හැමෝම කතා වෙන උන්ඩියල් / හවාලා

උන්ඩියල්/හවාලා ගැන පහුගිය දවස්වල ලොකුවටම කතාවෙච්චි නිසා මාත් ඒකට මගේ අනිවාර්ය සතදෙක දාන්ඩ කියල හිතුව.

ඔය සල්ලි උන්ඩියල් කරනව කියන්නෙ මූලිකවම ගත්තොත් රටේ බැංකු පද්ධතියට පිටින් විදේශ විනිමය හුවමාරු වෙනව කියන එකට. (හුවමාරු නම් වෙන්නෙත් නැද්ද මංද ?). සරලව කිව්වොත් මේක මේ වගේ.

ලංකාවෙ දෙන්නෙක් ඉන්නව පිටරට වැඩකරන ‘ඉන්ද්‍රජිත්’ සහ ‘අජිත්’ කියල. දෙන්නම මාසෙකට ඩොලර් (USD) 100/- ගානෙ ලංකාවට යවනව. ඉන්ද්‍රජිත් බැංකුවට යවනව, අජිත් උන්ඩියල් කරනව. එතකොට ඉන්ද්‍රජිත්ගෙ සල්ලි ජාත්‍යන්තර බැංකු සම්බන්ධ ප්‍රේෂණ පද්ධති හරහා ලංකාවෙ තියෙන එයාගෙ ගිණුමට හෝ එයාගෙ යැපෙන්නන්ගේ ගිණුම්වලට යනව.

දැන් අජිත් බලමු, එයා උන්ඩියල් වෙළෙන්දෙක්ට තමන්ගෙ ඩොලර් 100 දෙනව. එයා ඒ සල්ලි අරගෙන තමන්ගෙ ලංකාවෙ ඉන්න යාළුවෙක්ට, නෑදෑයෙක්ට, නියෝජිතයෙක්ට කියනව යම්කිසි ඩොලර්:රුපියල් අනුපාතයකට අජිත්ගේ යැපෙන්නන්ට මුදල් ලැබෙන්ඩ සලස්වන්ඩ කියල.

@elearninglk

මෙතනදි ඇත්ත වශයෙන්ම රටකින් රටකට මුදල් ප්‍රේෂණයවීමක් සිද්ධවෙන්නෙ නෑ. මේක තමා ඔය උන්ඩියල් කතාවෙ මුහුණත/ඉස්සරහ පැත්ත (face of the transaction).

උන්ඩියල් වෙළෙන්දො ඔය වැඩේ කරන්නෙ විනිමය සමපේක්ෂණය/අවදානම (Currency Speculation/Risk) වගේ කරුණු සළකල වෙන්ඩ පුළුවන්. හරි උන්ඩියල් ගැන ඒ ඇති.

මං වැඩ කරන්නෙ කටාර්වල. මං හිතන විදිහට ලංකාවට එන රැකියා නියුක්තියන්ගේ ප්‍රේෂණ (Workers Remittances) වලින් 10% කට එහා පැත්තෙ තියෙන්ඩ ඕනෙ කටාර්වලින් එන ප්‍රේෂණ.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

මේ තමා ගණන් තියෙන කොටස. මේක යන්නෙ උපකල්පන කීපයක් එක්ක, නිවැරැදි දත්ත ඇත්තෝ යොදාගනිත්වා. මුලින්ම කෙටි යෙදුම් කීපයක් දාගනිමු.

* SLQ – කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්
* BCW – නිල් කමිස කරපටි වෘත්තීකයන්
* WCW – සුදු කමිස කරපටි වෘත්තීකයන්
* AMS – සාමාන්‍ය මාසික වැටුප

කටාර්වල ශ්‍රී ලාංකිකයින් 200,000 ඉන්නව කියල ගනිමු දළ වශයෙන්, ගණනය කිරීමේ පහසුවත් බලල. නිවැරැදිම අගය හුඟක් දුරට 150,000 – 175,000ත් අතර වෙන්ඩ ඇති. මෙතනින් 90% BCW සහ 10% ක් WCW කියල ගනිමු.

එතකොට සම්පූර්ණ,
* BCW ගණන – 180,000
* WCW ගණන – 20,000

මේක හුඟක් දුරට මේ ආසන්නයේ තියෙන්ඩ ඕනෙ, මං දන්න තරමින්.

මං මෙතන BCW සහ WCW බෙදල තියෙන්නෙ එගොල්ලන්ගෙ වැටුප් පරිමාණ හිංද ගණනය කිරීමේ පහසුව හිංද මිසක් වෙන පන්ති බේද මඟුලක් හිංද නෙමෙයි.

හරි. දැන් අපි ගනිමු මේගොල්ලන්ගෙ සාමාන්‍ය මාසික වැටුප් සඳහා උපකල්පිත අගයන්. හුඟක් දුරට එව්ව මේ වගේ වෙන්ඩ පුළුවන්. (1 USD = 3.6 QAR වශයෙන් අරගෙන)

* BCW (AMS) – USD 1,200/-
* WCW (AMS) – USD 3,000/-

එතකොට,
* BCW සම්පූර්ණ මාසික වැටුප-1.2K*180K-USD 216 Mn
* WCW සම්පූර්ණ මාසික වැටුප-3K*20K-USD 60 Mn
* SLQ සම්පූර්ණ මාසික වැටුප් – USD 276 Mn


Click on the Image

මං කියන WCWල ගෙන් බහුතරයක් මේ රටේ ඉන්නෙ එගොල්ලන්ගෙ පවුලෙ උදවියත් එක්ක. ඉතිං ඒගොල්ලන්ගෙ වියදම් වැඩි ප්‍රමාණයක් සිද්ධවෙන්නෙ මේ රට ඇතුලෙ. නමුත් නිශ්චිත දත්ත නැති නිසා අපි මේ විදිහට ගනිමු. BCWල තමන්ගෙ වැටුපෙන් 60% ලංකාවට යවනව. WCWල තමන්ගෙ වැටුපෙන් 40% ක් ලංකාවට යවනව කියල.

