පුරුෂ ලක්ෂණ – පළමු කොටස
“හාමුදුරුවො, අපේ මල්ලිගේ එකවුන්ට් එකේ නැද්ද?“ ඔහු ඇසුවේය. ?
“ම්ම්ම්… මට හරියට මතකයක් නෑ Doctor.., බලන්න ඕනේ…“ මම කීවෙමි. ?
“අනේ අපේ හාමුදුරුවො පුළුවන් නම් බලලා මිනිහට පොඩ්ඩක් කතා කරන්න…“ ඔහු කීවේය. ?
එක්තරා රෝහලක වාර්ෂික වෙසක් වැඩසටහනකට සම්බන්ධ වීමෙන් පසු මේ සද්ධාවන්ත දොස්තර මහතා මුණ ගැසුණි. ඔහුගේ නිවසට ද දෙතුන් විටක් වැඩම කොට ඇති අතර, සසර පුරුද්දකට මෙන් ඔහු ඉතා කුළුපග බවක් මා හට දක්වයි. ?
“හේතුව මොකද්ද දන්නෑ… මනුස්සයා බලයි නැත්තං මේ මොකද මම එකපාරටම කියලා…“ මම කීවේමි.?
“එහෙමයි… මට ඕනේ ඔබවහන්සේ ලවා වත් අවවාදයක් දුන්නොත් හරියාවිද බලන්න…“ ඔහු කිවේය. ?
“මොකක් ගැනද?…“ ?
“මල්ලි, Divorce වෙන්න හදනවා කියලා කතාවක් අපේ අම්මා කීවා… ඒකයි අපේ හාමුදුරුවනේ… මිනිහා මම කියන දෙයක් නම් අහන්නේ නෑ… අම්මා මට බල කරනවා… මල්ලිගේ හිත හදන්න කියලා…“ ඔහු දුක්මුසුව කීවේය.. ?
“ඔව් ඒක අතිබහුතරයක් පිරිමින්ගේ ලක්ෂණයක්නේ…“ මම කීවෙමි. ?
“මොකද්ද අපේ හාමුදුරුවනේ…“ ?
01.“ පිරිමි හරිම අකමැතියිනේ කාගෙවත් උපදෙසක් අහන්න…
විශේෂයෙන්ම වැඩිමල් අයගෙන්. උපදෙසක් නිකමට හරි ගන්න කැමැති යාලුවෙක්ගෙන් විතරයි… උපදෙස් ගන්න අකමැතිම ගෙදර ගෑනීගෙන්…“ මම කීවෙමි. ?
“අපොයි ඒක නම් එහෙම තමයි… කවුරු හරි උපදෙස් දෙන එක තමන්ගේ මාන්නයට කරන කැලළක් විදිහට පෙන්නේ… විශේෂයෙන්ම ගෙදර ගෑනි…“ ඔහු කීවේය. ?
“ඔව් ඒක බිරින්දෑවරු විසින් තේරුම් නොගන්නා දෙයක්…
විශේෂයෙන් සමවයස් couples වල, මේ ලක්ෂණය හරියට මම දැකලා තියෙනවා. දෙදෙනාගේ උගත් කම් මට්ටමත් එක ගාණ වාගේ නම්, බිරිඳ ගන්න තීරණය හරිම හරි උනත්, පිරිමියා ඒක මායිම් කරන්න අකැමැති. හේතුව මාන්නය… ඉතිං ගැටුම්…“ ?
“එහෙමයි…“
“නිධීනංව පවත්තාරං යං පස්සේ වජ්ජ දස්සිනං – වරදක් පෙන්වා දීම නිධානයක් පෙන්වනවා වාගේ හිතන්න කියලයි බුදුසමය කියන්නේ…☸️
එත් පිරිමින්ගේ ලක්ෂණයක් උපදෙස් අහන්න තියෙන අකමැත්ත. බිරිඳ දුන්නු උපදේශයක් ගනන් ගත්තේ නැතුවාම, ගෑනු නිතර නිතර ඒක කියවන්න යනවා…
සමහර විට, ඒ කියන දේ අහන්නේ නැතුව හිතුවක්කාරේට වැඩ කරලා වරද්ද ගත්තාමත් ඒක මාස ගාණක් කියවනවා… අන්න ඒ කන්දොස් කිරියාව අහන්නත් පිරිමි කැමැති නෑ. ඒක නිසා වෙන්නේ, අවශ්‍ය දෙයක් වත් අහන්නැති මට්ටම එන එක…“ ?
