පවුල් – බර (තරබාරු බව)

“හාමුදුරුවෝ හැමදාම පිරිමින්ගේ දොස්නේ ලියන්නේ, මම හොද මාතෘකාවක් දෙන්න ද ලියනවා නම්“?

“මොකක් සම්බන්ධයෙන් ද මහත්තයා“?

මා හිතවත් මහත්තයෙක් සමඟ සන්ධ්‍යාභාගයේ අප ආයතනයෙදී, තේ කෝප්පයක් රස විඳින ගමනේදී ඔහු විසින් මෙසේ කථාවට මුළු පිරුවේය.

“මේක වැඩිය කවුරුත් කතා කරන දෙයක් නෙවෙයි, ඔය හාමුදුරුවො කතා කරන උපදේශන විෂයටම අයිති එකක් තමයි.“?

“අහ්… අන්න එහෙම, ඔයාලගෙන්ම එනවා නම් අදහස් අපට ලේසීනේ සාකච්ඡා කරන්න“ ?

“ඔව්, අපිට කෙලින්ම කියන්නත් බැරි දෙයක් හාමුදුරුවො මේක, මොකද කීවොත් හිත රිදෙනවානේ, එහෙම ගැටලුවක් ඇති කරගන්නවාට වඩා ලේසි, කටවහගෙන ඉන්න එක. එත් හාමුදුරුවො මේ ගැන ලීවොත්, මට පුළුවන් එයාට පේන්න මේක share කරන්න“??

“ම්ම්ම්… ඒකට මම එකඟයි, සමහරු කියනවා, මුණට කියන්න ඕනි කියලා. එහෙත් කෙනෙකුගේ හිත රිදවලා, ලැජ්ජාවට පත් කරලා අපහසුතාවට පත් කරලා කියන කියන මූණට කීම වැරදි දෙයක්… ඕනිම දෙයක් කියන විදිහක් තියෙනවා“?

“අනිවාර්යෙන්ම අපේ හාමුදුරුවනේ… ඒ වාගේම කියන්න ඕනි තැනකුත් තියෙනවා… පෞද්ගලිකව කාමරයක් ඇතුලේ කතා කරන්න ඕනි දේවල්, මව්දෙමාපියොත් ඉස්සරාම, එක්කො අසල්වාසීන් ඉස්සරාම නැත්තං නෑදැයො ඉස්සරාම කියලා දැමුවොත්, ඇතිවෙන්නේ පුදුම වේදනාවක්“?

“ඔව්… එහෙම හිතක් කුඩුපට්ටම් කරලා උජාරුවෙන් කියන දෙයක් තමයි, “මම නම් ඕනිම කෙනෙකුගේ මූණටම කියනවා කියලා“, ඒක ඉතා වැරදි දෙයක්. ‘උජු‘ වාගේම ‘මුදු‘ කියන්නෙත් ගුණාංගයක්. සෞම්‍ය වෙන්නත් ඕනි. අර… නටගාමණි සුත්‍රයෙදී, බුදු හාමුදුරුවො නටගාමිණි අහන ප්‍රශ්නයෙන් තුන් වරක්ම මඟ ඇරියේ, ඒකට උත්තර දුන්නාම ඒ මනුස්සයාගේ හිත රිදෙන නිසානේ. කොසොල් රජුන්ට උනත් අහන්න ආපු ප්‍රශ්නය හත් දවසක්ම යනකල් අහගන්න මතක් වුනේ නෑනේ… ඒක නිසා මිනිස්සුන්ගෙ හිත් රිදවලා කෙලින් කතා කිරීම කියන්නේ වැරදි සංකල්පයක්. කෙලින් කථාව කියන්නේ, ඇත්ත ඇති සැටියෙන් කීම මිසක්, මූණට කඩා පැනීම නෙවෙයි.“?

“එහෙමයි“ ඔහු අනුමත කළේය.

“හොදයි මොකද්ද ඉතිං ඔය කාරණාව, කෙලින් කීවොත් හිත රිදෙන?“ මම ඇසීමි.

“කාරණාව නම් එකක්, නමුත් එතැන මාතෘකා දෙකක් තියෙනවා“

“ඒ කීවේ“ මම ඇසීමි.

