දිල්ලියේ මෙන් ව්‍යසනයක් මුම්බායි වෙත පැමිණියහොත්?

April 29, 2021

ඉන්දියාවේ දිනෙන් දින පාලනය කිරීමට අපහසු වෙමින් පවතින කෝවිඩ්-19 තත්‍ත්වය පිළිබඳ මේ දිනවල නිරන්තර පුවත් දකින්න ලැබෙනවා.

මේ අතර, 2021 අප්‍රේල් 28 වන බදාදා පළවූ මාධ්‍ය වාර්තාවකින් කියැවුණේ බියජනක සංඛ්‍යාලේඛනයක්. දිල්ලියේ අප්‍රේල් 24 සිට ගතවූ දින හතරක වාර්තා වූ කෝවිඩ්-19 මරණ සංඛ්‍යාව මුම්බායි නගරයේ දින 60 ක් තුළ වාර්තා වූ මරණ සංඛ්‍යාවට වඩා වැඩිව තිබුණා.

අප්‍රේල් 24 වනදා මරණ 357ක්, අප්‍රේල් 25 වනදා මරණ 350ක්, අප්‍රේල් 26 වනදා මරණ 380ක් සහ අප්‍රේල් 27 වනදා මරණ 381ක් ලෙස කෝවිඩ්-19 මරණ 1,468ක් දිල්ලියෙන් වාර්තා වී තිබුණා.

මාර්තු 1 වනදා සිට අප්‍රේල් 27 වනදා දක්වා මුම්බායි නගරයෙන් වාර්තා වී තිබුණේ මරණ 1,445 ක් පමණයි.

කෝවිඩ්-19 වසංගතය ඇරඹුණු අවස්ථාවේ සිට 2021 අප්‍රේල් 27 වනවිට මුම්බායි හි වාර්තා වී ඇති සමස්ථ රෝගීන් සංඛ්‍යාව 635,541 වූ අතර මරණ 12,912ක් වාර්තා වී තිබුණා.


දිල්ලියේ මරණ සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගන්නවා (PTI)

දිල්ලියේ පවතින්නේ ඉතාම බරපතල තත්ත්වයක්. එහි ප්‍රමාණවත් රෝහල් ඇඳන් හෝ ඔක්සිජන් හෝ නැහැ. රෝහලක ඇඳක් සහ ඔක්සිජන් නොමැතිව රෝගීන් මියයන පුවත් අසන්නට ලැබෙනවා. එමෙන්ම එන්නත්කරණ ව්‍යාපෘතිය ද අවුල් ජාලයක් බවට පත්ව තිබෙනවා. වර්තමානයේ ප්‍රමාණවත් එන්නත් තොග දිල්ලියේ නැහැ.

ඉන්දියාවේ එන්නත් තොග අඩුවේගෙන එනවිට ඇතැම් ප්‍රාන්ත රජයන් ඒ පිළිබඳ අනතුරු ඇඟවූව ද මධ්‍යම රජය එය පිළිබඳ සැලකීමක් කළේ නැහැ. ඔවුන් කළේ බීජේපී පාලනයේ නොමැති ප්‍රාන්ත කිහිපයක රජයන්ට දොස් පැවරීමයි. එහෙත් මේ වනවිට මේ ගැටළුව සත්‍යයක් බව පෙනීගොස් තිබෙනවා.

දිල්ලියේ ආදාහන භූමි ද සම්පූර්ණයෙන් ධාරිතාව ඉක්මවාගොස් තිබෙනවා. දේහයන් ආදාහනය සඳහා අමතර චිතක සොයාගැනීම අභියෝගයක් වී තිබෙනවා. ඇතැම් උද්‍යාන හා එළිමහන් ස්ථාන ද ඒ සඳහා යොදාගන්නා බවයි වාර්තා වන්නේ. ආදාහන භූමි සේවකයන්ට උදෑසන හයේ කණිසමේ සිට මධ්‍යම රාත්‍රිය වනතුරු සේවය කිරීමට සිදුව තිබෙනවා.

එසේ වෙද්දීත්, දේහයන් ආදාහනයට ද නෑදෑ හිතමිත්‍රාදීන්ට පෝලිමේ සිටීමට සිදුව තිබෙනවා. ඊළඟ ගැටළුව වන්නේ ඒ සඳහා අවශ්‍ය දර සපයා ගැනීමයි. මේ වනවිට දිල්ලියේ දර හිඟයක් ද මතුව තිබෙනවා.


