හදාගන්න පුළුවන්

“හාමුදුරුවන්ට බැරිද, අපේ මහත්තයාට උපදෙසක් විදිහට යමක් ලියන්න“

“මොනවාගේ උපදෙසක් ගැන ද?“ මම ඇසුවෙමි.?

නාඳුනන තැනැත්තියක් මාහට inbox හරහා පණිවිඩයක් තබමින්, කළ ඉල්ලීමකි ඒ.

ඇයට අවශ්‍ය වූයේ තමන්ගේ සැමියට, උපදෙසක් විදිහට භික්ෂුවක් හරහා යමක් පැහැදිලි කරමින් සැමියාව යහමඟට ගැනීමටය.

“එයා හරීයට සිගරැට් අරක්කු බොනවා…“ දිනපතාම වාගේ බීලා තමයි ගෙදර එන්නේ…“
අපේ ආර්ථිකයටත් දැන් ඒක හරියට බලපාලා තියෙනවා හාමුදුරුවනේ..“ මාසේ අන්තිම වෙනකොට මට සිද්ධවෙනවා අපේ ගෙදරිනුත් කීයක් හරි ඉල්ලාගන්න.“ ඇය කීවාය.?

“ඔව් ඉතිං, දිනපතාම බොන මිනිහෙක්ගේ අතේ සල්ලි තියෙන්න විදිහක් නෑනේ…“
එහෙනම් ඉතිං ලක්ෂයක් දෙකක්වත් පඩි ගන්න ඕනි මාසෙකට..“
එත් සමාන්‍යයෙන් ලක්ෂයක් දෙකක් පඩි ගන්නා මිනිහෙක් එහෙම බොන තත්ත්වයකට එන්නෑ.“ ?
“මොකද නිතර නිතර අසිහියෙන් ඉන්න මිනිහෙක්ට ඒ වාගේ රස්සාවක් කරගෙන යන්න පුළුවන් වෙයි කියලා හිත්නන බෑනේ.“

“ඒක තමයි හාමුදුරුවනේ මටත් එයාව හදාගන්න ඕනි…“ ඇය කීවාය.

“ම්ම්ම් මම ඉතිං පුනරුත්ථාපන වැඩ නම් කරන්න නෑ.“ මද සිනහවකින් යුක්තව මම කීවෙමි.?

“වෙන මොනවද ඉතිං බොන නිසා තියෙන ගැටලු“

“මට ඉන්නේ ගෑනු දරුවෙක්… වෙලාවකට ඒ ගැන උනත් බය හිතෙනවා. එයා උනත් එන්න එන්න ලොකු දරුවෙන් වෙනවානේ දැන්…“

“ම්ම්ම්… වෙන“

“කුණුහරුප කියනවා, කුණුහරුප කියලා මට බනිනවා අහගෙන ඉන්න බැරි මට්ටමේ… බීලා ආපු සමහර දවස්වලට මට අල්ලගෙන ගහනවා… ඒවා නම් ඉතිං ඉවසං ඉන්න පුළුවන් කියමුකො… එත් මේ දරුවාටත් බනින එක තමයි ඉවසන්න බැරි“ ?

“කවුද ඔයාට කීවේ, කුණුහරුප කියලා බනින එක සහ පහරදෙන එක ඉවසං ඉන්න ඕනි කියලා, ඒකත් හැමදාම?“?

“නෑ ඉතිං හාමුදුරුවනේ මිනිහා ඉතිං බනින එක සාමන්‍ය දෙයක්නේ…“

“මිනිහා විතරක් නෙවෙයි, ගෑනි උනත් බණින එක සාමන්‍ය දෙයක් නෙවෙයි…“ මිනිහා ගෑනිට ගහන එක විතරක් නෙවෙයි,
ගෑනු විසින් මිනිස්සුන්ට නිතරම… ඇනුම් පද කියන එකත් දෙකම වැරදි… ඒක කොයිම වෙලාවකවත් අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි…“ ?

“ඒක නිසා, මිනිස්සුන්ගෙන් ගුටිකකා පවුල් රැකගෙන ඉන්න ඕනි කියලා නියමයක් නෑ…“ අනික එහෙම ගහන්න අයිතියක් නැ. නීතිය අනුව බැලුවොත් නඩු දාන්න පුළුවන්, හිරේ යවන්න පුළුවන්… ඒ සුළු දෙයක් විදහට හිතන්න එපා…“?

