රජරට ශිෂ්ටාචාරයේ ආර්ථිකය
රජරට එහෙමත් නැත්නම් අනුරාධපුර සහ පොළොන්නරු රාජධානි තිබුණු යුගවලදි, අපේ රටේ මිනිස්සුන්ගෙ ප්‍රධාන ජීවනෝපාය වෙලා තියෙන්නෙ කෘෂි කර්මාන්තයයි. ඒ අපේ රටේ කෘෂි කර්මාන්තය කරගෙන යන්න තරම් සුදුසු දේශගුණික වටපිටාවක් තිබුණු නිසා. ජලය, සරු පස, හිරු එළිය, තැනිතලා භූමි කියන මේ සාධක හතරම අපේ රටට හිමි වෙලා තියෙනවා.
අපේ රටේ ගොවිතැන් කටයුතු ආරම්භ වුණේ විජයාවතරණය සිද්ධ වෙන්නත් කලින් ඉදලම කියන එක තමයි අපේ ඉතිහාසඥයන්ගේ මතය. අපේ රටට විජය කුමාරයා ඇතුළු 700ක පිරිසක් ගොඩ බහින කොට, කුවේණිය ඒ අයට බතින් සංග්‍රහ කළා කියලා වංශ කතා වල සඳහන් වෙනවා. එහෙම ගත්තොත් අපේ රටට කෘෂිකර්මය ආර්යයන් හදුන්වලා දුන්නා කියන කතාව අමූලික බොරුවක්. නැත්නම් කොහොමද 700 දෙනෙක්ට එක පාරටම බතින් සංග්‍රහ කරන්න තරම් සහල්..???
අනුරාධපුර සහ පොළොන්නරු රාජධානි ආරම්භ වෙනකොට කෘෂිකර්මය මහා පරිමාණයෙන් කරන්න ගත්තා. ඒකට බලපාපු ප්‍රධානම සාධකය තමයි ජනගහන වර්ධනය. ඒ නිසා සහල් වැඩියෙන් නිෂ්පාදනය කරන්න අවශ්‍යතාවක් පැන නැගුනා. ඒකට වතුර ඕන. වතුර ලැබෙන්නෙ වැස්සෙන්. වැස්ස ලැබෙන්නෙ එක කාලයකට විතරයි. ඒ නිසා එක පාරටම වහින වැස්සෙන් වැටෙන වතුර එක තැනකට ඒකරාශී කරලා වැව් හදලා, වැවෙන් ගන්න ජලයෙන් ගොවිතැන් කටයුතු සිද්ධ කළා. අපි මේ ගැන අපේ වාපි ශිෂ්ටාචාරය කියන ලිපියෙන් පුළුල්ව සාකච්ඡා කළා.
ඒ කාලයේ සිංහල මිනිස්සු තුන් වේලටම බත් කන්න පුරුදු වෙලා හිටියා. ඒ නිසා වගා කිරීම සිද්ධ වුණේ “කන්න” (වාර) තුනකට. ඒ කන්න හඳුන්වලා තියෙන්නෙ අකලහස, දඩහස සහ තඹදෙදහස කියලයි. අපේ රටේ ගොවිතැන සිද්ධ වෙලා තියෙන්නෙ මඩ ගොවිතැන සහ ගොඩ ගොවිතැන කියන ක්‍රම දෙකටයි.
මඩ ගොවිතැන කියන්නෙ මඩේ ඉදන් කරන ගොවිතැනට. ඒ කියන්නෙ සහල් වගා කරන එකට. අපි අද කුඹුරු කියලා කියන්නේ..???? මඩ ගොවිතැනේදි මා වී, හීනැටි, රන්හැල්, ශාලි, ඇල් වී, තණ හාල්, උළු හාල් වගේ වී වර්ග වගා කරලා තියෙනවා. අද නැතිවුණත් ඒ කාලයේ අපේ රටට විතරක්ම උරුම වෙච්ච පාරම්පරික වී වර්ග 5000කටත් වඩා තිබිලා තියෙනවා.
ගොඩ ගොවිතැන කිව්වෙ ගොඩේ ඉදන් කරන ගොවිතැනට. ඒකෙදි කළේ එළවළු, පළතුරු, ධාන්‍ය වර්ග වගා කරපු එකයි. ඒ කියන්නෙ ඔය කෙසෙල්, පොල්, අඹ, කජු, උක්, ඉගුරු, දුරු, කහ, කපු, තල, මුo, මිනේරි, කුරක්කන්, යව, උදු, අබ, අල වර්ග වගේ භෝග වර්ග.
