දූෂණයට එදිරිව තාක්‍ෂණය

බලය ඇති පාර්ශවයක් යම් අයථා ලාභයක් වෙනුවෙන් වංකව හෝ වංචනිකව කටයුතු කිරීම දුෂණය ලෙස අර්ථ දැක්විය හැකිය. ලොව බොහෝ නොදියුණු රටවල් දුෂණය අතින් ඉතා ඉහළ මට්ටමක පවතී. මෙය ඔවුන්ගේ නොදියුණු බවට ප්‍රධාන හේතුවකි.

රටක ජන විඥානය දරුණු ලෙස පිරිහීම දුෂණය සමාජගත වීමට හේතු කාරක වේ. මෙය අප්‍රිකාවේ, දකුණු ඇමරිකාවේ සහ දකුණු ආසියාවේ ඉතා දරුණු මට්ටමක පවතිනු අපි දකින්නෙමු. රටක සංවර්ධනයේ ළමා අවදියේදී දැඩි නීති රීති සම්පාදනය කිරීමෙන් එය ව්‍යාප්තවීම වලක්වා ගත හැක. සිංගප්පුරුව මීට උදාහරණයකි. දුෂණය අවම මට්ටමක පවතින සංවර්ධිත රටවල ජන විඥානය වර්තමාන තත්වයට පත්වීමට සියවස් කිහිපයක ක්‍රමික විකාශයක් සිදුවී ඇති බව පෙනෙයි.

නමුත් දුෂණය සමස්ත සමාජයේ මස් නහර ඇට මිදුළු දක්වා ව්‍යාප්ත වූ රටක නීති මගින් එය දුරලීම ඉතා අපහසු කටයුත්තකි. මන්ද නීතියද මෙම සමාජයේම කොටසක් වන බැවිනි. මෙවැනි අවස්ථාවක අපට ඇති එකම ඵලදායී ක්‍රමවේදය දුෂණ කාරක ක්‍රියාවලියන් පුද්ගල මෙහෙයුම්වලින් ඉවත්කර තාක්‍ෂණයට භාර දීමයි.

මේ සඳහා විස්තීර්ණ වර්තාවක මුළු සමාජ ක්‍රියාන්විතයම ආවරණය වන සේ ක්‍රමවේද රාශියක් ඉදිරිපත් කල හැකි වුවත් මහජන අවධානය සඳහා මෙහිදී මම කරුණු කිහිපයක් පමණක් ඉදිරිපත් කරමි.

දුෂණයේ ප්‍රධාන දොරටුවක් වන රථ වාහන වැරදි හා සම්බන්ධව පොලිසියෙන් ලබා ගන්නා අල්ලස් මැඩලීමට එම මුළු ක්‍රියාදාමයම ස්වයංක්‍රීයකරනය කල හැක. මෙහිදී කැමරා පද්ධතියක් සහ ස්වයංක්‍රිය කේන්ද්‍රීය නිරීක්ෂණ මධ්‍යස්ථානයක් මගින් කිසිඳු මිනිස් අත්පෙවිමකින් තොරව සියළුම වැරදි හඳුනාගෙන දඩ මුදල් වාහන අයිතිකරුගේ ගෙදරටම යැවීමට කටයුතු කල හැක. මෙමගින් වාහනයක භාරකාරත්වයේ වගකීම පිළිබඳවද අදාළ පුද්ගලයන්ට වැඩි හැඟීමක් ඇතිවේ. මීට අමතරව මාර්ගය අසල වැරදි මැඩලීම සඳහා සිටින පොලිස් නිලධාරීන්ට කැමරා ආවරණයක් ලබා දීමට හැක. රාජකාරි අතරතුර විශේෂ හේතුවකින් තොරව එම කැමරා පථයෙන් ඉවතට යාම ඔවුන්ට තහනම් කල හැක.

