දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
මට මේ ලිපිය ලියන්න කොහොමද පටන් ගන්නේ කියලා කල්පනා කරනකොට ඉස්සෙල්ලාම මතක් වුණේ BBC එකෙන් කරපු ෂර්ලොක් හෝම්ස් රූපවාහිනී කතා මාලාව . ඒ කතා මාලාවේ එක තැනක හෝම්ස් ලන්ඩන් නගරය දිහා බලාගෙන කල්පනා කරනවා ” ලන්ඩනය සියළුම ජාතීන්ගෙන් පිරුණු වැසිකිලි වලක් වගේ ” කියලා .
ඔය වගේ සියළුම ජාතීන්ගෙන් පිරුණු වැසිකිලි වලක් තමයි ෆේස්බුක් කියලා කියන්නේ . හැම දෙයක්ම හැම ජාතියකම හැම ආකාරයකම අය ෆේස්බුක් ඉන්නවා . වැඩි හරියක් ඉන්න අය ෆේස්බුක් හරියට පාවිච්චි කරන්න දන්නේ නැහැ කියලා තමයි මම විශ්වාස කරන්නේ . සමහරු නම් ෆේස්බුක් එල්ලිලා ඉන්න අතරේ හම්බ කරනවා . ඒවගේ ලාභදායි වැඩ කරන අය වගේම තමයි සමහරු නාස්ති වෙලා යන්නෙත් ෆේස්බුක් නිසා . ළඟදී ඉඳලා ශෙයා වෙන්න ගත්තා මෙන්න මේ ෆොටෝ එක .
අවසානයේ ප්‍රාර්තනයකුත් තියෙනවා . හැඳි ගෑවිලා පලයන් කියලා . ඒත් අවිචාරවත් විදියට මේ වගේ දේවල් ෆේස්බුක් දාන එක සදාචාර සම්පන්නද කියලා පොඩ්ඩක් හිතලා බලන්න ඕන . හරියට හොයලා බලන්නේ නැතුව ඒවගේ දේවල් කරන එක සහ මේ වගේ ප්‍රකාශ ඉදිරිපත් කිරීම සම්බන්ධව දෙතුන් වතාවක් හිතලා බලන්න ඕන .
ඇත්තටම මේ ඉන්නේ බුදුන් වහන්සේ නෙවෙයි . මේ රූපයේ තියෙන ලිංගය එඩිට් කරලා සවි කරපු එකකුත් නෙවෙයි . මේ ඉන්නේ බුදුන් වහන්සේගේ කාලයේ ජීවත් වුණ නිගණ්ඨනාථපුත්ත කියන ශාස්තෘවරයා . අපි බුදුන් වහන්සේ දැකලත් නෑ . නිගණ්ඨනාථපුත්ත දැකලත් නෑ . ඒ නිසා වෙනස අඳුරගන්න පුරුදු වෙන්න පුළුවන් නම් ඒක තමයි වැදගත්ම දේ කියලා මම හිතන්නේ .
බුදුන් වහන්සේ පාරමිතා පිරීම හේතු කරගෙන උන්වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පහල වුණා කියලා කියනවා . ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් ලිංගේන්ද්‍රිය ශරීරය තුලට ගිලී පිහිටා තිබීම කියන මහා පුරුෂ ලක්ෂණය තිබිලා තියෙනවා කියලා ත්‍රිපිටකයේ විස්තර කෙරෙනවා . බුදුන් වහන්සේගේ ලිංගේන්ද්‍රිය ඒ නිසා සාමාන්‍ය අවස්ථාවේදී පිටතට නෙරා පිහිටන්නේ නැහැ කියලා තමයි ත්‍රිපිටක දේශනාවේ වැඩිදුර සඳහන් වෙන්නේ .
එත් යම් අවස්ථාවකදී දුර්මත බිඳ හෙලීම සඳහා උන්වහන්සේ ප්‍රාතිහාර්ය පෑමක් මගින් ලිංගේන්ද්‍රිය පිහිටන ආකාරය ප්‍රදර්ශනය කරා කියලා සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ සුත්ත නිපාතයේ මහා වර්ගයේ තියෙන සේල කියන සූත්‍රයේ සඳහන් වෙනවා . ඒ සූත්‍රයේ සඳහන් ඒ අවස්ථාව සිංහල තේරුම මම මෙතන කොපි පේස්ට් කරනවා ඔයාලට කියවලා බලන්න .
6. ඉක්බිති, සේල බමුණා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට එළඹියේය. එළඹ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවිය යුතුවූත්, සිහිනටයුතුවූ.ත්, කථාව කොට නිමවා එකත් පසෙක උන්නේය. එකත් පසෙක උන්නාවූ සේල බ්‍රාහ්මණයා, භාග්‍යවතුන් වහන්සේගේ කයෙහි දෙතිස් මහා ( පුරුෂ ලක්‍ෂණ ) සෙවීය. සේල බ්‍රාහ්මණ තෙමේ පුරුෂ ලකුණු දෙකක් හැර භාග්‍යවතුන් වහන්සේගේ කයෙහි සියලු දෙතිස් මහා ( පුරුෂ ලක්‍ෂණ ) දුටුවේය. කොපුවකින් වැසුනු ලිංගය ඇති බව ( කොසොහිත වත්‍ථගුයහතා ) හා පළල් දිවක් ඇති බව ( පහුත ජිවහතා ) යන ලක්‍ෂණ දෙකෙහි සැක කරයි. තීරණයකට නොබසී. ( ඔහුගේ සිත ) නොපහදී. එකල භාග්‍යවතුන් වහන්සේට මෙබඳු සිතක් පහළවිය. ´මේ සේල බ්‍රාහ්මණයා කොපුවකින් වැසුනු ලිංගය ඇති බව (කොසොහිත වත්‍ථගුයහතාව ) හා පළල් දිවක් ඇති බව ( පහුත ජිවහතා ) යන ලක්‍ෂණ ද්වය හැර සෙසු මහා ( පුරුෂ ලක්‍ෂණ ) දැක ඒ දෙක්හි සැක කරයි. තීරණයකට නොබසී. නොපහදී.´´ එවිට භාග්‍යවතුන් වහන්සේ යම්සේ කොපුවකින් වැසුනු ලිංගය (කොසොහිත වත්‍ථගුයනය ) දකීද, එබඳු ඎද්ධි විශෙෂයක් කළ සේක. අනතුරුව භාග්‍යවතුන් වහන්සේ දිව බැහැර කොට දෙකන් සිදුරු ස්පර්‍ශකළසේක. නැවත නැවත ස්පර්‍ශකළ සේක. දෙනාසා සිදුරු ස්පර්‍ශකළසේක. නැවත නැවත ස්පර්‍ශකළ සේක. නලල් තලය සම්පූර්‍ණයෙන් දිවෙන් වැසූ සේක. එකල සේල බ්‍රාහ්මණයාට මෙබඳු සිතක් විය. ´ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පරිපූර්‍ණ දෙතිස් මහ පුරිස් ලකුණින් යුක්තයහ. අසම්පූර්‍ණයෙන් නොවේ. ඔහු බුදුවූයෙක්ද නොවූයෙක්දැයි මම නොදනිමි. මෙය කියනු ලබන්නාවූ වෘද්ධවූ මහලුවූ ආචාය්‍ර්‍ය ප්‍රාචාය්‍ර්‍ය බ්‍රාහ්මණයන්ගෙන් අසන ලදී. යම් ඒ අර්හත්වූ සම්මා සම්බුදුවරයෝ වෙත්ද, ඔවුහු ස්වකීය වූ ගූණ කියනු ලබන කල්හි තමන්ගේ ( ඥාණ ) ප්‍රකාශ කරත්. මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ඉදිරියෙහි සුදුසුවූ ගාථාවලින් ස්තූති කරන්නේ නම් යෙහෙකි.´´ ඉක්බිති සේල බමුණා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි සුදුසු ගාථාවලින් ස්තූති කළේය.
මෙන්න මේ කරුණ අනුව බුදුන් වහන්සේගේ ලිංගේන්ද්‍රිය පිටතට නොපෙනීම පැහැදිළි වෙනවා . ඒවගේම තමයි ඊළඟට අපි හොයලා බලමු නිගණ්ඨනාථපුත්ත ගැන . නිගණ්ඨනාථපුත්ත අවිහිංසාවාදී ආගමක් ඇතිකරපු කෙනෙක් . ඒ ආගමේ යම් යම් විශේෂතා බුදුන් වහන්සේ පවා ප්‍රශංසා සහිතව දේශනා කරලා තියෙනවා . ඉතින් නිගණ්ඨනාථපුත්ත තමන්ගේ ආගම අනුව නිරුවත්ව තමයි ජීවත් වෙලා තියෙන්නේ . අදට වුණත් මහන නිගණ්ඨයින් ඉන්නේ නිරුවත්ව .