මඩගොවි තැන කරන ප්‍රදේශයට කිව්වෙ “කෙත්” කියලා. ගොඩ ගොවිතැන කරන ප්‍රදේශයට කිව්වෙ “වතු” කියලා. ඒකෙන් තමයි අපි ඉස්කෝලෙ යන කාලවල්වල ඉගෙන ගත්තු “කෙත් වතු” කියන යුගල පදය හැදෙන්නෙ.
කෙත කියන පදය ගොඩක් ඉස්සර ඉදන්ම එන එකක්. බුදු හාමුදුරුවො ලෝකයේ සම්භවය ගැන “අග්ගඥ සූත්‍රයේ” ලස්සනට විස්තර කරනවා. ඒ බ්‍රාහ්මණ වංශිකයන්ගේ කුල ක්‍රමය ඛන්ඩනය කරන්න. මේකෙදි බුදු හාමුදුරුවො දේශනා කළේ මිනිස්සු මහා බ්‍රහ්මයාගේ ශරීර අවයවවලින් ඉපදුනේ නෑ, මුලින්ම මිනිස්සු මේ ලෝකයට එකට අත්වැල් බැදගෙන ඇවිල්ලා, එක හා සමානව ඉදලා, පස්සෙ දේශගුණ රටා සහ කළ කී දෑ අනුව වෙනස් වුණා කියලා. බුදු හාමුදුරුවො මේ වගේ දේවල් දේශනා කළේ බොහෝම අඩුවෙන්.
මොකද මේ වගේ දේවල් දැනගෙන හිටියා කියලා, නිවන් දකින්න, නිවන් මාර්ගයට යන්න ප්‍රයෝජනවත් වෙන්නෙ නෑ. මේවා ගැන හොයන්න හොයන්න සිත තව තවත් ඒ දිහාවටම යනවා. ඒත් බුදු හාමුදුරුවන්ට දේශනා නොකර ඉන්න බැරි තැන්වලදි උන්වහන්සේ, මේවා ගැනත් දේශනා කළා. ඒ කතාව හරිම ලස්සන කතාවක්. ඒ වගේම ගොඩක් දිග කතාවක් නිසා, මේ ලිපියේ සදහන් නොකර ඉන්න හිතුවා.
සූත්‍රය අවසානයේ බුදු හාමුදුරුවො දේශනා කරන විදිහට බ්‍රාහ්මණ, කෂත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියන කුල හතර නිර්මාණය වුනේ ඒ ඒ අයගේ හැසිරීම් රටාව අනුව. කෂ්ත්‍රීය වංශය ගැන දේශනාවෙ කියවෙන්නෙ “ඛෙත්තානං අධිපතීති ඛත්තියෝ” කියලා. ඒ කියන්නේ “රටේ කෙත් වතුවලට හිමිකම් කියූ බැවින් කෂත්‍රීය නම් විය” කියලයි.
රටේ පාලකයා, එහෙමත් නැත්නම් රජ කෙනෙක් වෙන්න පුලුවන්කම තියෙන්නෙ “ක්ෂත්රීය වංශිකයින්”ට විතරයිනෙ. මේ සංකල්පය ඒ දවස්වල ඉදලම ඉන්දියාවෙත්, අපේ රටෙත් තිබිලා තියෙනවා. රජතුමා තමයි අපේ රටේ නිතීමය රාමුව සකස් කරන්නෙ. රටවැසියාව ආරක්ෂා කරන්නෙත්, රටවැසියගෙ ප්‍රශ්නවලට පිළිතුරු දීලා, රටවැසියව රැක ගන්නෙත්. ඒ නිසා මුළු රටම අයිති පාලකයට. මුළු රටම කියන්නෙ අස්සක් මුල්ලක් බිම් අගලක් නෑරම. ඉතින් මුළු රටේම කෙත්වතුවල අයිතිය තියෙන්නෙ පාලකයට නිසා ඒ සදහා ගෙවීමක් කරන්න ඕන. ඒක තමයි ඔය “බද්ද” කියලා කියන්නෙ. පාලකයා රටේ මිනිස්සු වෙනුවෙන් ඒ කරන සේවාව වෙනුවෙන් තමයි මිනිස්සු බදු මුදල් ගෙවන්නෙ. ඒ නිසා කෘෂි කර්මාන්තයෙන් ගන්න අස්වැන්නෙන් 1/4ක් පාලකයට ගෙවන්න ඕන කියලා නීතියක් ඒ දවස්වල අපේ රටේ තිබුණා.