“එහෙමයි… අපේ මල්ලියි එයාගේ වයිෆ් අවුරුද්දක් විතර වයස එහා මෙහා පරතරය. සමහරවිට එයාලා අතර ඕක ඇති…“ ?
“ඔව් මාන්නාදික කමෙන් පෙළෙන සමහර මෝඩ පිරිමි, තමන්ගේ ගැහැණිය කියන විදිහට වැඩ කිරීම, “ගෑනිගේ පදේට නැටීම“ කියලා අර්ථකතනය කරනවා.
සමහර විට ඒක එහෙම කියන්නේ යාලුවො. නැත්තං සමාජය. එහෙමත් නැත්තං “අම්මා“. මොකද ඒක අම්මට පේන්නේ ලේලිට ඕන විදිහට නටනවා කියලා…“
ඔන්න ඔය වාගේ ඔය ප්‍රශ්නය හරිම උභතොකෝටිකයි… සමහර ප්‍රශ්න වලට කරන්න දෙයක් නෑ දොස්තර මහත්තයා..“?
“එහෙමයි… ඕක මල්ලිගේ උවමනාවට කරගත්තු දෙයක්… අම්මාගේ එච්චර කැමැත්තක් නෑ ඕකට. එත් අම්මා වෙන්වෙනවා නම් දකින්න කැමැතිත් නැ.“ ඔහු කීවේය.?
“මොන රස්සාවකට ගියත්, විදිමත් දැනුමක් ඕනේ. එත් විවාහයට එහෙම විදිමත් දැනුම ඇතිව කවුරුත් ඇතුළත් වෙන්නැනේ. ඉතිං එකට ඉන්නකොට ගැටුම් නිර්මාණ වෙන්න ඕනෑ තරම් අවස්ථාව තියෙනවා…
“පවුල් ජීවිතයක් ගැන ගැහැණියකගේ දැක්ම, දැනුම මට වඩා හොඳයි ඉහළයි“ කියලා පුරුෂයා පිළිගත්ත දාක,
“මගේ මේ කියවිල්ල, මෙයාට කන්දොස්කිරියාවක්, කන්කරච්චලයක්… එකම දේ නැවත නැවත කීම වදයක්, එකම වරදකට නැවත නැවත කියවීම “එපාවීමට – ආදරය අඩුවීමට මඟක්“ කියලා බිරිඳ තේරුම් ගත්ත දාට නම් ඔන්න ඔය ප්‍රශ්නය නිරාකරණය වෙයි.“ මම කීවෙමි.?
“එහෙමයි…
මම දැකලා තියෙනවා, අපේ ගෙදර ඇතුළේ තීරණ ගන්නේ අපේ අම්මා… තාත්ත නෙවෙයි.
ඒකට තාත්ත සහයෝගය දුන්නා. ඒක හරි. මම නොහිතපු දෙයක් ඒක අපේ හාමුදුරුවනේ… ඒ පැත්ත“ ඔහු කීවේය.
02. “පිරිමින්ගේ සහජ නැඹුරුවක් තියෙනවානේ අම්මාගේ පැත්තට…
ඒක දූලාගේ වැඩි ආදරය තාත්තාගේ පැත්තට තියෙනවා වාගේ දෙයක්… ඉතිං නැන්දම්මා – ලේලි ගැටුමට ඕක තමයි ප්‍රධාන හේතුවක් වෙන්නේ…
මෙච්චර කල් තමන්ගේ පුතාගේ… තිබුණ ආදරය හුරතලය, වෙන ගෑනියෙක් ගාවට යනකොට අම්මාට, එන ඊර්ෂ්‍යා සහගත හැඟීමක් තමයි ඔය ගැටුමට මුල.“ මම කීවෙමි.?
“මල්ලි බාලයා නිසාත්, මහ ගෙදර එයාට නිසාත් එයා ඉන්නේ අම්මලා එක්කමයි හාමුදුරුවෙනේ…“ ඔහු කීවේය.?
“බිරිඳ හැටියට, තමන්ට හොඳ මහත්තයෙක් හදලා දුන්නු නැන්දම්මට ගරු කළොත්, ඇගේ වචනයටත් ඇහුම් කන් දුන්නොත්, ගැටුම් අවම කරගන්න පුළුවන්.