“කාරණාව – දරු සෙනෙහස වාගේ දෙයක් අදහස් කරන්න පුළුවන්, මාතෘකා හැටියට කීවැකි, සැමියා සහ බර කියලා“

“මොකද්ද අප්පා ඒ හරුපේ…“ ??

“මෙහෙමනේ අපේ හාමුදුරුවනේ… දැන් මම මේ කියන්නේ වෙන කවුරුත් ගැන නෙවෙයි, අපේ wife ගැනම තමයි…“?


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

“කවුද, අපේ ශර්මිලා අක්කා ගැන ද ඔය“?

“එහෙමයි… මතකනේ එයාව මම marry කරනකොට හිටපු විදිහ, ඔබවහන්සේ දැන් දැකලා ඇතිනේ…“

“අහ්… මේ… බර කියලා කීවේ ඒකද?

“ඔය තේරෙන්නේ ඔබවහන්සේට… අපේ ගෑනුන්ට පුදුම පේරෙත කමක් හැදෙනවානේ හාමුදුරුවනේ බබාලා හම්බෙන කාලේට… ඒකට ලස්සන නමක් දාගන්නවා… දොළදුක කියලා… ඊට පස්සේ ඉතිං ගිලිනවා ගිලිනවා ගිලිනවා… ඉවරයක් නෑ“?

“සමාජයෙනුත්, අනේ… බබා හම්බෙන්න ඉන්න කෙනානේ… කියලා එක එක කෑම ජාති හදලා ගෙනත් දෙනවා… අපේ අම්මලාත්… දුව… “ඔයා දැන් දෙන්නෙකුට හරියන්න කන්න ඕනී…“ කියලා ගිල්ලවනවා ගිල්ලවනවා…, අපේ ගෑනුත් අර, figure out යන නිසා control කරගෙන හිටපු මළපේරෙත කම, දැන් කිසිම පාලනයකින් තොරව ඉෂ්ට කරගන්නවා…?

“ඔව් නේද, ඒක නම් ඇත්ත…“ මම කීවෙමි.

“හාමුදුරුවො නිකමට, google කරලා බලන්න, පිටරවල බබලා හම්බෙන ගෑනුන්ගේ හැටි, බඩ විතරක් ඉස්සරහාට එනවා… football එක වාගේ. එච්චරයි… ඒකට අපේ… pregnant වෙන්න කලින් හිටියේ 50kgක් නම්, delivery එක කාලෙ වෙනකොට 80kgයි. කොච්චර ද කියනවානම් Gestational diabetes (pregnancy diabetes) පවා හැදෙනවා… අත පය ඉදිමෙනවා… ?

“ආ… ඒක තමයි සමහරු ඒකාලේට අතේ පිරිත්නූල් බඳින්න හොද නෑ කියලා කියන්නෙත්, බෙල්ලට දාගන්නේ…“?

“එහෙමයි…“

“ගැහැනු සහ පිරිමි අතරින් හරි ඉක්මනින් වැහැරෙන ශරීරනේ ගෑනුන්ට තියෙන්නේ… ඒ ඇති කරගන්න අධික බර, නිසා හැමතැනම පස්සෙ කාලේක මස් එල්ලෙන්න ගන්නවා, විශේෂයෙන් යටිබඩවල්… මේක කොච්චර ද කියනවානම් හාමුදුරුවනේ… දරුවා වැඩිලා වැඩි, ලොකු වැඩි කියලත් කියනවා…“ එත් මේ තියෙන මිත්‍යා මත නිසා, අනවශ්‍ය කෑම ගැනීම මත අතිශය ස්තූල කාන්තාවක් තමයි ඉස්පිරිතාලෙන් ගෙදර එන්නෙ…“?

“ඔව් නේද? ලමයාගේ බර කිලො. 5ක් වුනත් අම්මා එතකොට 75නේ නේද?