ඒ වගේම පාලකයටත් වගකීමක් තිබුණා අපේ රටේ ආර්ථිකය ගොඩ නංවන්න. ඒ නිසා රජරට ශිෂ්ටාචාරයේ ගොඩක් පාලකයො කෘෂි කර්මාන්තය කරගෙන යන්න අපේ මිනිස්සුන්ට ගොඩක් උදව් කළා. විශේෂයෙන්ම වැව් නිර්මාණය කරලා. මඩ ගොවිතැන කරන කොටත් අදියර කිහිපයකින් සමන්විත හරියාකාර පිළිවෙලක් තියෙනවා.
01. පස සකස් කිරීම
02. වල් පැළ නෙලීම
03. නියර බැදීම
04. වී වැපිරීම
05. පැල් රැකීම
06. අස්වනු කැපීම
කෘෂි කර්මාන්තය අපේ ආගම දහමට වගේම සංස්කෘතියටත් සම්බන්ධ වුණා. අපේම කෙම් ක්‍රම පාවිච්චි කරලා, දෑතේ දෙපයේ වෙර වීර්යය යොදලා නගුල, උදැල්ල, කැත්ත, දණ්ඩ, පෝරුව පාවිච්චි කරලා ගන්න පළවෙනි අස්වැන්න ගමේ පන්සලට තමයි මුලින්ම පූජා කරන්නෙ. එහෙමත් නැත්නම් දළදා හාමුදුරුවන්ට. එහෙමත් නැත්නම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවන්ට. මේ වගේ අභිචාර විධි කේන්ද්‍ර කරගෙන තමයි අලුත් සහල් මංගල්‍ය, පරණ සහල් මංගල්‍ය, අලුත් අවුරුදු මංගල්‍ය, කිරි ආහාර මංගල්‍ය, මුට්ටි නැමුම් මංගල්‍ය වගේ උත්සව නිර්මාණය වෙන්නෙ. ඒ වගේම පෙරහැර සංස්කෘතියකුත් නිර්මාණය වෙනවා. ඔය “කුරුදු පෙරහැර” එහෙම මේකට හොද උදාහරණයක්.
ඒ වගේම ගම්මඩු, ගැමි නාටක, ශාන්ති කර්මත් නිර්මාණය වෙනවා. ඒ තරමට කෘෂි කර්මය අපේ ආගමට, සංස්කෘතියට බද්ධ වෙනවා.
ඒ වගේම අපේ රට රජරට රාජධානි සමයේ සහල්වලින් ස්වයංපෝෂිත වෙලා තිබුණා. හාල් ඇටයක්වත් පිටරටකින් ගත්තෙ නෑ. සහල් නිෂ්පාදනය වැඩි වෙලා අතිරික්ත ගොඩ ගැහිලා අන්තිමේදි අපි සහල් පිටරට යැව්වා. සහල් අපනයනයෙන් විශාල ලාභයක් ඒ කාලයේ අපේ රටට ලැබුණා. අද වෙල්ලස්ස කියලා කියන්නෙත්, ඒ කාලයේ වෙල් ලක්ෂයක් අස්වද්දපු නිසාලුනෙ. ඒ කාලයේ අත්තම් ක්රමයටත් අපේ මිනිස්සු කෘෂි කර්මාන්තයේ නියැලුණා.
ඒ වගේම රජයේ කුඹුරු, ගොඩ ඉඩම් වගා කිරීම්, පුරන් කුඹුරු රජයට පවරා ගැනීම්, පෞද්ගලික ඉඩම් සහ කුඹුරු ඉඩම්වලින් අය කරන බදු, රජයෙන් දුන් ඉඩම් පිළිබද එකී මෙකී නොකී අකී, අකී නොකී මෙකී එකී, මේ හැම තොරතුරක් ගැනම වාර්තා කරන්න නිළධාරි කණ්ඩායමකුත් හිටියා. මේ නිළධාරි මණ්ඩලය ගැන අනුරාධපුරයේ මුල් භාගයේ සෙල්ලිපිවල සදහන් වෙනවා. ඒ කියන්නෙ ක්‍රි.ව 9 – ක්‍රි.ව 10 අතර සෙල්ලිපිවල. ඒ නිළධාරි මණ්ඩලය මෙන්න මේ විදිහට පෙළ ගස්වන්න පුලුවන්. වරහන් ඇතුළෙ සදහන් කරලා තියෙන්නෙ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහත්තයගෙ මතයන්.
