පොකුරු බෝම්බ නිසා යුක්රේනය දිනයිද?
ඇමරිකා එක්සත් ජනපදය විසින් යුක්රේනයට පොකුරු බෝම්බ සැපයීමට ගන්නා ලද තීරණය මේ දිනවල විශාල කතාබහකට තුඩු දී තිබෙන කරුණක්.
මෙම පියවර පිළිබඳ ඇමරිකා එක්සත් ජනපදයෙහි මෙන්ම බටහිර කඳවුරේ ද මතභේදයක් ගොඩනැගී තිබෙනවා. ඊට හේතුව වන්නේ පොකුරු බෝම්බ රටවල් 120 ක් පමණ විසින් තහනම් කරනු ලැබ ඇති නිසයි. ඒ අතර බටහිර කඳවුරේ රටවල් ද සිටිනවා. මෙම තහනමට හේතුව වන්නේ පොකුරු බෝම්බවලින් යුද්ධයක් අවසන් වූ පසුවත් සිවිල් වැසියන්ට හානි සිදුවිය හැකි වීමයි.
කෙසේ වෙතත් යුක්රේන යුද්ධයේදී රුසියාව සහ යුක්රේනය යන දෙරටම මෙම අවි භාවිතා කර තිබෙනවා. ඇමරිකාව, රුසියාව සහ යුක්රේනය පොකුරු බෝම්බ තහනම් කිරීමේ ප්රඥප්තියට අත්සන් තබා නැහැ.
පොකුරු බෝම්බ කියන්නෙ මොනවද?
පොකුරු බෝම්බ යනු බිම පතිත වීමට පෙර කොටස් ගණනාවකට බිඳී විසිරී යන අවියක්. මෙසේ පොළව දෙසට එන උණ්ඩයේ පිටත ආවරණය වෙන්ව ඇතුලත ඇති බෝම්බ පොකුරක් ලෙස පතිත වීම සිදුවනවා. ඒවා පාපන්දු පිටියක් තරම් වන පෙදෙසක විහිද ගොස් පුපුරා යනවා. මෙහිදී එක් ලක්ෂීය ඉලක්කයක් වෙනුවට ප්‍රදේශයක් පුරා පැතිරුණ ඉලක්කවලට පහර වැදීම සිදුවනවා.
මෙම බෝම්බවල අයහපත්ම ලක්ෂණය වන්නේ මෙසේ පොකුරු ලෙස විහිදෙන ඇතැම් බෝම්බ පුපුරා නොයාමයි. සාමාන්‍යයෙන් පොකුරු බෝම්බයක මෙම කුඩා බෝම්බවලින් සියයට 10 ක් සහ 20 ක් අතර ප්‍රමාණයක පුපුරා නොයන බව කියැවෙනවා.
බටහිර රටවල් පවසන පරිදි රුසියාව විසින් භාවිතා කළා යයි සඳහන් පොකුරු බෝම්බවල පුපුරා නොයන බෝම්බ ප්‍රමාණය සියයට 40 ක් පමණ බවයි කියැවෙන්නේ.
මේ අතර ඇමරිකාව පවසන්නේ තමන් සතු පොකුරු බෝම්බවල පුපුරා නොයන කොටස් ඇත්තේ සියයට තුනක් පමණක් බවයි.
මේ අතර මෙම කුඩා බෝම්බ පතිතවන ස්ථානය අනුවත් පිපිරීම් සිදු නොවන්නට ඉඩ තිබෙනවා. උදාහරණයක් ලෙස වගුරුබිම් ආශ්‍රිතව පතිතවන පොකුරු අතර සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි කුඩා බෝම්බ ප්‍රමාණයක් ඉතිරි වන්නට පුළුවන්.