“ඒ විතරක් නෙවෙයි හාමුදුරුවනේ… ඊළඟට කිරි දෙන්න ඕනි කිරි දෙන්න ඕනි කියලා ගිලින්න පටන් ගන්නවා… ඒක නම් හරි කියමුකො… නමුත් කිරි එරෙන කෑම බීම විතරක්නෙවෙයිනේ ගන්නේ… ඒවාගේම හාමුදුරුවනේ… delivery එකෙන් පස්සේ කාලය, ඉතිං exercise කරන්න පුළුවන් අවදියක් නෙවෙයිනේ… ඉතිං අර ඇගට දාපු අතිරේක මස්දළුටික, ඇගේම පත්තියං වෙන්න ගන්නවා… ආයෙත් බස්සගන්න බැරිම තරමට…“?

“එතකොට මහත්තයා කියන්නේ… පේරේතකම නිසා සිද්ධවෙන දෙයක් කියලා ද ඕක“

“80% එහෙම තමයි හාමුදුරුවනේ… අනික තමයි ඊට පස්සේ දරුවාගේ වැඩ සමඟ ව්‍යායාමක් කරගන්න කොහොමත් ඉඩක් නැ. සහ අපේ රටවල් තවම එහෙම ගෑනු හැමෝම ව්‍යායාම කරන තැනට හැදිලා නැ…“?

“දැන් එතකොට ඕක ද ගැටලුව…“?

“ඇත්තම කියන්න ද මම හාමුදුරුවන්ට… මටම පුදුම හිතෙනවා… මේ ඉන්නේ අපේ ගෑනිම ද කියලා… ගමනක් බිමනක් එක්ක යන්න මට අවුලක් තියෙනවා… අනික් මිනිස්සු එකපාරට මුණ දිහා – ඇග දිහා බලන බැල්ම මටම පේනවානේ හාමුදුරුවනේ… ඇත්තම කීවොත්, මායි අපේ නෝනයි ඇතයි හෙණ්ඩුවයි වාගෙනෙ අපේ හාමුදුරුවනේ..“?

“ම්ම්ම්ම්ම් එතැනත් ගැටලුවක් තියෙනවා තමයි… ඉතිං කෙලින් කීවේ නැද්ද ඕක…“?

“කිවා හාමුදුරුවනේ එක පාරක්… බර වැඩිවෙලා නේද අඩුකරගමු කියලා…“

“ඉතිං“?


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

“අම්මේ… එදා තමයි මාව මරාගෙන කන්න හැදුවේ… සතියක් විතර ඕක කියෙව්වා… ‘ඇයි දැන් මම කැත ද, ඔයාට ළමයි දෙන්න ගිහිල්ලා තමයි මෙහෙම උනේ… ඉතිං රටේ නැති එව්වා…, ඒ කියන දේවල් ඇත්ත තමයි හාමුදුරුවනේ. ඒත් මෙහෙම ගියොත් මේ මනුස්සයා ලෙඩෙක් වෙනවා…“?

“ම්ම්ම්ම් දෙපාර්ශවයම කියන කතාවේ සාධාරණ පැති තියෙනවා… එතකොට තවත් මොකද්ද මාතෘකාවක් තියෙනවා කිවා නේද?“

“එහෙමයි… ඒ තමයි මම… (husband) දැන් පුතා ලැබිලා… අවුරුදු 3ක් වෙනවානේ…“

“ම්ම්ම්ම්…“

“දැන් එයාට මාව ගෙදර ඉන්නවාද නැද්ද මතකයක්වත් නැ…, දරුවා ගැනම තමයි ලෝකය, මම ඒකේ වරදක් දකින්නේ නෑ… එත් මමත් ඉන්නවානේ… ඉස්සර, හැන්දෑවට මම එනකල් මොනවා හරි කෑමක් හදාගෙන, නැත්තං චූං පාන් හරි අරගෙන, නැත්තං මට මොනවා හරි ගෙන්න කියලා… තේ හදාගෙන… ටි.වි බල බල පොඩි කයියක් ගහපු කාලයක් තිබ්බා…“ කරදරයක් වෙන තරමට එයාගේ කතාව, හුරතලේ, කෝලම් තිබුනු කාලයක් තිබ්බා…“??