එත් ලේලියකට, කවදාවත් නැන්දම්මා “අම්මෙක් කියලා හිතෙන්නෙ නෑ. කලාතුරිකින් එහෙම දැනෙන කෙනෙක් ලැබෙන්නේ පෙර පිණකට.?
පිරිමි බොහෝ දුරට මේ ගැටුමට මැදි වෙනවා. නිරන්තරයෙන්ම අම්මාගේ පැත්ත ගන්නවා. ඉදලා හිටලා ගෑනිගේ පැත්ත ගන්න අයත් ඉන්නවා. නමුත් මේ අන්තදෙකම අල්ලා ගැනීම, තමන්ට හෙණයක් කියලා පිරිමියාට තේරෙන්න කාලයක් යනවා…“ අම්මත් – බිරිඳත් තේරුම් ගත්තොත් මේ ගැටුමෙන් රිදෙන්නේ, තමන්ගේ පුතාට, මගේ මනුස්සයාට කියලා, අන්න එදාට තමයි මේක නිමා වෙන්නේ.?
“එහෙමයි…“
“ඕකට තව නෑනලා මැදට එකතුවෙනවා…“ මම සිනාසෙමින් කීවෙමි.?
“අපොයි අපේ හාමුදුරුවනේ… හොඳ වෙලාවට ලොකු අක්කා ඉන්නේ රට, එයාට මේව්වාට සම්බන්ධ වෙන්න විදිහක් නෑ…“ ඔහුද සිනාසෙමින් කීවේය.?
03. “අම්මා… මහාමායා දේවී තරම්, කරුණාවන්ත වුනත්,
ලේලි – යසෝධරා දේවි වාගේ ඉවසිලිවන්ත උනත්, මගේ නම් උපදේශය, ළමයෙක් හම්බෙන තුරුවත් අලුත් යුවල වෙනම පදිංචිවිය යුතුයි කියලා…“?
“ඒ වුනාට හාමුදුරුවනේ මහ ගෙදර කවුරුත් නෑනේ. අම්මා තාත්තාට තනිවෙනවා.“ ඔහු කීවේය.?
“අතිබහුතරයක් පිරිමි හිරවෙන තැනක් ඕක. ඒ වාගේම, වෙනම ගිහින් මොනවටද අලුත් වියදම් ටිකක් එකතු කරගන්නේ… බැන්දට පස්සේ වෙනම ගියොත්, සමාජය – නෑයො, අම්මලාට සලකන්නැති ලමයි කියලා හිතයි…
අනික උදව්වට කව්රු හරි ඉන්න එක හොදයිනේ… වාගේ අදහස් තොගයක් නිසා, බොහොමයක් පිරිමි තීරණය කරනවා, මහ ගෙදර ඉන්න. ඊට පස්සේ තමයි කරපු ගොන්කම ගැන තේරෙන්නේ.
ඊට පස්සේ බිරිඳයි කසාදෙයි බේරගන්න ඕනේ නිසා වෙනම පදිංචියකට යන්න හිතාගත්තට, නැන්දම්මා-ලේලි කන්නාඩිය බිඳිලා ඉවරයි. ආයේ ඒ යාලුකම් ඇති කරන්න ජීවිතේටම බෑ. හැමදාම පිරිමි ඔය ගොංකම නිසා දුක් විඳිනවා.“?
“එහෙමයි… අපේ අම්මා එක්ක මල්ලිගේ wife කොහොම ද කියන්න නම් මම හරියට දන්නෑ හාමුදුරුවනේ… හැබැයි මල්ලිට අම්මාගේන් තොර ලෝකයක් නෑ කියලා නම් දන්නවා“ ඔහු කීවේය.
04. “සමහර පිරිමි අම්මාගේ “සුරතලා“ බවට පත්වෙලා ඉන්න එක ගැහැනුන්ට ඉවසන්න බැරි ස්වභාවයක් තියෙනවා. අම්මා කියන විදිහට තමයි ඔක්කම වැඩ.?
ඉතිං අම්මා කියන විදිහට වැඩ කරාට මොකද කියලා ඕනෑම කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් ඕක සමහර බිරින්දෑවරුන්ට ගැටලුවක්.
ඉතිං… ගෙදර තීන්දු ගැනීමේ අයිතිය බිරිඳට පවරණ තුරුත්, විශේෂයෙන්ම දෙමාපියන් තමන්ගේ දරුවා තමන්ගේ තුරුළෙන් නිදහස් කරන තුරුත්, මේ ගැටුම තියෙනවා හැමදාම.?
“එහෙමයි… එත් දරුවො – දෙමාපියො බැඳීම ස්තීර එකක් නේද අපේ හාමුදුරුවෙනේ…“
“වෙස්සන්තර ආත්මභාවයේ, දරුවො දන් දුන්නේ ඇයි කියලා බොහෝ දෙනෙකුට හිතාගන්න බෑ.“ දරුවො ගැන තමයි දෙමාපියන්ට තියෙන ලොකුම බැඳීම. ඔය සමහරු මැරිලා ප්‍රේතයෝ වෙලත් ඒ ගෙවල්වලම ලඟින අවස්ථා ගැන සමාජයේ අහන්න දකින්න තියෙනවානේ. ඉතිං බැදීම් නිවනට බාධාවක්. ඒකත් දුරු කළයුතු ආශාවක්.?
කුරුල්ලො නිසි කාලෙයේ තමන්ගේ පැටව් කූඩුවලින් පිටමං කරනවා.
දෙමාපියොත් තමන්ගේ පිරිමි – ගැහැනු දරුවන්ව පිටමං කරාට පස්සේ ඔවුන්ට ඔවුන්ගේ කැදැල්ලක් ස්වාධීනව ඉදිකරගන්න ඉඩ දෙන තරමට, ගැටුම් අවමයි. යන්න ඉඩ අරින එකත්, දෙමාපියන්ගේ යුතුකමක් ලෙස දැකිය යුතුමයි. හැමදාම බදාගෙනසිටීමම නෙවෙයි.?
“එහෙමයි…“
“කොහොමද එතකොට මල්ලිගේ කතා බහ, කථාව අඩු කෙනෙක් ද, වැඩි කෙනෙක් ද? ” මම ඇසුවෙමි.
“ම්ම්ම්… කතාවකට set වුනාම නම් එයා කියවගෙන යනවා, මම දන්න හැටියට වැඩිය “සතුටු සාමීචියට“ කැමැති කෙනෙක් නෙවෙයි අපේ හාමුදුරුවනේ…“ දොස්තර මහතා කීවේය. ?
05. ප්‍රකෘතියෙන්ම පිරිමි කියන්නේ වැඩි කතාබහක් නැති කොටසක්. ?
“යාලුවොත් එක්ක set වුනාම, love කරන මුල් කාලේ සහ ආකර්ෂණයක් ඇති තැනකදි කතා කරාට පිරිමි කියන්නේ “කථාවෙන්“ සතුටු වෙන කොටසක් නෙවෙයි බහුතරය. ඉතා අවමයි සතුටු සාමීචියේ කතා කරන අය“
“එහෙමයි හාමුදුරුවෙන්. ඔබ වහන්සේ දන්නවත් ඇති ඔය කාරණාවේ scientific පැත්තක් තියෙනවා. පිරිමින්ගේ මොළයේ කතාවට වෙන් වෙලා තියෙන මොළයේ area එකේ දවසක වචන අවශ්‍යතාව 2500-5000 විතර වෙනකල්. ඒ කොටස කතා කරාට පස්සේ ඒ තරම් අවශ්‍යතාවක් නැහැ කතා බහට. සරලව කීවොත් ඒක වදයක් එතැන් එහාට. ඒ වාගේම ගැහැනුන්ගේ ඕක 20000-25000ක් දක්වා වාගේ විශාල කොටසක්. මම හිතන්නේ ඕක පරිණාමය සමඟ එන දෙයක්“ ඔහු කීවේය.?
“අන්න ඒ නිසා මහත්තයා, ගැහැණුන්ගේ මොළය කතා බහෙන් සතුටු වෙනවා. ඒකයි මුල් කාලේ ආදර කතා ඉතා සෞම්‍ය විදිහට ප්‍රීති ජනක විදිහට ගලා යන්නේ. පිරිමි මුල් කාලේ කතා කරනවා. ඒ ආකර්ෂණය නිසා. ඒ ආකර්ෂණය සමඟ හිත සතුටු විය හැකි dopamine ප්‍රමාණයක් මොළය නිකුත් කරනවා. ගැහැණියක් සමඟ කතාවෙන් පිරිමින්ගේ මොළය උත්තේජනය වීමක් තියෙනවා. ඒක රූපය අරමුණු කරගෙන කියලයි මම හිතන්නේ.
“චක්‌ඛුඤ්‌ච පටිච්‌ච රූපෙ ච උප්‌පජ්‌ජති චක්‌ඛුවිඤ්‌ඤාණං. තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො -“
ඇස + රූපය = මොළයේ සිද්ධවෙන එකතුවීම චක්ඛු විඤ්ඤාණය. ඇතුළත සිද්ධ වෙන ස්පර්ශය. ☸️
ඉතිං පිරිමින්ගේ මොළය ස්ත්‍රී රුප දැකීමෙන් සතුටු වෙන ස්වභාවයක් තියෙනවා. මේ නිසා ඔනෑම යුවතියක් සමඟ මුල්කාලීනව සතුටු සමීචියේ යේදීමට කැමැති ස්වභාවයක් තියෙනවා“
“එහෙමයි… එතකොට කාන්තාවන්ට ඒක නැද්ද?“ ඔහු ඇසුවේය. ?
“කාන්තාවන්ට පිරිමි සම්බන්ධයෙන් නෙවෙයි ඔනෑම කෙනෙක් සම්බන්ධයෙන් කතාවෙන් සතුටු වෙනවා… “සමහරු අපො… ගෑනු වාගේ කියවන්න එපා බං කියන්නේ ඒකයි.“
“ආරක්ෂාව, විශ්වාසය, ගෞරවය, විනය සදාචාරය ආදී කාරණා නිසා ගැහැණු හැම පිරිමියා සමඟම කතා බහේ යෙදීමට උනන්දුවක් දක්වන්නේ නැ. මොකද පිරිමි හිතන්නේ කතා බහේ යෙදෙන ඕන ගෑනියක් සමඟ යහන්ගත වෙන්න පුළුවන් කියලා… මේ කාරණාව නිසා හැම පිරිමියෙක් සමඟම ගැහැනු ‘සංවාදයේ යෙදෙන්න කැමැති නැ. එය බලාපොරොත්තු වන්නේ තමාගේ ස්වාමියාගෙන්“?
“එතකොට මොකද්ද ගැටලුව?“ ඔහු ඇසුවේය. ?
“ගැටලුව, විවාහ වීමෙන් හෝ ආදර සම්බන්ධතාවයට කාලයක් ගතවීමෙන් පිරිමියාට අර “ආකර්ෂණය මත සිද්ධවෙන උත්තේජනය නැති වෙනවා. සාමන්‍ය කරණය වෙනවා“ ?
“ඒ කියන්නේ අපේ හාමුදුරුවනේ ටික කාලයක් යද්දි පිරිමි කතා බහ අඩුවෙනවා කියලාද? ?
“ඔව්… ඕක අවුරුදු 16න් පස්සේ පිරිමි දරුවන්ගේ උනත් දකින්නට පුළුවන්. අම්මත් සමඟ මුල් කාලේ සියල්ල බෙදාගත් පිරිමි දරුවන් පසුව කතා බහ ඉතාම අඩු කරනවා. කලාතුරකින් කෙනෙක් තමයි ඒ චර්යාව දිගටම තියාගෙන යන්නේ. සමහර විට ආයේ 25 පැන්නාම වාගේ අම්මා සමඟ කතා බහ ආරම්භ වෙන්නත් පුළුවන් එත්, පිටස්තර ගැහැණු සම්බන්ධයෙන් 85% විතරම පිරිමි ඔය වාගේ“
“ඇයි එහෙම වෙන්නේ…“ ඔහු ඇසුවේය.