“අසරණ ගෑනු මම මොනවා කරන්න ද හාමුදුරුවනේ…“ ඇය දුක්මුසුව කීවාය…

“එකනේ ගෑනුන්ට ගහන නපුංසකයෙක් බැන්දේ මොකද? බදින්න කලින් තේරුණෙ නැද්ද මිනිහාගේ චර්යාව…“

“මෙයාට ටිකක් කෙන්ති යන පුරුද්දක් ඒ දවස්වල ඉඳලාම තිබ්බා…“

“ඉතිං“?

“එත් මම හිතුවේ පස්සේ හරි යාවි කියලා…“

“මොනවද හරියාවි කියලා හිතුවේ…“

“කේනති යන එක මට හදාගන්න පුළුවන් කියලා මම හිතුවේ, මොකද එයා මට ගොඩක් ආදරෙන් හිටියේ…“

“මොකද්ද ඉතිං ගොඩක් ආදරේ කියලා කිවේ…“


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

“ඉස්සර මට නිතරම call කරා… හොයලා බැලුවා… කොහේවත් යනවටවත් කැමති වුනේ නැ. ඒයා එක්ක ඇරෙන්න වෙන කාත් එක්කවත් ගමනක් යනවටවත් කැමැති වුනේ නැ.“

“එතකොට නිතර call කරමින් මොනවද ඇහුවේ…??

“කොහේද ඉන්නේ, කාත් එක්ක ද ඉන්නේ මොනවද කරන්නේ වාගේ දේවල් තමයි“

“දැන් එතකොට ඔයා හිතන්නේ, නිතර නිතර call කර කර යන එන තැන් විමසීම ආදරය කියලා ද? සැකය නෙවෙයි ද? වෙන කාත් එක්කවත් ගමන් බිමන් යන්න නොදෙන්නේ, ආදරය කියලා ද? සැකය නෙවෙයි ද?“

ඇය මඳ සිනාවෙන් නිහඩ විය.

ගැහැනු බොහොමයක් මේ හැසිරීම, ආදරය ලෙස ගෙන මෝඩ අයුරින් තීන්දු ගන්නා හැටි මම දැක ඇත්තෙමි.

“ඔයා දන්නවාද, අපේ campus එකට, අනුරාධපුර, ගාල්ල මාතර වාගේ ඉදලා ගෑනු ලමයි ඇවිල්ලා ඉගෙන ගන්නවා. campus එකේ trip එකක් යන්න සූදානම් කරාම ගෙවල් වලින් යන්න අවසර දෙනවා, හැබැයි යාලුවෙලා ඉන්න කොල්ලා එපා කියනවා“

“ආදරේටනේ හාමුදුරුවනේ“?

“ඇයි දෙමාපියන්ට දෙන්න බැරි ආදරයක් මාස කිපයකට කලින් හම්බෙච්ච එකාට දෙන්න පුළුවන් ද?
ඕකට කියන්නේ සැකය. ලිංගික වශයෙන් තියෙන ඊර්ෂ්‍යාව. “ දෙමාපියන්ට ඕක නැ. එතැන තමයි ආදරය. තියෙන්නේ..“ ආදරය කියන්නේ අනේකාට ආදරය කරලා, ඔහුට හෝ ඇයට අවශය දේ දීම මිසක්, තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් නැටවීමට කවුද ආදරය කියලා කීවේ.“?

ඇයට උත්තර නැත.

“ඉතිං බොනව කියලා එහෙම දැනගෙ හිටියේ නැද්ද?“?

“අපො දන්නවා මම, සිගරට් ගඳ මට ආවට පස්සේ මම ඇහුවා. අරක්කුත් බොනව කියලා මම පස්සේ දැන ගත්තා. මම පොරොන්දු කරගත්තා සිගරට් අරක්කු දෙකම නොබොන්න.“

“ඉතිං“… මම ඇසුවෙමි.

“ඒවා ඉතිං බැඳලා අවුරුද්දක් වත් යනකල් තිබ්බේ නැ“

“ඔයා සිගරට් අරක්කු බොන අයට කැමැති නැද්ද?“

“නැ හාමුදුරුවනේ…“

“එහෙනම් බැන්දේ…“

“මට පුළුවන් වුනා එයාව හදාගන්න“

මට සිහින් සිනාවක් මුවඟට නැගුණි. ‘අවුරුදු 25ක් ගෙදරට හදන්න බැරි එකා, අවුරුදු 13ක් පාසලට හදන්න බැරි එකා, අවුරුදු 11 දහම්පාසලට හදන්න බැරි එකා.‘ අවුරුද්දෙන් හදන්න පුළුවන් ලු මේ කජු කිරි කෙල්ලන්ට‘??