ඔය බුදුන්වහන්සේගේ කියලා එඩිට් කරා කියලා කෑගහන පිළිමය ඉන්දියාවේ තියෙන නිගන්ටනාථපුත්තගේ පිළිමයක් . මුහුණ එකවගේ නිර්මාණය කරලා තිබුණත් දෙතිස්මහා පුරුෂ ලක්ෂණ සම්බන්ධව හිතලා බලනකොට වත් මේ රූපය කාගේද කියලා හොයාගන්න පුළුවන් වෙන්න ඕන .
ඒ නිසා තමයි මම මේ ලිපිය ලියන්නත් කල්පනා කරේ . නිගන්ටනාථ පුත්ත කොයි වගේ කෙනෙක්ද කියලා පැහැදිළි කරගන්න ඔයාලට කියවන්න මම තව ලිපියක් මෙතන පේස්ට් කරනවා .
පරම අවිහිංසාවාදී චින්තනයක් ගොඩනැංවූ ශාස්‌තෘවරයා
ෂට් ශාස්‌තෘන් අතුරින් සුවිශේෂ ශාස්‌තෘවරයකු ලෙස ක්‍රි. පූ. 580 දී පහළ වු මොහු නම් දරා ඇත. ජෛනාගමේ ශාස්‌තෘවරු 24 ක් ගැන කියවෙන අතර එහි ආරම්භකයා ලෙස මහාවීර හඳුන්වා ඇත. ඔහු ජීන වූ අතර, බුද්ධ කාලය වන විට නිගණ්‌ඨනාථ නායකයා ලෙස හැඳින් විය. දික්‌සඟි අටුවාවට අනුව මොහුගේ ජීවන තොරතුරු පැහැදිලි වේ.
ඒ අනුව වඡ්ජි ජනපදයෙහි කුණ්‌ඩ ග්‍රාමාධිපතිව විසූ ලිච්ජවී වංශික සිද්ධාර්ථ නමැති ක්‍ෂේත්‍රයාට දාව ත්‍රිසාලාට උපන් දරුවා මොහු විය. දෙමාපියන් වර්තමාන නාමය තබන ලදී. නාථ යනු ගෝත්‍ර නාමය වූ අතර නිගණ්‌ඨ යනු නිර්වස්‌ත්‍රව සිටින බවය. වර්තමාන ජෛන මහාවීර ප්‍රතිමා තුළින් එය සනාථ වේ. මොහුගේ බිරිඳ වේසාලි නුවර බෙටක රජුගේ දියණිය වූ යශෝධාය. ඇයට ලැබුණ ප්‍රිය දර්ශන (පසුකල ජමාලි) දියණියත් සමග ගිහි සැප හැරපියා අවු( 30 දී අභිනිෂ්ක්‍රමණය කළහ. අවුරුද්දක් පස්‌කම් වින්ද අතර අවු( 12 ක් ශරීරයට දැඩි දුක් දුන්නේය. අවුරුදු 42 දී ජම්බුකා ගමේ සෘජුතුලා නදිය අසබඩ සල් ගසක් යටදී ධර්මාවබෝධය හෙවත් කේවලත්වයට පත් වූ බවත් අවු( 84 දී (ක්‍රි. පූ. 508 දී) කලුරිය කළ බවත් සඳහන් වේ.
නිගණ්‌ඨනාථ පුත්තගේ ප්‍රධාන ඉගැන්වීම ලෙස, පරම අවිහිංසාවාදය, ආත්මවාදය, ස්‍යාත්වාදය (අනේකාන්තවාදය), කර්ම වාදය (පුබ්බේකත හේතු වාදය ඇතුළුව), පුබෙබකතහේතු වාදය, පදාර්ථ සංකල්පය.
ඒ අතර පරම අවිහිංසාවාදය වැදගත් වේ. ” අහිංසා ධර්මාඃ” ජෛනයෝ පරම අවිහිංසා වාදී වූ අතර වෘක්‍ෂ, තෘණ ලතා ආදියටත් පණ තියෙන බව කී අතර මස්‌මාංස පමණක් නොව අල, බතල ආදියද අනුභව නොකලහ. වායු ගෝලයේ සිටින ක්‍ෂුද්‍ර ජීවීන් ගැන සලකා මුඛ වාඩම් බැඳගෙන කතා කළහ. මොහු පණ ඇති පණ නැති සියල්ලටම ඉන්ද්‍රීය ඇති බව කීහ. ඒ අනුව ගල් බොරලු, පර්වත, වාතය, ජලය, ගින්න යනාදිය ඉන්ද්‍රියත් ලෙසත්, ක්‍ෂද්‍ර ජීවීන් ඉන්ද්‍රිය දෙකක් ලෙසද, උකුණු, මකුණු ඉන්ද්‍රිය තුනක් ඇති උන් ලෙසද, මැස්‌සන්, බඹරුන් ඉන්ද්‍රිය හතරක් ඇති උන් ලෙසද, මිනිසුන් ඉඳුරන් පහම ඇති අය බවද දක්‌වා ඇත. මේ අනුව තණ කොළ අතර ගමනක් ගියත් ඉඳලකින් පාර තොට අතුගාමින් යන ක්‍රමයක් පුරුදු කරගෙන තිබුණි.
මොහු ඉදිරිපත් කළ ඉගැන්වීමක් ලෙස කර්මවාදය සැලකිය හැක. ඒ අනුව කර්මඵල විශ්වාසය හා කළ දෙයෙහි කර්මානුරූපීව ඵල – විපාක ලැබෙන බවත් සඳහන් කළහ. එහි ප්‍රබේද හැටියට කුසල අකුසල දෙකද ඒවා රැස්‌වන ද්වාර ලෙස, කාය දණ්‌ඩ, වචී දණ්‌ඩ, මනෝ දණ්‌ඩ යනුවෙන් කර්මය සඳහන් කර ඇත. ඒ අනුව
1.ඥාණාවරණීය කර්මය (නුවණ මුලා කරන කර්මය)
2. දර්ශනාවරණීය කර්මය (ආත්මය කිලිටි කරන කර්මය)
3. වේදනීය කර්මය (වේදනාව ලබාදෙන කර්මය)
4. මෝහණීය කර්මය (දියුණුව පරිහානිය සලසන කර්මය)
5. ආයුකර්මය (ආයුෂ නියම කරන කර්මය)
6. නාම කර්මය (ශරීරාවයට ඇති කරන කර්මය)
7. ගෝත්‍ර කර්මය
8. (ජාති ගෝත්‍රාදිය ඇති කරන කර්මය)
9. අන්තරාය කර්මය (බාධාවන් ඇති කරන කර්මය)
ආදි වශයෙන් දක්‌වා ඇති අතර එම කර්මම අතීත, වර්තමාන කර්ම යනුවෙන්ද දක්‌වා ඇත.
තවත් මොහුගේ ඉගැන්වීමක් ලෙස කර්ම ක්‍ෂය කිරීම දැක්‌විය හැකිය. ඒ අනුව ඒ සඳහා අනුගමනය කළ යුත්තේ අත්තකිලමතානුයෝගය හා චතුයාම සංවර සීලයත් බව පෙන්වාදිය හැකිය.
අතීත කර්ම නැති කිරීමට නොයෙක් වෘත අනුගමනය කරමින් ශරීරයට දුක්‌දිය යුතු බව ඉදිරිපත් කළ අතර වර්තමාන කර්ම ක්‍ෂය කිරීමේ මහ චතුයාම සංවරය බව පැවසූහ. “ඉධ මහාරාජ නිගණ්‌ඨෝ සබ්බවාරි වාරිතෝච හෝති, සම්බවාරි යුත්තෝච සම්බවාරි ධුත්තෝච සබ්බවාරි ඵුටේඨෝ ච එවං ඛෝ මහාරාජ නිගණ්‌ඨෝ චතුයාම සංවර සංවුතො හොති”
1.ඇල් දිය පානයෙන් වැළකිය යුතුය
2. සියලු පාපයන්ගෙන් වැළකිය යුතුය
3. කරන ලද පව් සෝදා හැරිය යුතුය
4. කරන ලද පාප කර්ම ස්‌පර්ශ කර අවසන් කළ යුතුය.
තවද ආත්ම විමුක්‌තිය සඳහා අවස්‌ථා පහක් පසුකළ යුතු බව සඳහන් කරයි. එනම්
1. මති
2. ශ්‍රැති
3. කේවල
4. අවධි
5. මනඃ පර්යාය යනාදීයයි.
