරඬු වැඩම කරවන්න පටන් ගත්තේ. ඉන්දීය ආගමික සංකල්ප එක්ක කාන්තාවන්ට ලැබුණේ දෙවෙනි තැන. ඒ නිසා මේ වගේ දේවල් වලටත් ගැහැණු සත්තුන්ට ඉඩක් ලැබෙන්නේ නෑ. අනික තමයි ඇතාට දළ යුවලක් පිහිටලා තියෙන එක. ඇතින්නන්ට දළ පිහිටලා නැහැනේ. ඒ නිසා පිරිමි සතාව යොදාගත්තා මේවගේ විශේෂ දේවල් වලට. සමන් දේවාලයේ පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවන්නේ ඇතෙක්. දේවාභරණ වැඩම කරවන්නේ අලියෙක්. මේ විශේෂණය කරලා තියෙන්නේ බුදුන් වහන්සේට වැඩි සැලකිල්ල දක්වන බව සංකේතවත් කරන්න. ඉතින් ඔය වගේ හේතු කාරණා නිසා තමයි පිරිමි සත්තු මේ සඳහා සහභාගී කරවාගන්නේ.

13. අපේ රටේ විහාරස්ථානවල සහ දේවාලවල සිද්ධ කරන චාරිත්‍රවලට අමතරව, අලි ඇතුන් යොදාගෙන කරන තවත් චාරිත්‍ර, උත්සව එහෙම තියෙනවද?
** සිංහල අවුරුද්දට නැකතට හිසතෙල් ගාන චාරිත්‍රය ටිකක් වැදගත්. කැලණිය පන්සලේ සහ පින්නවල අලි අනාථාගාරයේ අලින් ඇතුන්ට නැකතට හිසතෙල් ගානවා. අවුරුදු උත්සව වලදී අලියෙක් එක පැත්තක් සහ අනික් පැත්තට මිනිස්සු එකතුවෙලා කඹ අදිනවා. අලියට ඇහැ තියන්න සමහර වෙලාවට අලි පැටවූ යොදාගන්නවා. ඒකට නම් මම කැමති නෑ. වැරදිලාවත් හුනුකැටේ ඇත්තටම අලි පැටියගේ ඇහැට ගියොත් ඇහැ පේන්නේ නැතිවෙලා යනවා. තව කතරගම දේවාලයේ පන්දලම බඳින්න නැකතට පළවෙනි අත්ත තියන්නේ මංගල හස්තියෙක්. වාසනා තමයි දිගටම ඒක කරගෙන එන්නේ. දේවාල, පන්සල්වලින් ඇරුනම ඉතින් මේවා කෙරෙනවා අඩුයි. තව ඇතා දල ඇනපු තැන පස් හෝ වැලි වාසනාව ගෙන එන දෙයක් කියලා කියනවා. මට මතකයි දුටුගැමුණු කුමාරයා හොයාගෙන එන කඩොල් ඇතාත් දුටුගැමුණු කුමාරයා කිට්ටුව දල බිම ඇන්නා කියලා කතාවක් තියෙනවා. තව අලි ඇත්තුන්ගේ දල යොදාගන්නවා සිංහල වෙදකම්වලට. කැඩුම් බිඳුම් වෙදකමට ඇත් දල ඉතාමත් වටිනා දෙයක්.