බොහෝ රජයේ ආයතනවල දුෂණය සිදුවන ප්‍රධාන කාරණයක් නම් යම් කටයුත්තක් ඉක්මනින් කරදීම සඳහා අල්ලස් ලබා ගැනීමයි. මේ සඳහා සියලුම රාජ්‍ය ආයතනවල ක්‍රියාන්විතය පහසුවෙන් පුර්ණ ස්වයංක්‍රිය කරණයකට භාජනය කල හැක. මේ සමගම එදිනෙදා භාවිත කරන කඩදාසි, මුද්‍රණ තීන්ත, සහ වෙනත් ලිපි ද්‍රව්‍ය විශාල ප්‍රමාණයකට යන මුදල ඉතිරිවේ. රෝහල් සඳහා මේ ක්‍රමවේදය රෝගින්ටද වෛද්‍යවරුන්ටද ආශිර්වාදයක් වනු ඇත.

ඊළඟ දුෂණ මූලය ඇත්තේ තේරීම් ක්‍රියාවලිය තුලයි. ටෙන්ඩර්, නිලධාරී පත්වීම්, ප්‍රසම්පාදනය (procurement) ආදී තේරීම් කටයුතු රාශියක් බොහෝ රටවල දැඩි දුෂණයකට ලක්වී ඇත. මේ සියලුම තේරීම් සඳහා තරමක වෙහෙසකර ක්‍රියාවලියකින් පසු ඉතා නිරවද්‍ය බුද්ධිමත් ඇල්ගොරිතම දියුණුකළ හැක. ඉන්පසු කිසිවෙකුටත් මේ සඳහා අත පෙවීම පහසු කටයුත්තක් නොවනු ඇත.

මේ ආකාරයෙන් තාක්‍ෂණය දුෂණය මැඩලීමේ ප්‍රධාන සාධකයක් බවට පත් කරගත හැක. එහෙත් ඒ සඳහා පාලකයාගේ කැපවීම අත්‍යවශ්‍ය වේ.

ලාංකිකයා ලංකාව පිළිබඳව ලොකුවට සිතනවා නම් මේ ඒ සඳහා කදිම අවස්ථාවකි. අපට හැකි නම් පුර්ණ වශයෙන් බුද්ධිමත් ලෙස ස්වයංක්‍රියකරණයවූ (intelligently automated) ලෝකයේ ප්‍රථම රට බවට පත්වීමට එය සියලුම ලාංකිකයන්ට අභිමානයක් වනු ඇත.

* This is a brief summary of a comprehensive report prepared for a certain government in Africa

මහාචාර්ය චන්දිම ගෝමස් මහතාගේ අනෙකුත් ලිපි සඳහා : chandimagomes.blogspot.com

මහාචාර්ය චන්දිම ගෝමස් මහතා, ආසියාවේ බොහෝ ප්‍රදේශවල අකුණු ආරක්ෂණ පිළිබඳ සමාගම් විශාල සංඛ්‍යාවක උපදේශකයෙක් ලෙසත්, ආසියාවේ අකුණු ආරක්ෂණ සහ විදුලි සුරක්‍ෂිතතාව පිළිබඳ ප්‍රමුඛ පුහුණුකරුවෙක් ලෙසත්, විද්‍යුත් ආරක්ෂාව සහ විද්යුත් චුම්භක අනුකූලතා සම්බන්ධව පළපුරුදු ඉංජිනේරු උපදේශකයෙක් ලෙසත්, ඉංජිනේරු සහ භෞතික විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙක් සහ ලේඛකයෙක් ලෙසත් කටයුතු කරනවා. මහචාර්ය චන්දිම ගෝමස් මහතා ඔහුගේ ජීවන අත්දැකීම්, කාර්යයන්, විද්‍යාවට දක්වන දායකත්වය, විද්‍යාව සහ තාක්ෂණයේ අනාගත ප්‍රවණතා සහ රාජ්‍ය අංශය සඳහා වඩාත් පලදායී ලෙස විද්‍යාව යොදාගෙන වැඩකටයුතු කාර්යක්ෂම කර ගැනීම පිළිබඳව මෙම බ්ලොග් අඩවියේ කෙටියෙන් සඳහන් කරනු ලබයි.