“ඉතිං දැන් හැදිලා නෑනේ…“

“ඒක තමයි හාමුදුරුවනේ මම මේ කොච්චරවත් උත්සහා කරන්නේ ඒක“

“සිගරට් පැකට් එකේ “දුම්බීම පිළිකා ඇතිකරයි කියලා ගහලා තියෙනවා නේද? පිංතූරත් එක්කම. “

“එහෙමයි හාමුදුරුවනේ..“

“ඉතිං රජයේ අවවාදයි කියලා තියෙන එකවත් පිළිගන්නැති එකා, අපේ කීම අහයි ද?
“ ඔයා හිතනවාද ඕවාගේ විපාක නොදැන, හොඳ නැති බව නොදැන බොනවා කියලා. නැ.
මේ ලොකේ කිසිම වැඩිහිටි මිනිහෙක්, කරන වැරද්දක් කරන්නේ නොදැන නෙවෙයි. දැන දැනම.
මිනිස්සු ඒක කරන්නේ ඒකෙන් යම්කිසි ආශ්වාදයක් තියෙන නිසා, නැත්තං වෙන කරන්න දෙයක් නැති නිසා, නැත්තං පුරුද්දට ගිහිල්ලා, ඔය වාගේ හේතුවක් මිස, නරකයි කියලා නොදැන නෙවෙයි…“

“ඒ නිසා අපට අමුතුවෙන් උපදෙස් දීලා හදන්න බෑ. අනික පිරිමි කියන්නේ උපදෙස් අහන්න කැමැති අයත් නෙවෙයි…“?

“එතකොට හාමුදුරුවො බණ කියන්නේ?“ ඇය මගෙන් ඇසුවාය.?

“අපි බණ කියන්නේ… තමන් හැදෙන්න ඕනි කියන සිතුවිල්ලක් තියෙන අයට. බෙහෙත් බොන්න කැමැති කෙනෙකුට තමයි බෙහෙත් දෙන්න පුළුවන්. බෙහෙත බොන්න කැමැති නැති අයට බලෙන් බෙහෙත් පොවන්න බෑනේ. හැබැයි ඉතිං පුනරුත්ථාපනය නම් බලෙන් බෙහෙත් පොවනවා වාගේ වැඩක්. එත් එලියට ආවාම නැවත පරණ තැනටම වැටෙන්න පුළුවන්. ඒකයි හැදෙන්න ඕනි කියලා ඇතුළාන්තයෙන් හිතන අයට විතරයි බණ හරියන්නේ.“

“එකනේ කොහොමත් මේ රට හැදිලා නැත්තේ. බණ කීමෙන් ලොකු පලක් නැ. හැදෙන්න උවමානාවක් නැති අයට“

“එතකොට හාමුදුරුවනේ මට මෙයාව හදාගන්න බැරි ද?“

“බුදුහාමුදුරුවන්ට, චුන්ද සූකරව හදන්න බැරි වුනා, දේවදත්ත හිමින්ව, ඒ තියා තමන් එක්ක එකට යන්න ආපු ඡන්න භික්ෂුව (ඇමතියා) වත්“
උන් වහන්සේ වැනි අයටත් හදන්න බැරි අය ඉන්නවා නම් ඔයාලා – අපි ගැන කුමන කථා ද‍?“

“බොහොමයක් ගෑනු ලමයි ඉන්න මිත්‍යාවක් තමයි ඕක, බැන්දාම හැදෙයි. නැත්තං හදාගන්න පුළුවන් කියලා“ එහෙනම් ඉතිං පුනරුත්ථාපන ආයතන ඕනි නැනේ. කසාදයක් බන්දනවානේ..“?