බුදු දහමේ මාර්ගඵල මෙන් ජෛනාගමේ මේවා හඳුන්වා ඇත. ඒ අනුව මෙම දර්ශනයට අනුව පදාර්ථ වශයෙන්,
1. ජීව
2. අජීව
3. මෝක්‍ෂ
4. ආශ්‍රව
5. බන්ධ
6. සංවර
7. නිරජරා
ආදී වශයෙනි, පුණ්‍ය හා පාප දෙකද එකතුව පදාර්ථ 9 ක් බවට පත් වේ,
ස්‍යාත්වාදය – මෙම ශාස්‌තෘවරයාගේ තවත් ඉගැන්වීමක් ලෙස මෙය හැඳින්විය හැකිය. මෙයින් පැහැදිලි වන්නේ නිෂ්චිත බවක් නොමැති කමයි. අවිනිශ්චිත බවක් තහවුරු කිරීමයි.
ඇත කියා හෝ නැත කියා ස්‌ථීරත්වයක් උගන්වා නැත.
ආත්මවාදය – ඉගැන්වීම් අතර ආත්ම වාදයෙන් පැවසෙන්නේ භවයෙන් භවයට ගමන් කරන ආත්මයක් නැති බවය. නොමැරේ, නිත්‍යය, ධුවය, අවිපරිණාමීය, අභේදනීයය, අවිනස්‌වරය, කූඨස්‌ථය, සදාකාලිකය එම ආත්මය නිදහස් කර ගැනීම ආත්ම විමුක්‌තියයි.
විමුක්‌ති මාර්ග – විමුක්‌තිය ලැබීමේ දී මෙම ශාස්‌තෘවරයා ඒ සඳහා ප්‍රතිපදා 4 ක් දක්‌වා ඇති අතර එය ක්‍රියාත්මක කරන්නහුට විමුක්‌තිය ලැබෙන බව දෙසන ලදී. එනම්, ඥානය, ශ්‍රද්ධාව, චාරිත්‍ර, භාවනා ආදී වශයෙනි.
බුදු දහමේ මෙන්ම මොහුද පංචසීලයක් ඉදිරිපත් කර ඇත එනම්, සත්ව ඝාතනයෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, ක්‍රෝධ නොකිරීම, මෙත් වැඩීම ආදී වශයෙනි.
මොවුන් අනුගමනය කරන අන්තවාදී ක්‍රියා අතර තණ්‌හාව සම්පූර්ණයෙන් නැති කිරීමට නිර්වස්‌ත්‍රව සිටීම හා වෘත සමාදන් වීම අනුගමනය කළහ. බුදු දහමේ මෙන්ම මෙම ශාස්‌තෘවරයාද ත්‍රිවිධ රත්නයක් ඉදිරිපත් කරයි. එනම්, සම්‍යයක් විශ්වාසය, සම්‍යයක් ඥානය, සම්‍යයක් ආත්ම පාලනය ආදී වශයෙනි.
සමස්‌ථයක් වශයෙන් ගත් කල ශට් ශාස්‌තෘන් අතරින් නිගණ්‌ඨනාථපුත්ත ඉදිරිපත් කළ දර්ශනය පුද්ගලයාට යහපත් පිණිස පැවතුන අතර එහි දාර්ශනික පසුබිමක්‌ද තිබුණ බව පැහැදිලි වේ.
කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනෙහි ආචාර්ය
මාස්‌පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී
ගලගෙදර රතනවංශ හිමි
ඉතින් මම අවසාන වශයෙන් කියන්නේ යමක් දැක්ක පලියට තීරණ ගන්න එපා . සහ යමක් කෙනෙක් කියලා තියෙන පළියට රට වටේම ශෙයා කරන්නත් එපා කියලා . ඇත්ත නැත්ත හරියට දැනගෙන ශෙයා කරන්න .
මේ තියෙන්නේ බුදුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ .
බුදුරදුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ – නා උයනේ අරියධම්ම හිමි
ශ්‍රී ධර්මාලෝක මහා පිරිවෙනේ ආචාර්ය රාජකීය පණ්ඩිත, ශාස්ත‍්‍රපති දිවුලපැලැස්සේ විමලානන්ද හිමි
දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ
දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ වර්ණනා කරන පාලි සූත‍්‍ර ධර්ම අතර දීඝනිකායේ ලක්ඛණ සූත‍්‍රය, මහාප‍්‍රදාන සූත‍්‍රය, බ‍්‍රහ්මායු සූත‍්‍රය, සේල සූත‍්‍රය, සුත්ත නිපාතයේ වත්ථු ගාථා සහ පශ්චාත් කාලීන කෘතියක් වන පජ්ජමධු නම් කාව්‍ය ග‍්‍රන්ථය ආදිය මූලික වන්නට වූ අතර මුල් සූත‍්‍ර තුන සම්පූර්ණ මහා පුරුෂ ලක්‍ෂණ දෙතිස පිළිබඳ පරිපූර්ණ විවරණයක් ඉදිරිපත් කරයි. පාලි මූලාශ‍්‍ර හැරුණු විට මේ ලක්‍ෂණ පිළිබඳ මහා වස්තුව (කි‍්‍ර.ව. 2 –4 ) සංක්ෂේප විස්තරයක්ද ලලිත විස්තරයේදී (කි‍්‍ර.පූ. 1 – කි‍්‍ර.ව. 2 ) දෙතිස් ලක්‍ෂණ පිළිබඳ සම්පූර්ණ විස්තරයක්ද අසූවක් අනුව්‍යඤ්ජනයන් ගැන විවරණයක් ද ඉදිරිපත් කරයි. පාලි අනුක‍්‍රමයේත්, ලලිත විස්තරයේ දක්නට ලැබෙන සුවිශේෂී වෙනස නම් පාලියෙහි දෙපතුළ සිට ශීර්ෂ මුදුන දක්වා ලක්‍ෂණ එකිනෙක සංග‍්‍රහ කරන අතර ලලිත විස්තරය ශීර්ෂයේ සිට පාදාන්තය දක්වා සංග‍්‍රහ කිරීමයි. ලක්ඛණ සූත‍්‍රයේ විවරිත පිළිවෙළට දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ දක්වා විමර්ශනය කිරීම සිදු කරනු ලැබේ.
i. සුප්පතිට්ඨිත පාද
මනාව පිහිටි පාද (සු + පතිට්ඨිත + පාද) යනු මෙහි අදහසයි. බුදුරදුන්ගේ මෙම ලක්‍ෂණ පිළිබඳ විවරණය කරන සුමංගල විලාසිනී අටුවාව ‘අන් අයගේ පතුල් බිම තබන විට අග කොටස හෝ විලුඹ හෝ එක් පැත්තක් පළමුවෙන් පොළොව ස්පර්ශ කරයි. මැද හිස් ය. ඔසවන විටත් අග හෝ විලුඹ හෝ කොසටක්ව එසවේ. බුදුන්වහන්සේගේ පතුල් වූ කලි රන් මිරිවැඩියක් සේ එකවර බිම වදී. එකවරම පොළොවෙන් එසවේ’ මෙම ලක්‍ෂණය ගැන විමර්ශනය කරන විට අසාමාන්‍ය අංග ලක්‍ෂණයක් බැව් දෘෂ්‍යමාන වේ. එහෙත් එබඳු සමතල පාද ඇති වීම විශිෂ්ටත්වය හඟවන සංකේතයක් ලෙස සිතිය හැකි ය. මෙම විශේෂ ලක්‍ෂණය වර්ණනා කෙරෙන ජිනාලංකාර වණ්ණනාව හා ධර්මප‍්‍රදීපිකාව මෙසේ විවරණය කරයි. ‘බුදුන්වහන්සේ ගමන් කරන විට පොළවේ උස්තැන් පහත්ව පහත් තැන් උස්ව සමතලා බිමක මෙන් ඒකාකාර වේ. අතිපරිශුද්ධ උත්මයාණන් වහන්සේ ගමන් කරන විට අතිශයින් මෘදු වූ පතුල් තල සමසේ පොළොවේ ස්පර්ශ වන අතර දුහුවිල්ලෙන් දුර්වර්ණ වේ.’ පජ්ජමධුව හැම තැනම මනාව පිහිටන්නා වූ ශ්‍රී පාදය වර්ණනා කරනුයේ රන්වන් වූ සියුම් සිවියෙන් සෞම්‍ය වූ ඉදිබුවෙකුගේ පිටක් මෙන් ක‍්‍රමයෙන් උස්ව බබළන බවයි. ලක්ඛණ සූත‍්‍රය මෙම ලක්‍ෂණය විවරණය කරමින් සමානව බිමෙන් එසවෙන බවත් සමානව පොළව මත පිහිටන බවත් සඳහන් කරයි.
ii. හෙට්ඨාපාදතලෙසු චක්කානි ජාතානි
යටි පතුලේ සුප‍්‍රතිෂ්ඨිත චක‍්‍ර ලක්ෂණය මෙයින් පැහැදිලි කෙරේ. මෙය ශ්‍රී පාදයෙහි ප‍්‍රතිෂ්ඨාපිත චක‍්‍ර ලක්‍ෂණය විශේෂ සලකුණක් සේ ලක්ඛණ, මහා ප‍්‍රදාන හා බ‍්‍රහ්මායු සූත‍්‍ර විවරණය කළා සේම පජ්ජමධුව ද චක‍්‍ර හා සම්බන්ධ ඇතැම් බාහිර ලක්‍ෂණ ගැන විස්තර ඉදිරිපත් කරයි. දහසක් දැවි ඇති, නිම් වළලු සහිත මනා බෙදුම් ඇති සර්වාකාර පරිපූර්ණ චක‍්‍ර ලක්‍ෂණය යටි පතුලෙහි පිහිටි බව මෙයින් විස්තර කෙරේ. ලක්ඛණ සූත‍්‍රයේදී ද මේ අයුරින්ම චක‍්‍ර ලක්‍ෂණය හා සම්බන්ධ බාහිර ලක්‍ෂණ වර්ණනා කර ඇත. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ අතුරෙන් චක‍්‍ර ලක්‍ෂණය අතිශයෙන් වර්ධනයට පත් ප‍්‍රධාන ලක්‍ෂණයකි. මූලික චක‍්‍ර ලක්‍ෂණය පරිවාර ලකුණු රාශියකින් සංවර්ධිත විය. ඒ පරිවාර සංකේත රාශිය ගණනින් 108 කි.
