ඇෆ්ඝනිස්ථානයෙන් ඇමරිකන් හමුදා ඉවත් කිරීම කලාපයට කෙසේ බලපායි ද?

April 28, 2021

වසර විස්සකට ආසන්න කාලයක් ඇෆ්ඝනිස්ථානයේ යුද්ධයට පැටලී සිටි ඇමරිකන් හමුදා එරටින් ඉවත්වීම ආරම්භ කර තිබෙනවා. 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසුව ඇෆ්ඝනිස්ථානයේ තලේබාන්වරුන්ගේ පාලනයට එරෙහිව 2001 ඔක්තෝබර් 7 වනදා ආරම්භ කරන ලද යුද්ධයේදී මියගිය ඇමරිකන් භටයින් සංඛ්‍යාව 2,300 ඉක්මවනවා.


ඇමරිකන් හමුදා ඇෆ්ඝනිස්ථානයේදී (Reuters)

ඇමරිකාව ප්‍රමුඛ විදෙස් සන්ධානයටම අහිමි වූ සමස්ථ හමුදා ජීවිත සංඛ්‍යාව 3,500 කට අධිකයි. 2019 සැප්තැම්බරය වනවිට ඇමරිකන් යුධ වියදම ඩොලර් බිලියන 778 ක් වුණා.


ඇෆ්ඝනිස්ථානයේ පිහිටීම​ (Encyclopaedia Britannica)

2021 සැප්තැම්බර් 11 වනදා වනවිට ඇමරිකන් හමුදා සම්පූර්ණයෙන් ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත් කෙරෙන බව ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළා. මෙය 2019 දී ඇමරිකාව සහ තලේබාන් සංවිධානය අතර ඇතිවූ සටන් විරාම ගිවිසුම අනුව සිදුවන්නක්.

මේ සමගම කලාපයේ ආරක්ෂාවට කුමන තත්ත්වයක් බලපානු ඇතිදැයි විමසා බැලීම වැදගත් වනවා.

ඇමරිකාව පරාදයි
ඇමරිකාව පරාජය වී ඇති බවත් තමන් ඇෆ්ඝනිස්ථානයේ යුද්ධය ජයගෙන ඇති බවත් තලේබාන් සංවිධානය පවසනවා. ප්‍රධාන නගරවල බලය රජයේ හමුදා වෙත පැවතුණ ද ප්‍රාදේශීය වශයෙන්, විශේෂයෙන් පශ්තුන් ජනයා ජීවත්වන ප්‍රදේශයන් හි බලය අල්ලාගෙන සිටින්නේ තලේබාන් සංවිධානයයි.

එමෙන්ම ඔවුන් තමන්ව දකින්නේ රජයේ පරිපාලනය භාරගන්නට සූදානමින් සිටින සංවිධානයක් ලෙසයි. 1996 සිට 2001 දක්වා බලය අල්ලාගෙන සිටි සමයෙහි මෙන්ම වර්තමානයේ ද ඔවුන් තමන්ව හඳුන්වාගන්නේ ඇෆ්ඝනිස්ථාන ඉස්ලාමීය එමිරේටය ලෙසයි.

1996-2001 සමයේ තලේබාන්වරුන්ව ලෝකයා දුටුවේ කිසිදු මානුෂීය ගුණාංගයක් නැති ත්‍රස්ත කල්ලියක් ලෙසයි. නමුත් වර්තමානය වනවිට ඔවුන් ඇමරිකානුවන් හා සාකච්ඡා කරන තත්ත්වයට පැමිණ තිබෙනවා.


