ඇෆ්ඝනිස්ථානයෙන් ඇමරිකන් හමුදා යන්නම යනවාද?

May 13, 2021

වසර විස්සකට ආසන්න කාලයක් ඇෆ්ඝනිස්ථානයේ යුද්ධයට පැටලී සිටි ඇමරිකානු හමුදා එරටින් ඉවත් වීම ආරම්භ කළා. 2021 සැප්තැම්බර් 11 වනවිට හමුදා ඉවත් කිරීම සම්පූර්ණ කෙරෙන බවයි ඇමරිකානු රජය පවසන්නේ. ඒ අනුව ඇමරිකන් ඉතිහාසයේ දිගුම යුද්ධය අවසාන වනවා. මීට සමගාමීව, එරට රැඳී සිටින නේටෝ හමුදා ද ඉවත් කෙරෙනවා.


ඇමරිකානු භටයින් පිරිසක් (Reuters)

මෙහිදී අපට ඇති වෙන මූලික ප්‍රශ්නය තමයි, ඇමරිකාව යන්නම යනවද? කියන ප්‍රශ්නය.

ඇෆ්ඝනිස්ථානයේ සිටින හමුදා ඉවත් කෙරෙද්දී ඔවුන්ගේ කඳවුරු සහ වෙනත් ඇතැම් දේ ඇෆ්ඝන් හමුදාව වෙත භාරදෙනු ඇති. ඒ අනුව ඉන් ඇෆ්ඝන් හමුදාවට ප්‍රයෝජනයක් ගත හැකියි.


ඇෆ්ඝන් කමාන්ඩෝ භටයින් පිරිසක්

ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසන විදියට ඇමරිකානු හමුදා සාමාජිකයන් 3,500 ක් පමණ අප්‍රේල් මැද වනවිට ඇෆ්ඝනිස්ථානයේ සිටියා.

මැදපෙරදිග,මධ්‍යම ආසියාව සහ දකුණු ආසියාවේ කොටසක කටයුතු කරන ඇමරිකානු සෙන්ට්‍රල් කමාන්ඩ් හෙවත් මධ්‍යම අණදෙන මූලස්ථානයේ ප්‍රධානී මැරීන් භට හමුදා ජෙනරල් කෙනත් මැකෙන්සි පැවසූයේ තවදුරටත් හමුදා සාමාජිකයන් පිරිසක් ඇෆ්ඝනිස්ථානය දෙස අවධානයෙන් සිටිනු ඇති බවයි.

අනාගත සැලසුම්
මැකෙන්සි කියා සිටියේ ඇෆ්ඝනිස්ථානය තුළ අර්බුදකාරී වාතාවරණයක් ඇතිවුවහොත් ඊට පිළිතුරු දියහැකි අන්දම පිළිබඳ තමන් සැලසුම් සකස් කරන බවයි. ඇමරිකාව විදෙස්වල සිට ඇෆ්ඝනිස්ථානය දෙස නිරීක්ෂණය කරනු ඇති බව ඔහු පෙන්වා දුන්නා.

අර්බුදයක් මතුවනවිට ඇමරිකාවට ආපසු ඊට ප්‍රතිචාර දැක්විය හැකි වේ යයි ඔහු පෙන්වා දෙනවා. එය දැන් තරම් පහසු නොවනු ඇතත්, නොකළහැකි දෙයක් නොවන බවයි ඔහු කියා සිටින්නේ.


ජෙනරල් කෙනත් මැකෙන්සි

මෙහිදී වැදගත් කාරණය වන්නේ තමන්ට අවශ්‍ය ඉලක්කය සොයාගැනීම, ඊට පහර දීම සැලසුම් කිරීම සහ එම ඉලක්කය ලබාගැනීම බව මැකෙන්සි කියා සිටියා. එමෙන්ම ඒ සඳහා අත්‍යවශ්‍ය කරුණ වන්නේ බුද්ධි තොරතුරු ලබාගැනීම බව ඔහු පෙන්වා දෙනවා.

හමුදා ඉවත් කිරීමෙන් අනතුරුව බුද්ධි තොරතුරු සපයාගැනීමට පහසු ක්‍රමයක් මෙන්ම ඒ සඳහා අවශ්‍ය පරිසරය ද අහිමි වන බව මැකෙන්සි පිළිගන්නවා. එහෙයින් හමුදා ඉවත් කරගැනීමෙන් පසුව ඇෆ්ඝනිස්ථානයේ බුද්ධි තොරතුරු ලබාගැනීම විශාල අභියෝගයක් වනු ඇති.

මේ හේතුවෙන් ඇමරිකානු බුද්ධි නිලධාරීන් කොහි රැඳවිය යුතුද යන කරුණ සලකා බැලීම වැදගත් බවත්, එය තානාපති නිලධාරීන් විසින් සලකා බැලෙන බවත් මැකෙන්සි පෙන්වා දුන්නා.

අවශ්‍ය විටෙක ඈත සිට එල්ල කරන ඉලක්කගත මිසයිල ප්‍රහාර, ගුවන් ප්‍රහාර යනාදිය සලකා බැලෙනු ඇති බවයි. ඒවා පෙරට වඩා වියදම් සහගත සහ අසීරු වනු ඇති.