‘චක‍්‍රරත්නය (චක්කා), ශ්‍රී අංගය (සිරිවච්ඡකො), ස්වස්තිකය (ස්වස්ති) දක්ෂිණාවර්තය (නන්දවත්ති), අවතංසකය (අවතංස), භද්‍රපීඨය (භද්දපීඨං), පුන්කළස (පුණ්ණකුම්භො), පූර්ණපාති‍්‍ර (පාති), ශ්වේතච්ඡත‍්‍රය (සොතාතපත්ත), කඩුව (ඛග්ගො), තාලවන්ත සහිත විජිනිපත (සතාලවණ්ටසංවීජනී), මයුර හස්තය, (මොරහෙත්‍ථා), අංකුසය (අකුසො), ප‍්‍රාසාද ලක්‍ෂණ(පාසාද), උෂ්ණීෂකය (උණ්හීස), උත්පල (උප්පල), මාණික්‍ය (මණි), පද්මය (පදුම), සමුද්‍රය (සමුද්දො), මෙරු පර්වතය (මෙරු), චක‍්‍රවාට පර්වතය (චක්කවාළසිඛරී), හිරු (සූරො), සඳ (චෙÁදා), නක්‍ෂත‍්‍ර (නක්ඛත්ත), සක්ලකුණ (චකකං), ධජය (ධජො), මහාවිජයොත්තරසක (මහාවිජයුතතරාකඛ්‍යංසංකං), ස්වර්ණ මත්ස්‍ය යුගල (සොවණණ මච්ඡයුගලං), සෙමෙර (චාමර) කිඹුල් ලකුණ (කුම්භීලදග්ගහිතතො), සප්ත මහාගංගාවෝ (සත්තාපගා), සප්ත මහාවිල් (දහාචසත්ත), සප්තකුඨ පර්වත (සෙලාචසත්තං), පතාකා (පතාකා), පටඬ්කි (පටඬ්කි), කේසරසිංහ (මිගින්ද), ගුරුළුරජ (සුපණ්ණරාජ), වළාහක අශ්වරාජ (වළහක අසසපති), ජද්දන්ත ඇත්රජ (ජද්දන්ත), උපොසිථ හස්තිරාජ (චරණූපොසථහත්ථිරාජ), කෛලාස පර්වත ප‍්‍රතිමාව (කෙලාසසෙලපටිමා), හංසලකුණ (පාදහංස), ඓරාවන හස්තිරාජ (එරවනොකරිවරො), වාසුකි නම් නාගරාජයා (වාසුකි නාගරජො), මයුර රාජා (මොරරාජං), චතුර්මුඛ ස්වර්ණ නෞකා (චතුමුඛහෙමනාවා), කරවීක පක්ෂියා (කරවීක පක්ඛි), සක්වාළිහිණියා (චක්කවාක), මකර ලක්‍ෂණය (මකරා), කොස්වාළිහිණියා (කොංච), ජිවංජීව (ජීවජීව), කිංපුරිස (කින්නර), කින්නරාංගනා (කින්නරී), වෘෂභරාජයා (උසභො), වස්සා සහිත ධෙනුව (සවච්ඡධෙනු), සොඪස බ‍්‍රහ්ම ලෝක (සොළසධාතුධාම), සත්වරූප (පද සත්තරූපා) “ ආදිය ඒවා අතර වෙයි.
අට්ඨකථාවේ දැක්වෙන්නේ චක‍්‍ර ලක්‍ෂණය තුළ සටහන්ව ඇත්තේ ලක්‍ෂණ කිහිපයක් පමණකි. අට්ඨකථාවට පසුව රචිත සිංහල කෘතියක් වන ධර්මප‍්‍රදීපිකාවේ සිරිපතුලෙහි සංකේත 65 ක් පමණක් අන්තර්ගත බව දක්වා ඇත.
චක‍්‍ර ලාංඡනය පිළිබඳ මෙකී විවරණයෙන් බාහිරව ශ්‍රී පාද පතුළෙහි චක‍්‍ර ලක්‍ෂණයක් පිහිටි බව අංගුත්තර නිකායෙන් හමුවේ. බුදුන් වහන්සේ උක්කට්ඨා සහ සේතව්‍ය මහා මාර්ගයේ හුදකලාව වඩින විට ඒ මාර්ගයේ ගමන් ගත ද්‍රෝණ නම් බ‍්‍රාහ්මණයෙක් බුදුරදුන්ගේ පිය සටහනෙහි වූ අර, නිම් වළලු, චක‍්‍ර, නාඹි හා ඊට අදාළ උපාංග සියල්ල පරිපූර්ණ වූ චක‍්‍ර සටහනක් දැක ඇත.
පශ්චාත් කාලීන කෘතිවල බුදුන්වහන්සේගේ අතිමානුෂික මහිමය ප‍්‍රභාවිත කිරීම සඳහා පත්ළෙහි චක‍්‍ර ලක්‍ෂණය පිළිබඳ චිත්තාකර්ෂණීය වර්ණනාවක් ඇතුළත් කර ඇත. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ පිළිබඳ දීර්ඝ විස්තරයක් ගෙන හැරපාන පජ්ජමධුව, චක‍්‍ර ලක්‍ෂණය කුසලතා පූර්ණ කලාකරුවෙකු විසින් නිර්මාණය කරන ලද චක‍්‍රයක ආකාර බැව් සඳහන් කරයි.
iii. ආයතපණ්හි
බුදුන්වහන්සේගේ පාදය දීර්ඝ හා පරිපූර්ණ විලුම් ඇති බව මෙයින් විවරිතය. බුදුන්වහන්සේගේ විලුඹ දිගය. පරිපූර්ණය. ශ්‍රී පාදයේ කොටස් අතරට බෙදුව හොත් එයින් කොටස් දෙකක් යටි පතුළ හා ඇඟිලි සඳහා වෙයි. තෙවෙනි කොටස කකුලෙන් පුරුකෙන් වැසී ඇති අතර සිව්වෙනි කොටස පසු පසට නෙරා ගිය විලුඹකින් බුදුරදුන්ගේ දික් වූ විලුඹ ඇත්තේ වෙයි.
iv. දීඝංඟුලි
පාලියේ දී මහාපුරුෂ ලක්‍ෂණ පාදයෙහි පටන් හිස දක්වා ආරෝහණ ක‍්‍රමයට සංග‍්‍රහ වී ඇත. ලලිත විස්තරය වැනි ඇතැම් සංස්කෘත ග‍්‍රන්ථවල ඉසේ සිට පාදය දක්වා අවරෝහණ ක‍්‍රමයට විස්තර ඉදිරිපත් කරයි. පජ්ජමධුවේහිදී ‘පාදම්බුජම්බු’ යනුවෙන් ශරීරයේ පහළ කොටසට අයත් ලක්‍ෂණ අතරට එය ඇතුළත් කර ඇත. පජ්ජමධුවේ පළමු ගාථාවෙන්ම ශ්‍රී පාදය පියුමකටද, ඇඟිලි පියුම් පෙතිවලට, නිය අමෘතය මෙන්ද, වර්ණනා කර ඇත. ශ්‍රී පාදයෙහි දිගු වූ ඇඟිලි මහාපුරුෂ ලක්‍ෂණයක් ලෙස ලක්ඛණ සූත‍්‍රයේද විචරිතය.
