ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය ඇති වීම හා නැති වීම – පළමු කොටස

වේහැල්ලේ ධම්මදින්න ස්වාමීන්වහන්සේගෙන් ආරම්භ වෙච්ච වේහැල්ලේ සඟ පරපුරට තමයි මෙන්න මේ ශ්‍රීපාද නායක පදවිය දිගටම උරුම වෙවී ආවේ . කාලෙකදී මේ පදවිය මල්වතු විහාරයට පැවරුණා . පැවරුණා කියන්නේ ඒක රාජාධිරාජසිංහ රජතුමා විසින් තමයි කරේ . රජතුමාගේ වැරදි අවබෝධය නිසා ප්‍රශ්නයක් වෙච්ච , අපේ ගජමන් නෝනාගේ ගුරු හාමුදුරුවෝ තමයි එතකොට ශ්‍රී පාදස්ථානයේ නායක තනතුර දැරුවේ . උන්වහන්සේ හිර භාරයට ගත්තට පස්සේ මල්වතු විහාරයට පැවරුණා ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය .

ආයෙත් ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් උන්නැහේ තමයි 1823දි වේහැල්ලේ සඟ පරපුරේ නායක හාමුදුරු කෙනෙක්ට ශ්‍රී පාදස්ථානයේ නායක කම ලබා දුන්නේ . මේකට එක්නැළිගොඩ වලව්වේ හිටපු එක්නැළිගොඩ බස්නායක නිළමේ තුමා මූලික වෙලා කටයුතු කරා . පස්සේ චන්ද ක්‍රමයක් මගින් ශ්‍රී පාදස්ථානයේ නායකකම ලබාදෙන තත්ත්වයට පත් වුණා . අද ක්‍රියාත්මක වෙන්නෙත් ඒ ක්‍රමයම තමයි .

ඉතින් තවත් වැඩි වැල් වටාරම් මොකටද . එහෙනම් මේ කියන්න යන්නේ ශ්‍රී පාදස්ථානයේ නායක පදවියේ ඉතිහාස කථාව සහ වර්තමාන කතාව . අපි බලමු මේක කොහොම කෙලවර වෙයිද කියලා . ගොඩක් විස්තර තියෙනවා කියන්න .

බුදුන් වහන්සේ ලංකාවට වැඩපු අවස්ථාවක නාග ගෝත්‍රික නායකයෙක් වෙලා හිටපු සුමන සමන් දෙවියන් විහින් ආරාධනා කරා වන්දනාමාන කරන්න පූජා වස්තුවක් විදියට සමනල කඳු මුදුනේ ශ්‍රී පාද ලාංඡනය පිහිටවන්න කියලා . බුදුහාමුදුරුවෝ සමන්දෙවියන්ගේ ආරාධනාව පිළිගෙන වම් ශ්‍රීපාද ලාංඡනය ඉඳුනිල් මැණිකක් මත පිහිටවනවා .

සුගත් තිලෝනා දඹදිව සිටලා
මෙලක් දිවට වඩිනා සඳ ලෝලා
සමන් සුරිඳු කිරිපලු රුක උගුලා
කුඩේ ලෙසට ගෙන ආවේ අල්ලා

ඉතින් සුමන සමන් දෙවියන්ගේ ආරස්සාව ඇතිව අද දක්වාම මේ ශ්‍රී පාදස්ථානය යෙහෙන් වැජඹෙමින් ලංකාවටම ආශිර්වාද කරමින් පවතිනවා . අතීතයේ ඉඳලාම ශ්‍රීපාදස්තානයට රජවරු එක එක පූජාවල් කරලා තියෙනවා . පොළොන්නරු යුගයේදී ගිලීමලේ පලාබද්දල වගේ ගම් ශ්‍රී පාදස්ථානයට මහ විජයභාහු රජතුමා නින්ද ගම් විදියට පූජා කළා කියලා මහාවංශයේ කියවිලා තියෙනවා .

