ලේලියගේ ඔළුවට වීදුරු බෝතලෙන් ගැසූ ප්‍රාදේශීය සභා නෝනා
සුදු වෑන් රථයක් මා අභියස නතර විය.
“ අපේ හාමුදුරුවනේ… අවසරයි! කොයි පැත්තට ද දන්නෑ වඩින්නේ…?“
“අහ් කරුණාදාස මහත්තයා… තෙරුවන් සරණයි!…
තුන්මුල්ල පැත්තට තමයි ඉතිං… සුපුරුදු පරිදි…“
“ගොඩවෙන්න, මම නුගේගොඩ පැත්තට යන්න කියලා… කමක් නැ, මට වෙලාව තියෙනවා… මම ඔබවහන්සේව දාලා එන්නම්…“
“අනේ ගොඩක් පිං…,
බස්වල ගමන ඉතිං දන්නවානේ… seat එකක් දෙන්නෙත් Driver කෑගහනකම් ඉදලානේ… අපට ඉතිං හිටගෙන යන්න ජවය තියෙනවා… එත් අනික් මිනිස්සු අපහසුතාවයට පත්වෙනවානේ…“
“එහෙනම් එහෙනම්… මම දැකලා තියෙනවා, සමහර තලාතුණා ගෑනු… පිටිපස්සේ තව සීට් තියෙද්දි,.. බහින්ඩ ලේසියට කියලා ඉස්සරහාම ඉදගන්නවා… පුජ්‍ය පක්ෂයට කියලා බෝඩ් ගහලා තියෙද්දීම, ඊට පස්සේ ස්වාමීන් වහන්සේ නමක් වැඩියාම… වෙන කවුරු හරි සීට් එක දෙයි වාගේ උඩබිමි බලනවා… අපේ ජාතිය හරි මෝඩයිනේ හාමුදුරුවෙනේ…
“ජාතිය ගැන නම් කතා කරලා වැඩක් නෑ මහත්තයා… ලේ කෝප වෙනවා විතරනේ… ඉතිං කොහොමද සැප සනීප, ගෙදර අය එහෙම සනීපෙන් ද?
“අනේ වරදක් නෑ අපේ හාමුදුරුවනේ… පරණ පිං ටික අනුභව කරමින් ඉන්නවා ඉතිං… අහ්… ගෙදර කියද්දි මතක් වුනේ,.. ඔබවහන්සේ දන්නවාද සිද්ධියක්, අපේ ලේන් එකේ වෙච්චි?
“මොකද්ද?… මෑතකද… මට නිච්චියක් නෑ…“
“බටදොඹ නෝනා දන්නවානේ ඔබ වහන්සේ?…
“මේ පාර ප්‍රාදේශීය සභාවට පත්වුනේ… මට ආරංචි වුන හැටියට නම්, ඉදිරිපත්වෙච්චි ඔක්කම අතරින් වැඩිම ඡන්ද නේද?“
“එහෙමයි, එයාට එච්චර ඡන්ද ලැබෙන්න හේතුව දන්නවාද?
“නෑ“
“ එයා ගැන බොහෝම හොඳ කීර්තිරාවයක්නේ ගමේ තිබ්බේ…“
“ඒ කීවේ“…
“ ඒ කීවේ අපේ හාමුදුරුවනේ… එයා බොහෝම සාන්ත, දාන්ත, නිවිච්ච කෙනෙක් විදිහට, එයාගේ දරුවන්ට, මහත්තයාට සහ ගෙදර වැඩ කාරිටත් බොහෝම යහපත් ලෙස සලකපු කෙනෙක් විදිහට.. තමයි මුළු ගමම එයාව දන්නේ… එයා කොච්චර හොද ගුණයහපත් කෙනෙක් ද කියනවානම්… එයා “තරහා, කෝපය“ කියන වචන දන්නෙවත් නැති කෙනෙක් විදිහට තමයි ගමේ ප්‍රසිද්ධ“
“අහ් අපූරුයිනේ… ගුණයහපත් කෙනෙක් කියලා නම් දන්නවා බටදොඹ නෝනා. ඒත ඔච්චර කීර්තිරාවයක් තියෙන බව දන්නේ නෑ.