v. මුදුතලුනහත්ථපාද
මහා පුරුෂයාගේ අත් පා තල පිළිබඳ මෘදු මොළොක් බව ප‍්‍රකාශ කෙරෙන ලක්‍ෂණය මෙයයි. උන්වහන්සේගේ අතුල්පතුල් තල සියක්වර පොළා ගිතෙල් බඳුනක බහාගත් කපු පුළුනක් මෙන් මෘදුය. වයසට පත්කලද එකෙණෙහි උපන් ළදරුවෙකුගේ මෙන් ඒවා මෘදුය. මෘදු මොළොක් අතුල් පතුල් ඇත්තේ ද වේ.
vi. ජාලහත්ථපාද
දැල් කවුළුවකට බඳු අත් පාද ඇති බව මේ ලක්‍ෂණයෙන් කියවිණි. ‘ජාල’ යනු දැල යන අර්ථයයි. ජාලහත්ථපාද ලක්‍ෂණය මහාපුරුෂ ලක්‍ෂණවලින් එකකි. බුදුන්වහන්සේගේ අත්පාදවල පිහිටි ජාලයක් බඳු වූ ලක්‍ෂණ උන්වහන්සේගේ හස්තයේ මාපටඟිල්ල හැර, අනෙක් ඇඟිලි හතරත් පයේ ඇඟිලි පහත් යන මේවා එක සමාන උසින් පිහිටා තිබීමත් සමව පුරුක් පිහිටා තිබීමත් යන ලක්‍ෂණ මෙයින් කිය වේ. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණවලින් එකක් වන මෙය දැල්කවුළුවක් මෙන් ඇඟිලි සමප‍්‍රමාණව අත්පාවලින් යුතු බව කිය වේ.
vii. උස්සඬ්කපාදතා
මහාපුරුෂයාට උස් වූ වළලු කරක් ඇති බව කියවෙන අතර මේ පදයට විවිධ අර්ථකථන ඉදිරිපත් කිරීම නිසා එක් එක් සම්ප‍්‍රදායකින් විපරීත ආකාරයන්ගෙන් අවබෝධ කොට ගෙන ඇති බුදුන් සතු මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් එකක් වූ මෙය උඩට පිහිටි ගොප් ඇටය සහිත පා, බොලට පා, නිය වන බව ශබ්ද කෝෂයන් පෙන්වා දෙයි. පාද තලයෙහි දිගින් හරි මැද වළලු කර පිහිටියේ ය. සෙස්සන්ගේ බොලට හෙවත් ගොප් ඇටය උඩු පතුළෙන් මතු පිටට නෙරා තිබේ. එහෙයින් එය ස්තරය, තදය, පහසුවෙන් නැමිය හැකි නොවේ. එසේම යටි පතුළ දිස් නොවේ. බුදුන්වහන්සේ ගමන් කරන විට උඩු කය චලනය නොවේ. එය රන් පිළිමයක් මෙන් නිසලය. යටිකය පමණක් චලනය වේ. කුමක් නිසාද යත්, උන්වහන්සේගේ වළලු කර සන්ධිය එතරම් සුඛනම්‍ය හෙයිනි. මෙබඳු සුඛනම්‍ය, උස්ව මතු වී පෙනෙන වළලුකරයක් ඇති හෙයින් උන්වහන්සේ උස්සඬ්ක පාද ලක්‍ෂණයෙන් යුක්ත වේ.
viii. එණිජඬ්ගා
ඕළු මුවන්ගේ කෙණ්ඩා බඳු කෙණ්ඩා ඇති, හාත්පස සමව මසින් පිරී වටකුරු වූ පිරිපුන් කෙණ්ඩා ඇති බව යන ලක්‍ෂණය පිහිටීම මෙයින් හැඳින්විණි. මුවෙකුගේ වැනි ජඬ්ඟා ඇති බව ඔප්පු කිරීම සඳහා උපමාවක් යොදා ගන්නා බුද්ධඝෝෂ හිමියන් මනා ගැළපුණු සන්ධිස්ථාන සහිත උඩට ඉලිප්පී මතු වී පෙනෙන මසින් පිරුණු ජඬ්ගා කෙණ්ඩ යව කරලක් හෝ වී කරලක් හා සමාන බව කියයි. “එණි ජඬ්ගා” ලක්‍ෂණය විවරණය කරන පජ්ජමධුව බුදුන්වහන්සේගේ කෙණ්ඩා දෙක එණි මෘගයන්ගේ ජඬ්ඟද්වය වැනි බවත් උත්සන්න වූ මාංශයෙන් පිරුණු පිරිපුන් කෙණ්ඩා ඇති බවත්, එය හාත්පස සමාන වූ මාංශයෙන් පිරී ඇති බවත් විවරණය කරයි. උපමා දෙකක් දක්වමින් ශ්‍රී කාන්තාවගේ උත්සවයට නිරතුරු සරසා සිටුවන ලද රන් දාර දෙකක් බඳු යැයි ද, තැඹිලි මල් කැකුළු දෙකක් බඳු යැයි ද කියයි.
ix. ඨිතකෝව අනෝමමන්තෝ උභෝහි අත්තේභි ජන්නුකාමි පරිවසති
සිට නොනැමී දෙඅතින් දෙදණ පිරිමැදිය හැකි ය, යන මහාපුරුෂ ලක්‍ෂණය මෙයින් කිය වේ. මෙය මහා පුරුෂයාට දීර්ඝ අත් ඇති බවද කියන අතරම උන්වහන්සේ සෘජුව සිටගත් විට දෙඅත් දණ හිස් දක්වා එල්බ සිටිතැයි ලලිත විස්තරය කියයි. මහා පුරුෂයාගේ මුළු සිරුරම පරිපූර්ණය. උන්වහන්සේට සෘජුව සිට නොනැමී දෙඅතින් දෙදණ පිරිමැදිය හැකි ය. ගැඹුරු සිත් නමැති විලතුළ ගැලෙන මෛතී‍්‍ර, කරුණා යන ඇතින්නන් දෙදෙනාගේ සොඬමෙන් බුදුරදුන්ගේ අත් දෙක ශරීර නමැති කප් රුකෙහි අතු දෙක මෙන්ද, කප් රුකෙන් ලැබෙන අමෘත ඵලය මෙන් නිර්වාණ නමැති ඵලය ද ලබා දෙන බව පජ්ජමධුවේ දෙබාහු වර්ණනා කරමින් ඉදිරිපත් කරයි. යමෙකුගේ ශාරීරික පරිපූර්ණත්වය ප‍්‍රකට කිරීමට පමණක්ම භෞතික හා ආධ්‍යාත්මික ලෝකයෙහි නායකයෙකු මෙන් කල්පනා කරන මහාපුරුෂයාගේ ශ්‍රේෂ්ඨත්වය අඟවන සංකේතයක් ලෙසින් ද මෙම ලක්‍ෂණය ආරෝපණය කෙරේ.
x. කොසෝහිත වත්ථගුය්හ
කෝෂයකින් වැසුණු පුරුෂ ව්‍යංජනයක් ඇති බව මෙම ලක්‍ෂණයෙන් නිරූපිතයි. ලලිත විස්තරයේදී මෙය ‘කෝසෝපගත වස්ති ගුය්හ’ යනුවෙන් සඳහන් කෙරේ. මෙම ලක්‍ෂණය පැහැදිලි කරන අටුවාව එය හස්තියෙකුගේ හෝ වෘෂභයෙකුගේ මෙන් කෝෂයකින් වැසී තිබෙන බවත් නැතහොත් රන් නෙළුමක බීජ කෝෂය මෙන් හා සමාන වන බවත් කියයි. මෙම ලක්‍ෂණය වූ කලී මහාපුරුෂ ලක්‍ෂණ පරීක්‍ෂා කරනවුන්ට සැක උපදවන එකෙකි. එහි දී බුදුරදුන් සෘද්ධි බලයෙන් තම රහස් පෙදෙස ප‍්‍රදර්ශනය කළ බැව් පෙළෙහි සඳහන් වේ. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ බුදුවරයෙකුට හෝ සක්විති රජෙකුට පමණක් සීමා වූවත්, ඇතැම් ලක්‍ෂණ පුද්ගලයන්ට ද තිබිය හැකි බව ඇතැම් සාධක මඟින් නිගමනය කළ හැකි ය. දුටුගැමුණු රජුගේ යෝධයෙකු වූ නන්දිමිත‍්‍ර, කෝෂයකින් වැසුණු රහසඟ ඇති අයෙකු බැව් මහාවංශය සඳහන් කරයි.
xi. සුවණ්ණවණ්ණ
බුදුන්ගේ ශරීරය ස්වර්ණ වර්ණයෙන් යුක්ත ලක්‍ෂණයෙන් හෙබි බව මෙයින් අදහස් කෙරේ. සියුම් සිවිය ඇති ශරීරය නිසා රජස් දූවිලි ශරීරයෙහි නො ගැටේ. පජ්ජමධුව ද උන්වහන්සේගේ සිරුර රන්වන් සෙයින් ම, ගණ රන් පිළිමයක් වැනි යැයි ද, සියුම් සිවිය නිසා රජස් දූවිලි නො ඇලෙන බව ද, එය පියුම් පතෙහි හුණු දිය බිඳක් මෙන් පහවෙන බව ද කියයි.