“ඔය ඔක්කම දේවල්වලට එකඟ වෙන්නේ ඔයාලට තියෙන ආකර්ෂණය නිසා. ආකර්ෂණය නැති වෙච්චි දාට පොරොන්දුත් ඉවරයි“ ඉතාමත් කළාතුරකින් හැදුනු මිනිහෙක් ඇති. ඒත් ඉතාම අඩු ප්‍රතිශතයක්.“

“එතකොට මොකද හාමුදුරුවනේ කරන්න ඕනි“

“ඔයාට ඕනි නොබොන මිනිහෙක් නම්, ඔයා කරන්න ඕනි, ස්වභාවයෙන් අරක්කු සිගරට් නොබොන කෙනෙක් හොයාගන්න එක.
නැතුව බොන එකෙක් අරගෙන හදාගන්න පුළුවන් කියන එක ලොකේ තියෙන ලොකුම විහිිළුවක්.“


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

“එතකොට දැන්?“ ඇය ඇසුවාය.

“අතෑරලා දාන එක තමයි. දැන් නම් පරක්කු වැඩියි. ඉතිං මොකද අතාරින්න හිතුවෙ නැත්තේ…“

“ඒ කාලේ නම් හිතුනෙ නැතුව නෙවෙයි, එත් මෙයා ගැන ගෙවල් වලිනුයි නෑදෑයොයි යාලුවො හැමොමයි එහෙමත් දැනගෙන හිටියේ… ගමේ සමහරු වුනත් මෙයා එක්ක මම එහෙ මෙහෙ යන එක දැකලා තියෙනවා. ඉතිං අතාරින්න බෑනේ…“

“ආහ්… එතකොට දැන් ගමේ අය යාලුවො එන්නේ නැද්ද බේරන්න…“?

ඇය සිනාසුනාය.

“මෝඩ කථානේ ලමයො… ගමේ අය සහ යාලුවො ද දැන් කන්න අඳින්න දෙන්නේ…“ අපි worry වෙන්න ඵලක් ඇති දේවල් වලට. දෙමාපියො හිතන එක ගැන නම් තව හිතුවත් කමක් නෑ“

“අනික ඒ වෙනකොට මට වයස 25ත් පැනලා හාමුදුරුවෙනේ… මට තව හිත හිත ඉන්න කාලයක් තිබ්බේ නැ…“

“ළමයො … ඉස්සරහට තවත් 50ක් ජිවත් වෙන්න එකෙක් හොයන්නේ. නැතුව අවුරුද්දකට දෙකකට නෙවෙයි. කොහොම හරි එකෙක් බැඳගන්නවා කියන එක නෙවෙයි එතකොට අංක එක වෙන්න ඕනි…“

“ඒ විතරක් නෙවෙයි හාමුදුරුවෙනේ… අපේ ගෙවල් වලින් උනත් මට කරදර කරා ඉක්මනින් බඳින්න කියලා, මොකද මම ඒ වෙනකොට affairs 3ක්ම කාලයක් ඇසුරු කරලා අතඇරපු නිසා…“

“ඕක ගෑනු ලමයි කරන තවත් ගොං වැඩක්… මොකෙක් හරි එකෙක් එල්ලා ගත්තු ගමන් ඒක ගෙදරට කියනවා… අන්තිමට කීපයක් ඇසුරු කරලා අතහැරපුවා, දෙමාපියො හිතනවා ‘මෙයාට හරි තීරණයක් ගන්න බැ‘ අපිවත් ඉක්මන් කරන්න ඕනි කියලා…“

“හොඳයි දැන් ඇයි අපි කාලයක් කෙනෙක් ඇසුරු කරන්න ඕනි…?“ මම ඇසුවෙමි.

“බඳින්නනේ…“ එකවරම ඇය කීවාය.?

“සමස්ථ ගෑනු වර්ගයාම ඔච්චර ගොං ද“ මා ඇගෙන් සිනා සෙමින් ඇසුවෙමි.?

“ඇයි?“ ඇය ඇසුවාය.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

“ළමයො… අපි කෙනෙක් ඇසුරු කරන්න ඕනි… හොඳ ද නරක ද කියලා දැනගන්නනේ… ඊට පස්සෙනේ තීරණය කරන්නේ කසාද බඳිනවාද නැද්ද කියලා“

“එහෙම කරන්න බෑනේ හාමුදුරුවනේ ගෑනු ලමයින්ට…“?