ඔහොම ඔහොම කාලයක් යනකොට ශ්‍රී පාදස්ථානය අප්‍රකට උනාට පස්සේ නිශ්ශංක මල්ල රජතුමාගේ කාලේ නැවතත් ශ්‍රී පාදස්ථානය හොයාගෙන තියෙනවා . ඔයාලා අහලා ඇති අර දිව්‍යාංගනාවන් මල් වත්තකින් මල් කඩනකොට මල් වත්ත මුර කරන්න හිටපු ඇවිදින්න බැරි අබ්බගාත පුද්ගලයා අන්තිමට ශ්‍රී පාදස්ථානය වන්දනා කරපු කතාව .

ග්‍රීක ඉතිහාසයේ තියෙනවා කියනවා ඇලෙක්සැන්ඩර් කියලා කෙනෙක් බෝල්නාර් කියන මන්තරකරු එක්ක ශ්‍රී පාද කන්ද නැගල තියෙනවා කියලා . දුටුගැමුණු රජතුමාගේ කාලේ සමනල කන්දේ නවසියයක් හාමුදුරුවරු වැඩ හිටියා කියලා සඳහන් වෙනවා . දෙවෙනි පරාක්‍රමභාහු රජතුමා එතකොට අපේ සබරගමුව මහ සමන් දේවාලය හදවපු ආර්යකාමදේව ඇමතිවරයා එහෙමත් ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කරලා සංවර්ධනය කරා කියලා සඳහන් වෙනවා . කාලෙන් කාලෙට යම් යම් ප්‍රශ්න ආවත් ශ්‍රී පාදස්ථානය යහතින් පැවතිලා තියෙනවා . සමහර රජවරු මේ සිරිපතුල රන් රිදී ඇතිරිලි වලින් වහලා ආරක්ෂා කරලා තියෙනවා . රන් රිදී මුතු මැණික් එහෙමත් පූජා කරලා තියෙනවා . ( දැන් ඒවා එහෙ නැති උනාට )

අන්න එහෙම ශ්‍රීපාදස්තානය යහතින් පැවතුනාට මොකද , කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සරණංකර සඟරාජ හිමියන්ට දුන්න වැලිවිට සන්නස හෙවත් ශ්‍රී පාද සන්නසේ කියවෙනවා මෙන්න මෙහෙම දෙයක් .

……බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනය පිහිටි සමන්ත කූට පර්වත ස්ථානය සීතාවක රාජසිංහ දෙවි ස්වාමි දරුවානන් වහන්සේ කාලයෙහිදී කෲරතර අති භයානක නරකාග්නියෙන් දා භෂ්ම වන පරිදි පූර්ව නිමිති කොට දක්වන්නාක් වැනි වූ ස්ර්වාන්ගයෙහි අළු ගානා ආඬින් වසඟත්වයට පැමිණ බොහෝ කලක සිට නිරන්තරව පූජා සත්කාර නොපවත්නා බව ශ්‍රවනය කර වදාරා මෙයින් මතු……..

ඉතින් ඔය කියන්නේ සීතාවක රාජසිංහ රජතුමා හින්දු ආගම වැළදගත්ත නිසා ශ්‍රීපාදස්ථානය ආඬි වරුන්ට පවරලා දුන්නා . ඒ නිසා පුද පූජා පැවැත්වුනේ නෑ කියලා . ඉතින් කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා මුලින්ම කරන්නේ මඩගම්මන කියන හාමුදුරුවන් එක්ක කටයුතු කරලා මේ ආඬින්ව එළවලා සිරීපාද මළුවේ යකඩෙන් ගෙයක් කරවලා පුද පූජා පවත්වන්න නියම කරපු එක . මඩගම්මන සන්නස කියන සන්නස කියෙව්වම ඒකෙන් අපිට තේරෙනවා මඩගම්මන කියන හාමුදුරුවන් ඇතුළුව ඒ හාමුදුරුවන්ගේ ශිෂ්‍ය පරපුරට ශ්‍රී පාදස්ථානයේ වාසය කරමින් ශ්‍රී පාදස්ථානයට පුද පූජා පවත්වන්න කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා නියම කළා කියලා .