“ඒ විතරක් නෙවෙයි, එයාගේ ගෙදර හිටපු වැඩකාරි හිටියෙත් A.C room එකක. ලේලිට සැලකුවේ දුවෙක් වාගේ… දුව කීවේ “අපේ අම්මාවත් මට මෙච්චර ආදරේ නෑ“ කියලා. නිතරම මුහුණෙ සිනාවෙකින් පිරිච්ච නෝනාව තමයි ගමේ පිරිමි උදාහරණයට ගත්තේ, තමන්ගේ ගෑනිට දොස් කියන්න උනාම…“
“කාන්තා සමිති බර ගානක, ශ්‍රමදාන, පිංකම්, චාරිකා හැම දේකම මුල් තැන ගත්තෙ කාලයක් තිස්සේ එතුමිය තමයි හාමුදුරුවනේ…“
“අප්පාහ්… එච්චර හොද කල්කිරිායවක් තියෙන ගෑනියෙක්ට ඉතිං වැඩිම මානාප ගන්න එක ආමාරුවක් නෑනේ මහත්තයා එහෙනම්“
“එහෙමයි… ඒත් මෙ ඊයේ පෙරේදා වෙච්චි සිද්ධියට අනුව, ගෑනිට මනාප ගැනිල්ල කෙසේවෙතත්, හිරකූඩුවේ නවතින්නම් වෙයි වාගේ…“
“අප්පච්චියේ… අර මොකද?
“මේ ගෑනි, තමන්ගේ ලේලිට ගහලා හාමුදුරුවනේ… ඔලුව පැලෙන්න, මැහුම් දාලා දැන් නවලෝකෙ ලු..“
“ දෙයියො සාක්කි… මැහුම් දාන්න තරම්…“
“එහෙමයි… ඇද ගාව, වතුර බොන්න තියාගත්ත, විදුරු බෝතලෙන් තමයි ගහලා තියෙන්නේ… ආරංචිය හැටියට වොඩ්කා බෝතලයක්… හොස්පිටල් ගෙනියනකොටත් විදුරු කෑලි ඔලුවේ හිරවෙලා තිබ්බා කියලා කියන්නේ…“
“එච්චර දෙයක් වෙන්න මොකද්ද වුනේ… “තරහව, කෝපය“ කියන එක dictionary දැකලා නැති කෙනෙක් කියලා නේද කිව්වෙ…“
“මෙහෙමයි අපේ හාමුදුරුවනේ විස්තරය…“
“බටදොඹ නෝනාට හිටියා අපූරු වැඩකාරියක්, ඒ ගෑනු කෙනාට වයස 40 කිට්ටුව තියෙද්දි, ගිය සුමානේ දවසක heart attack එකක් ඇවිල්ලා මැරුණා. ගමේ කවුරුත් සිද්ධිය වැඩය දන්නේ නැ, මොකද මිනිය පොළොන්නරුවට ගෙනිච්චා එයාගේ නෑදෑයො ඇවිල්ලා..
ඔය බට දොඹ නෝනා කසාද බැඳපු අලුත, එයාගේ හස්බන්ඩ් තමයි ඔය කෙල්ල මීට අවුරුදු විසිගාණකට කලින් මේ කොළඹට එක්කගෙන ඇවිල්ලා තියෙන්නේ… බට දොඹ නෝනගේ හස්බන්ඩ්ගේ දුර ඤාතියෙකුත් වෙනවලු…
“කොළඹට එන්න කලින්, පොලොන්නරුවේ ගමේ ගෙදර දි කෙල්ලට, එයාගේ මමා කෙනෙක්ගෙන් අතවරයක් වෙලා… ඒ නිසා තමයි කෙල්ලගේ දෙමාපියො මෙහෙට එවලා තියෙන්නේ… එදා ඉදලා කෙල්ල ඉදලා තියෙන්නේ බට දොඹ නෝනාගාව… අන්තිම මැරෙන කාලේ වෙනකොට… ගෑනි හිටියේ ඒ.සි කාමරයක..
“ආපු මුල් කාලේ ඉදලාම කෙල්ල හොදට ගෙදර වැඩ ටික කරලා… කොච්චර හොදට වැඩ කරනවාද කියනවානම්… බට දොඹ නෝනා සීනි කිලෝ එකක ගානවත් දන්නෑ කියලා කියන්නේ… බට දොඹ නෝනාගේ ඇදුම් පැලදුමේ සිට, ඉවුම් පිහුම් වාගේම, වත්තේ පොල් ගෙඩිය අහුලන තැන දක්වා බලාගෙන තියෙන්නේ මේ කෙල්ල… පිරිමි ගැන ඇතිවෙච්චි අප්පිරියාව නිසා කසාදයක් බැඳලත් නෑ…
“ඉතිං.. බටදොඹ නෝනා… අගහරු ලෝකෙට ගියත්, බය නැතුව යනවා මොකද, වැඩකාරී ඒ තරම්ම sure… ඇන ඇන කියන්න දෙයක් නෑ… එහෙම තත්ත්වයක් තියෙද්දි තමයි මීට අවුරුදු දෙක හාමාරකට විතර කලින් ඔය දැන් ඉන්න ලේලිව කැන්දන් ආවේ, බටදොඹ නෝනාගේ පුතා…“ ඒ ලේලි එක්කත් නෝනා හිටියේ, යාලුවො දෙන්නෙක් වාගේ…“
“ඡන්දෙත් ඉල්ලලා – දිනලා වැඩ කටයුතු හොදට කරගෙන ඉද්දි, හදිස්සියේම ගිය සතියේ වැඩකාරි මැරුණනේ… එතැන තමයි වැඩේ අඤ්ඤකොරොස් වෙච්චි තැන. දැන් ගෙදර වැඩ ටික ආවේ නෝනාගේ කරට… මෙච්චර දවසක් හොදට අයිස් ගහ ගහා හිටපු ලේලිටත් සිද්ධ වුනා කුස්සියට ගිහිල්ලා දුම් කන්න“
“ලේලිට උදේම නැඟිටලා පුරුද්දක් නෑනේ… ඉතිං… එයා නිදිලු… උදේ 8 පහුවෙනකල්… දවසක් දෙකක් කීවාලු දැන් උදේම නැගිටලා උයන්න එන්න කියලා… පුතා වැඩට යනකලුත්, ලේලිට ඇහැරිලා නැ… පලවෙනි දවස් කීපයේ ටිකක් සද්දෙට කියලා… බටදොඹ නෝනාට තරහා එනවා කියලා ලේලි දන්නෙත් එතකොටලු…
“ඊට පස්සේ දවසක… ගිහිල්ලා ලේලි නිදාගෙන ඉද්දි වතුර ජොග්ගුවක් අරගෙන ගිහිල්ලා ඇඳත් එක්කම තෙමෙන්න වක් කරලා… කුණුහරුප දෙකකුත් කියලා… ප්‍රාදේශීය සභාවට ගියා පස්සේ ඉගෙන ගත්තු කුණුහරුප ද කියලත් ලේලි අහලා… “ දවසම වාගේ ඒකේ වලියත් ගෙදර තිබිලා කොහොම හරි…“
“ ඒ වලියට, පහුවෙනිදා දවසෙත් මේ ලේලි, නිදාගෙන 9.00 පහුවෙනකල්…
ඉතිං අර සාන්ත දාන්ත විනීත බට දොඹ නෝනට ආලවකයා වැහිලා… ඇදගාව තිබ්බ වතුර බොන්න ගෙනාපු, වොඩ්කා බොතලෙන් කෙලලා ඇරලා අපේ හාමුදුරුවනේ… ඔලුව දෙබෑ වෙන්න…“
“ ඒ විතරක් නෙවෙයි… ලේලිත් එලියට බැහැලා… “මේ යක්ෂණී මාව මරනවො… මාව මරනවො… කියලා කෑගහගෙන ගම හරහාම දුවලා…