ඇමරිකා – තලේබාන් සටන් විරාමය (AP)

ඇමරිකන් සහ අනෙකුත් මිත්‍ර හමුදා ඇෆ්ඝනිස්ථානයෙන් පිටවූ විට තලේබාන්වරුන් රජයේ හමුදාවන්ට එල්ල කරන ප්‍රහාර තීව්‍ර කිරීමට ඉඩ තිබෙනවා. මෙය 1989 දී සෝවියට් හමුදා ඉවත් වූ පසු රජයේ හමුදාවන්ට මුජහිදීන්වරුන් විසින් පහර දුන් අවස්ථාවට සමාන අවස්ථාවක් වනු ඇති. එම අවස්ථාවේදී, 1992 වනවිට මුජහිදීන්වරුන් කාබුල් අගනුවර අල්ලාගත්තා. කෙසේ වෙතත් මුජහිදීන්වරුන් අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් 1996 වනවිට තලේබාන්වරුන්ට බලයට පැමිණීමට අවස්ථාවක් ලැබුණා.

ඇෆ්ඝනිස්ථානයේ වැදගත්කම
ඇෆ්ඝනිස්ථානය යනු සුළු ජනවර්ගවල රාජ්‍යයක් බව ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන ශේකර් ගුප්තා වරක් සඳහන් කළා. එරට ජන සංයුතිය ගත්විට විශාල බහුතරයක් සහිත කිසිදු තනි ජනවර්ගයක් නැහැ. එමෙන්ම එහි ප්‍රධාන ජනවර්ග සියල්ලක්ම පාහේ දේශසීමා ඔස්සේ වෙනත් රටවලට විහිදී සිටිනවා. පශ්තුන්වරුන් සමස්ථ ජනගහනයෙන් සියයට හතලිහක් පමණ වනවා. ඇෆ්ඝන්-පාකිස්ථාන් දේශසීමාවේ දෙපසම පශ්තුන්වරුන් වාසය කරනවා. රටේ උතුරට වන්නට තජික්වරුන් ද උස්බෙක්වරුන් ද සිටිනවා. රට ඇතුලත හසාරාවරුන් වනවා.

ඇෆ්ඝනිස්ථානයේ පිහිටීම සහ එහි ඇති ස්වාභාවික සම්පත් හේතුවෙන් කලාපීය රටවල් ඒ පිළිබඳ අවධානය යොමු කරනවා. මෙහිදී ජනවර්ගවල සංයුතිය ද වැදගත් වනවා. කල් පවතින ස්ථාවර රජයක් පිහිටුවාගන්නට නම් විශාල මිලිටරි බලයක් හෝ කණ්ඩායම් කිහිපයක් එක්කරගත් සභාගයක් නිර්මාණය විය යුතුයි.

ඇෆ්ඝනිස්ථානයේ පවතින තත්‍ත්වය පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කරන රටක් වන්නේ පාකිස්ථානයයි. ඇෆ්ඝනිස්ථානය තුළ ඉන්දියාවේ ක්‍රියාකාරීත්වය වර්ධනය වුවහොත් එය පාකිස්ථානයට අයහපත් ලෙස බලපානවා. මක් නිසාද යත්, එවිට පාකිස්ථානය දෙපසකින් ඉන්දීය බලපෑමට හසුවන හෙයින්. 1978 දී සෝවියට් පාක්ෂික රජයක් ඇෆ්ඝනිස්ථානයේ බිහිවූ අවස්ථාවේ ද පාකිස්ථානයේ එක් ගැටළුවක් වූයේ එයයි.


ඇෆ්ඝනිස්ථානයේ ජනවර්ග

තලේබාන් සංවිධානය මේ සඳහා දැනට පාකිස්ථානය වෙත ඇති විසඳුම ලෙස බැලූ බැල්මට පෙනී යනවා. කෙසේ වෙතත්, තලේබාන් සංවිධානය අනවශ්‍ය ලෙස බලවත් වුණහොත්, එය ද පාකිස්ථානයට ගැටළුවක් බවට පත්විය හැකියි.