ඒත් පස්සේ රජතුමාට සැක හිතෙනවා ශ්‍රී පාදස්ථානය ආයෙත් ආඬින් අයිති කරගනියිද දන්නේ නෑ කියලා . මොකද දන්නවද එහෙම හිතුනේ . දවසක් ආඬි වරුන් ඇවිත් තියෙනවා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගෙන් ශ්‍රී පාදස්ථානයෙන් භාගයක් ඉල්ලන්න . ඒ ඇවිත් තියෙන්නේ තෑගී වශයන් අඩි හතයි කාලක් දිග ඇත්දළ කුට්ටමක් තෑගී විදියට අරගෙන . ඒත් රජතුමා කැමතිවෙලා නෑ . ඒත් ආඬිවරුන් දල දෙක රජතුමාට දීලා තියෙනවා . ඉතින් රජතුමා සැකෙන් හිටියේ ශ්‍රී පාදස්ථානයට අනතුරක් වෙයි කියලා .

මෙන්න මේ හේතුව නිසාම රජතුමා ක්‍රිස්තු වර්ෂ 1752 නිකිණි මාසයේ දොළොස්වක ලත් බදාදා දිනයේ සෙන්කඩගල මහ වාසලේ දී වැලිවිට සන්නස නොහොත් ශ්‍රී පාද සන්නස කියන දීර්ඝ සන්නසක් මගින් වැලිවිට අසරණසරණ සරණංකර සඟරාජ නාහිමියන්ට සබරගමුව නවදුන් කෝරලය ඇතුළුව කුට්ටාපිටිය කියන ගම නින්ද ගමක් විදියට පවරලා දීමෙන් ශ්‍රී පාදස්ථානයේ නායකකම සහ අයිතිය පවරා දෙනවා . ඔන්න ඔතනින් තමයි යාලුවනේ අපේ ශ්‍රී පාදස්ථානය අද පවතින නායක පෙළපතට ලැබෙන්න මුල් අඩිතාලම වැටුනේ . ඒ කියන්නේ වේහැල්ලේ සඟ පරපුරට ලැබෙන්න මුල් උනේ .



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

වැලිවිට සඟරාජ හිමියන් විසින් උන්වහසේගේ ගෝල නමක් වෙච්ච වේහැල්ලේ ධම්මදින්න නායක හිමියන්ට වේහැල්ලේ සන්නස කියලා හඳුන්වන සන්නස මගින් සබරගමු දිසාවේ හා පහතරට ප්‍රධාන සඟනායක කියන පදවියත් එක්ක ශ්‍රී පාදස්ථානයේ නායකකම පවරා දෙනවා . ඔන්න දැන් ශ්‍රී පාදස්ථානයට පළවෙනි නායක ස්වාමීන් වහන්සේ පත්උනා .

මේ පත්කිරීමේදී වේහැල්ලේ සන්නස වගේම කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා තමන්ට ආඬින් විසින් තෑගී කරපු පසුව තමන් විසින් ශ්‍රී පාදස්ථානයට පූජා කරපු ඇත් දල කූට්ටම වේහැල්ලේ හිමියන්ට දීලා වේහැල්ලේ හිමියන්ව රත්නපුරේ පොත්ගුල් රජමහා විහාරයට එවනවා . මේ දල කුට්ටම සහ සන්නස තමයි ශ්‍රී පාදස්ථානයේ නායක තනතුරේ සංකේතය උනේ . පස්සේ වේහැල්ලේ හාමුදුරුවෝ තමන්ට අයිති පොත්ගුල් රජමහා විහාරය සහ පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරයේ වැඩ හිඳිමින් තමන්ට පැවරුණු කටයුතු ඉටු කළා .

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා තවත් දෙයක් කරනවා . ශ්‍රී පාදස්ථානයේ මළුවේ මුදුන් හතක් තියෙන මන්දිරයක් කරවනවා . ශ්‍රී පාද අවාරය විදියට හඳුන්වන මාස හයක කාලය තුල සමන් දේව ප්‍රතිමාවට සහ ශ්‍රී පාදය වෙනුවෙන් පුද පූජා පවත්වන්න පලාබද්ගල රජමහා විහාරය නිර්මාණය කරනවා . ඒකත් කරේ කීර්ති ශ්‍රී රාජ සිංහ රජතුමාම තමයි .

අද පැල්මඩුල්ලේ ගල්පොත්තාවල රජමහා විහාරයේ තිබුණට මොකද ඔය සුදු හඳුන් සමන් දේව ප්‍රතිමාව අවාරයේදී එදා තැම්පත් කරලා තිබුනේ පලාබද්ගල රජමහා විහාරයේ . 1934 දී තමයි මේ පලාබද්ගල විහාරයෙන් ගල්පොත්තාවලට මේ දේව රූප ආරක්ෂාව වෙනුවෙන් වැඩම කරේ . එදා ඉඳලා අද වෙනකල් සමන් දේව ප්‍රතිමාව , අර කලින් කිව්ව ඇත් දත් කුට්ටම සහ අනිත් දේවල් පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරයේ ඉඳලා තමයි ශ්‍රී පාදස්ථානයට වැඩම කරවන්නේ . ඔය දළ යුවල ශ්‍රී පාදස්ථානයට වැඩම කරවන එකත් සිරිතක් කියලා සඳහන් වෙනවා . ඒත් මට එහෙම දිග දල දෙකක් වැඩම කරවනවා දැක්කා කියලා එච්චර මතකයක් නම් නෑ .

වේහැල්ලේ හාමුදුරුවන්ට වැලිවිට සඟරාජ හිමියන් සහ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් මේ නායක පදවිය දෙවා වදාරන ලද සන්නස මම මෙතන සටහන් කරන්නම් . අනිත් සන්නස් දිගින් වැඩි නිසා සටහන් කලේ නැහැ . ඒත් ඒවායේ අන්තර්ගතය මම ලියලා තියෙනවා . ඒ නිසා හිතේ කිළුටක් තියාගන්න ඕන නෑ ඔන්න .


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

වේහැල්ලේ සන්නස

ශ්‍රී උතුම් වූ පණිවුඩ පත නම් වේහැල්ලේ ධම්මදින්න ගණවොලින් මහ වාසලට හොඳ හිතින් පක්ෂ පිරමානකම් ඇතුව දුක් ගැන සිටින නිසා සබරගමු දිසාව බද සමනලගල විහාර පදවිය සහ මෙම විහාර පදවියට අඩුත්තු ගොඩ මඩ වල් විල් ඉම් ගම් ඇතුව භුක්ති විඳිනා පනතටත් දිසාවෙන් දෙවොලෙන් පැමිණි කෙනෙකුන්නෙන් අවුලයක් උංරනයක් නැති වගට ශ්‍රී බුද්ධ වර්ෂයෙන් දෙදහස් දෙසිය අනූ හතරක් වූ වෙසඟ පුර පසළොස්වක් ලත් කිවි දින මේ දවසැ දේවා වදාළ පනත් …… මෙසේම පණිවුඩ පතයි ……..

වේහැල්ලේ හාමුදුරුවන් තමන්ට ලැබුන නායක කමෙන් මේ අති පූජනීය ස්ථානය හුරාගෙන කෑවේ නෑ . උන්වහසේ තමන්ට හිමි ප්‍රදේශවල ධර්ම ශාස්ත්‍ර දියුණුව වෙනුවෙන් කටයුතු කලා . පන්සල් හැදෙව්වා , ගෝලයින්ට ඉගැන්නුවා මහා සඟ පරපුරක් ඇති කළා . මෙතුමන්ගේ ගෝල හිමිනමක් තමයි හික්කඩුවේ සුමංගල නායක හිමියන්ගේ ගුරුවරයා වෙන්නේ .

හික්කඩුවේ සුමංගල හිමියන්ගේ නිර්මාණයක් තමයි විද්‍යෝදය පිරිවෙන . පස්සේ ඒක විද්‍යෝදය විශ්වවිද්‍යාලය බවටත් ඊට පස්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය බවටත් පත් වුණා . ඒ නිසා අපේ රටේ සමාජ සංස්කෘතික අධ්‍යාපනික වෙනසක් ඇති කරන්න වේහැල්ලේ සඟ පරපුර දායක උනා කියලා අවිවාදයෙන්ම කියන්න පුළුවන් .