01. වෙල්වැදි
02. වෙල්කැමි
03. කරල්කැමි
04. වෙලැයුත්
05. වෙත්සම් දරුවන්
06. වෙල් වදාරන්නන් (වෙල් විධානේ තනතුර විය හැක)
07. වෙල් වැස්සා (රජයේ ඉඩම් වගා කළ අයෙක් විය හැක)
08. වෙලැයුත් පස්දෙනා (කෘෂි කර්මාන්ත කටයුතු සදහා පත් කළ මණ්ඩලයක් විය හැක)
09. උයන්ගොවි (උද්‍යාන පාලකවරු විය හැක)
10. උයන්කැමි (උද්‍යාන පාලකවරු විය හැක)
11. උයන් වැදෑරුම් (උද්‍යාන පාලකවරු විය හැක)
12. කැරැවැදරුවන් (බදු ඉඩම් පරීක්ෂකවරු විය හැක)
මේ නිළධාරීන්ට අමතරව “පාලි අටුවා” ග්රන්ථවලින් තවත් තනතුරු දෙකක් හදුනාගෙන තියෙනවා.
01. රජ්ජුග්ගාහක අමච්ච
02. දෝනමාපක මහා මච්ච
ඒවා සිංහල භාෂාවට පරිවර්තනය කළාම එන්නෙ මෙහෙමයි.
01. කෙත් මනන යහන් ගන්නා ඇමති
02. දෝන මානයෙන් යුත් මහ ඇමති
“ජාතක අටුවා ගැට පදයේ” මේ තනතුරු දෙක ගැන සදහන් වෙන්නෙ මෙහෙමයි.
01. යට ගසා කෙත් බෙදන්නා
02. වී මනින්නා
පාලි අටුවාවෙත්, ජාතක අටුවා ගැට පදයෙත් මේ තනතුරු ගැන තියෙන කරුණු කාරණා සමාලෝචනය කළාම, රජ්ජුග්ගාහක කියන්නෙ කුඹුරු ඉඩම් මනින කාර්යයේ නිරත වුණු නිළධාරියෙක්ට. දෝනමාපක කියන්නෙ රජයට කුඹුරුවලින් ලැබෙන්න ඕන ධාන්‍ය බද්ද මනින සහ එකතු කරන නිළධාරියට. “මිහින්තලා පුවරු ලිපියෙ” සදහන් වෙන කොටරැකි, කොටරැකිනා කියන තනතුරුත්, “ජාතක අට්ඨ කතාවේ” තියෙන “ධන්යමාපක” කියන තනතුරත්, අපි කලින් සදහන් කරපු “දෝනමාපක මහා මච්ච” කියන තනතුර හදුන්වන සමාන නම්.
මේවායෙන් ඔප්පු වෙනවා අවුරුදු දහස් ගණනකට කලින් අපේ රටේ කෘෂි කර්මය හොදින් සංවිධානය වෙලා තිබුණා කියලා. ඒ වගේම හොද පාලන තන්ත්රයක් යටතේ තිබුණා කියලත්. පරිපාලනය 100%ක්ම හොදින් සිද්ධ වෙලා තියෙනවා කියලත්.
රජරට ශිෂ්ටාචාරයේ කොච්චර කුඹුරු අස්වැද්දුවද කිව්වොත්, මේක අනුරාධපුර සහ පොළොන්නරු රාජධානිවල පරිහානියටත් වක්‍රව බලපානවා. අවුරුදු දහස් ගණනක් තිස්සෙ වගා කරලා, වගා කරලා, මුළු භූමියේම පස නිසරු වෙනවා. කෘෂි කර්මය නැතුව අපේ මිනිස්සුන් බඩගින්නෙ. ඒ නිසා ගොඩක් අය සරු පස තියෙන ප්රදේශයි, කෘෂි කර්මය නැතුව වෙළද භෝග වගාව කරන්න සුදුසු ප්රදේශයි හොයාගෙන නිරිතදිග ප්‍රදේශවලට සංක්‍රමණය වෙන්න ගන්නවා.