වර්තමාන දේශපාලන තත්ත්වය යටතේ පාකිස්ථානය සමගම පැමිණෙන්නේ චීනය යි. චීනයේ ආගමනය අනාගත ඇෆ්ඝනිස්ථානයේ නිසැකවම සිදුවන්නක්. එහිදී චීනයේ අවධානය යොමු වන්නේ ඇෆ්ඝනිස්ථානය සතු දැවැන්ත ස්වභාවික සම්පත් ප්‍රමාණය බව පැහැදිලියි. අනාගත ලෝකයට අවශ්‍ය විදුලියෙන් දුවන වාහන, ජංගම දුරකථනවල සිට චන්ද්‍රිකා දක්වා විවිධ සන්නිවේදන උපකරණ, මිසයිල ආදී යුධ උපකරණ සඳහා අත්‍යවශ්‍ය වන ලිතියම් සහ විරල පාංශු ලෝහ අඩංගු නිධි ඇෆ්ඝනිස්ථානයේ තිබෙනවා. චීනයට ඒවා අවශ්‍ය බව පැහැදිලියි.

මෙම නිධි පිළිබඳ මුලින්ම සොයාගන්නා ලද්දේ සෝවියට් භූ විද්‍යාඥයන් විසින්. දේශපාලන අස්ථාවරභාවය සහ ගමනාගමන පහසුකම් දුර්වල වීම හේතුවෙන් ඔවුනට ද එයින් අනතුරුව පැමිණි ඇමරිකානුවන්ට ද එයින් වැඩක් ගන්නට නොහැකි වුණා. ඊළඟ වාරය ඇත්තේ චීනයටයි.

නමුත්, ඇෆ්ඝන් ජනතාව විදෙස් පාලකයන් රුස්සන පිරිසක් නොවේ. එහෙයින් අනවශ්‍ය ලෙස ඇෆ්ඝනිස්ථානයට ඇඟිලි ගැසීමට පැමිණීම චීනයට ද විනාශය ළඟා කළ හැකියි. දශකයකට වැඩි කලයක් තිස්සේ පාකිස්ථානයේ කෙරෙන ව්‍යාඍතීන් ද සිදුවන්නේ විවිධ බාධක මැදයි. එසේ වනවිට ඇෆ්ඝනිස්ථානය පිළිබඳ චීනයට සම්පූර්ණ විශ්වාස තැබිය නොහැකියි.

චීනය, පාකිස්ථානය සහ තලේබාන් සංවිධානය පමණක් හරහා ඇෆ්ඝනිස්ථානය වෙත පැමිණේ යයි සිතන්නට ද බැහැ. තජිකිස්ථානය හරහා ද ඇෆ්ඝන් තජික්වරුන් වෙත චීනය ආමන්ත්‍රණය කිරීමට ඉඩ තිබෙනවා. නමුත් තජික්වරුන් සහ තලේබාන්වරුන් අතර හොඳහිතක් නොවන හෙයින් එය ද සීරුමාරුවේ කළයුතු ගනුදෙනුවක්.

අනාගත ඇෆ්ඝනිස්ථානයේ ඉන්දීය භූමිකාව කවරක් වේදැයි ද පැහැදිලි විවාදයක් වනවා. එක් පාර්ශවයක් පවසන්නේ පාකිස්ථානයට සහ චීනයට ඇෆ්ඝනිස්ථානයට ඇඟිලි ගසා තමන්ම ව්‍යසනයට පත්වීමට ඉඩදීම යෝග්‍ය බවයි. ඉන්දියාව ඇෆ්ඝනිස්ථානයේ පැළපදියම් වීමෙන් විශේෂ වාසියක් නොවන බව ඔවුන් පෙන්වා දෙනවා. එහෙත් මෙසේ සිය එදිරිවාදීන්ට ඇෆ්ඝනිස්ථාන පිටියේ තනිව ක්‍රීඩා කිරීමට ඉඩදීම පිළිබඳ විරුද්ධ අදහස් ඉතා තදින් ඉස්මතු වෙමින් තිබෙනවා.

මේ අතර ඇෆ්ඝනිස්ථානයේ අනාගතය දෙස ඇමරිකාව කෙසේ කටයුතු කරනු ඇතිදැයි විමසිය යුතුයි. අනාගතයේ දිනෙක, චීනයට එරෙහිව ඇමරිකන් ආධාර ලබන තලේබාන්වරුන් සටන් කරන අවස්ථාවක් උදා වුවහොත් අප පුදුම වියයුතු නැහැ.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.