මීට අමතරව, හමුදා ඉවත් කරගන්නා අතරතුර ද ඔවුන්ට ප්‍රහාර එල්ල වීමේ ඉඩක් ඇති බව මැකෙන්සි මතක් කර සිටිනවා. හමුදා ඉවත් කිරීම සංකීර්ණ සහ භාරදූර ක්‍රියාවක් බව ඔහු පෙන්වා දෙනවා. කෙසේ වෙතත් එය සුරක්ෂිතව කළහැකි යයි ඔහු විශ්වාසය පළකළා.

කලාපීය අභියෝගය
ඇෆ්ඝනිස්ථානයේ හමුදා ඉවත් කරගත් පසු කලාපීය වශයෙන් තම බලපෑම සම්පූර්ණයෙන් අහිමි කරගැනීමට ඇමරිකාව සූදානම් නැති බව පැහැදිලියි.

පසුගියදා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මධ්‍යම ආසියානු රාජ්‍යයන් පහේ, එනම් කසාක්ස්ථානය, උස්බෙකිස්ථානය, තජිකිස්ථානය, තුර්ක්මනිස්ථානය සහ කිර්ගීසියාව යන රටවල විදේශ ඇමතිවරුන් හා අන්තර්ජාලය හරහා සමුළුවක් පැවැත්වූයේ ද මෙම කරුණු මතයි.


Click on the Image

ඇෆ්ඝනිස්ථානයේ මතුවන තත්ත්වය ඔවුන් සාකච්ඡා කළ එක් කරුණක් වුණා. කෙසේ වෙතත් චීනය සහ රුසියාව ද කලාපයේ සිය බලය තහවුරු කරගන්නට උත්සාහ කරමින් සිටිනවා. තජිකිස්ථානයේ ජනාධිපති එමොමාලි රහ්මොන් නොබෝදා මොස්කව් නුවර සංචාරය කර රුසියාවේ විජයග්‍රහණයේ දිනයට ද ජනාධිපති පුටින් සමග සහභාගී වුණා.

තවද, ඇෆ්ඝනිස්ථානයේ උස්බෙක් නායකයකු වන අබ්දුල් රෂීද් දොස්තම් සහ තජික් නායකයන් සමග රුසියාවට කලක් තිස්සේ පවතින සමීප සබඳතා තිබෙනවා. චීනය ද මෙම සමීකරණයට ඇතුලත් වීමට බලාපොරොත්තු දල්වාගෙන සිටින බව පැහැදිලියි.


ඇෆ්ඝනිස්ථානයේ පිහිටීම (Encyclopaedia Britannica)

ඇෆ්ඝන් රජය මෙහිදී දැඩි පීඩනයකට මුහුණදෙනු නොඅනුමානයි. ඔවුන් වෙත එක් අතකින් තලේබාන් සංවිධානය දෙසින් පීඩනය එල්ලවනු ඇති. දැනටමත් තලේබාන්වරුන් සිය බලය ව්‍යාප්ත කරන්නට පටන්ගෙන තිබෙනවා. කාබුල් අගනුවර ආසන්න වර්දක් ප්‍රාන්තයේ නිර්ක් ප්‍රදේශය මෑතකදී ඔවුන් විසින් අල්ලාගැනීම ඊට උදාහරණයක්.

අනෙක් අතට උස්බෙක් සහ තජික් ප්‍රදේශයන් ද රජයේ බලයෙන් ගිලිහෙනු ඇති. එවන් පසුබිමක, මෙම රජය ආරක්ෂා කරගැනීම උදෙසා ඇමරිකානුවන්ට කළහැකි යමක් නොවන බවයි පෙනී යන්නේ.

මේ අතර පාකිස්ථානයේ විදේශ ඇමතිවරයා නොබෝදා කියා සිටියේ ඇමරිකානු හමුදාවලට පාකිස්ථානය තුළ රැඳෙන්නට අවකාශය නොදෙන බවයි. චීනය සමග පාකිස්ථානයේ පවත්නා සමීප සබඳතාව සහ ඉන්දියාව සමග ඇමරිකාවේ සමීප සබඳතාව ද හේතුවෙන් මෙය අනපේක්ෂිත ප්‍රකාශයක් ද නොවේ.

මේ අතර, ඇෆ්ඝනිස්ථානයට බටහිරින් පිහිටි ඉරානයට ඇමරිකාව සමග හෝ තලේබාන් සංවිධානය සමග හෝ ඇයි හොඳයියක් නැහැ.


Click on the Image

ඔවුන් මීට මැදිහත් වීමෙන් වැළකී ඉන්නට ඉඩ තිබෙනවා. අනාගතයේදී ඔවුන් මැදිහත් වුවහොත් එසේ මැදිහත් වන්නේ ඇෆ්ඝනිස්ථානයේ ෂියා මුස්ලිම් සුළුතරය ආරක්ෂා කරගැනීමට පමණක් විය හැකියි.

මේ කරුණු සැලකීමේදී පෙනී යන්නේ ඇමරිකාවට ඇෆ්ඝනිස්ථානය අවට කලාපීය රටවල්වල පවා තමන්ට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීම අපහසු වන බවයි. එහෙයින් ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත් වූ පසු දිගටම ප්‍රදේශයේ බලපෑම ආරක්ෂා කරගැනීම හිතළුවකට වඩා යමක් නොවන්නට ඉඩ තිබෙනවා.

මූලාශ්‍රයයන්
01. U.S. Plans to Keep Threats in Check Even After Afghanistan Withdrawal (Department of Defense)
02. Austin Says NATO, U.S. Forces Will Leave Afghanistan, Continue Support to Afghan Forces (Department of Defense)

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.