සත්ව පාලනයත් කෘෂි කර්මාන්තයටම සම්බන්ධ වෙලා තිබුණා. ඒ කාලයේ මිනිස්සු ගෙවල්වල එක එක ප්‍රයෝජන ගන්න කුකුල්ලු, කිකිළියො, ඌරො, හරක්, එළදෙන්නු, එළුවො වගේ සත්තු ඇති කළා. ඒ කිරි, බිත්තර, මස් මාංශ, පස්ගෝ රස ලබා ගන්න වගේම සත්තුන්ගෙ කරපිටින්, එහෙමත් නැත්නම් කරත්තවලින් භාණ්ඩ ප්‍රවාහනය කර ගන්නත්. ඒ වගේම කෘෂිකර්මයේදි සී සාන්නත් ගවයන්ව අනිවාර්යෙන්ම යොදා ගන්නවා.
අපේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට ගව ඝාතනය තහනම් කළේ “භාතිකාභය” රජතුමා. මේ රජතුමාගෙ කාලයේ හරකෙක්ව මරණ කෙනාට රාජ දඩුවම් දුන්නා. සමාජයෙන් කොන් කළා. වසලයෙක් කියලා නම් කළා. කුලයෙන් පහත් කරලා “රොඪි කුලය”ට දැම්මා.
ඒ වගේම අපේ රටේ පළවෙනි වතාවට මුලු මනින්ම සත්ව ඝාතනය තහනම් කළා “අමණ්ඩ ගාමිණී අභය” රජතුමා. මේ රජතුමාගෙ කාලයේ කුරා කූඹියෙකුටවත් මිනිස්සුන්ගෙන් කරදරයක්, හිංසාවක් පීඩාවක් වුණේ නෑ. ඒ බුදු දහමත් එක්ක අපි ලබපු ආභාශය නිසා වෙන්න ඕන. මොකද බුදු දහම කියලා කියන්නෙ අවිහිංසාවාදී ආගමක්නෙ. ඒ වගේම බුදු හාමුදුරුවො කළ යුතු සහ නොකළ යුතු වෙළදාම් ගැන වෙන වෙනම පැහැදිලි කරලා දීලා තිබුණා. “කසී භාරද්වාජ සූත්‍රය” ගත්තත් උන්වහන්සේටත් කෘෂි කර්මාන්තය ගැන හසල දැනුමක් තිබුණා කියලා පැහැදිලි වෙනවා.
සබ්බේ තසන්ති දණ්ඩස්ස – සබ්බේ භායන්ති මච්චුනෝ
අත්තානං උපමං කත්වා – න හනේය්ය න ඝාතයෙ
සබ්බේ තසන්ති දණ්ඩස්ස – සබ්බේ සං ජීවිතං පියං
අත්තානං උපමං කත්වා – න හනෙය්‍ය න ඝාතයේ
” සෑම සත්වයෙක්ම මරණයට බිය වේ. එම නිසා තමන් උපමා කර අන් අයට හිංසා නොකරන්න. සෑම සත්වයෙක්ම තම ජීවිතයට ප්‍රිය කරයි. එම නිසා තමන් උපමා කර අන් අයට හිංසා නොකරන්න.” – සිද්ධාර්ථ ගෞතම බුදු පියාණන් වහන්සේ
වෙළදාම ගැන කියනවා නම් අතීතයේ ඉදලම අපේ රට, විදේශීය රටවල් එක්ක වෙළදාම් කරලා තියෙනවා. අපේ රට මුළු ලෝකයේම රටවල්වල අවධානය දිනා ගන්න එක හේතුවක් තමයි, ජාත්‍යන්තර වෙළදාමට තිබුණු සුදුසුකම. ඒ වගේම අපේ රට පිහිටලා තියෙන්නෙ ඉන්දියන් සාගරයේ මධ්‍යගතව, පෙරදිග සහ අපරදිග සම්බන්ධවෙන මුහුදු ගමන් මාර්ග කේන්ද්‍ර කරලා.