14. මිනිසා හැරුනුකොට, පෘතුවියේ ඉන්න බුද්ධිමත්ම ජීවීන් අතරේ ඉහළින්ම ඉන්න සත්වයෙක් තමයි අලි ඇත්තු කියන්නේ. සාමාන්‍යයෙන් අලි ඇත්තුන්ගේ මතක ශක්තිය ඉහළ මට්ටමක තියෙනවා කියන්නේ ඇත්තද?
** ඔව්. දේහයේ ප්‍රමාණයට සාපේක්ෂව ඉතා කුඩා මොලයක් අලියාට හිමි උනාට විශ්ලේෂණ හැකියාවෙන් අලියා ඉතාමත් ඉස්සරහින් ඉන්නවා. පර්යේෂණවලට අනුව අලියාට තියෙන්නේ මොන්ටිසෝරි යන වයසේ ළමයෙකුගේ තරම් විශ්ලේෂණ හැකියාවක්. ඒ නිසා අලියාට උගන්වන්න සහ ඒවාට අදාළ ප්‍රතිපල ආපසු ලබාගන්න පුළුවන් ලේසියෙන්ම. අලි ගොඩක් වෙලාවට මතක තියාගන්නවා. ඉතිහාස කතාවල අහලා ඇතිනේ කඩොල් ඇතා ගැන කතාව. කඩොල් ඇතාව දල දෙකෙන් අල්ලලා බිම වාඩි කරවපු නිසා නන්දිමිත්‍ර එක්ක කඩොල් ඇතා තරහෙන් ඉඳලා තියෙන්නේ. ඒ නිසා කට ඇතුලේ ගලක් තියාගෙන ඉඳලා තියෙනවා නන්දිමිත්‍රට පහරදෙන්න. ඒත් විජිතපුර සටනේදී කඩොල් ඇතා දලින් ඇනලා කොටුවේ යදොර බින්දට පස්සේ මේ දොර ඇලවෙලා තියෙන්නේ ඇතාගේ පැත්තට. නන්දිමිත්‍ර තමයි පැනලා දොර අල්ලලා අනික් පැත්තට තල්ලු කරලා තියෙන්නේ. මේ වෙලාවේ තමයි කඩොල් ඇතා අර ගල නන්දි මිත්‍ර ගාවින් තියලා තරහා නැති කරගෙන තියෙනවා කියලා කියන්නේ.

ඔය වගේ සිද්දි කීපයක්ම උනා. එක පාරක් අලි පැටියෙක්ට චොක්ලට් කෑල්ලක් පෙන්නලා නොදී ඉඳපු මනුස්සයෙක් පෙරහැර බල බල ඉන්නකොට අලි අම්මා විසින් හොඩෙන් ඇදලා අරන් කටින් හපලා මැරුවා. තව පාරක් අලි පැටියට ඒත් මොකක්ද අරියාදුවක් කරපු කෙනෙක්ව අලි අම්මා විසින් දෙවිනුවර දේවාලය ඉස්සරහාම පොලවේ ගහලා මැරුවා. අලින්ට හොඳ ආග්‍රාන අවයව පිහිටලා තියෙනවා. ඒ නිසා පෙනීමට වඩා මෙයාලගේ තියුණු වෙන්නේ ගඳ සුවඳ දැනීම. හැබැයි කන් ඇසීම නම් ඊටත් වඩා දියුණුයි. මේ නිසා මේවායින් ලැබෙන සංඥා තදින් මෙයාලාගේ මතකයේ කාවදිනවා. අලින්ව පුහුණු කිරීම සහ නිල භාවිතා කිරීමත් යන්නේ මේ ධාරණය කියන සංකල්පය එක්ක. එක පාරක් නිලයට ඇන්නම එයා දන්නවා ආයෙත් ඇන්නොත් රිදෙනවා කියලා. ඒ නිසා එතනට උල ලං වෙනකොටම දඟ වැඩ අඩු කරනවා.