* BCW මාසික ප්‍රේෂණ – 216 * 60% – USD 130 Mn (approx)
* WCW මාසික ප්‍රේෂණ – 60 * 40% – USD 24 Mn
* SLQ මාසික සම්පූර්ණ ප්‍රේෂණ – USD 154 Mn (approx)

සාමාන්‍යයෙන් උන්ඩියල් වෙළෙන්දො වෙළෙඳපොළ වටිනාකමට වඩා 15% හෝ ඊට වැඩි අගයක් ගෙවනව. ඒ ඇරුණහම ඒක රදාපවතින්නෙ USD හෝ වෙනයම්ම විනිමය ඒකකයකට LKR කොච්චර ප්‍රමාණයක් විවෘත වෙළෙඳපොළ ඇතුලෙ ගෙවන්ඩ ගැනුම්කරුවො ලෑස්තිද කියන එක මත. ඉතිං සාමාන්‍ය මනුස්සයෙක් ගාව ඩොලර් විකුණන්ඩ තියෙනව නම් ඒ මනුස්සය ඒක 200 ට විකුණයිද 230 ට විකුණයිද. කල්පනා කරල බලන්ඩ.

දැන් අපි අන්තිම ඡේදයට උඩින් තියෙන මාසික ප්‍රේෂණ බලමු. එතනින් 30% දෙනා ආචාරධාර්මික හෝ වෙනත් මොනයම්ම හේතුවක් නිසා බැංකු පද්ධතිය හරහාම ප්‍රේෂණ කරනව කියල හිතමු.

එතකොට බැංකු පද්ධතියට පිටින් මාසික හුවමාරු වෙන මුදල් අගය වෙන්නෙ.

* USD 154 Mn * 70% – USD 110 Mn

ඒ කියන්නෙ ලංකාවෙ බැංකුවලට මාසෙකට එන්ඩ තිබ්බ ඩොලර් මිලියන 110 ක් එන්නෙ නෑ, උන්ඩියල් හිංද.

උන්ඩියල් කියන්නෙ නීත්‍යානුකූල ගණුදෙනුවක් නෙමෙයි. ඒ හිංද මතුවෙන/තියෙන අවදානම් වෙනමම තියෙනව.

හරි. ආපහු කාරණාවට ආවොත් දැන් අපේ උදාහරණ අනුව BCW කෙනෙක් එයාගෙ USD 1.2K වැටුපෙන් 60% ඒ කියන්නෙ USD 720 ක් ලංකාවට එව්වොත්
* බැංකු හරහා – රු. 144,000/-
* උන්ඩියල් – රු. 165,600/-
* වාසිය – රු. 21,600/- ( 15%)

ලංකාවෙ මෑතක් වෙනකල්ම වාර්ෂික ඉතුරුම් පොලී අනුපාතය – 3.5%. රුපියල් 100,000/- අවුරුද්දකටම ලැබෙන පොලිය රු. 3,800/- ක් වගේ වෙයි.

එහෙම බැලුවොත් එක ගණුදෙනුවකින් විතරක් ලැබෙන මූල්‍ය වාසිය කොච්චරද කියල ගණන් හදල බලන්ඩ පුළුවන්නෙ.

මෙතන මං කරපු ගණනය කිරීම් ඔක්කොම බොහොම සංරක්ෂණවාදීව කරපුව (conservative calculations). මේ මතුකරල තියෙන කාරණාවලට ඒ ඒ කාලයන්ට අදාලව නිවැරැදි දත්ත (විනිමය අනුපාත, ප්‍රේෂණ ප්‍රමාණය etc) යොදාගෙන මීට වඩා නිරවද්‍ය ගණනය කිරීමක් කරන්ඩ පුළුවන් වෙයි.

ඔන්න ඕකයි තොරණෙ විස්තරේ.

eLearning.lk නිවේදනය
මෙම ක්‍රමයන් නීත්‍යානුකූල ගණුදෙනු නොවේ. මෙම ලිපිය පල කිරීමේ මූලික අරමුණ, මෙම ක්‍රම සමාජය තුළ ව්‍යාප්ත කිරීමට හෝ ප්‍රසිද්ධ කිරීමට නොවන අතර හුදෙක් මෙම ක්‍රම පිළිබඳව නිර්වචනය කිරීමට පමණි.

වෘත්තියෙන් ණය අවදානම් විශ්ලේෂකවරයෙකු වන තරීන් මුහන්දිරම් මහතා ආර්ථික විද්‍යාව, මූල්‍ය හා බටහිර දර්ශනය පිළිබඳව විශාල උනන්දුවක් දක්වන්නෙකි. ඔහු eLearning.lk බ්ලොග් අඩවිය හරහා ඔබගේ දැනුම උදෙසා ආර්ථික විද්‍යාව, සාහිත්‍යය, බටහිර දර්ශනය, ඉතිහාසය සහ ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳව ලිපි සම්පාදනය කරයි.