ග්‍රීසිය, රෝමය, චීනය, පර්සියාව, අරාබිය, ඉන්දියාව වගේ රටවල් එක්ක තමයි වැඩි හරියක් ගණුදෙණු සිද්ධ කරලා තියෙන්නෙ. අපේ රටේ ගොඩක් වෙළද භාණ්ඩවලට ජාත්‍යාන්තරයේ ලොකු ඉල්ලුමක් තිබුණා. ඒ වගේම හොද මිළකුත් තීරණය වුණා. මුතු මැණික්, අලි ඇත්තු, ඇත් දළ, කැස්බෑ ලෙලි, කුරුදු වගේ දේවල් වලට වගේම යුද්ධ ආයුධවලටත් හොද ඉල්ලුමක් තිබුණා. ඒවා අපනයනය කරලා, අනිත් රටවල්වලින් රෙදි, පිගන් බඩු, සුවද විලවුන් වගේ දේවල් මෙහාට ආනයනය කළා.
ජාත්‍යන්තර වෙළදාමේදී මහාතිත්ථ, ගෝකණ්ණ, ජම්බකෝලපට්ටන වගේ වරායවල් ප්‍රධාන තැනක් ගත්තා. ගොඩවාය සෙල්ලිපියෙ වරායන්වල සිද්ධ වෙන ජාත්‍යන්තර වෙළද කටයුතු සහ අය කරපු බදු ගැන සදහන් වෙනවා. භාණ්ඩ ප්‍රවාහනය නැව්වලින් සිද්ධ වුණා. හියුත්සාං හාමුදුරුවන්ගේ දේශාටන වාර්තාවල, අපේ රටට අයිති වෙළද නැව්, ඉන්දියාවෙදි සියැසින්ම දැක්කා කියලා සදහන් වෙනවා.
ජාත්‍යන්තර වෙළදාම එහෙම යනකොට, දේශීය වෙළදාමත් කෙරී ගෙන ගියා. වෙළදාම් කරන කොට අය කළ බදු සහ නීති රීති ගැන බදුලු ටැම් ලිපියෙ තියෙනවා. ඒ වගේම ස්ථාවර, ජංගම, පදික ආදී වශයෙන් වෙළදාම් කළා. භාණ්ඩ ප්‍රවාහනය සත්තුන්ගෙ පිට මත තබා ගෙන, තමන්ගෙ කර මත තබා ගෙන, කරත්තවල දාගෙන සිද්ධ කෙරුණා. කාසි භාවිතයත් දේශීය වෙළදාම ජනප්‍රියව තිබුණා කියන්න පුලුවන් හොද සාක්ෂියක්. කාසි භාවිතය දියුණු වුණේ වෙළදාමේ තිබුණු දියුණුව නිසයි.
රජරට ශිෂ්ටාචාරයේ ආර්ථික ව්‍යුහයේ තවත් සාධකයක් තමයි කර්මාන්ත. වංශ කතාවලට අනුව අපේ රටට සංඝමිත්තා තෙරණියත් එක්ක 18 කුලයක පිරිසක් එනවා. ඒ කියන්නෙ ශිල්ප ශ්‍රේණි 18කට අයත් පිරිසක්. එක් එක් වෘත්තීන්ට අදාළ විශේෂඥයන්. විජයාවතරණයට කලින් ඉදලම අපේ රටේ දියුණු කර්මාන්ත තිබුණත්, දුමින්දාගමනයත් එක්ක මේවා තව තවත් විධිමත් වෙන්න ගන්නවා. අපේ රටේ තිබ්බ කර්මාන්තවලින්
# රෙදිපිලි විවීම
# ගඩොල් කර්මාන්තය
# රන් රිදී කර්මාන්තය
# ආයුධ කර්මාන්තය
# වළං කර්මාන්තය
ගොඩක් ජනප්‍රිය කර්මාන්ත වෙනවා. මේවා පුරාවිද්‍යාත්මකවත් ඔප්පු කරලා තියෙනවා. අනුරාධපුරයේ, පොළොන්නරුවේ ගොඩනැගිලි ඉදි කිරීම්වලට ගොඩක් උළු ගඩොල් පාවිච්චි කරලා තියෙන නිසා, උළු ගඩොල් කර්මාන්තය මහා පරිමාණයෙන් සිද්ධ වෙන්න ඇති කියලා නිර්ණය කරන්න පුලුවන්.