“පරිණාමය සමඟ කියලා මම හිතන්නේ… පිරිමින්ගේ ජීවිත අවුරුදු මිලියන ගානක්ම දඩයම් යුගේ පටන් ගෙවුනේ, ගෙයින් එළියේ. යුද්ධ වලට ගිය මිනිස්සු අවුරුදු ගණන් එලියේ. ඒ තියා වෙළාදාමේ ගිය මිනිස්සුත් මාස ගණන් එලියෙ. හේන් පැල් රැකපු මිනිස්සුත් එලියේ…
“මහත්තයා දැකලා ඇති පරණ ටෙලි නාට්ය වල. මැටි ගෙවල් වල ජිවත් වෙන තාත්තා නිදියන්නේ, එලිය සාලේ කෑල්ලේ බුරු ඇඳක් දාගෙන, අම්මා තමයි දරුවො එක්ක ගේ ඇතුළෙ නිදන්නේ. ඉතිං පිරිමින්ගේ ජානගත ලක්ෂණයක් ඕක අඩු කතා බහ. මගේ යෝජනාව ගැහැනු දැනුවත් වෙන්න ඕනේ, කතා බහෙන් වැඩි පිරිමියෙක් තෝරා ගන්න.“
“ නිතර කියවන පිරිමියෙක් එච්චර ගණන් ගන්නෑ නේද හාමුදුරුවනේ… ගෑනි වාගේ කියවනවා කියලානේ සලකන්නේ…“ ඔහු කීවේය. ?
“අන්න හරි… ඒක පෞර්ෂයේ දුර්වල කමක් හැටියට සලකනවා. කොල්ලෙක් එහෙම නම්, ගැහැනු ලමයි ඔහු පෙම් සම්බන්ධතාවයට “නුසුදුසු“ ලක්ෂණයක් විදිහට හිතනවා. ඒත් විවාහ වුනාම ගෑනු හොයන්නේ තමන් එක්ක දවසේ විස්තර බෙදාගන්න ස්වාමියෙක්. එත් එතකොට එහෙම ස්වාමියෙක් නෑ.“?
“ අපේ හාමුදුරුවො කියන්නේ “නිතර කියවන පිරිමියෙක් හොදයි කියලාද“?
“විවාහ ජීවිතයට හොදයි. මොකද ඔහුට කතා කරන්න අවශ්‍ය නිසා. බිරිඳ සමඟ කුස්සියට වෙලා එදා දවසම විස්තර දිගාරින්න පටන් ගන්නවා. ඕක කරන්නේ සාමන්‍යෙන් ගෑනු ලමයි – තමන්ගේ අම්මා සමඟ. එතකොට ස්වාමියා තමන්ගේ බිරිඳ සමඟ කතා බහ කිරීම තමයි සබන්ධතාව කියන්නේ. ?
“ඇත්තටම හාමුදුරුවනේ සම්බන්ධයක් කියන්නේම “කතා බහ“ කරන තරමටනේ…“✅
“අනිවාරයෙන්ම…
ඊළඟ කාරණාව, කතා බහ අඩු සාමන්‍ය පිරිමියාගේ, මම කියන්නේ සාමන්‍ය පිරිමි කියලා. කතබහ වැඩියෙන් කරන්නේ “විශේෂ“ පිරිමියෙක්… එයාගේ, දවසක වචන අවශ්‍යතාව ඔෆිස් එකෙන් සිද්ධවෙලා ඉවරයි. ඊට පස්සේ ඉන්නේ කතාව නිසා විඩාබර වෙන පිරිමියෙක්. කතාකරනවාට කැමැති නැති. කතා කරොත් තරහා යන වාගේ…“?
“එතකොට ගැටලුව වෙන්නේ, රැකියාවට නොයා ගෙදර ඉන්න බිරිඳක් බලාපොරොත්තු වෙන්නේ තමන් සමඟ ටිකක් කතා කරන්න එන ස්වාමියෙක්…“?
“එතකොට එයාගේ වචන 25000ම ඉතිරිනේ නේද හාමුදුරුවනේ…“ ඔහු කිවේය. ?
“අනිවාර්යෙන්ම… කාන්තාවක් තනිව ගෙදර වෙලා සිටීම ඔවුන්ට පීඩනයක් වෙන්නේ මේ නිසා… රැකියාවකට යනවානම් ඒක හොඳයි. නැත්තං අර කතාබහට කෙනෙක් නැති නිසා ඒක ස්වාමියාගෙන් ඉෂ්ට කරගන්න ගිහින් බිරිඳ බලාපෙරොත්තු බිඳ ගන්නවා. සහ පිරිමයාට එපා වීමක් එනවා. ?
එතකොට අපේ හාමුදුරුවො කියන්නෙ මල්ලිත් එයාගේ wife එක්ක වැඩි කතා බහක් නැතුව ඇති කියලා ද?