xii. සුඛුමච්ඡවි
මෘදු, සෞම්‍ය සමක් පුරුෂයෙකුට ඇති වීම අස්වාභාවික ලක්‍ෂණයක් නොවූවද මෙම සුඛමච්ඡවි ලක්‍ෂණය පිළිබඳ විස්තර බුද්ධ ශරීරයට අතිමානුෂික විචිත‍්‍රත්වයක් ආරෝපණය කිරීම නිසා එහි ක‍්‍රමික සංවර්ධනය පෙන්නුම් කරයි. සියුම් සිවියකින් බුද්ධ ශරීරය හොබනා බැවින් රජස්, දූවිලි කිසිවිටෙක සිරුරෙහි නොගැටෙයි. නොඇලෙයි. නිරන්තර පාරිශුද්ධත්වයෙන් යුක්ත ය.
xiii. එකෙකලොම
එක් ලෝම කූපයෙහි එක් එක් රෝමයක් ඇත්තේ ය. යන ලක්‍ෂණය මහාපුරුෂ ලක්‍ෂණයන්ගෙන් තවෙකකි. පජ්ජමධුවේ ‘කුටිපග්ගලොමා’ යන්නෙන් ඒකේකලෝම හා උද්ධග්ග ලෝම යන පුරුෂ ලක්‍ෂණද්වයම ප‍්‍රකාශිතය. ලෝකයෙහි සෙස්සන්ගේ එක්රෝම කූපයක් තුළ රෝමකූප දෙක තුනක් තිබිය හැකි ය. එහෙත් බුදුරදුන්ගේ එක් රෝම කූපයක් තුළ එක් රෝමකූපයක් පමණක්ම ඇත.
xiv. උද්දග්ගලොම
දක්‍ෂිණාවර්තව වක‍්‍ර වී ඌර්ධව බලාසිටි අඤ්ජා පැහැ සමාන තද නීලවර්ණ රෝම මෙම නමින් හැඳින්වේ. මෙම ලක්‍ෂණය පිළිබඳ විවරණය කරන ලලිත විස්තරය දකුණට කැරකැවී, රෝමාග‍්‍රය උඩු අතට හැරී තිබෙන බව කියයි. ඒ අනුව බුදුන්ගේ ශරීරයෙහි නීල අඳුන්වන් වූ රෝමයෝ දක්‍ෂිණාවර්තව ආවර්තන පර්යාවසානයේ මුඛසෝභා බලනවුන් මෙන් ඌර්ධවාග‍්‍රව සිටීම මෙහි ස්වභාවය යැයි දක්වාලයි. මේ ලක්‍ෂණය උඩුකුරු වූ අඟ ඇති රෝමයක් වැනි ය.
xv. බ‍්‍රහ්මුජ්ජුගත්ත
බ‍්‍රහ්මයාගේ බදු සෘජු ශරීරයක් ඇතිබව යනු මෙම ලක්‍ෂණයේ ස්වභාවයයි. ගෞතම බුදුන්වහන්සේගේ බ‍්‍රහ්මරූපී වර්ණයෙන් යුතු සෘජු විශිෂ්ට රූප කාය සම්පත්තියකින් බුදුන්වහන්සේ හෙබි වූ බැව් මෙම ලක්‍ෂණය පිළිබඳ විවරණයන්ගෙන් පැහැදිලි කෙරේ. ශ්‍රේෂ්ඨත්වය, පරිපූර්ණත්වය වැනි අර්ථ දීම සඳහා බෞද්ධ පාරිභාෂික වචන මාලාවට “බ‍්‍රහ්ම” යන්න ඇතුළත් කරමින් බුදුරදුන්ගේ සෘජු හා පරිපූර්ණ ශරීරය අදහස් කිරීම් වස් බ‍්‍රහ්මුජ්ජුගත ලක්‍ෂණය ඇතුළත් කරන්නට ඇත.
xvi. සත්තුස්සද
“සත්තුස්සද” යන පදය මහා පුරිස ලක්‍ෂණ සන්දර්භයෙන් විමසා බලන විට ශරීරයෙහි සප්ත ස්ථානයන් පිරිපුන් බව හඟවයි. සත් තැනක උත්සන්නව, සත් තැනක පිරිපුන් මාංශය ඇති වේ. එම ස්ථාන හත නම් අත්දෙකෙහි, පා දෙකෙහි, උරහිස් දෙකෙහි හා ස්කන්ධයෙහි පිහිටි බැව් ලක්ඛණ සූත‍්‍රය පෙන්වා දෙයි. මනුෂ්‍ය ශරීරයේ මස්වලින් ඉල්පී ඇති ස්ථාන සඳහා ද “සත්තුස්සද” නමින් හඳුන්වන අතර මහා පුරුෂ ලක්‍ෂණයක් ලෙස ද එය සලකයි.
xvii. සීහපුබ්බද්ධකාය
බුදුන්වහන්සේගේ ශරීරයෙහි ඉදිරි අර්ධය සිංහයාගේ බඳු ය. යන ලක්‍ෂණය මෙයින් අර්ථවත් වේ. තථාගතයන් වහන්සේ “සිංහ” යන විශේෂ නාමයෙන් ද හඳුන්වනු ඇත. බුදුන්වහන්සේගේ දෛනික චර්යාවද සිංහ චර්යාවටම සමාන කරන අතර බුදුන්වහන්සේ සැතපීම ද, සිංහ ස්‍යෙයාව නමින් හඳුන්වා ඇත. සීහපුබ්බද්ධකාය විස්තර කරන අටුවාව බුදුරදුන්ගේ ශරීරය සිංහයාගේ උඩුකයේ කොටසට සමාන වන හෙයින් “සීහපුබ්බද්ධකාය” නමින් හඳුන්වයි.
XVIII. චිතන්තරංස
උරස්ථල අතරෙහි රැලි නැති ලක්‍ෂණය මෙයින් කියැවේ. මසින් පිරුණු පිටිකර ඇති බව පෙලෙහි මෙම ලක්‍ෂණය සඳහන් කරන ආකාරයයි. මෙම ලක්‍ෂණය විවරණය කරන අටුවාව “අන්තරංස” යනු දෙවුර අතර කොටසයි. එහි නොඅඩුව පිරුණු දෙවුර අතර කොටස “චිතන්තරංස” යැයි කියයි. ‘කනක සංකම සන්නිකාසා’ යනුවෙන් බුදුරදුන්ගේ පිට පුළුල් බවත් මුළු සිරුර රන්වන් හෙයින් පිට ද රන්වන් බැවින් රන් පාලමක් සෙයින් පුළුල්ව පවතින බව චිතන්තරංස ලක්‍ෂණය විවරණය කරන පජ්ජමධුව දක්වයි. දුරදුන්ගේ උරස්ථලය ඉන්ද්‍රනීල මාණික්‍ය වර්ණ වූ වළලු මෙන් ඇතුළට නැමුණු අග ඇති රෝම පන්තීන්ගෙන් යුක්ත බවත් එහෙයින් ශ්‍රී කාන්තාවගේ කී‍්‍රඩා පිණිස සාදන ලද රන් දූ පෝරුවක් වැනි යැයි ද එහි විස්තර කෙරේ.
XIX නිග්‍රෝධ පරිමණ්ඩල
නිග්‍රෝධ වෘක්‍ෂයක පරිධිය මහා පුරුෂයාගේ ශරීරය හා තුලනය කිරීම මෙයින් සිදුකෙරේ. මෙම ලක්‍ෂණය විවරණය කරන අටුවාව ශරීරයේ ප‍්‍රමාණය නිග්‍රෝධ රුකෙක සම්මිතිය හා සමාන බවත් දෑත දෙපසට විදහූ කල දැක්වෙන පරිධිය උස ප‍්‍රමාණයට සමාන බවත් කියයි. මේ ලක්‍ෂණ මඟින් පුද්ගලයෙකු සතු ශ්‍රේෂඨ චර්යාව හඟවන්නට ඇති බවත් ආරෝහ, පරිණාහ සම්පත්තියෙන් ආඪ්‍ය මනුෂ්‍ය ශරීරාකෘතියක් පිළිබඳ හැඟීම මෙයින් ප‍්‍රකාශ කරන්නට ඇති බවත් සිතිය හැකි ය.