අලින්ගේ නින්ද ගැනත් මෙහෙමම කියන්නම්. මොකද මෙයාලාගේ මතකයත් එක්කම තියෙන දෙයක් තමයි නින්ද. අලි නිදාගන්නේ හිටගෙන කියන එකේ යම් ඇත්තක් තියෙනවා. අලි තමන්ගේ පුරුදු තැනදී තමයි වැඩි හරියක් නිදාගන්නේ. ගොරව ගොරවා නිදාගන්න අලිත් ඉන්නවා. ඒත් පිට තැනකට ගියාම එයාලා ඉන්නේ අඩ නින්දේ. සමහර අලි වාඩිවෙලා නිදාගන්නවා. සමහර අලි ගස්වලට හේත්තු වෙලා නිදාගන්නවා. මට මේ වෙලාවේ මතක් වෙනවා අතීත කතාවක්. මගේ ආච්චි අම්මාගේ නංගි ගුරුවරියක්. එයා ඉගැන්නුවේ අනුරාධපුරේ පැත්තේ දුෂ්කර ඉස්කෝලෙක. මේ ඉස්කෝලේ වත්තටත් ඉඳලා හිටලා අලි එනවා. මේ ආච්චි මට කිව්වා ඉස්සර ඉස්කෝල වත්තේ ගහකට හේත්තුවෙලා නිදාගන්න අලියෙක් හිටියා කියලා. එයා නිදාගත්තම ඉස්කෝලේ පටන්ගන්න වෙලාවටත් නිදිලු. ඉතින් ළමයි ඇවිත් ඈතින් ඉඳලා කෑගහලා තමයි අලියා එලවනවා කියන්නේ. හැබැයි පහුවෙනිදටත් එනවලු. ඔන්න ඔහොමයි අලින්ගේ මොළේ හැටි.

15. දර්ශන ඉන්නෙ රත්නපුරේ. රත්නපුරේ කිව්වම නම් අපිට මතක් වෙන්නෙ සුදු ඇතෙක්ව.
** සමන් දෙවියෝ කලින් උන්නු ප්‍රාදේශීය ගෝත්‍රික නායකයෙක්. එයාට අලියෙක් හෝ ඇතෙක් වාහනය විදියට ඉදලා තියෙනවා කියලා මිනිසුන් අතරේ විශ්වාසයක් තියෙනවා. මරණයෙන් පස්සේ සුමන සමන් දෙවියන් උනා වගේ, එයාගේ ගමන් ගියපු ඇත් වාහනය දෙවියන්ගේ වාහනය වෙන්න ඇති. සුදු ඇතෙක් කියලා කියන්නේ සුදුම නිසා නෙවෙයි. අදටත් ඉන්නවා රෝස පාටට හුරු අලි ඇත්තු. සමහරවිට මේ සතාත් ඒවගේ වෙන්න පුළුවන්. සබරගමුව පැත්තේ ඉන්න කුරු අලි ඇත්තුත් මේ සමන් දෙවියන්ගේ වාහනය ඇති වෙන්න හේතු වෙන්න ඇති.

16. අලියා හෝ ඈතා, කොච්චර හීලෑ වුණත් එයාලගේ පාද තුනකට දම්වැල් දානවා. ඒ වගේම ගොඩක් අලි බාසුන්නැහේලා හෙණ්ඩුව සහ කෝටුවත් පාවිච්චි කරනවා. පෙරහැරේ යන්න ඕන ඇදුමකින් සැරසිලා. සමහරක් වෙලාවට ඉස්සරහා පෙන්නෙත් නෑ. අවුරුදු දෙදහස් ගාණක් තිස්සේ අපේ රටේ සංස්කෘතික පදනමත් එක්ක අලි ඇතුන්ව මේ වගේ දේවල්වලට සහභාගි කර ගත්තත්, අනිත් පැත්තෙන් බලනකොට මෙව්වත් සත්ව හිංසන නේද? ඒ අනුව ගත්තොත්, අලි ඇතුන්ව මේ වගේ ආගමික වැඩවලට සහභාගී කර ගැනීම බුද්ධ දේශනාවට පටහැනී කියලා හිතෙන්නේ නැද්ද?
** පටහැනියි. අනිවාර්යෙන්ම පටහැනියි. මේවා කරන්නේ ගෞරවය මුල් කරගෙන. සමහර වෙලාවට ඒ සත්තු අකමැති ඇති මේ දෙන වදවලට. වත බඳින්න දාන බෙල්ට් එක තද කලාම අලියාගේ හෝ ඇතාගේ පෙනහළු හිරවෙලා හුස්ම ගන්න අමාරු වෙනවා. ඒත් එයාලා ඒවා විඳදරාගෙන ඉන්නේ ඔය පැය ගානම. මට මේ වෙලාවේ මතක් වෙනවා අලි ඇතුන්ගේ අඬන සිද්දිය ගැන. අලි ඇත්තු අඬනවා කියලා කියනවා. ඒ මෙහෙමයි. පෙරහැර දවස් ගානක්ම රෑට හරියට නිදි නෑ. ඉතින් අලි ඇත්තු දවල්ට ඉන්නෙත් නිදිමතේ තෙහෙට්ටුවෙන්. මේ නිසා තමයි අලි ඇත්තු අඬනවා කියලා කියන්නේ. එයාලාට තියෙන නිදිමතට සහ උෂ්ණය නිසා ඇස්වලින් කබ කඳුළු ගලනවා. මේකට කියන්නේ නම් පෙරහැර ඉවර වෙලා දුකට අඬනවා කියලා. ඒත් වෙන්නේ අරක තමයි.