“බොහෝ දුරට විය හැකියි. එතකොට බිරිඳ මැසිවිලි නඟනවා ඔයා දැන් මට ඉස්සර වාගේ “ආදරේ නෑ කියලා…“ මේ නගන චෝදනාව පිරිමින්ට තේරෙනනේ කන්කරච්චලයක් විදිහට. මොකද තරුණ පිරිමි පවුල් ජීවිතයකට තරම් පරිණත නෑ ?
“ඒ මොකද්ද හාමුදුරුවනේ පරිණත නෑ කිවේ.“ ඔහු විශ්මයෙන් ඇසුවේය. ?
06. පරිණත නැති පිරිමි.?
“මහත්තයා ඇගිල්ලට ඩෙඩින් wedding ring ? එක දානවාද? මම ඇසුවෙමි.
“ඉස්සර නම් දැම්මේ නැ. දැන් දානවා ඉතිං….“ ?
“එකනේ මම කීවේ… වයස 35-40 විතර වෙනකල් පිරිමින්ගේ අතේ wedding මුද්ද නැ. ඔවුන් කැමැති තමන් තරුණයෙක් වාගේ ඉන්න. අවිවාහක කෙනෙක් වෙන්න. ගැහැණු විවාහයෙන් සහ දරුවෙක් ලැබුණට පස්සේ ශරීරය වාගේම මානසික වශයෙනුත් බිරිඳක් මවක් වෙනවා. පිරිමි ශරීරික වශයෙන් එසේ කිසිඳු වෙනසක් වෙන්නැ. මානසික වශයෙනුත් එහෙම වෙන්න නෑ එතකොට. ?
“එතකොට තාත්තා කියන හැඟීම“ ඔහු ඇසුවේ. ?
“තියනවා ටිකක් හිතේ… ගෙදර ඇවිල්ලා දරුවා වඩාගත්තාම…“ නමුත් අතිබහුතරයක් තමන් කොල්ලෙක් කියන හැඟීමෙන් මිදෙන්නේ නැ. හොදට ඇද පැළඳගෙන එලියට බැස්සාම ඔහු ඔහු විවාහක ද නැද්ද කියන එක පෙන්නෑනේ. ඉතිං වයස 40ත් පැන්නාම තමයි වගකීම් සහගත පිරිමි බිහිවෙන්නේ.
“එතකොට පවුල් ජීවිතය?
“මෙච්චර අපට ප්‍රශ්න අරගෙන එන්නේ 40න් පස්සේ පවුල් ජීවත වල මිනිස්සු නෙවෙයි. ආදුනික අය විවාහයට. බහුතර හේතුව පිරිමියාගේ නොමනා චර්යා… ?
මෙහිදි බුද්ධිමත් ගැහැණිය මේ, ලාමක පිරිමියාගේ විෂම චර්යාවන් තේරුම් නොගත්තාම ප්‍රශ්න ඇතිවෙනවා. ඇත්තටම පවුලක, රැකීමේ ගෞරවය යන්නේ බිරිඳට. රැකිලා තියෙන්නේ බිරිඳ නිසා. කලාතුරකින් තමයි වගකීම් සහගත ස්වාමීන් දක්නට ලැබෙන්නේ. ?
“එහෙමයි…“
“නමුත් මේ පිරිමි දුර්වලතා බුද්ධියෙන් තේරුම් නොගෙන ආවේගයෙන් ක්‍රියාකරන ගැහැනුන් බිහිවෙලා තියෙනවා…“ ඒක විවාහ අර්බුද රැසකට මඟ පාදලා තියෙනවා. නීරස උනත් ඒක තමයි ඇත්ත මහත්තයා. පරිණත නොවූ පිරිමි සහ ආවේගශීලි ගැහැනු.?
සටහන
? කරුණු 06ක් දැනට සාකච්ඡා කොට ඇත. ඉතිරි ටික ඊළඟ ලිපියේ….
? සත්‍ය කතා කිහිපයක් පදනම් කර ගත්, උපදේශනාත්මක අවශ්‍යතාවය පිණිස, අනන්‍යතාවය හඳුනා ගත නො හැකි සේ, නිර්මාණය කරන ලද කල්පිතයක් බව කරුණාවෙන් සලකන්න.