XX.සමවත්තක්ඛන්ධ
සමානව පිහිටි උරහිස් ඇතිබව මෙම ලක්‍ෂණයෙහි ස්වභාවයයි. සමවත්තක්ඛන්ධ යන ලක්‍ෂණයෙන් සමව, මනාව වැඩුණු උරහිස් යන අර්ථය ගත හැකි බැව් පෙනේ. සමව, වටවූ කද ඇති බව මේ ලක්‍ෂණය පිළිබඳ ලක්ඛණ සූත‍්‍රය කියයි. සම වූ, වට වූ ගී‍්‍රවය ඇති උස්ථලය ඇති බැවින් “සමවත්තක්ඛන්ධ” නම් මහා පුරුෂ ලක්‍ෂයෙන් යුක්ත වන බව ධර්මප‍්‍රදීපිකාව කියයි. බුදුරදුන්ගේ ගී‍්‍රවය ස්වර්ණ මෘදංග බෙරයක් සෙයින් හොබනා බැව් පජ්ජමධුව විවරණය කරයි.
XXI. රසග්ගසග්ගී
රස ග‍්‍රාහක ඉන්ද්‍රිය මෙනමින් හැඳින්වේ. අග‍්‍ර රස එළවන රස නහර ඇත්තේ ගී‍්‍රවයෙහි උඩුකුරුව කෙළින් නැඟී සිටි සමව රසය එළවන රසනහරයෝ හටගැනීම මෙම ලක්‍ෂණයයි. මේ ලක්‍ෂණය නිසා උන්වහන්සේට ඉතා ස්වල්ප ආහාරයෙකිනිදු ජීවත් විය හැකි බවද, ශාරීරික සෞඛ්‍ය ආරක්‍ෂාවටත් කෙබඳු ආහාරයක් වූවද ජීවත්වීමේ හැකියාව උපදවනා බවත් පැවසේ.
XXII.සීහහනු
බුදුරදුන්ගේ හනු සිංහයෙකුගේ හනු හා සමාන බව මෙම ලක්‍ෂණයෙන් කියවිණි. පජ්ජමධුව ද මෙම ලක්‍ෂණය විවරණය කරමින් බුදුරදුන්ගේ හනුව සිංහයෙකුගේ හනුව හා සම වෙතැයි එම මතයම ඉදිරිපත් කරයි. බුදුරදුන්ගේ මේ ලක්‍ෂණය විස්තර කරන ලක්ඛණ සූත‍්‍රය සිංහයෙකුගේ යටි හනුව සේ පිරුණු උඩු යටි හනු දෙක ඇති බව කියයි. මෙසේ උඩු යටි හනු දෙක එකිනෙකට මනාව ගෑවී පවත්නා නිසා මුහුණට ද පූර්ණත්වයක්, විශිෂ්ටත්වයක් හා පාරිශුද්ධ බවක්ද ගෙන දෙයි.
XXIII. චත්තාලීස දන්ත
මහා පුරුෂයාට සමසතළිස් දත් පිහිටීමේ ලක්‍ෂණය මෙයින් විවරණය කරයි. දත් සතළිසක් උන්වහන්සේට පිහිටි බව ලක්ඛණ සූත‍්‍රයද සඳහන් කරයි. “චත්තාරිංශත් දන්ත ලක්‍ෂණය” දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණවලින් එකක් බවත් ;බෟද්ධ ශබ්ද කෝෂ ද පෙන්වා දෙයි. මහාපදාන සූත‍්‍රයෙහි විපස්සී කුමාරයාට මේ ලක්‍ෂණ කුමාර අවධියේම පිහිටි බව සඳහන්ව තිබීමෙන් පැහැදිළි වනුයේ ළදරුකළ සිටම එම ලක්‍ෂණය එතුමා තුළ පිහිටි බවයි. සාමාන්‍ය පුරුෂයෙකුට වඩා මහා පුරුෂයෙකුට අසාමාන්‍ය වූ දන්ත මාලාවක් පිහිටීම මංගල ලක්‍ෂණයක් සේම ශ්‍රේෂ්ඨත්වය පිළිබිඹු කරන්නෙකැයි පශ්චාත් කාලීනව විරචිත පජ්ජමධු ප‍්‍රධාන අනිකුත් ග‍්‍රන්ථවල විවරණය කෙරිණි. පජ්ජමධුවේ විශේෂත්වයක් වනුයේ චත්තාලීස දන්ත, සමදන්ත, අවිවරදන්ත, සුසුක්කදාඨ යන මහාපුරුෂ ලක්‍ෂණ හතරම ‘දන්තපන්ති’ යන එකම වචනයෙන් වර්ණනා කිරීමයි.
XXIV.සමදන්ත
මහාපුරුෂයාට ඒකාකාර දන්ත පිහිටීමේ ලක්‍ෂණය මෙයින් විවරිතය. මහාපදානයට අනුව සමවූ දත් පිහිටීම මහාපුරුෂයාගේ ළදරුකළ පටන්ම පැවැත එන ලක්‍ෂණයෙකි. මෙම සම දත් ඇති ලක්‍ෂණය ලක්ඛණ සූත‍්‍රයේද තවත් එක් පුරුෂ ලක්‍ෂණයක් වශයෙන් දක්වයි. අටුවාවට අනුව දික් වූ ද, කෙටි වූ ද ප‍්‍රමාණයෙන් එකිනෙකට වෙනස් වූද, සෙස්සන්ගේ දත් සමඟ බුදුන් වහන්සේගේ සමාන, ක‍්‍රමවත් ලක්‍ෂණයෙන් යුත් දත් ගැන විස්තරයක් ඉදිරිපත් කෙරේ.
XXV.අවිවරදන්ත
දත් දෙකක් අතර අන්තර විවරයක් නොමැති බව මෙම ලක්‍ෂණයෙහි ස්වභාවයයි. ලලිත විස්තරයේදී අතර පරතර රහිතව දත් පිහිටීම මෙම ලක්‍ෂණය බැව් අර්ථ දක්වයි. මේ ලක්‍ෂණය විවරණය කරන අටුවාවත් සෙස්සන්ගේ දත් අතර හිදැස් ඇති බවත් මස් හෝ මාළු අනුභව කරන විට ඒවා අතර පිරෙන බවත්, තවත් අයෙකුගේ දත් කිඹුල් දත් හා සමාන වන බවත් එහෙත් මහා පුරුෂයාගේ දත් ස්වර්ණමය ආධාරයක සවිකළ දියමන්ති පෙළක් මෙන් තරව, සමීපව පවතින බවත් සඳහන් කරයි. මෙම ලක්‍ෂණය මහා පුරුෂයාට ආරෝපණය කිරීම මංගල ලක්‍ෂණයක් වූවා සේම සෞන්දර්යාත්මක බාහිර වෙනුම හා සැසඳීම හා සමාන වෙතැයි ද සිතිය හැකි ය.
XXVI.සුසුක්කදාඨ
ඉතා සුදු පැහැති දත් (සුසුක්කදාඨො) මෙම පුරුෂ ලක්‍ෂණයේ ස්වභාවය බැව් විවරණය කරයි.
මෙය විශ්ලේෂණය කරන අටුවාව සෙස්සන්ට අබලන්, දිරාපත් දත් ඇති බවත් ඒවා වෛවර්ණ වන බවත් මහා පුරුෂයාගේ දත් වූ කලී සුදු පැහැයෙන් දීප්තිමත්ව බැබළෙන ඖෂධී තාරකාවක් මෙන් දිදුළන බවත් කියයි. බුදුන්වහන්සේගේ සතර දළදාවෝ සඳහන් කරන තැනද ‘දාඨා’ යන්න යොදා ඇත. සතර දළදාවන් පිළිබඳ විවරණය කරන මහා පරිනිබ්බාණ සූත‍්‍රය එක් දළදාවක් දෙව් ලොවෙහිද, නා ලොවෙහි ද පුද ලබන බව සඳහන් කෙරේ. තවත් දළදාවක් ගන්ධාර පුරයෙහිද, තවත් දළදාවක් කාලිංගයේද ප‍්‍රතිෂ්ඨාපිත අතර මේ ලක්‍ෂණය “සුසුක්කදාඨ” (සුදු දත්) යනුවෙන් හැඳින්වූවා සේම ඒ අතරට සතර දළදාවෝ ද ඇතුළත් කිරීමට අටුවාව උත්සාහ ගෙන ඇත.
XXVII. පහූත ජිව්හො
මහාපුරුෂයාගේ දිව හා සම්බන්ධ ලක්‍ෂණය මෙනමින් හැඳින්වේ. බුදුරදුන්ගේ දිව සදහම් නමැති ගඟුළැල්ලට පද්ම රාග මාණික්‍යමය ගල්තලාවක් ද, වාක් නැමැති මනොඥ රංග මණ්ඩලයක් ද, සද්ධර්ම නමැති රුවන් නෞකාවෙහි පිහිටුවන ලද පළු පතක් වැනි යැයි ද ‘පහූත ජිව්හ’ නම් පුරුෂ ලක්‍ෂණය විස්තර කරන පජ්ජමධුව වර්ණනා කරයි. දික් පුළුල් දිවකින් යුක්ත බව මේ ලක්‍ෂණය පිළිබඳ ලක්ඛණ සූත‍්‍රයේ විග‍්‍රහයයි. මහා පුරුෂයාගේ දිව මෘදුය, දිගය, පුළුල් ය. වර්ණයෙන් පි‍්‍රයංකර දිව දිගු කර කනෙහි අග‍්‍ර ස්පර්ශ කළ හැකි ය. නාසිකාශ‍්‍රය ස්පර්ශ කළ හැකි ය. එහි පෘථුල බව නිසා නළල් තලය ද දිවෙන් වැසිය හැකි බව බුදුරදුන් තම දිවෙහි ස්වභාවය පෙන්නුම් කරන අවස්ථාවන්හි සනාථ කර ඇත.