17. දැන් අපි සාකච්ඡාවේ අවසාන අදියරයට ඇවිත් ඉන්නෙ. අලි ඇත්තු ගැන අමතක නොවන ජීවන අත්දැකීම් ටිකක් කියාගෙනම අපි මේ සාකච්ඡාව අවසන් කරමු.
** දවසක් පින්නවලදී අලි පැටියෙක්ගෙ වලිගෙන් ඇදලා තියෙනවා දුවන්න නොදී. අඩි කීපයක් ඇති ඒ පැටියාගේ උස. නාන්න යන්න දුවනවා සිහියක් ඉවක් බවක් නැතිව. මම ඉතින් වලිගෙන් අල්ලලා නවත්ත ගත්තා. පස්සේ පැටියා වෙර දාලා අදිනකොට අතෑරියා. දෙවුන්දර මහ පෙරහැරක් දවසේ ඔන්න පෙරහැර බලනවා. පෙරහැර දැන් හවස ගියාට ඉස්සර මම පොඩි කාලේ ගියේ දවල්. අපේ ඥාතිවෙන කෙනෙක්ගේ ගෙදර මිදුලේ ඉඳලා තමයි පෙරහැර බලන්නේ. මම එතකොට ගොඩක් මිටියි. ඒ නිසා අම්මා මට පුටුවක් ගෙනත් දුන්නා පුටවට නැගලා පෙරහැර බලන්න කියලා. දැන් ඔන්න පෙරහැර යනවා. විෂ්ණු දෙවියන්ගේ දේවරාජ ප්‍රතිකඩය ඇතා පිටේ වැඩම කරගෙන ඈතින් එනවා පේනවා. මම හිටපු තැන පහුකරලා ඔන්න දැන් අලියෙක් ගියා. උස අඩි අටක් විතර. මූ එකපාරටම ආපස්ස හැරුනා. හැමෝම දුවන්න ගත්තා විතරයි මම පුටුවෙන් බිමට පැන්නා. දිව්වා දිවිල්ලක් ආයේ නැවතුනේ අපේ ඥාති වෙන කෙනාගේ ගෙදර කාමරේක. ඊට පස්සේ දොර රෙද්ද පොඩ්ඩක් පැත්තකට කරලා එලිය බලන්න හදනකොටම අම්මා ආවා. ඊට පස්සේ ආයෙත් පෙරහැර සාමකාමී උනා. දඟලපු අලියා කිට්ටුව ඉඩමක පොල් ගහක ගැට ගැහුවා. එදා තමයි අලියෙක්ට බයේ පළමුවෙන්ම සහ අවසාන වතාවට දිව්වේ. එදා ඉඳලා පෙරහැර බලනකොට අලියෙක් මගේ ඉස්සරහින් යනවා නම් මගේ ඇඟපත පොඩ්ඩක් සීතල වෙනවා පුරුද්දට වගේ. පොඩිකාලේ ඇතිවෙච්ච බයවල් හිතෙන් අයින් කරන්න අමාරුයි කියන්නේ මේවගේ උදාහරණ නිසා වෙන්න ඇති.

හැබැයි මම ඕන තරම් අලි ඇත්තු කිට්ටුවට යනවා. ඒත් නොදන්න අලි ඇත්තු කිට්ටුවට යන්නේ දෙපාරක් හිතලා බලලා. වැඩිය ලං වෙන්නෙත් නෑ එයාලා ගාවට. අලි ඇත්තු එක්ක ගතකරපු කාලයෙන් අමතක කරන්න බැරි දවසක් තමයි නැදුන්ගමුවේ රාජාගේ මුණ පොඩ්ඩක් අතගාපු දවස. සමන් දේවාලයේ පත්තිරිප්පුවට ඇතා ඇතුල් උනාම ඇතාගේ මුණ අල්ලන්න පුළුවන් උසකින් තමයි තියෙන්නේ. එදා කරඬුව තැම්පත් කරන්න ලෑස්ති වෙන වෙලාවේ තමයි මම ඇතා ගාවට කිට්ටු උනේ. අවුලක් නෑ. හරිම ගුණයහපත් හීලෑ සතෙක්. දවසක් නැදුන්ගමුවේ රාජා පාවඩයෙනුත් පිට පැනලා මගේ පැත්තට ආවා.

මම මගේ Research එකකට මදකිපිච්ච අලියෙක් කිට්ටුවට ලං උනා. ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ එයා මදකිපිලා කියලා. කන් දෙක ගාව මද ගලලා තියෙනවා හරියට පෙනුනෙත් නෑ. මීටර් දහයක් විතර දුරක් තිබුණේ අපි දෙන්නා අතරේ. දම්වැලක් කටින් හප හප හිටපු නිසා ඒ ගැන බලන්න මම කිට්ටු උනේ. ඒක අලි ඇතුන්ගේ කැළඹුණු හැසිරීමක් (Stereotypic Behavior). ඒත් නොහිතපු වෙලාවක එයා කිතුල් ලීයක් හොඩෙන් උස්සලා මගේ පැත්තට විසි කළා. මම ලීය එනවා දැකල ටක්ගාලා බිමට පාත් උනා. නැත්නම් මගේ මුණෙන් පැත්තක්ම මේවෙනකොට නැහැ. අලි ඇත්තුන් ඉලක්කය ගන්න හරිම දක්ෂයි. ඒ නිසා ඈතින් උන්නත් සූදානම් ශරීරයෙන් ඉන්න ඕන අලි ඇත්තු එක්ක.

තව දවසක් දේවාලේ පෙරහැර දවසක දවල්. මම ගියා කවුද ඇවිල්ලා ඉන්නේ කියලා බලන්න. එදා කැලණියේ කණ්ඩුල ඇතා, මට ඒත් කිතුල් ලීයක් එවන්න ලීය ගන්නකොටම අලි බලන අයියා හෙණ්ඩුවෙන් ඇදලා නවත්තගත්තා.

මම අවවාදයක් දෙන්න කැමතියි අලි ඇත්තු කොච්චර යාළු උනත්, එයාලා ගාවට කිට්ටු වෙනකොට අලි බාසුන්නහේ ඉන්න වෙලාවක කිට්ටු වෙන්න. ඇතෙක් කියන්නේ සම්පතක්. ඇතෙක් මිනී මැරුවොත් ආයේ එයා ලවා දළදා කරඬු වැඩම කරවන්නේ නෑ කියලා පිළිගැනීමක් තියෙනවා. ඒ නිසා තමන්ගේ ජීවිතය වගේම ඇතාගේ සේවය ගැනත් දෙපාරක් හිතලා අලි ඇත්තු කිට්ටුවට යනකොට බාසුන්නැහේ ඉන්න වෙලාවක කිට්ටු වෙන්න.

ඉතින් මේ සාකච්ඡාවෙන් ඔයාලත් eLearning.lk හරහා අපේ රටේ හීලෑ අලි ඇතුන් ගැන ලොකු දැනුමක් ලබන්න ඇති කියලා හිතනවා. අපේ සාකච්ඡාවට සහභාගි වුණු දර්ශනට ස්තූතිවන්ත වෙන ගමන්, තවත් දවසක අපි මේ වගේම සාකච්ඡාවකින් හමු වෙමු !

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.