ඉතින් හිතාගන්න පුළුවන් නේද ශ්‍රී පාදස්ථානයේ නායකකම ලැබුනට අපේ වේහැල්ලේ හාමුදුරුවෝ කොච්චර සේවයක් කළාද කියලා . වේහැල්ලේ හාමුදුරුවෝ අවුරුදු 96ක් ශාසන සේවයේ යෙදීලා ක්‍රිස්තු වර්ෂ 1775 මැයි 28 වෙනිදා රත්නපුර පොත්ගුල් රාජමහා විහාරයේදී අපවත් වී වදාළා .

ඊට පස්සේ ශ්‍රී පාදස්ථානයේ නායක පදවියට පත් වෙන්නේ වේහැල්ලේ හාමුදුරුවන්ගේ ගෝල හිමිවරුන් වන මහකඹුරුපිටියේ හිමියන් . ඊට පස්සේ මාලිම්බඩ ධම්මරතන හිමියන් . ඊටත් පස්සේ කුඩා කඹුරුපිටියේ හිමියන් . ඔහොම ඔහොම කාලයක් එනකොට අපිට විශේෂ චරිතයක් වන හිමි නමක් ශ්‍රී පාදස්ථානයේ නායක පදවියට පත් වෙනවා . ඒ තමයි ගජමන් නෝනාගේ ගුරු හාමුදුරුවෝ , කරතොට ධර්මාරාම හාමුදුරුවෝ .

කරතොට හාමුදුරුවොත් වේහැල්ලේ සඟ පරපුරට අයත් වෙනවා . ඒ එතුමන්ගේ ගුරුතුමා වෙන්නේ වේහැල්ලේ ධම්මදින්න හිමියන්ගේ පහතරට ප්‍රධාන ගෝල නමක් වෙච්ච කදුරු පොකුණේ සුවණ්ණජෝති හිමියන් නිසා . කරතොට ධර්මාරාම හාමුදුරුවෝ කදුරුපොකුණේ හාමුදුරුවන්ගෙන් වගේම වේහැල්ලේ නායක හිමියන්ගේ තවත් ගෝල නමක් වෙච්ච මහකිරිනැළියේ හිමියන්ගෙන් සහ කීර්තිමත් පඬිවර තිකරදගුරු අත්තරගම රාජගුරු බණ්ඩාරයන්ගෙන් ඉගෙනගත්ත හිමි නමක් .

මුන් වහන්සේ බාරස කාව්‍ය කියලා කියන දුෂ්කර කාව්‍ය ප්‍රබන්ධය රචනා කරලා රාජාධි රාජසිංහ රජතුමාට පිළිගන්වපු නිසා සතුටට පත් වෙච්ච රජතුමා මුන් වහන්සේට , එතකොට පුරප්පාඩු වී තිබුණ සබරගමුව පහතරට නායක පදවිය එක්ක ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය ලබා දුන්නා . අන්න එහෙමයි ඒකාලේ උනේ . ඒ කාලේ පට්ටම් ගන්න හාමුදුරුවරු ඉස්සුවේ නෑ . චන්දෙ දෙන අය හිර කරලා තිබ්බේ නෑ . නිදන් හෑරුවේ නෑ . සිරිත් විරිත් වෙනස් කලේ නෑ . තමන්ගේ දැනුමෙන් තමයි ඉහලට ආවේ .

කරතොට හාමුදුරුවන්ට රජතුමා සලකනවා බලාගෙන ඉන්න බැරි කමට සමහර අය රාජාධිරාජසිංහ රජතුමාට කේලාම් කිව්වා කරතොට හාමුරදුරුවෝ ලන්දේසීන්ට උදවු කරනවා කියල . පස්සේ මේවා විශ්වාස කරපු රජතුමා දොඩම්වල නිළමෙට කියනවා කරතොට හිමියන් අල්ලාගෙන එන්න කියලා .

වෙච්ච දේවල් සහ වෙන දේවල මොනවද කියලා දොඩම්වල නිළමේ දන්නා නිසා උන්නැහේ කරන්නේ කලින්ම කරතොට හාමුදුරුවන්ට පණිවිඩයක් දෙනවා මෙන්න මෙහෙම නියෝගයක් නිසා මම ඔබ වහන්සේව අල්ලං යන්න එනවා කියලා . එහෙම කලේ හාමුදුරුවන්ට වහං වෙනවනම් වහං වෙන්න කල් තියෙන්න ඕන නිසා වගේම දොඩම්වල නිළමේ හාමුදුරුවන්ව අල්ලගන්න කැමැත්තක් දැක්වුවේ නැති නිසා .