XXVIII. බ‍්‍රහ්මස්වර
බුදුරදුන්ගේ ස්වරය බ‍්‍රහ්මයාගේ ස්වරය හා සමාන යන අර්ථයෙන් “බ‍්‍රහ්මස්වර” නම් වන බව කියයි. කරවීක පක්‍ෂියාගේ නාදය ඉතාම මිහිරිය. ඔහු හඬන විට සිවුපාවෝ මධුමද මුදිතයන්සේ ලලිතාරම්භ කෙරෙති. බුදුරදුන්ගේ ස්වරය කරවීක ස්වරයටත් වඩා මෘදුය. එනිසා කරවීක පක්‍ෂියාගේ ස්වරය බුදුරදුන් පරදවන ලද්දේය. බුදුරදුන්ගේ පාදයෙහිද කරවීක ලක්‍ෂණය සනිටුහන්ව ඇත. මේ ලක්‍ෂණයෙන් යුත් මහා පුරුෂයා අතිවිශිෂ්ට හඬකින් යුක්ත වූවකු බව කිසිදු සැකයක් නැත. බුදුරදුන්ගේ ස්වරය පිළිබඳ මේ ලක්ෂණය ආශ්චර්ය ජනක හා අතිමානුෂීය ස්වභාවය පිළිබඳ සළකුණකි. උන්වහන්සේ සතුව මියුරු, තේජාන්විත ස්වරයක් හිමිව තිබූ බවද මෙයින් ගම්‍ය වෙයි.
XXIX. අභිනීලනෙත්ත
මහාපුරුෂයාගේ අතිප‍්‍රබල වර්ණයෙන් යුක්ත නේත‍්‍රයුග්මය මෙම ලක්‍ෂණයෙන් ප‍්‍රකාශිතය. බුදුන්වහන්සේගේ නේත‍්‍ර යුග්මය සිත්කළු වන බව මේ ලක්‍ෂණය පිළිබඳ පැහැදිලි කරන පජ්ජමධුව කියයි. බුදුරදුන්ගේ නෙත් නීලවර්ණ වුවමනා විට දිය බෙරලිය මල් වැනි ඉතා පිරිසුදු නිල් පැහැයෙන් ද, රන්වන් වුවමනා විට කිණිහිරිය මල් වැනි රන් පැහැයෙන්ද, රතුපාට වුවමනා තැන බඳුවද මල් වැනි රන්පැහැයෙන්ද, සුදු වුවමනා තැන තාරකාමෙන් සුදු පැහැයෙන් ද, කළු වුවමනා තැන රුක්පෙණෙළ ඇට වැනි ඉතාපිරිසුදු කළු පැහැයෙන් ද බබළයි.
XXIX. ගොපමුඛ
තුරුණු දෙනකගේ බදු ඇස්පිහාටු ඇති බව මෙම ලක්‍ෂණයේ ස්වභාවයයි. මෙම ලක්‍ෂණය විවරණය කරන අටුවාව සෙස්සන්ගේ මෙන් නොව, මහා පුරුෂයාගේ එවේලෙහි උපන් රතු වස්සෙකුගේ ඇස්ගුළිය මෙන් දීප්තිමත්ව, මෘදුබවින් යුක්ත බව කියයි. එකෙණෙහි උපන් රතු වස්සෙකුගේ ඇස් පියුම් හා සමාන ඇස්පියුම් මහාපුරුෂයා සතුව ඇති බව නිසා ‘ගොපඛුමො’ යනුවෙන් ලක්‍ඛණ සූත‍්‍රයේ විවරිතයි. ගෝපඛුමතා ලක්‍ෂණය දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණවලින් එකක් බවත්, එය උපන් හැටියේ වස්සෙකුගේ රතුපිය ඇති ඇස්පියුම් බදු ලක්‍ෂණ වන්නේ යැයි ශබ්ද කෝෂය විග‍්‍රහ කරයි.
XXXI. උණ්ණා (ඌර්ණ රෝමය)
දෙබැම අතර රජත හිම කැටයක් මෙන් දීප්තිමත් ව බබළන සුදු කෙස් ගස ඌර්ණ රෝම ලක්‍ෂණය ලෙස ලලිත විස්තරය විග‍්‍රහ කරයි. බුදුරදුන්ගේ නාසිකාවට ඉහළින් නළල මැද පිහිටා ඇති ඌර්ණ රෝමය පිළිබඳ විස්තර කරන අටුවාව, ඌර්ණ රෝමය අගින් අල්වා ඇද්ද විට අර්ධ බාහුවක් පමණ වන බවත්, අත්හළ විට දකුණට කරකැවී උඩු අක්ව පවතින බවත්, රන් පෝරුවක් මත් දිළෙන රිදී බුබුළක් මෙන් රන් කළයකින් වැගිරෙන කිරි දහරක් මෙන් අරුණාලෝකය පහළ අහසේ ඕෂධී තාරකාව මෙන් ආලෝකමත්ව රශ්මී විහිදුවන බවත් කියයි. බුදුරදුන්ගේ ඌර්ණ රෝම ධාතුව භුරිද්ත්ත නාගරාජයා තුඹස මත දරණ ලා වැදහොත් ලීලාව දරන බවත්, නාගයා තුඹස මෙන් ද, ඌර්ණරොම ධාතුව භෝගාවලිය මෙන් ද පජ්ජමධුව විස්තර කරයි. බුදුන්වහන්සේගේ අතිමානුෂික ගුණාංග විදහා දැක්වීම අංශයෙන් විශේෂෙයෙන් ම බුද්ධකාය ප‍්‍රතිබද්ධව මහායාන සංකල්පය මත ඌර්ණරෝම ලක්‍ෂණය අතිශයෙන් වැදගත් වේ. නළල් තල මැද ප‍්‍රතිෂ්ඨාපිත ඌර්ණ රෝම ලක්‍ෂණය පජ්ජමධුවේ විස්තර කරමින් ඌර්ණ මණ්ඩලය නළල් මැද රන් ඵලක බැද තිබූ රිදීබුබුළක් මෙන් බබළන බව වර්ණනා කරයි.
XXXII. උණ්හීසසීස
බුදුරදුන්ට සම්පූර්ණ වූ දිය බුබුළක් මෙන් බබළන්නා වූ ශීර්ෂ ඇති බව “උණ්හීසසීසපක්‍ෂණය” පිළිබඳ පජ්ජමධු විවරණයයි. බුදුන් වහන්සේගේ හිස රූප නමැති ලක් විඳින, ඇස් නමැති ඊවල දැකීම් නමැති මුවහත් තබන්නා වූ මිණිගෝළයක් මෙන් බබළන බව කියයි. අටුවාව උණ්හීස ශීර්ෂ විවරණය කරමින් මහා පුරුෂයාගේ පරිපූර්ණ වූ දිය බුබුළක් වැනි ශීර්ෂ ඇති බවත් එය හැමතැන පරිමණ්ඩලාකාර ශීර්ෂ වන බැවින් ‘උණ්හීසසීස’ වන බවත් විස්තර කරයි. මහායාන සාහිත්‍යයට අනුව උණ්ණා මෙන්ම උෂ්ණීෂයද, ලෝකාලෝකකරමින් දහස් සංඛ්‍යාත රශ්මි විහිදුවමින් ප‍්‍රාතිහාර්යපාන බව කියයි. ඒ බුදුරදුන්ගේ අතිවිශේෂ ප‍්‍රඥා මහිමය ප‍්‍රකට කිරීම පිණිස ගන්නා ලද ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයක් නිසා යැයි කිවහැක. ප‍්‍රධාන වශයෙන් දී.නි. ලක්ඛණ, මහාපාදන සූත‍්‍රයේත්, සුමංගලවිලාසිනී අට්ඨකථාවත්, පජ්ජමධුවේත්, ලලිතවිස්තරය, මහාවස්තුව වැනි මහායාන ග‍්‍රන්ථවලත් සිංහල ධර්මප‍්‍රදීපිකාව, පූජාවලිය වැනි ග‍්‍රන්ථවලත් දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ සහ අනුව්‍යංඤ්ජන පිළිබඳ විස්තර දක්නට ලැබෙයි.
තවත් ලිපියකින් හමුවෙමු .
ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !