ලොව පළමු නොබෙල් ත්‍යාගලාභිනිය

ඉලක්ක කරා යන ගමනේදී කාන්තාවකට එන ප්‍රශ්න ගැටලු තාඩන පීඩන විශාලයි. කාන්තාවකට තම ජීවිතය තුළ දී තම පවුල, සමාජය, ආගම, සංස්කෘතිය වැනි නොයෙකුත් තත්ත්ව තුළදී නොයෙක් හැලහැප්පීම් වලට ලක්වීමට සිදුවෙනවා. එය කාන්තාවන් විදියට අපි හැමදෙනාටම නොයෙකුත් තැන්වලදී මුහුණ දෙන්නට වෙන දෙයක්.

පිරිමි පුද්ගලයෙකුට තම ඉලක්ක කරා යාමේදී ඇතිවන ප්‍රශ්නවලට වඩා කාන්තාවකට තම ඉලක්ක කරා යෑමේදි නොයෙකුත් කායික හා මානසික ගැටලු රාශ්‍රීයකට මුහුණ දෙන්න වෙනවා. තාක්ෂණය අතින් ඉහළම සිටින ලෝකයක වුවද කාන්තාවකට එදා මෙන් අදත් ලැබෙන කෙනෙහිලිකම් නම් අඩු නෑ. එවැනි බොහෝ ප්‍රශ්න අතරින් ඒවාට සාර්ථකව මුහුණ දී තම ජීවිතය දිනන්නට තරම් කාන්තාව ආත්මශක්තිය අතින් අද වෙද්දී ඉහළ තැනක ඉන්නවා. එවැනි ආත්මශක්තියක් තිබෙන කාන්තාවකට පිරිමින් දාහක් සමග වුවද සටන් කිරීමට තරම් බලයක් හිමි බව කියන්නට පුළුවන්.

@elearninglk

කාන්තාවක් කියන්නේ භූමිකා රැසක් නියෝජනය කරන කෙනෙක්. දුවක්, ශිෂ්‍යාවක්, භාර්යාවක්, මවක්… වැනි නොයෙකුත් භූමිකාවන් ඇය විසින් රග දක්වනවා. අද අපේ කතානායිකාව මේ සියලු භූමිකාවල වගකිම් ඉතා සාර්ථක ලෙස ඉටු කරමින් ඇයගේ ඉලක්ක වෙත ඉතාමත් කටුක මංපෙත් අභිබවමින් අද වෙද්දී මුළු ලෝකයක්ම කතා කරන චරිතයක්.

නම ඇසු සැණින් කාගෙත් මතකයට නැගෙන ඇය ලෝකයට කළ අපරිමිත සේවය ගැන නම් අනිවාර්යයෙන්ම කතා කරන්නම ඕන. හරි එහෙනම් අපි යමු මාතෘකාවට…

මාරියා සලෝමියා ස්කොඩොව්ස්කා හෙවත් මාරි කියුරි පෝලන්තයේ වර්සොව්හිදී වර්ෂ 1867 නොවැම්බර් 07 වෙනිදා ඉපදුනේ පස්දෙනෙකුගෙන් යුත් පවුලේ බාලම දියණිය ලෙසයි. ඇය කුඩා අවදියේම මවගේ හා සහෝදරියගේ වියෝවද අත්දකින්නට වුණා. ඒ සියළු මානසික කඩා වැටිම් එක සිතින් දරාගනිමින් ඉගෙනගැනීම් වෙනුවෙන් මහත් සේ කැප වුණා. කුඩා කාලයේ සිට ඉගෙනගැනිම සදහා අතිදක්ෂ ඇය පෝලන්තය හැර දමා පැරීසියට එන්නේ ඇයට තම උපන් රට තුළ කාන්තාවන්ට උසස් අධ්‍යාපනය ලැබීමට අයිතියක් නොවූ නිසාය.

එවකට පෝලන්තයේ රාජ්‍ය පාලනය කළ සාර් රාජ පෙළපත කාන්තාවට උසස් අධ්‍යාපනය ලැබිමේ අයිතිය ඉවත් කර දමා තිබුණා. ඒ හේතුව නිසා ඇය 1891 දී පැරීසියේ පැරිස් විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අතරතුර පැරිසියේ විද්‍යාගාරයක රැකියාවට එන මාරියාට පියරේ කියුරි හමුවන්නේ එහිදීය.

ඉතාමත් ගැබුරු හිනාවක් සහිත තිස්පස් වියැති පියරේගේ සිත එලෙස නිතර අළුත් අළුත් දේ සොයමින් ඉගෙනගනිමින් සිටි මාරියා වෙත ඇදියන්නට වැඩි කාලයක් ගත වූයේ නැත. එහෙත් ඇය නොසිතූ මොහොතක කළ යෝජනාව නිසා විස්මට පත් වූවාය. නමුත් ඇය වසරක පමණ මෙම යෝජනාවට පිළිතුරක් දීමට කල් ගත්තා. ඒ අතරතුර පියරේට කිහිප වතාවක් ඇයට එම යෝජනාව ගෙන ඒමට සිදුවුණා. ඇය එපමණ කාලයක් ගැනීමට හේතුව වූයේ ඇයගේ සිතේ නැවත තම මවුරට බලා යෑමේ අරමුණක් තිබීමයි. පියරේට එම අදහස වෙනස් කිරිමට ඇයට බොහෝ සේ කරුණු පැහැදිලි කර පැරිසීයේ නවතා ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදූවුණා.

මෙලෙස පියරේගේ විවෘතභාවයට හා උගත්කමට රහසේම පෙම් කළ මාරියා ඔහු සතු අසීමාන්තික දැනුම් සම්භාරයට මහත් සේ ඇලුම් කළා. එලෙස ආරම්භ කළ සම්බන්ධය 1895 ජූලි 26 විවාහයක් දක්වා ගෙන ගියා.

ඔවුන් දෙදෙනාත් ළගම කිහිපදෙනෙකුත් සම්බන්ධව සාමාන්‍ය විවාහයක් ලෙස සිදු වුණු මෙම විවාහයට, ඇදීම සදහා විශේෂ ඇදුමක් හෝ ඇය සතුව නොවූ අතර ත්‍යාගයක් ලෙස ලැබුණු තද නිල් පැහැති ගවුමක් මංගල ඇදුම වුණා. විවාහයෙන් පසුවද එම ගවුම දිනපතා විද්‍යාගාරය වෙත ඇදීම මාරියා සිදු කළා. ඔවුන්ගේ මදුසමය සඳහා පැරීසියේ කදුකර පෙදෙසකට පාපැදි සවාරියක් ගිය අතර එය ඔවුන්ගේ ජිවිතයේ වෙනස්ම අත්දැකිම් ලැබුණු ගමනක් වූණා.

විවාහයෙන් පසුව මාරියා පියරේ යුවලට ඊව් කියුරි හා අයරින් ජුලියට් කියුරි නම් දියණියන් දෙදෙනෙකු ලැබුණා. 1895 වසරේ දී පියරේ තම ආචාර්ය උපාධිය ලබා ගත්තා. ඒ චුම්භකත්වය කරෙහි ඔහු කළ හැදෑරිම නිසායි. මාරියාගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් විවාහයෙන් පසුව මාරියා පියරේ යුවළ මහත් සේ කැපවුණා.

පොලෝනියම් මුලද්‍රව්‍යය සොයා ගන්නේ මෙම විකිරණ පරික්ෂණවල ප්‍රතිඵලයක් ලෙසයි. 1898 දි මෙලෙස හදුනාගත් මුලද්‍රව්‍ය සදහා පොලෝනියම් ලෙස නම් තබන ලද්දේ තමා උපන් රට වූ පෝලන්තයට ගරු කිරිමක් ලෙසයි. ඒ වසරේම ඔවුන් දෙදෙනා විසින්ම රේඩියම් සොයා ගත්තා. මේ පරික්ෂණ සිදු කිරීම සදහා මාරියා කෙතරම් කැප වුණාද කියන්නේ නම් මුල් කාලයේ දරු ගැබක් දරමින් හා 1897 දී අයරින්ගේ උත්පත්තියද සිදු වූ කාලය තුළ ඒ සියළු වගකිම් ද දරමින් වීම විශේෂත්වයක්.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

1903 දී ඇය ඇගේ ආචාර්ය උපාධිය සම්පූර්ණ කළා. එම වසරේම භෞතික විද්‍යාව සදහා නොබේල් ත්‍යාගය සදහා මෙම යුවළ නිර්දේශ වුණා. මෙහිදීද විශේෂ දෙයක් සිදු වූණා. ඒ මොකක්ද දන්නවාද? ඒ තමයි නොබේල් ත්‍යාගය සදහා මාරියාව ඇතුළත් වන්නේ පසුවයි. මුලින්ම යෝජනා වූයේ පියරේ හා හෙන්රි බැකිවුවෙල්ය. නමුත් ඒ අවස්ථාවේ පියරේ කියා සිටියේ මාරියා නොසිටින්න ඔහුට මෙම ගමන එන්නට නොහැකි බවයි. මාරියා වෙනුවෙන් පෙනි සිටී පියරේ මෙලෙස නොබේල් කමිටුව ඉදිරියේ කරුණු පැහැදිලි කරලා දුන්නා. එයින් පසුව තමයි මාරියාගේ නම මේ සදහා ඇතුළත් කළේ.

? මාරියා හා පියරේ එක්ව නොබේල් ත්‍යාගය දිනාගත් ලොව මුල්ම විවාහක යුවළ ලෙස ඉතිහාසගත වුණා.
? මාරි කියුරි නොබේල් ත්‍යාගය දිනාගත් ලොව පළමු කාන්තාව ලෙසද මෙයින් ඉතිහාසගත වුණා.

මේ විදිහට කාලය ගත වුණා. එයින් වසර කිහිපයකට පසු මාරියාගේ ජිවිතේ ශෝකාන්තම දිනය උදා වුණා. ඒ, 1906 දී බර අදින කරත්තයකට යට වී පියරේගේ අවසන් හුස්ම වාතලයට මුසු වීමයි. ඒ වෙද්දී කුඩා වයස්වල පසු වූ දියණියන් සමග තම මව් රටින් ඈත් වී නොදන්න රටක තනියම ජිවිතය ගැටගහගන්නට ඇයට සිදු වුණා. ලෝකයේ සුභසිද්ධිය උදෙසා කරගෙන ආ පරීක්ෂණ දිගටම නොනවත්වා කරගෙන යාමටත්, තම දියණියන් වෙනුවෙන් ඔවුන්ගේ අනාගතය දිප්තීමත් කිරීමටත් ඇය තදින්ම අදිටන් කරගත්තා.


Click on the Image

පියරේ කළ සේවය වෙනුවෙන් සොබොර්න් විශ්වවිද්‍යාලයේ පරිපාලනය විසින් විශ්‍රාම වැටුපක් ගෙවිමට කැමති බව ඇයට දන්වා සිටියා. “බොහෝම ස්තූතියි. මට තවමත් වැඩ කරන්නට පුළුවන්. මම ස්වශක්තියෙන් නැගිසිටිමී.’’ යැයි ඇය ප්‍රකාශ කළා. ඇය එකහෙලාම මෙය ප්‍රතික්ෂේප කළා. යින් සෑහිමට පත් නොවූ සොබොර්න් විශ්වවිද්‍යාලයේ පරිපාලනය, මාරියාගේ උගත්කම ගැන සලකා බලා පියරේගෙන් හිස් වූ මහාචාර්යය ධුරයට මාරියාව පත් කළා.

? සොබොර්න් විශ්වවිද්‍යාලයේ මුල්ම මහාචාර්යයවරිය වන්නේද ඇයයි.

විදෙස් රටකින් පැමිණ තම සැමියාද අහිමිව, කුඩා දියණියන්ද රැකගෙන ජිවිතයේ නොයෙක් ගැහැට විදිමින් ඒ සියල්ල උපේක්ෂාවෙන් දරාගත් යෝධ කාන්තාවක් බවට මාරියා පත් වුණා. 1911 දී ඇය රසායන විද්‍යාව වෙනුවෙන් නොබේල් සාම ත්‍යාගය ලබාගත්තා.

? නොබේල් ත්‍යාගය දෙවරක් ලබා ගත් මුල්ම කෙනා වන්නේද මාරි කියුරිය.

වරක් විද්‍යා සමුළුවකට බෙල්ජියමට ගිය මාරි වෙත ප්‍රංශ පුවත්පත් විසින් නොයෙකුත් අපහාසත්මක උපහාසත්මක කතා කියන්නට වුණා. ඇයගේ පරීක්ෂණ හවුල්කරුවෙකු වූ පොල් ලැන්වින් හා ඇය අතර අනියම් සම්බන්ධතාවක් ඇතැයි යනුවෙන්ය. මේ සියල්ලේම අරමුණ වූයේ විද්‍යාඥවරියක ලෙස ඉහළ මට්ටමකට පියවරින් පියවර බාධක හමුවේ වුවද නොසැල්වී ඉදිරියට ආ ඇයව ප්‍රංශයෙන් එලවා දැමීමයි.

මේ කිසිවකින් මාරි නම් සැලුනේ නෑ. ම‍ෙලෙස තමා ඉගෙන ගනිමින් ලොව වෙනුවෙන් නොයෙකුත් පරික්ෂණ කරමින් ලොවට විශාල සේවයක් කළ ඇය, සමාජයෙන් එන තාඩන පීඩන හමුවේ වුවද නොසැල්වී තම දියණියන්ද සමාජයේ උසස් තත්වයට ගෙන ආ ඇය ඇයගේ ජීවන පරික්ෂණයේ අවසානයට ලංවූයේ විකිරණ පරික්ෂණ නිසා ඇති වු පිළිකා තත්වයක් නිසාවෙනි.

Aplastic Anemia නම් රෝගය වැළදීමෙන් 1934 ජූලි 04 දින විද්‍යා පරීක්ෂණවලට මෙන්ම ජීවිතයට තිත තියන්නට වුණා. ඇයගේ සිරුර තැන්පත් කළ පෙට්ටියද ඊයම්වලින් සාදන ලද එකක් වුණා. එයට හේතුව ඇයගේ සිරුරෙන් විකිරණ පිටවන නිසායි. ඇයගේ ඇටකටු වලින් තවත් වසර 3000ක් වන තුරුම මෙලෙස විකිරණ පිටවන බවයි නිගමනය කර ඇත්තේ.

ඇය සමහර අවස්ථාවලදි විකිරණශිලී මූලද්‍රව්‍ය යැයි නොදැන එම මූලද්‍රව්‍ය තම ඇදුමේ සාක්කුවල පවා දමා ගෙන ගියා. ඒ නිසා ඇය භාවිතා කළ ඇදුම්, ආභරණ, නිවස, කෑම පිසූ උපකරණ ආදිය අදටත් ඉතාමත් අධි ආරක්ෂාකාරි ක්‍රම ඔස්සේ සංරක්ෂණය කර ඇත. ඒවා තුළ අදටත් විකිරණ අංශු පැවතීම මෙයට හේතුවයි. තවත් දෙයක්! ඇයගේ අසල්වාසීන් පවා මියගියේ නොයෙකුත් පිළිකා රෝගවලට මුහුණ දෙන්නට වීම නිසා බව අනිවාර්යයෙන්ම කිව යුතුයි.

? ලොව භායනකම සටහන් පොතේ හිමිකාරිය මාරි කියුරිය

ලොව භායානකම පොත ලෙස මාරි කියුරිගේ සටහන් පොත ඉතිහාසගත වන්නේ ඇයි කියලා අප කතා කළොත්…. මාරි කියුරි ජීවිතයේ වැඩිම කාලයක් විකිරණ සමග පරීක්ෂණ කළ කෙනෙක් නිසාත්, ඇය ඇයගේ සියළු පරික්ෂණවල තොරතුරු සටහන් ගත කළේ මෙම සටහන් පොතේ නිසාත්, මෙම පොත තුළින් තවමත් විකිරණ පිටවෙන නිසාත් මෙය ලොව භායානකම පොත ලෙස ඉතිහාසගත වී ඇත.

එම පොත අදටත් ඉතාමත් ආරක්ෂිතව තියෙනවා. මෙය සාමාන්‍ය පොතක් ලෙස අපිට සාමාන්‍ය විදියට කියවන්නට බැහැ. එය කියවන්න සුවිශේෂි ආරක්ෂිත ඇදුමක් භාවිත කරන්න වගේම ඒ සදහා වෙන් වූ විශේෂ කුටියක් භාවිතා කරන්න වෙනවා. නැත්තම් එම විකිරණ අපේ ශරීරගත වී භායානක රෝග වැළදීම සිදුවෙන එක නම් වළක්වන්න බැහැ.

මෙම මාරියා පියරේ යුවළගේ වැඩිමහල් දියණිය වූ අයරින් ද තම මව්පිය අඩි පාරේ යමින් එම පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන ගියා. ඇයද රසායන විද්‍යාව වෙනුවෙන් නොබේල් ත්‍යාගලාභිනියක් වූණා. ඇයගේ සැමියා වූ ‍පෙඩ්රික් ජොලියන් සමග එක්ව කෘත්‍රිම විකිරණශිලතාව වෙනුවෙන් එය 1935 දී දිනා ගත්තා. ඇයත් වැඩි කාලයක් විකිරණ සදහා මුහුණ දුන් නිසා ඇයද ලියුකෙමියා නම් රෝගයෙන් අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත්තා. අයරින්ගේ සැමියාද මිය ගියේ පිළිකා රෝගයකිනි.

මාරියාගේ බාල දියණිය වූ ඊව් ප්‍රංශයේ ප්‍රකට ගත් කතුවරියකි. තවද ඇය නේටෝ සංවිධානයේ විශේෂ උපදේශිකාවක් ලෙසද කටයුතු කළා. සාහිත්‍ය අංශය කරා නැඹුරු වූ ඇය අවුරුදු 102 ක් පමණ ජිවත්වීමට වාසනාවන්ත වුණා. ඊව්ගේ සැමියා වු හෙන්රි රිචඩ්සන් ද නොබේල් ත්‍යාගලාභියෙකි.

මාරියා – පියරේගේ මුළු පරපුරම ප්‍රංශයේ ඉතාම බුද්ධිමත්ම පරපුරම ලෙස කීර්තියට පත් වුණා. මෙම මුළු පරපුරම ලොව වෙනුවෙන් විශාල සේවයක් ඉටු කළ පරපුරක්. නොබේල් ත්‍යාග 06ක් මෙම පරපුර අත්පත් කරගත්තා.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

මාරියාගේ මෙම කැපකිරිම් නිසා ඇයට නූතන භෞතික විද්‍යාවේ මව ලෙස නම් පටබැදී ඇත. මාරියා ඩේවි ත්‍යාගය (1903) හා මැටුසි ත්‍යාගය (1904) ලබා ගෙන ඇත. මාරියා ලබා ගත් ගෞරව සම්මාන කිහිපයක් මේ විදිහට කියන්න හිතුවා.

පැරීසියේ ඉතා ප්‍රසිද්ධ පැන්තන් නැමැති කොත යට, තම සැමියා සමග මිහිදන් වීමට අවස්ථාව ලබා ගත් ප්‍රථම සහ එකම කාන්තාව ඇය වේ.

පියරි සහ ඇගේ ගෞරවය වෙනුවෙන් කියුරි (සංකේතය Ci) නැමැති විකිරණශීලීතාවයේ ඒකකය හදුන්වාදෙනු ලැබු අතර පරමාණුක අංක 96 සදහන් වන මූලද්‍රව්‍ය කියුරියම් ලෙස නම් කරන ලදී.

ස්ටොඩොවිස්කා කියුරිගේ රූපය 1980 දී පෝලන්ත බැංකු නෝට්ටුවක සදහන් වූ අතර බොහෝ මුද්දර සහ කාසිවල ද ඇගේ රූපය අඩංගු වුණා. ප්‍රංශ ෆ්රෑන්ක් නෝට්ටුව යූරෝ බවට පත් කිරීමට පෙර අවසාන ෆ්රෑන්ක් 500 නෝට්ටුවේද ඇය සමග ඇගේ සැමියාගේ රූපය අඩංගු වුණා.

1943දී ඔස්කා සම්මාන නාම යෝජනා ඉදිරිපත් වූ කියුරිගේ ජීවන කතාව පදනම් කරගත් මැඩම් කියුරි (Madame Curie) නැමැති චිත්‍රපටියේ ග්‍රී ගාසන් සහ වෝලටර් පිජන් රංගනයෙන් දායක වුණා. 1988 Yahoo ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද තරුණ අයින්ස්ටයින් (Young Einstein) නැමැති හාස්‍ය උත්පාදක කෘතියේ මාරි කියුරි නැමැති නම එක් චරිතයකට යොදා ගෙන තිබුණි.

කියුරයිට්, ස්ටොලෝවිස්කයිට්, කියුප්රෝ ස්ටොලෝවිස්කයිට් ලෙස විකිරණශීලී ලෝහ තුනක් ඇයගේ නමින් නම් කරන ලදී.

පියරි සහ මාරි කියුරි විශ්ව විද්‍යාලය; එනම් ප්‍රංශයේ පවතින විශාලතම විද්‍යා තාක්ෂණ සහ වෛද්‍ය විද්‍යාලය, පැරිසීයේ විශ්ව විද්‍යාලයෙන් පසුව බිහි වූ ආයතනයකි. ඇය මෙම ආයතනයේ ඉගැන්වීම් කටයුතු කළ අතර ඇයගේ සහ සැමියාගේ නම මෙම ආයතනයට යොදා ගන්නා ලද්දේ ඔවුනට කරන ගෞරවයක් වශයෙනි. ඔවුන් විසින් රේඩියම් හදුන්වාදෙන ලද විද්‍යාගාරයට මෙම විශ්ව විද්‍යාලය නිවසක් බදුය.

ඇයගේ නමින් නම් කරන ලද තවත් ආයතනයක් නම්, විද්‍යාව සහ තාක්ෂණය පිළිබද විශේෂයෙන්ම අධ්‍යාපන කටයුතු කෙරෙන නිව්යෝර්ක් නගරයේ මාරි කියුරි යන ආයතනයයි (Marie Curie M.S. 158).

එමෙන්ම කියුරි උසස් අධ්‍යාපන ආයතනය (Curie Metropolitan high school) පිහිටා ඇත්තේ චිකාගෝහි ඊසාන දිගිනි. එහිදී තාක්ෂණය, නාට්‍ය හා රංග කලාව සහ වෙනත් විෂයන් ඉගැන්වීම් කරනු ලබයි.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

2007 වර්ෂයේදී පැරීසියේ පියරි කියුරි උමං දුම්රිය ස්ථානය නැවත වරක් පියරි සහ මාරි කියුරි දුම්රිය ස්ථානය ලෙස නම් කරන ලදී.

ජෝසප් සී. මසුර් විසින් සකස් කරන ලද මාරි ස්ටොලොවිස්කා කියුරි මුද්‍රාව විශ්ව විද්‍යාලයේ පෝලන්ත දේශන ශාලාවේදී දැකගැනීමේ හැකියාව ඇත.

ඇයට ගෞරවයක් වශයෙන් KLM McDonnell Douglas, MD–11 නැමැති නම් වෙනස් කරන ලදී.

මෙම ආකාරයේ විශිෂ්ට අසහාය විද්‍යාඥවරිය ගැන ඔබ නොදත් විස්තර රැසක් මේ ලිපිය තුළින් ඔබ දැනගන්නට ඇති. මේ ලිපිය හුදෙක් මාරි කියුරි ගැන වර්ණනාවක් නොවේ. කාන්තාවකට තමන්ගේ ඉලක්ක කරා යෑමේදී එන ප්‍රශ්නවලදී මාරි උත්තර දීපූ විදිය හොද උදාහරණයක් කිව්වොත් මා නිවැරදියි. කාන්තාවක් කිසිම විටෙක දුර්වල චරිතයක් විය යුතු නැත. මාරියා අද කාන්තාවන් සදහා ඉතාමත් ආදර්ශවත් චරිතයක්. ඒ වගේම තමයි මාරියා අද මේ තරම් දුරක් එන්නට ඇයට ශක්තියක් වූ පියරේ කියුරි ගැන අපි කතා නොකළොත් අපි කරන්නේ ලොකු වැරැද්දක්.

විවාහයෙන් පසු තම භාර්යාවගේ සියළු සිහින බලාපොරෝත්තු අතහැර දමා තම පවුල වෙනුවෙන්ම සියළු කාලය වෙන් කරන්න අවශ්‍යයි කියලා බොහෝ පිරිමින් විසින් තම භාර්යාවන්රා මුවකට කොටු කරන සමාජයක, මාරියා වෙනුවෙන් තම සියළු සහාය ඇයගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලබා දෙමින් පවුලේ කටයුතු සදහාද ඇයට සහයෝගය ලබා දෙමින් ඉතාමත් සාර්ථක ජිවිතයක් ගත කරන්නට පියරේ විසින් ඇයට දුන් නිදහස අනිවාර්යයෙන්ම අගය කරන්න ඕන.

තමාට තනියම නොබේල් ත්‍යාගය ලබා ගන්නට පුළුවන් අවස්ථාවේ තමන්ගේ භාර්යාවටත් නිසි තැන ලබා දෙමින් ඇය වෙනුවෙන් නැගු හඩ ඉතාමත් වටිනවා. පියරේගේ මේ සියළු ක්‍රියාවන් නූතන පුරුෂ පක්ෂයට ඉතාමත් ආදර්ශවත් කතාවක් කියා දෙනවා.

මාරියාගේ මේ කතාව ලිවිමේදී මට දැනුනු දෙයක් තමයි තම සැමියාගේ වියොවෙන් පසු ඇය තමාගේ සැමියා කර ගෙන ආ පරීක්ෂණ නොනවත්වා ඔහු වෙනුවෙන් ඉදිරියට කරගෙන එනවා. ඇයට අර විශ්‍රාම වැටුප ලබා ගෙන දරුවන් දෙදෙනා සමග සතුටින් ජිවත් වෙන්න පුළුවන් අවස්ථාව තිබියදිත් ඇය ඒ සියල්ල ප්‍රතික්ෂේප කරලා ලෝකයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඒ සටන තනිවම කරට ගන්නවා. ඇත්තටම ඇය ධෛර්ය සම්පන්න කාන්තාවක් බව මෙයින් ඔප්පු වෙනවා. තමාගේ පරික්ෂණ කටයුතු වෙනුවෙන් කාලය වෙන් කළත් තම දරුවන්ද ඉතා ඉහළ මට්ටමකට ගේන්න තරම් ඇය තමන්ගේ දරුවන් වෙනුවෙන්ද යුතුකම් සාර්ථකව ඉටු කළ බවත්, තමන්ගේ කැමැත්ත අනුව තමාගේ වෘත්තිය තෝරා ගැනීමට දරුවන්ට අවස්ථාව දී ඇති බවත් මේ කතාවෙන් ඔප්පු වෙනවා.

සමාජයෙන් තමන්ගේ චරිතයට නොයෙකුත් අපහාස උපහාස නින්දා කළත් ඒ සියල්ල ව්‍යාර්ථ කරමින් ඇයව වට්ටන්නට ඒ කිසිවකින් නොහැකි වන්නට තරම් ඇය ආත්මශක්තිය අතින් බොහෝ ඉහළ මට්ටමක සිටියා. සමාජයට බම්බු ගහගන්නට කියා තමාගේ ඉලක්ක වෙනුවෙන් ඒ සියල්ල මල් ලෙස පිළිගෙන නිහඩව තමන්ගේ පරික්ෂණ කටයුතුවල දිගින් දිගටම නිරත වන්නට ඇත.

මාරියා කියුරි කාන්තා හා පිරිමි සියළුදෙනා හට මහත් සේ පරමාදර්ශි චරිතයක් ලෙස අපිට සලකන්නට පුළුවන්. පෞද්ගලික ජීවිතය මෙන්ම වෘත්තිය ජීවිතය දෙකම සාර්ථකව සමබරව කරගෙන ජීවිතය දිනන්නට ඕනෑම කෙනෙකුට හැකියාව ඇත. අභියෝග සියල්ල තුළින්ජී විතය දිනන්නට හැකිය. ධෛර්ය, ආත්මශක්තිය ඇති කරගන්නට උත්සාහ කරන්න.

නැවත හමුවන තුරු… ඔබට ජයෙන් ජය..

ජාතික වෘත්තිය පුහුණු ආයතනය මගින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳව ඩිප්ලොමාවක් හදාරා ඇති ෂර්මිලා බොවිතන්ත්‍රි, එම අංශයෙන්ම වැඩි දුරටත් උසස් අධ්‍යාපනය හදාරමින් eLearning.lk ආයතනයේ මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශයට සහ පාරිභෝගික සේවා අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි. ෂර්මිලා ඇයගේ ධනාත්මක චින්තන ලිපි තුළින් වැටුනු හදවත්වලට හුස්මක් දී නැවත ජවයෙන් නැගීසිටින්නට ඔවුන්ගේ හදවත්වලට කතා කරන්න සූදානම්... ඒ වගේම ඉතා සරලව ලාංකීය සහ ලෝක ඉතිහාසය ඇයගේම තෙලි තුඩෙන් වර්ණ ගන්වන්නත් සූදානම්....