“මගේ උවමනා එපා කම් ගැන හොයන එකම තමයි එයාගේ ලෝකය වෙලා තිබ්බේ…“ ඉස්සර මට බීපු තේ කෝප්පයවත් හෝදන්න දුන්නු කෙනෙක් නොවෙයි… මම දන්නවා දැන් එයාගේ පුතාගේ වැඩ හුඟක් කරන්න තියෙනවා කියලා… එත්… මමත් මගේ වැඩ තනියෙන්ම කරගෙන හුරු කෙනෙක් නිසා, සමහරදාට උදේට උයන එකත් මඟ ඇරෙන මට්ටමක් තියෙනවා…“??

මහත්තයාගේ මුහුණෙ කිසියම් වූ වේදනාවක් ඇඳී ඇති අයුරු දක්නට ලැබේ.

.“ඉතිං… ඔහොම situation එකක් ගෙයි තියෙද්දි, අපෙන් ඉගෙන ගත්තු ගෑනු ලමයෙක් එක්ක මඟදි හම්බෙලා කථා කරත්, අපේ ගෑනි, රවනවා ගොරවනවා, පුප්ඵනවා…“???

“හා හා… ඒවානම් නිදහසට කාරණා නෙමෙ හරි ද?“ මම කීවෙමි. ?

“හාමුදුරුවො අහලා ඇති… ගීතයක් තියෙනවා මෙහෙම… “රූං පෙත්ත කැරෙනවා… කෝම්පිට්ටු ඉඳිවෙනවා කියලා…“

“ම්ම්… දයාරත්න රණතුංග මහත්තයාගේ නේද?“…

“එහෙමයි… ඒකේ අන්තිම පද පේලිටික අහලා බලන්න… එතැන තියෙනවා සමස්ථ තාත්තලාගේ වේදනාව…“??

පුංචි පුතේ නුඹ ආපසු අම්මි හුඟක් වෙනස් වෙලා
එදාවගේ නෑ…
මාත් එක්ක බොළඳ වදන් දැන් කියන්නෙ නෑ…?

සුදු කොට රැළි ගවුම ඇඳන් පාසැල්ගිය කාලෙ වගේ
හිනාවෙන්නෙ නෑ…
නුරා රැඳුණු කෝල බැළුම් දැන් හෙළන්නෙ නෑ…?


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

සටහන
? “ඖෂධ ආහාරයක් ලෙස දෛනිකව නොගැනීමට නම්, ආහර ඖෂධයක් ලෙස ගත යුතුය.“

? තථාගතයන් වහන්සේ භික්ෂූන්ට ‘එක් වේලක්‘ පමණක් වැළදීමට ආරාධනා කළ සේක.
“අහං ඛො, භික්‌ඛවෙ, එකාසනභොජනං භුඤ්‌ජාමි. එකාසනභොජනං ඛො අහං, භික්‌ඛවෙ, භුඤ්‌ජමානො අප්‌පාබාධතඤ්‌ච සඤ්‌ජානාමි අප්‌පාතඞ්‌කතඤ්‌ච ලහුට්‌ඨානඤ්‌ච බලඤ්‌ච ඵාසුවිහාරඤ්‌ච.“

“මහණෙනි, මම පෙරවරු, එක්වේලේ බොජුන් වළඳමි. මහණෙනි, මම එක්වේළ් වැළදීම් කරන්නේ…
?1. නිරෝගී බව ද,
?2. නිදුක් බව ද,
?3. සැහැල්ලු බව ද,
?4. ශරීරශක්තිය ද,
?5. පහසු විහරණය ද දනිමි.“

ආහාර පමණ දැන ගත යුතුය. බොහොමයක් මිනිස්සු දැන් වනවිට ස්ථූල තාව හේතුවෙන් පීඩා විඳිනු ලැබේ. බෝ නොවන රෝග ගණයට අයත්, දියවැඩියා, අධිරුධිර පීඩන, මේද තැන්පත් වීම් ආදී ලෙඩ රෝගවලට පත්වේ.

? ව්‍යායාම පිණිස යොමුවන කාන්තාවන් අල්ප වේ. ඉතා නවීන සමාජයේ හැරුණුකොට බොහොමයක් කාන්තාවන් වංගෙඩි, මෙන්, බැරල් මෙන් ස්වකීය මුළු ජිවිතයම ගෙවා දමයි. මුහුණට පමණක් සියලු සත්කාර කරන අතර, ශරීරකූඩු අලි ඇතුන්ගේ මෙන් වෙයි. ඊට 95% හේතුව පේරෙත කම සහ ව්‍යායාම නැති කමයි.