මේ ආකාරයෙන් පුපුරා නොයන බෝම්බ කොටස් බොහෝ කලකට පසුව වුවත් පුපුරා යන්නට ඉඩ තිබෙනවා. කිසිවකු ඒ මත පය තැබුවහොත් හෝ එවැන්නක් අතට ගතහොත් ඒවා පුපුරා යන්නට පුළුවන්.
විශේෂයෙන්ම කුඩා ළමුන් මෙම කුඩා බෝම්බවල ගොදුරු බවට පත්විය හැකියි. යුද්ධය අවසාන වූ පසුත් කලක් යනතුරු මෙම අවදානම පවතිනවා.
ඇයි යුක්රේනයට පොකුරු බෝම්බ?
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබුණේ යුක්රේනයට පොකුරු බෝම්බ සැපයීම සඳහා ගන්නා ලද තීරණය අපහසු තීරණයක් වූ බවයි. කෙසේ වෙතත් ඒ සඳහා බලපෑ ප්‍රධාන හේතු දෙකක් වූ බව ඔහු පවසා සිටියා.
රුසියාව විසින් යුක්රේනයට පොකුරු බෝම්බ යොදාගෙන පහර දෙන බව පැවසූ ඔහු එය තම තීරණයට බලපෑ එක් හේතුවක් බව කියා සිටියා.
සිය දෙවැනි හේතුව ලෙස ඔහු දැක්වූයේ යුක්රේන ප්රතිප්රහාරයට රුසියාව හොඳින් මුහුණදීම සහ යුක්රේනයට වෙඩි උණ්ඩ හිඟයකට මුහුණදීමට සිදුව තිබීමයි.
යුක්රේන – රුසියානු සටන් පෙරමුණෙහි කිලෝමීටර් 1000 ක් තරම් දුරක් වන අතර එහි රුසියානුවන් ඉතා සවිමත් ආරක්ෂක වළල්ලක් ඉදිකර තිබෙනවා. රුසියානුවන් පළවා හැරීමට නම් යුක්රේන ප්‍රතිප්‍රහාරය විසින් මෙම ආරක්ෂක වළල්ල බිඳගෙන යා යුතුයි.
නමුත් පසුගිය සති කිහිපය තුළ එල්ල වූ ප්‍රහාරවලින් යුක්රේනය බලාපොරොත්තු වූ ආකාරයේ ඉදිරි ගමනක් සිදු කිරීමට ඔවුන් අපොහොසත් වුණා.
@elearninglk
මෙම අපහසුතාවයට හේතුවක් වන්නේ රුසියානුවන් විසින් ඇතිරූ බිම් බෝම්බ සහ යුධ අගල් ය. පොකුරු බෝම්බ මගින් බිම් බෝම්බ ඇතිරූ ප්‍රදේශයන් හි එම බිම් බෝම්බ පුපුරවා හැරිය හැකි අතර යුධ අගල්වල සිටින සෙබළුන්ට ද හානි සිදුකළ හැකියි.
එහෙයින් රුසියානු ආරක්ෂක වළල්ල කඩාගෙන යාමට පොකුරු බෝම්බ ඉවහල් වේය යන අපේක්ෂාව යුක්රේනයට සහ එරට මිතුරන්ට තිබෙනවා.
කෙසේ වෙතත් පොකුරු බෝම්බ ලබාදීම මගින් ඇමරිකාව මෙම යුද්ධයේ සදාචාරාත්මක වශයෙන් පහළට වැටෙන බව මෙම පියවර විවේචනය කරන්නන් කියා සිටිනවා.
නමුත් ඊට සහය දෙන පාර්ශව පවසන්නේ යුක්රේනය ජාතික ස්වාධීනතාව පිළිබඳ අරගලයකට මැදිව සිටින බැවින් එරටට අවශ්‍ය සහය ලබාදිය යුතු බවයි. මේ අතර යුක්රේනයට පොකුරු බෝම්බ ලබාදීම එම පාර්ශවයෙහි දුර්වලතාව පෙන්නුම් කරන පියවරක් බව රුසියාව පවසනවා.