අල්ලපු ගෙදර ඇලපාත නෝනා තමයි තමයි ambulance එහෙකට කතා කරලා ලේලිව දාලා යවලා තියෙන්නේ… වැඩේ කියන්නේ ඇලපාත නෝනා ගිනි බොම්බේ… ඇලපාත නෝනා යමක් දැනගන්නවාට වඩා හොදයි ලංකාදීපේ මුල් පිටුවේ දාන එක. ඔලුවේ ඇනිලා තිබේ එක විදුරු කෑල්ලක් නම් ගෑනි ඒක දහයක් කරනවා… අන්තිමට ඉතිං… සාන්ත දාන්ත විනීත බට දොඹ නෝනා… ප්‍රචණ්ඩ, දරුණු කාලියකිණ්ණ වෙලා තමයි නැවතුනේ… මේ පාර ඡන්ද ඉල්ලන්න තියා උන්දැට පොලිස් කූඩුවේ ලගින්නයි වෙන්නේ අපේ හාමුදුරුවනේ….“
“ඔන්න කතාවෙන් කතාවෙන් තුම්මුල්ලට ආවා අපේ හාමුදුරුවනේ…
සටහන
? ආවේග කළමණාකරණය වනාහි පාසල් විෂයයක් ලෙස ඉගැන්විය යුතු මාතෘකාවක් යැයි සිතමි. බොහෝ දෙනෙකුන් විසින් “හාමුදුරුවනේ, මට හරියට තරහා යනවා“ යනුවෙන් පවසනු ලැබේ.
? තරහා හෙවත් කෝපය කළමණාකරණය කරගැනීමට මජ්ඣිම නිකාය කකචූප සූත්‍රය අපූරුව අවවාද කිහිපයක් දෙනු ලැබේ. පළමුව තරහා ඇති වන්නේ කෙසේදැයි විමසු බලමු.
? තරහා ඇතිවෙනු ලබන්නේ අපට ඕනෑ ඕනෑ විදිහට වට පිටාවේ සිටින පුද්ගලයන් හා වස්තූන් ක්‍රියා නොකරන විටය. අප අවට සිටිනා පුද්ගලයන් හා වස්තූන් අප කියන කියන විදිහට හා හිතට ප්‍රිය විදිහට වැඩ කරයි නම්, වැඩ සිද්ධ වේනම්, අපට තරහා යන්නේ නැත.
? පමා වී අවදි වීම තරහා යාමට හේතුවකි, භාර්යාව නියමිත වෙලාවට බත් එක ඔතා නොදුන්නේ නම් ද කෝපය පැමිණෙ. බස් රථයට ගොඩ වූ පසු අධික සෙනඟ, වාහන තද බදය, කනට සුවයක් නොදෙන නළා ශබ්ද කිරීම කෝපය දෙගුණ තෙගුණ කරවයි. ඒ අතර තුර බස් රථයේ කොන්දොස්තර විසින් ඉතිරු රු. 2 නොදුන්නේ නම් ඔහු සමඟ බැනගැනීමට එය හේතු වෙයි. උෂ්ණාධික රටක අප වෙසෙන බැවින් දහඩිය දමයි. ලේ කෝප වූ රත් වූ පරිසරයක සිටිම කෝපය ඉහවහා යාමට ප්‍රභල හේතුවකි. උෂ්ණාධික රටවල ප්‍රචණ්ඩත්වය ඉහල අගයක පවතී.
? ඉහත අයුරුන් සිතා බැලූකල අපට තිබෙන්නේ කෝප ගැනීමටම හේතුය. මේ සිද්ධි නිසා අපට පළමුව සිදුවන්නේ අපගේ හිත විපරීත ස්වභාවයට පත් වීමයි.
✔1. ‘න චෙව මෙ චිත්‌තං විපරිණතං භවිස්‌සති – (මගේ සිත වෙනස් වීමට භාජනය නොවිය යුතුය.)
අප අකමැති යම් සිද්ධියක් සිද්ධ වූ සැනින්, අපගේ සිත කිලිටි වීම හෙවත් වෙනස් වීමට භාජනය වේ. මුහුණෙ තිබුනු සිනහව අතුරු දන් වේ. එසේ නම් පළමු කොටම තමන්ගේ හිතෙහි වෙනස් වීම තමන් අදුනාගත යුතුය. හිත වෙනස් වූ සැනින් ගුටි ඇනගැනීමක් ඇති වන්නේ නැත.
✔2. න ච පාපිකං වාචං නිච්‌ඡාරෙස්‌සාමි, – (පවිටු වචන මුවින් පිට නොකරමි.)
ඊළඟට සිදුවනු ලබන්නේ, නොසතුටුටු සිතින් සිටින අප, තවත් කෙනෙකුට අසාගෙන සිටිය නොහැකි අප්‍රසන්න, පවිටු, වේදනාකාරී වචන ප්‍රකාශ කිරීමයි. අපහස කිරීමයි, කුණුහරුප කීමයි. මේ මඟින් හිතේ තිබුනු නොරිස්සුම් බව ගැටුම් බවට පත් කරේ.
✔3. හිතානුකම්‌පී ච විහරිස්‌සාමි මෙත්‌තචිත්‌තො, න දොසන්‌තරො’ති. (මෛත්‍රී සහගතව, ද්වේෂයකින් තොරව වාසය කරමි. )
වචන වලින් නොනැවතී, අතින් පයින්, ගල් කැඹිලිති, දඩු මුගුරු ආයුධ වලින් ඉන් අනතුරුව පහරදීම සිදුවේ. එය නොවීමට නම් තමන්ගේ සිත මෛත්‍රී සහගතව, වෛරකින් තොරව සිටිමට පුරුදු කළ යුතුය.
? ආවේග පාලනය, ඉතා අපහසු දෙයක් වුවත්, මෙම පියවර 3 කලින්ම හදුනා ගන්නෙ නම් ගැටුම් වලක්වා ගත හැක.
එනම්, 1. මගේ හිත වෙනස් වුනා… තරහා ආවා.
2. මම නරක වචන කියනවා දැන්
3. මගෙ අතපයත් ඔහුට/ඇයට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා. ආදී වශයෙනි.
මෙම පියවර තුන ගැන නිතර නිතර පුහුණු වී හිත අවධි වන්නේ නම්, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැක. මෙම පිළිවෙල තුන නිතර කෝප වන්නන් විසින්, ඇසට පේන මානයක මුද්‍රණය කොට බිත්තියක අලවා තැබීම වුව ද සුදුසුය. බල්ලාගේ කණ ඇසීම අපට වඩා ඉතාම හොද වන අතර, නිතර පුරුදු පුහුනු වීම නිසා, කම්මලේ සිටින බල්ලා මෙන් අකුණු ශබ්දයටත් කිසිදු ප්‍රතිචාරයක් නොදී සිටිය හැක. වඩා වැදගත් නිතර පුරුදු වීමය.
? කකචූප සුත්‍රයේ දක්වනු ලබන්නේ… අත්පය හතර, හතර පැත්තෙන්, කියත් හතරකින් කපනු ලබන්නේ වූවද, අවෛරීව සිටිය යුතු බවය. මෛත්‍රියම ප්‍රගුණ කළ යුතු බවය.
? බටදොඹ නෝනාට ද කෝපය අවශ්‍ය නොවූයේ තමාගේ දාසිය අවට පරිසරය හා ඇයගේ අවශ්‍යතා නිසි ලෙස කළමණාකරය කළ නිසාවෙනි. ඇය තුළ ඇතුලත කෝපය නොතිබුනා නොවේ. පිටට ඒමට අවස්ථාවක් තිබුනේ නැත.