? බුදුන් වහන්සේ සක්මන් කිරීමේ ආනිසංස 5ක් දක්වා ඇත. එයින් 3ක්ම ව්‍යායම සම්බන්ධ කරුණුය.

පඤ්‌චිමෙ, භික්‌ඛවෙ, චඞ්‌කමෙ ආනිසංසා. කතමෙ පඤ්‌ච? අද්‌ධානක්‌ඛමො හොති, පධානක්‌ඛමො හොති, අප්‌පාබාධො හොති, අසිතං පීතං ඛායිතං සායිතං සම්‌මා පරිණාමං ගච්‌ඡති, චඞ්‌කමාධිගතො සමාධි චිරට්‌ඨිතිකො හොති.
“මහණෙනි, සක්මන් කිරීමේ ආනිසංස 5කි.
?1. වෙහෙස නොවී දුරගමන් යා හැකි අයෙකු වේ.
2. ප්‍රධන් වීර්ය වැඩීමට දක්‌ෂයෙක්‌ වීම.
?3. ලෙඩ රෝග අඩු අයෙකු වේ.
?4. කන බොන ආහාර පාන පහසුවෙන් ජීර්ණය වන්නේ වෙයි.
5. සක් මන් ගත සමාධිය අනික් සමාධින්ට වඩා ස්ථිර එකක් වේ.

මෙයින් තුනක්ම ව්‍යායාම හා සම්බන්ධ බව ඔබට පෙනෙනු ඇත. මේ භික්ෂුවගේ ව්‍යායාමයි. එසේ නම් ගිහි ඔබ ගැන කුමන කථා ද? තුන් වේලක් පෙරේත කමට ගිලිමින්, වංගෙඩි, තාර බැරල් මෙන් සිටින ඔබ, බුදුන් වහන්සේගේ අවවාද අනුගමනය කරනවා යැයි කියන්නේ කෙසේ ද?

? විවාහයට ද මේ ස්ථුල බව ගැටලුවක් වේ. ප්‍රසව අවධියට පසුව කාන්තාවන් ඒ බරින් මහතින් යුතුව ඉතිරි මුළු ජිවිතයම ගත කිරීම, ස්වාමිපුරුෂයන් වෙනත් කාන්තාවන් කෙරෙහි ආකර්ශනය වීමට හේතුවක් විය හැක.

? එමෙන්ම, ගැහැණිය ගතින් සිතින් දෙකින්ම අම්මා වූවත්, පිරිමියෙකු තාත්තා වන්නේ සිතින් පමණි. ඔහු පියෙකු වීමට වසර 35ක් වත් ඉක්මවිය යුතුය. එතෙක් සිටින්නේ, තරුණයෙකි. දරුවට, ගැහැණිය අම්මා වුවත්, සැමියාට, බිරිඳ විය යුතුය. සමහර විට ඔහු බලාපොරොත්තු වන්නේ බිරිඳක් නොවේ පරණ පෙම්වතියම විය හැක. ඉහත ගීතයේ මෙනි. ඒ ගැන නුවණැති ඔබ කල්පනාකාරී වීම සුදුසුය.

තවත් මනෝ උපදේශනය සම්බන්ධ ලිපි සඳහා : Counselling – හෙරලි

කොළඹ සහ කැළණිය විශ්වවිද්‍යාලයන්හි සහාය කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ පූජ්‍ය හෙරලියාවල රතනතිස්ස හිමියන් මේ වන විට තායිලන්තයේ ධම්මකාය බෞද්ධ විශ්වවිද්‍යාලයේ ධම්මකාය (DCI) ත්‍රිපිටක සංස්කරණ මණ්ඩලයේ පර්යේෂණ සහකාරවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියි. උන්වහන්සේ eLearning.lk බ්ලොග් අඩවිය සඳහා මිනිස් මනස සහ මනෝ උපදේශන සේවාවන් සම්බන්ධව ලිපි සම්පාදනය කරනු ලබයි.