දර සපයාගැනීමේ අර්බුදය (Getty Images)

උතුරු දිල්ලි නගරාධිපති ජායි ප්‍රකාශ් මහ ඇමති අර්වින්ද් කෙජ්රිවාල් වෙතින් ඉල්ලා සිටියේ ප්‍රමාණවත් දර සපයන ලෙස වනාන්තර දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන ලෙසයි. නගරයේ ආදාහන භූමි 29 න් 14 ක් ඇත්තේ උතුරු දිල්ලි පාලන ප්‍රදේශයේ යි.

එමෙන්ම ජායි ප්‍රකාශ් කෙජ්රිවාල් වෙතින් සිදුකළ තවත් ඉල්ලීමක් වූයේ ගිලන් රථ සියයක් ලබාදෙන ලෙසයි.

ලොක්ඩවුන් ක්‍රියාමාර්ග
මුම්බායි නගරය දිල්ලියට වඩා කලින් ලොක්ඩවුන් ක්‍රියාමාර්ගයන් ගත්තා. ඔවුන් එම කටයුතු අප්‍රේල් 5 වනදා සිටම පටන් ගත්තා. දිල්ලිය සම්පූර්ණ ලොක්ඩවුන් කිරීමකට යොමු වුණේ අප්‍රේල් 19 වනදා යි. අප්‍රේල් මුලදී මුම්බායිවල දින පහක ආසාදිතයන් සංඛ්‍යාවේ සාමාන්‍යය අගය 10,000 ක් පමණ වුණා. ඉන්පසු එය 5,280 දක්වා අඩුවුණා. අප්‍රේල් 19 වනදා දිල්ලියේ ලොක්ඩවුන් ක්‍රියාමාර්ග ගන්නා අවස්ථාව වනවිටත් එහි දිනකට ආසාදිතයන් 21,900 ක් වාර්තා වෙමින් තිබුණා.

කාල බෝම්බයක්
මෙහිදී සිහියට නැගෙන භයානක කාරණය වන්නේ දිල්ලියට වඩා මුම්බායි නගරය දෙගුණයකට ආසන්න ජන ඝනත්වයක් පෙන්නුම් කරන බවයි. මුම්බායි හි ජන ඝනත්වය වර්ග කිලෝමීටරයකට 20,000 ක් වනවිට දිල්ලියේ ජන ඝනත්වය වර්ග කිලෝමීටරයට 11,312 ක් වනවා.


ධරවි (BBC)

එහෙයින් කෝවිඩ්-19 වසංගතය මුම්බායි නගරයේ, විශේෂයෙන්ම එහි ධරවි පැල්පත් ජනාවාසයේ පැතිර ගියහොත් සිදුවිය හැකි ව්‍යසනය අනුමාන කිරීමට පවා බියජනකයි. මෙහි හෙක්ටෙයාර 613 ක ප්‍රදේශයක ජීවත්වන ජනගහනය මිලියන 1.5 ක් පමණ වනවා. ඇතැම්විට වර්ග අඩි 100 ක වැනි ප්‍රදේශයක් සහිත කාමරයක අට දෙනකු වැනි ප්‍රමාණයක් දෙනා ජීවත්වනවා.

මේ අයගෙන් සැලකිය යුතු පිරිසක් දකුණු ඉන්දියාවෙන් සංක්‍රමණය වූවන්. මෙවැනි ප්‍රදේශයක සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම කළ නොහැක්කක්​. මෙහි වාතාශ්‍රය සහ අනෙකුත් පහසුකම් ඉතා අවමයි. මෙය පුපුරා යාහැකි කාල බෝම්බයක් බවයි ඇතැම් වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

කෝවිඩ්-19 වසංගතයේ මුල් දිනවල මුම් බායි වෙත වැඩි බලපෑමක් සිදුවූ නමුත් එය පාලනය කරගන්නට හැකි වුණා. නමුත් අවදානම පහව ගොස් නැහැ. ධරවි පැල්පත් ජනාවාසය තුළ වේගයෙන් කෝවිඩ්-19 පැතිරීමට පටන් ගතහොත් එය ඉතා වේගයෙන් පැතිර යනු ඇති.

එමෙන්ම එය මුම්බායි හි අන් ප්‍රදේශ වෙත ද බරපතල ලෙස බලපානු ඇති. දිල්ලියේ සිදුවෙමින් පවතින ව්‍යසනය මුම්බායි වෙත පැමිණියහොත් එමෙන් දෙගුණ තෙගුණ විය හැකි බවට සැකයක් නැහැ.

මූලාශ්‍රයයන්
01. The Print
02. The New Indian Express
03. BBC

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.