“ආ… ඒක තමයි. අමාරුවේ වැටෙන්න හේතුව. කාලයක් ඇසුරු කරලා, හොදයි නම් ගැඹුරු සම්බන්ධයකට යන්න ඕනි. ගෙවල් වලට කියන්න ඕනි, එහෙම යද්දි පවා, හොද නැ මේ මිනිහා කියලා තේරෙනවා නම්, ඒ සම්බන්ධය අතාරින්න ඕනි“

“නැත්තං ඉතිං proposal එකකින් බැන්ද නම් ඉවරයිනේ… කොහොමත් ඇසුරුකරලා බදින්න නම් ඉන්නේ… මොකද්ද දෙකේ වෙනස…“

“ම්ම්ම් ඒක ඇත්ත. ඒක දන්නේ දැන්නේ. එත් මම කීපයක්ම ඇසුරු කරපු නිසා, මට මෙයත් අතෑරලා ආයෙත් එකකට යන්න තරම් කාලයක් තිබ්බේ නැ…“

“ළමයො… නිතර මතක තියාගන්න අවුරුදු 50කට හරියන්න බඳින්නේ කියලා… දැන් එතකොට ඔයා කඩවලට යනවා ඇතිනේ ඇඳුම් තෝරන්න.“

“එහෙමයි“

“ඉතිං පළවෙනියට යන කඩෙන්ම ද ඇඳුමක් ගන්නේ…“

“හොඳ එකක් තිබ්බොත් ගන්නවා… නැත්තං තව එකකට යනවා…“

“එතකොට ඒකටත් ගිහිල්ලා තිබ්බේ නැත්තං…“

“ඉතිං 4-5කට වුනත් යනවා…“

“ඉතිං ලැජ්ජා නැද්ද, කඩවල් මඟ ඇර ඇර , ඇඳුම් අවුස්සා යන්න… 4 වෙනි කඩෙන් ගන්න එපැයි අනිවාර්යෙන්ම…“?

“එහෙම කියලා බෑනේ හාමුදුරුවෙනේ අපට හරියන ඇඳුම එපැයි අපි ගන්න…“

“ආ… ඇත්ත ද? එහෙනම් love කිරීමත් එහෙමම තමයි. දැන් ඔය කරගෙන තියෙන්නේ… හරියන්නැති ඇඳුමක් ගෙනල්ලා… ඇගට හරියන්න කපන කොටන එක…“

“එක නම් ඇත්ත තමයි හාමුදුරුවෙනේ…“

“ඔව්… ලස්සනයි මිල අධිකයි කියලා ඔයාගේ size එකට මඳිවෙන සෙරෙප්පු එහෙම ගන්නේ නැද්ද?“

“වැඩක් නෑනේ හාමුදුරුවෙනේ අරගෙන..“?

“ඇයි ගන්න එපැයි… අරගෙන සෙරෙප්පුවට හරියන්න කකුල කපලා දාගන්න ඒකට…“

“හි… හි.. එහෙම බෑනේ හාමුදුරුවෙනේ…“

“කේසාන්තයේ සිට පාදාන්තය දක්වා ගාන උලන දේවල් හරියටම තෝරන, ගෑනු උදවිය, පිරිමියෙක් තොරන්නේ ආන්න ඒ විදිහට තමයි…“

“ඒක නම් හරියටම හරි හාමුදුරුවෙනේ…“

“ඉතිං හොදට හොයලා බලලා ගෙනාපු ඇඳුමක් හරියන්නැත්තං ඔයා මොකද කරන්නේ…?

“return කරනවා හාමුදුරුවනේ…“

“ජිවිතේට නම් රිටන් බටන් එකක් නැ… ඒ නිසා නෑදෑයො යාලුවො ගමේ මිනිස්සු කියන දේවල් අහගෙන තීන්දු තීරණ ගන්න පුළුවන් එකක් නෙවෙයි කසාදය.. ඒක මතක තියාගන්න“

සටහන
? නම්ගම් සියල්ල මන:කල්පිතය. සත්‍ය කතා කිහිපයක් පදනම් කර ගත්, උපදේශනාත්මක අවශ්‍යතාවය පිණිස, අනන්‍යතාවය හඳුනා ගත නො හැකි සේ, නිර්මාණය කරන ලද කල්පිතයක් බව කරුණාවෙන් සලකන්න.

? ගැහැනු සහ පිරිමි එකට වැසීමට ගැලපෙන සත්ත්ව කොට්ඨාශ දෙකක් නොවේ. ඔවුන්ට එක වැසීමට අවශ්‍ය වන්නේ ලිංගික කර්තවයන් සඳහා පමණි. එබැවින් ආකර්ශනය වේ. එම ආකර්ශනය ආදරයට පෙරලාගන්නේ මානවයා පමණි. එසේ ලිංගිකත්වය සඳහා විශේෂයෙන් හොයනු ලබන්නේ පිරිමි සතාය.