පණිවිඩය ලැබුණු කරතොට හාමුදුරුවෝ දොඩම්වල නිළමේ එන්න කලින් සබරගමුව අතතෑරලා මාතරට වඩිනවා . ඉතින් යාලුවනේ දොඩම්වල නිළමේ ඇවිත් බලනකොට හාමුදුරුවෝ නෑ . පස්සේ උන්නැහේ ශ්‍රී පාද නායකකම කරතොට හාමුදුරුවන්ට ලබා දුන්න සන්නස එක්ක අර කලින් මම කිව්ව ඇත් දල කුට්ටම සෙන්කඩගලට අරගෙන යනවා . පස්සේ ඉතින් මාතර පැත්තේ හොයලා , කරතොට හාමුදුරුවෝ අල්ලාගෙන හිර කරනවා . ඒත් අපිට වැදගත් වෙන්නේ මෙතන ශ්‍රී පාදස්ථානයේ නායක කම ගැන නිසා මම ඒ ගැන කියන්නම් .

වෙන මොනවා කියන්නද ඉතින් . වේහැල්ලේ හිමියන්ට , වේහැල්ලේ සඟ පරපුරට ලැබුණ , එහෙමත් නැත්නම් සබරගමුවට ලැබුණ ශ්‍රී පාදස්ථානයේ නායක පදවිය ආයෙත් සබරගමුවෙන් ගිලිහෙනවා . අර ඇත් දල කුට්ටම රජතුමා රජවාසලේ තියාගන්නවා . ඒත් නිල වශයෙන් තනතුරක් පිරිනමපු සන්නස සාංගික වෙච්ච රාජකාරි ලේඛනයක් නිසා මල්වතු විහාරයේ පෝය මළුවේ තැම්පත් කළා .

ඊට පස්සේ අවුරුදු විසි දෙකක් යනකල්ම මල්වතු විහාරයේ නායක හිමිවරු ශ්‍රී පාදස්ථානයේ භාරකාරත්වයට පත් වුණා . මොරතොට නායක හිමි , කොබ්බෑකඩුවේ නායක හිමි , වැලිවිට නායක හිමි සහ ගම්මුල්ලේ නායක හිමි මේ ආකාරයට ශ්‍රී පාදස්ථානයේ නායකත්වයට පත් වුණා .

වැදගත් තැනකින් මේ ලිපිය නවත්තන්න ඕන නිසා මම මෙතනින් මේ ලිපිය නවත්තනවා . ඊළඟ ලිපියෙන් අරගෙන එන්නේ ආයෙත් මේ නායක පදවිය කොහොමද සබරගමුවට ලැබුනේ කියලා කියාගෙන . ඒ ලිපිය මේ තරම් නීරස එකක් වෙන එකක් නෑ . අනික මේ ලිපියෙන් මොකවත් ඒ ලිපියට සම්භන්ධ නෑ . ඒ නිසා පෝස්ට් වලට නම්බර්ස් දැම්මට , අවුලක් නෑ කොහොම කියෙව්වත් .

අපි බලමු ඒ ලිපියෙන් කොහොමද මේ තනතුරේ විකාශනය අද දක්වා සිදු උනේ කියලා .

ඉතිහාසයට ආදරය කරන්න . එතකොට වර්තමානය සුන්දර වේවි .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෛවීය විද්‍යා උපාධිධාරීවරයෙක් වන දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන මහතා ජ්‍යෝතිෂ්‍යවේදියෙකු, ලේඛකයෙකු සහ පර්යේෂකයෙකු ලෙස කටයුතු කරනු ලබයි. අප රටේ අලි ඇත් පරපුර පිළිබඳව සහ විවිධ පළාත්වල ඇති ආගමික, සාමාජීය, සංස්කෘතික කරුණු පිළිබඳව තොරතුරු ඔහු eLearning.lk බ්ලොග් අඩවිය ඔස්සේ ගෙන එයි.