? මේ සඳහා පිරිමිහු නොයෙක් අන්දමේ දැල් එළති. නොයෙක් පොරොන්දු දෙති. ඒවාට අසුනොවී තමන්ට සුදුසුම සහකරුවෙක් ගැහැනුන් සොයාගත යුතුය.
හොඳ පිරිමින් අපමණ ඇත. එහෙත් ගැහැනු හොයන්නේ නැත. ලඟට ඇවිත් “ඔයා මට කැමැති ද“ අසන කෙනාට කැමැත්ත පල කරේ. තමන් හොඳ කෙනෙක් සොයා යන්නේ නැත. තේරීමේ උපන් හපන් ඇති ගැහැනු හොඳ පිරිමිත් තෝරා තෝරා ගියා නම් අද විවාහයෙන් පසු දුක් විඳින අය නැති තරම්ම විය හැක.

? බුද්ධ දේශනාව අනුව, (සංයුත්ත නිකාය, මාතුගාම වග්ගය, ආවේණිකදුක්ඛසූත්‍රය) විවාහය වනාහි කාන්තාවට ආවේණික දුක්ඛ 5න් එකකි.

‘‘ඉධ, භික්‌ඛවෙ, මාතුගාමො දහරොව සමානො පතිකුලං ගච්‌ඡති, ඤාතකෙහි විනා හොති. ඉදං, භික්‌ඛවෙ, මාතුගාමස්‌ස පඨමං ආවෙණිකං දුක්‌ඛං,

? (එහෙත් මංගල උත්සව වලට කරන නාස්තිකාර වියදම් දෙස බැලීමේ දී නම් එසේ පෙනේනට නැත.) එහෙයින් ඔවුන් තමන්ට සුදුසු නැතැයි සිතෙන අයෙකු, දෙමාපියන්, නෑදෑයන් යාලුවො නිසා හො මෙතරම් කාලයක් ඇසුරු කළා කියා හෝ දැන් ඉතිං කරන්න දෙයක් නැ කියා හෝ විවාහකර ගත යුතු නැත. හදිස්සියේ විවාහ වන්නන්, නිවී සැනසිල්ලේ දුක්වන්නො බවට පත්වන්නේ ඒ නිසාය.

? පුද්ගලයන් හදාගන්නවා යැයි කියා මාතෘකාවක් නැත. එසේ හදන්නට ‘බිරින්දෑවරු යනු පුනුරුත්ථාපන මධ්‍යස්ථාන නොවේ.“ ඉතාමත්ම කළාතුරකින් බිරිඳ නිසා යහමඟට ආ ස්වාමීන් සිටියත් අතිබහුතරය දුක්විඳමින් සිටි. බොහෝ දුරට ඔවුන් depression සඳහා ප්‍රතිකාර ගන්නා මට්ටමට පැමිණේ.

? ඔබට අවශ්‍ය පුද්ගලයා ප්‍රකෘතියෙන්ම සොයාගන්නවා විනා, පසුව ඔවුන්ගේ ගතිගුණ හුරුපුරුදු වෙනස් කරන්නට ගොස්ම ඔබ වයසට යනු ඇත. පුදගලයන් වෙනස් කරන්නට බැරිය. ඔවුන් ස්වයංව වෙනස් වූවොත් හැර. මෝරපු අතු නමන්ට ගිය විට කැඩීයාම වලක්වා ලිය නොහැක.

තවත් මනෝ උපදේශනය සම්බන්ධ ලිපි සඳහා : Counselling – හෙරලි

කොළඹ සහ කැළණිය විශ්වවිද්‍යාලයන්හි සහාය කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ පූජ්‍ය හෙරලියාවල රතනතිස්ස හිමියන් මේ වන විට තායිලන්තයේ ධම්මකාය බෞද්ධ විශ්වවිද්‍යාලයේ ධම්මකාය (DCI) ත්‍රිපිටක සංස්කරණ මණ්ඩලයේ පර්යේෂණ සහකාරවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියි. උන්වහන්සේ eLearning.lk බ්ලොග් අඩවිය සඳහා මිනිස් මනස සහ මනෝ උපදේශන සේවාවන් සම්බන්ධව ලිපි සම්පාදනය කරනු ලබයි.